3. දීගලට්ඨි සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි දීඝලට්ඨි නම් දිව්‍යපුත්‍ර තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර පැහැ ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි දීඝලට්ඨි දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ට ගාථායෙන් මෙසේ කීය:

2. ´´මේ රහත් බව අනුසස් කොට ඇති මහණතෙම (ශාසනයෙහි) හෘදය යයි කියනලද රහත්බව පතන්නේනම්, ධ්‍යානයෙහි ඇලුණෙක් වන්නේය. සංස්කාරයන්ගේ පහළ වීමත්, නැසීයාමත්, විදර්‍ශනා ඥානයෙන් දැන, තන්හා දෘෂ්ටීන් ඇසුරු නොකෙළෙක් වන්නේය. යහපත් සිත් ඇතියෙක්ද වන්නේය.´´

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එසමයෙහි නන්‍දන නම් දිව්‍යපුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ නන්‍දන දිව්‍යපුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ )කීය:

2. ´´මහත් නුවණ ඇති ගෞතමයන් වහන්ස, භගවත්වූ ඔබගේ ඥානදර්‍ශනය, ආවරණ රහිතය, එසේවූ ඔබ අතින් විචාරමි. කෙබන්දකු සිල්වතකුකොට කියත්ද? කෙබන්දකු ප්‍රඥාවන්තයකු කොට කියත්ද? කෙබන්දෙක් දුක් ඉක්මවා වෙසේද? කෙබන්දකු දෙවියෝ පුදත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) යමෙක් සිල් ඇත්තේද, නුවණ ඇත්තේද, වඩනලද සිත ඇත්තේද, සමාධියට පැමිණියේද, ධ්‍යානයෙහි ඇලුනේද, එළඹ සිටි සිහි ඇත්තේද, ඔහුගේ සියලු ශෝක පහව ගියේද, පුහීණවීද, (කාමාදී) ආශ්‍රවයන් නැසුයේද, අන්තිම ආත්මය දරන්නේද, එබඳු පුද්ගලයා සිල්වතියයි කියත්, ප්‍රඥාවන්තයායයි කියත්. එබඳු පුද්ගලයා දුක් ඉක්මවා වෙසේ. එසේවූ තැනැත්තහු දෙවියෝ පුදත්.