6. රොහිතසස සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු රොහිතස්ස දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි රොහිතස්ස දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙසේ කීය.

2. ´´ස්වාමීනි, යම් තැනෙක නොඋපදීනම්, මහළු නොවේ නම්, චුත නොවේ නම්, නැවත නොඋපදී නම් එසේ වූ ඒ ලෝක කෙලවර දැනගන්නට හෝ දැකගන්නට හෝ එහි යා ගන්නට හෝ හැකිද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ඇවැත්නි, යම් තැනෙක්හි ඉපැද්මෙක් නැද්ද, ජරාවෙක් නැද්ද, මරණයෙක් නැද්ද, චුතවීමක් නැද්ද, මැරී නැවත ඉපදීමෙක් නැද්ද, ඒ ලෝකාන්තය ගමනෙකින් දත හැක්කැයි, දැක්ක හැක්කැයි, එහි යාගත හැක්කැයි මම නොකියමි.´´

4. ´´ස්වාමීනි, ´යමෙක්හි ඉපදීමෙක්, ජරායෙක්, මරණයෙක්, චුතවීමෙක්, නැවත ඉපදීමෙක් නැත්නම් එය ගමනින් දත හැක්කැයි නොකියමි´ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් හොඳින් වදාරණ ලදද? ෂ්වාමීනි, ආශ්චය්‍ර්‍යයි.´ ස්වාමීනි, පුදුමයි.´

5. ´´ස්වාමීනි, පෙර මම් ඎද්ධිමත්, අහසින් යත හැකි, භෝජපුත්‍රවූ රෝහිතස්ස නම් ඎෂියෙක් වීමි. දුනු ශිල්පය උගත්, විදීමෙහි මනා පුරුදුබව ඇති, අන් දුනුවායන් හා කළ ද්වන්ද්ව යුද්ධ ඇති, රාජාදීන් හමුයෙහි දැක්වූ ශිල්ප ඇති, මහත්ම දුන්නක් අත ගත් දුනුවායෙක් හෑල්ලු ඊයෙකින් ගැහැටක් නැතිවම යම්සේ තල්ගසෙක සෙවනැල්ල ඉක්මවාලිය හැකි වන්නේද, එබඳුවූ ගමන් වේගයක් මට විය.

6. ´´පෙරදිග මුහුදින් අවරදිග මුහුද යම් පමණ දුරද, ඒ මගේ එපමණ දුරින් පිය ඔසවා තැබීමෙක් විය. ඒ මට ලොව කෙලවරට ගමනින් පැමිණෙන්නෙමියි´´ ආශාවෙක් විය.

7. ´´ස්වාමීනි, ඒ මම මෙබඳු ජවයෙන්ද, මෙබඳු පිය ඉක්මවා තැබීමෙන්ද, සමන්විත වූයෙම්, කන බොන වේලාවල් හැර, මල මූත්‍ර පහ කරන වේලාවල් හැර නිදාගන්නා විඩා දුරුකරනා වේලාවල් හැර, හවුරුදු සියයක් ආයු ඇත්තෙම්, අවුරුදු සියක් ජීවත් වන්නෙම්, අවුරුදු සියක්ම ඎද්ධිමය ගමනින් ගොස් ද ලොව කෙළවරට නොපැමිණ අතර (මග)දීම මැරුණෙමි.

8. ´´පුදුමයි .´ ස්වාමීනි, ඉතා පුදුමයි.´ ස්වාමීනි, ´යමෙක ජාතියෙක්, ජරාවෙක්, මරණයෙක්, චුතවීමෙක්, මැරී නැවත ඉපදීමෙක් නැත්නම් ඒ ලෝක කෙළවර, ගමනින් දතහැක්කැයි, දැක්ක හැක්කැයි, පැමිණිය හැක්කැයි නොකියමි.´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළා කොතරම් සරිද?´´

9. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´එතෙකුදු වුවත් ඇවැත්නි, ලොවේ කෙලවරට නොපැමිණ, දුක් කෙළවර කිරීමක් මම නොකියමි. තවද ඇවැත්නි සංඥා සහිතවූ, සිත සහිතවූ, බඹයක් තරම්වූ මේ ආත්ම භාවයෙහිම, ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමී ප්‍රතිපත්තියත් පණවමි.´´

10. ´´ලොව කෙළවරට ගමනෙකින් කිසි කලෙකත් පැමිණිය නොහැක්ක, ලොව කෙළවරට නොපැමිණත් දුකින් මිදීමෙක් නැත.

´´එබැවින් ලොව දන්නා, මනා නුවණැති, (සංස්කාර) ලෝකයේ කෙළවරට ගිය, වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචය්‍ර්‍යාව ඇති, කෙලෙසුන් සංසිඳුවාලූ (රහත්) පුද්ගලතෙමේ (සංස්කාර) ලෝකයේ කෙළවර දැන, මෙලොවද, පරලොවක්ද, නොපතයි.´´