3. සේරී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සේරී දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සේරී දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

´´දෙවි, මිනිස් දෙකොටසම ඒකාන්තයෙන් ආහාර කැමතිවෙත්. එසේ කල්හි ආහාර කැමති නොවනුයේ කුමන යකෙක්ද?

3. (දෙව් පුත්: ස්වාමීණි පුදුමයි, ස්වාමීනි ඉතා පුදුමය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් මනාකොට වදාරණ ලද්දේද?

(එඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක,) ´´යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් හොඳින්, පැහැදුන සිතින් ආහාර දෙද්ද, ඒ ආහාරයේ විපාකය මෙලොවදීත් පරලොවදීත් එය දුන් දායකයන් කරාම පැමිණේ.

´´එබැවින් මසුරු මල දුර ලන්නේය. (දුර ලියයුතු.) මසුරු මල දුරුකළ කෙනෙක්ව දන් දෙන්නේය. පරලොවදී සත්ත්‍වයාට පිහිට නම් පින්ය.´´

4. ස්වාමීනි, පෙර වූවක් කියමි. මම (පෙර) දන් දෙන (දායක්වූ) දානපතිවූ, දීමෙහි ගුණ කියන, සේරී නම් රජෙක් වීමි. ස්වාමීනි, ඒ මගේ (නුවර) සතර දොරෙහි මහණ, බමුණු, දුගී, මගී, පුලන්නන්, යාචක යන මොවුන්ට දන් දෙනු ලැබීය.

5. ස්වාමීනි, ඉක්බිති ස්ත්‍රී නිවාසයෙහි වසන ස්ත්‍රීහු මා කරා පැමිණ ´දේවයන් වහන්සේගේ දානය නම් දෙනු ලැබේ. අපගේ දානයෙක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ නිසා දන් දෙන්නට ලබන්නමෝ නම්, පින් කරන්නට ලබන්නමෝ නම්, ඒ යහපතැ´ යි කීහුය.

6. ස්වාමීනි, ඒ (ඇසූ) මට මේ සිත විය.: ´මම දායකයෙක්මි. දානපති වෙමි. දීමෙහි ගුණ කියන්නෙමි, දන් දෙන්නෙමුයි නියන්නවුන්ට කුමක් නම් කියම්ද? ස්වාමීනි, ඒ මම (නුවර) පළමු දොර ස්ත්‍රී නිවාසයෙහි ස්ත්‍රීන්ට පැවරීමි. ස්ත්‍රී නිවාසයෙහි ස්ත්‍රීන්ගේ දානය දෙන ලද්දේය. මගේ දානය නැවතිණ.

7. ඉක්බිති, ස්වාමීනි, සේවක ක්‍ෂත්‍රියයෝ මා වෙත පැමිණ, ´දේවයන් වහන්සේගේ දානය නම් දෙනු ලැබේ. ස්ත්‍රී නිවාසයේ ස්ත්‍රීන්ගේද දන් දෙනු ලැබේ. අපගේ වූකලී දානයෙක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ ඇසුරුකොට දන් දිය හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ´ යි මෙබස් කීහ.

´´ස්වාමීනි, ඒ ඇසූ මට මේ සිත විය: ´මම් වූකලී දායකයෙක්මි. දානපතියෙමි. දීමෙහි ගුණ සුල්ලෙමි, දන් දෙන්නෙමුයි කියන්නවුන්ට කෙසේ නම් කියන්නෙම්ද?´ ස්වාමීනි, ඒ මම් වනාහි දෙවෙනි දොර සේවක ක්‍ෂත්‍රියයන්ට දිනිමි. (එවිට) සේවක ක්‍ෂත්‍රියයන්ගේ දානය දෙන ලදී. මගේ දානය නැවතිණ.

8. ´´ ස්වාමීනි, ඉක්බිති, බල සෙනග මා වෙත පැමිණ, ´දේවයන් වහන්සේගේ දානය නම් දෙවේ. ස්ත්‍රී නිවාස ස්ත්‍රීන්ගෙත් දානය දෙනු ලැබේ. අපේ දානයක් නොදෙනු ලැබේ. අපිත් දේවයන්වහන්සේ නිසා දන්දෙනු හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ´ යි මෙබස් කීහ.

