9. උත්තර සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි උත්තර නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි උත්තර දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

2. ´´ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට එළඹියාහට එය වළකාලිය හැකි රැකවරණෙක් නැත. මේ මරණ භය සලකා සුව ගෙනදෙන පින් කටයුතු.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට පැමිණියාහට රැකවරණ නැත. මේ මරණ භය සලකා නිවන් කැමැත්තේ ලෞකික ආශාව දුරු කටයුතුය.´´