7. සුබ්‍රහ්ම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුබ්‍රහ්ම නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.

2. එක් පසෙක සිටි සුබ්‍රහ්ම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:

´´නූපන් දුක් අරමුණු කොටද, උපන් දුක් අරමුණු කොටද, (මගේ) මේ සිත නිතරම තැති ගත්තේය. මේ සිත නිකර බියෙන් සැලුනේ වෙයි. ඉදින් නොකැතිගත් සිතෙක් ඇත්නම් මවිසින් විචාරන ලද ඔබ එය මට වදාරන්න.´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´(සප්ත) බෝධ්‍යඞග වැඩීමෙන් වෙන්ව, තපෝ ගුණයෙන් වෙන්ව, ඉන්‍ද්‍රිය සංවරයෙන් (ශීලයෙන්) වෙන්ව, නිවනින් වෙන්ව, සත්නට සුවයක් නොදකිමි.´´