´´ස්වාමීනි, ඒ මට මෙසේ සිත් විය: ´මම් වූකලී දායකද, දානපතිද, දීමෙහි ගුණ කියන්නෙක්ද වෙමි. දන් දෙන්නෙමුයි කියන කල්හි කුමක් නම් කියන්නෙම්ද?´ ස්වාමීනි, ඒ මම තෙවෙනි දොර බල සෙනගට දිනිමි. එහි බල සෙනගගේ දානය දෙන ලදී. මගේ දන නැවතිණ.

9. ´´ස්වාමීනි, එයින් පසු බමුණෝත්, ගෘහපතියෝත් මා වෙත පැමිණ, ´දේවයන් වහන්සේගේ නම් දන දෙනු ලැබේ. ස්ත්‍රී නිවාස ස්ත්‍රීන්ගේත් දන දෙනු ලැබේ. සේවක ක්‍ෂත්‍රියයන්ගේත් දනද දෙනු ලැබේ. බල සෙනගගේත් දන දෙනු ලැබේ. අපේ දනෙක් නොදෙනු ලැබේ. යහපත, අපිත් දේවයන්වහන්සේ නිසා දන් දෙනු හැකි වන්නමෝ නම් පින් කළ හැකි වන්නමෝ නම් යහපතැ´ යි මෙබස් කීහ.

´´ස්වාමීනි, ඒ මට මෙසේ සිත විය: ´මම් වූකලී දායකද, දානපතිද, දීමෙහි ගුණ කියන්නෙක්ද වෙමි. ඒ මම් ´දන් දෙන්නෙමු´ යි කියන්නවුන්ට කුමක් නම් කියන්නෙම්ද?´ ස්වාමීනි, ඒ මම සතරවෙනි දොර බමුනන්ටත්, ගෘහපතීන්ටත් දිනිමි. එහි බමුණන්ගේත් ගැහැවැයන්ගෙත් දන දෙන ලදී. මගේ දන නැවතිණ.

10. ´´ස්වාමීනි, ඉක්බිති (මගේ) රාජ පුරුෂයෝ මා වෙත පැමිණ, ´දැන් වනාහි දේවයන් වහන්සේගේ දනෙක් කිසිම තැනෙකත් නොදෙනු ලැබේ´ යයි කීහ.

´´මෙසේ කියනු ලැබූ මම ´ස්වාමීනි, ඒ රාජපුරුෂයින්ට මෙසේ කීවෙමි. ´එසේ නම් බැහැර දනව්වල යම් ආදායමෙක් උපදීද, එයින් හරි අඩක් ඇතුළු නුවරට ඇතුල්කරව්. අඩකින් එහිම මහණ, බමුණු, දුගී, මගී, යදියනට දන්දෙවු´ යයි කීමි.

11. ´´ස්වාමීනි, ඒ මම පින් මෙතෙකැයි කියා හෝ, පින්පල මෙතෙකැයි කියා හෝ, ස්වර්‍ගයෙහි මෙතෙක් කල් සිටිය යුතුයයි කියා හෝ, මෙසේ දික් කලක් කළ පින්වල, මෙසේ දික් කලක් කළ කුසල්වල කෙළවරකට නොපැමිණෙමි.

12. ´´ස්වාමීනි, පුදුමයි ,´ ඉතා පුදුමයි.´ හොඳින් පැහැදුන ශ්‍රද්ධා සිතින් ආහාර දෙද්ද, එහි විපාක මෙලොවදීත් පරලොවදීත් එය දුන් දායකයන් කරාම පැමිණේ.

´එබැවින් මසුරුමල දුරලන්නේය. (දුරලිය යුතුය,) මසුරුමල දුරුකළ කෙනෙක්ව දන් දිය යුතුය. පරලොවදී සත්ත්‍වයාට පිහිටවනුයේ පින්ය.´