10. නානාතිර්‍ථය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

2. එකල්හි වනාහි අසම දෙව්පුත්ද, සහලී දෙව්පුත්ද, නිංක දෙව්පුත්ද, ආකෝටක දෙව්පුත්ද, වේටම්බරී දෙව්පුත්ද, මානවගාමික දෙව්පුත්ද යන නොයෙක් තීත්‍ර්‍ථක ශ්‍රාවකවූ බොහෝ දෙව්පුත්හු රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීරප්‍රභා ඇත්තාහු සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහ.

3. එක් පසෙක සිටි අසම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පූරණ කාශ්‍යප (තීත්‍ර්‍ථංකරයා) ගැන මේ ගාථාව කීය:

´´මෙලොව අත් පා ආදිය සිඳීමෙහිත්, ප්‍රාණ නැසීමෙහිත්, පුද්ගලයාට පිනක් හෝ පවක් කාශ්‍යපයෝ නොදකිති. ඒ ශාස්තෘාන් වහන්සේ (මෙසේ) විශ්වාසය වදාරති. ඒ ශාස්තෘාන් වහන්සේ බුහුමනට සුදුසු සේකි.´´

4. ඉක්බිති සහලී දෙව්පුත් තෙම මක්ඛලීගෝසාලයන් ගැන භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´(පව් පිරිහෙලන තපසින් හෙවත් කය තැවීමෙන්) හොඳින් වසාගත් ආත්ම ඇති, විවාද හැර ජනයා හා සමවූ පැවතුම් ඇති, වැරැදි දෙයින් වැළකුණු, සත්‍යවාදීවූ, ශ්‍රෙෂ්ඨවූ ඔහු ඒකාන්තයෙන් පවු නොම කෙරෙති.´´

5. ඉක්බිති නංක දෙව්පුත් තෙම නිඝණ්ඨනාථපුත්‍රයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ගාථාව කීය:

´´කයට දුක් දෙමින් කෙලෙසුන් පිරිහෙලන, පණ්ඩිතවූ, සතර සංවරයෙන් (චාතුයාම සංවරයෙන්) වැසුනාවූ, දුටු දේත්, ඇසූ දේත්, නොසඟවා කියන, සසර භය දක්නා නිඝණ්ඨනාථපුත්‍රයන් වහන්සේ පව් ඇතියෝඇතියෝ නම් නොවන්නාහුමය.´´

6. ඉක්බිති ආකෝටක දෙව්පුත් නානා තීත්‍ර්‍ථකයන් ගැන භාග්‍යවතුන් වහන්සේ වෙත්හි මේ ගාථාව කීය:

´´පකුධ (කත්‍යායනයන්) වහන්සේද, නිගණ්ඨ (නාතපුත්‍රයන්) වහන්සේද, මක්ඛලී, පූරණ යන යම් කෙනෙක් වෙත් නම් ඒ මේ දෙදෙනා වහන්සේද යන ශ්‍රාවකගණයාගේ අනුශාසකවූ, මහණදමෙහි කෙලවරට පැමිණි ඒ ශාස්තෲහු ඒකාන්තයෙන් සත්පුරුෂයන් කෙරෙන් දුරු නොවෙත්´´

7. එවිට වේටම්බරී දෙව්පුත් තෙම ආකෝටික දෙව්පුතුට ගාථායෙන් (මෙසේ) පෙරලා කීය:

´´නීචවූ කළු සිවලා සිංහයාට බඳු (ආචාරයෙනුත්) පැවතුම්වලින් කිසිම කලෙක සිංහයාට සම නොවන්නේය. (එසේම) නිර්‍වස්ත්‍රවූ, බොරු තෙපලන ගති ඇති, කසලට බඳු නින්දිත හැසුරුම් ඇති, ගණශාසකයා බුද්ධාදී සත්පුරුෂයන් හා සම නොවන්නේය.´´

8. එකල පව්කාර මාරතෙම වේටම්බරී දෙව්පුතුට වැහී (ආවේසව) භාග්‍යවතුන් වහන්සේ වෙත මේ ගාථාව කීය:

´´යම් කෙනෙක් තපෝ ජුගුප්සායෙන් යුක්තවූවෝ, (චතුර්විධ) ප්‍රවිවේකය (කෙස් සිඳීම, නිර්වස්ත්‍රව සිටීම, බල්ලන් මෙන් කෑම කෑම, කටු ඇඳන්වල නිදීම) රක්නාහු, තෘස්ණාදෘෂ්ඨීන්ගේ වශයෙන් රූපයෙහි බැඳී සිටියාහු, දෙව්ලොව පතන්නෝ වෙත්ද, ඒ සත්හු පරලොව යහපත පිණිස හොඳින් අනුශාසන කෙරෙත්මය.´´

9. එකල භාග්‍යවතුන් වහන්සේ ´මේ පව්කාර මාරයා´ යි දැන මෙසේ ගාථායෙන් ඔහුට පෙරලා වදාළ සේක, ´´මෙහි හෝ අන් ලොවක හෝ අහසෙහි හෝ ප්‍රභාසම්පන්න යම් රූපයක් වෙත්ද, මාරය, ඒ සියලු රූපයෝ මසුන් මරන්නට දැම්මාවූ ඇමක් වැන්න.´´

10. ඉක්බිති මානවගාමිය දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ගැන උන්වහන්සේ ළඟ මේ ගාථා කීය:

´´රජගහ නුවරවූ පර්‍වතයන් අතුරෙහි වෛපුල්‍යගිරිය ශ්‍රෙෂ්ඨයයිද, හිමවත් වැටියේ කඳු අතරෙහි කෛලාශය ශ්‍රෙෂ්ඨයයිද, අහස හැසිරෙන්නවුන් අතුරෙහි හිරු ශ්‍රෙෂ්ඨයයිද කියනු ලැබේ,´´

´´ජලාධාරයන් අතුරෙහි මුහුද ශ්‍රෙෂ්ඨයයිද, නකත් තරු අතරෙහි සඳු ශ්‍රෙෂ්ඨයයිද, දෙවියන් සහිත ලොවෙහි බුදුරජ ශ්‍රෙෂ්ඨයයිද කියනු ලැබෙි,´´

තුන්වෙනි නානාතීත්‍ර්‍ථක වර්‍ගයයි.

(දෙවපුත්ත සංයුත්තය නිමි.)