4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් පෙන්වයි. ඒ භික්‍ෂුව (ඒ වරද කීම) නොපිළිගනී.

3. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පස්ව උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ: ´´ස්වාමීනි, මෙහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් කීය. ඒ භික්‍ෂුතෙමේ ඒ නොපිළිගනී.´ යි (කීහ.)

4. ´´මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. යමෙක් වරද වරද වශයෙන් නොදකීද, යමෙක් වරද කියන්නහු සුදුස්සේ නොපිළිගනීද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ වෙත්.

5. ´´මහණෙනි, මේ දෙදෙනෙක් පණ්ඩිතයෝ වෙති. යමෙක් වරද වරද වශයෙන් දකීද, යමෙක් වරද කීවිට ඒ සුදුස්සේ පිළිගනීද, මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ වෙති.

6. ´´මහණෙනි, පෙර වූවක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මාසභායේ තව්තිසා වැසි දෙවියන් සතුටු කරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:

´´ක්‍රෝධය තොපගේ යටතට පැමිණේවා. මිතුරන් කෙරෙහි තොපගේ කළකිරීමෙක් නොවේවා. නොගැරහියයුතු පුද්ගලයාට නොගරහව්, කේළාම් නොකියව්, තවද ක්‍රෝධයතෙම පර්‍වතයක් මෙන් පවිටු (ළාමක) ජනයා හාත්පසින් මැඩලයි.