6. කාමද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි කාමද දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:

2. එක් පසෙක සිටි කාමද දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට, ´´භාග්‍යවතුන් වහන්ස, දුස්කරය, අතිශයින් දුෂ්කරය´´ යි කීය.

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාමදය, ශීලයෙන් යුක්තවූ ස්ථිර සිත් ඇති, ශෛක්‍ෂයෝ දුෂ්කරවූද මහණදම් කරත්, ගිහිගෙන් වෙන්වූ බවට පැමිණියාහටම සැප ගෙන දෙන ලද දැයෙහි සතුට වෙයි.´´

4. ´´භාග්‍යවතුන් වහන්ස, මේ ලද සිවුපසයෙහි සතුටය යන යමෙක් ඇද්ද, එයද දුර්ලභ දෙයකි.´´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාමදය, දිවා රෑ දෙක්හි යම් කෙනෙකුන්ගේ සිත (භාවනායෙහි) ඇලුණේද, සිත සන්සිඳීමෙහි ඇලුණු ඔවුහු දුර්ලභවූ නමුදු ඒ සතුට ලබත්.´´

6. ´´භාග්‍යවතුන් වහන්ස, මේ සිත නම් වූ යමක් ඇද්ද, එය එකඟ කිරීම දුෂ්කරය.

7. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කාමදය, (චක්‍ෂුරාදී) ඉන්‍ද්‍රියයන් සන්සිඳවීමෙහි ඇලුණෝ එකඟකිරීමට දුෂ්කරවූ නමුදු (සිත) එකඟ කරත්. ඒ ආය්‍ර්‍යයෝ මරහුගේ දැල (කෙලෙස් දැල) සිඳදමා යෙත්.´´

8. ´´භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය දුකසේ යා යුතුය, විෂමය.´´

9. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´කාමදය, ආය්‍ර්‍යයෝ දුකසේ යායුතුවූද මාර්‍ගයෙහි යෙත්. අනාය්‍ර්‍යයෝ යටිකුරුවූ හිස ඇත්තෝ විෂම මාර්‍ගයෙහි වැටෙත්. මාර්‍ගය ආය්‍ර්‍යයන්ට සමය, ආය්‍ර්‍යයෝ සම නුවූයෙහි සම වූවෝයි.´´