5. අක්කොධ (හෙවත් අවිහිංසා) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

3. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) මහණෙනි, පෙරවූ දැයෙක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටුකරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:

´´ක්‍රෝධය තෙම තොප නොමඩීවා. කිපෙන්නන් කෙරෙහි ක්‍රෝධ නොකිරීම හා අවිහිංසාව ආය්‍ර්‍යයන් කෙරෙහි හැම කල්හිම පවතී. තවද ක්‍රෝධය තෙම පර්‍වතයක් මෙන් පාපී ජනයා සම්පූර්‍ණයෙන් මඩී.´´

4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් පෙන්වයි. ඒ භික්‍ෂුව (ඒ වරද කීම) නොපිළිගනී.

3. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පස්ව උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ: ´´ස්වාමීනි, මෙහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් කීය. ඒ භික්‍ෂුතෙමේ ඒ නොපිළිගනී.´ යි (කීහ.)

4. ´´මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. යමෙක් වරද වරද වශයෙන් නොදකීද, යමෙක් වරද කියන්නහු සුදුස්සේ නොපිළිගනීද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ වෙත්.

5. ´´මහණෙනි, මේ දෙදෙනෙක් පණ්ඩිතයෝ වෙති. යමෙක් වරද වරද වශයෙන් දකීද, යමෙක් වරද කීවිට ඒ සුදුස්සේ පිළිගනීද, මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ වෙති.

6. ´´මහණෙනි, පෙර වූවක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මාසභායේ තව්තිසා වැසි දෙවියන් සතුටු කරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:

´´ක්‍රෝධය තොපගේ යටතට පැමිණේවා. මිතුරන් කෙරෙහි තොපගේ කළකිරීමෙක් නොවේවා. නොගැරහියයුතු පුද්ගලයාට නොගරහව්, කේළාම් නොකියව්, තවද ක්‍රෝධයතෙම පර්‍වතයක් මෙන් පවිටු (ළාමක) ජනයා හාත්පසින් මැඩලයි.

3. මායා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ) ´´මහණෙනි, පෙර වූවක් කියමි. වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ විය.

3. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුවදුක් විමසීම පිණිස වේපචිත්ති අසුරේන්‍ද්‍රයා වෙත ගියේය.

4. ´´මහණෙනි, වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම ශක්‍රදේවේන්‍ද්‍රයා තමා වෙතට එනබව දුරදීම දුටුවේය. දැක ශක්‍රදේවේන්‍ද්‍රයාට ´´ දේවේන්‍ද්‍රය, මට වෙදකම් කරව´ යි කීය.

5. ´´ ´වේපචිත්තිය, මට සම්බරී මායාව උගන්ව´ යි (ශක්‍රයා කීය).

6. ´´නිදුකාණනි, මම යම්තාක් අසුරයන්ගෙන් නොඅසම්ද ඒතාක් මම තට (ඒ මායාව) නොකියමි´ යි (වේපචිත්ති කීය).

7. ´´මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ´පින්වතුනි, මම ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව කියම්´ දැයි අසුරයන්ගෙන් ඇසීය.

8. ´´ ´ නිදුකාණනි, නුඹ ශක්‍රදේවේන්‍ද්‍රයාට සම්බරී මායාව නොකියව´ යි (අසුරයෝ කීහ.).

9. ´´මහණෙනි, ඉක්බිති වනාහි වේපචිත්ති අසුරේන්‍ද්‍ර තෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ) කීය:

´´මඝ නම් ශක්‍රයෙනි, සුජම්පතියෙනි, දේවේන්‍ද්‍රයෙනි, මායාකාර ජනතෙම සම්බර නම් අසුරිඳු මෙන් අවුරුදු සියයක් පැසෙන්නාවූ දරුණු නිරයට පැමිණේ.´´

2. දුඛණ්ණීය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළ සේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දුවර්‍ණවූ, මිටිවූ, එක්තරා යකෙක් ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේ විය.

3. ´´මහණෙනි, එකල්හි වනාහි තව්තිසා වැසි දෙවියෝ ´බලව, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මේ දුර්‍වණවූ, මිටිවූ යක්‍ෂයා ශක්‍රදේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේය.´ යි ඔහු තුච්ඡකොට සිතත්. පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්, මහණෙනි, තව්තිසාවැසි දෙවියෝ ඔහු යම් පමණ ළාමක කොට සිතත්ද, කියත්ද, ඒ ඒ කැන කතාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක්‍ෂයා රූපයෙන් වඩාත් බබළයි, වඩාත් දැකුම්කළු වෙයි, ප්‍රසන්නසේ පෙනෙයි.

4. ´´මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ ශක්‍රදේවේන්‍ද්‍රයා යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ ශක්‍ර දේවේන්‍ද්‍රයාට මෙසේ කීය: ´ නිදුකාණනි, මෙහි දුර්‍වර්‍ණවූ මිටිවූ යකෙක් ඔබවහන්සේගේ අස්නෙහි හුන්නේය. නිදුකාණනි, එකල්හි වනාහි තව්තිසා වැසි දෙවියෝ ´බලව, ඒකාන්තයෙන් පුදුමයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්‍වර්‍ණවූ, මිටිවූ මේ යක් තෙම ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ අස්නෙහි හුන්නේය´ යි ඒ තුච්ඡකොට සිතත්, පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්, නිදුකාණනි, තව්තිසා වැසි දෙවියෝ ඒ යම් පමණ තුච්ඡකොට සිතත්ද, පිළිකුල්කොට සිතත්ද, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක් තෙම රූපයෙන් වඩාත් බබළයි, වඩාත් දැකුම්කළු වෙයි, ප්‍රසන්නසේ පෙනෙයි, නිදුකාණනි, ඒ යක්‍ෂකෙම වනාහි ක්‍රෝධය නිසා යැපෙන්නේ වන්නේය.

5. ´´මහණෙනි, ඉක්බිතිව ශක්‍රදේවේන්‍ද්‍රතෙම ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්‍ෂයා යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, උතුරුසළුව ඒකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ගසා ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්‍ෂයා වෙත ඇඳිලි බැඳ නමස්කාරකොට ´නිදුකාණනි, මම ශක්‍රදේවේන්‍ද්‍ර වෙමි. නිදුකාණනි, මම ශක්‍රදේවේන්‍ද්‍ර වෙමි.´ යි තුන්වරක් නම ප්‍රකාශ කෙළේය.

6. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රතෙම යම්තාක් නම ප්‍රකාශකරයිද ඒ තාක්ම ඒ යක්තෙම වඩා දුර්‍වර්‍ණද වඩා මිටිද විය. වඩාත් අවලක්‍ෂණද එමෙන්ම වඩාත් මිටිද වී, එහිම අතුරුදහන් වීය.

7. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම ස්වකීය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සනසන්නේ ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:

´´මම වනාහි නොපෙළුනු සිත් ඇත්තේ වෙමි. ක්‍රෝධ නමැති දිය සුළියෙන් පහසුවෙන් ගෙනයා නොහෙමි. මම බොහෝ වේලාවකින් නොකිපෙමි. ක්‍රෝධය තෙම මා කෙරෙහි නොපිහිටයි. මම (කිපී කලද) රළු බස් නොකියමි. දහම් බස්ද පවසමි. ආත්මාත්‍ර්‍ථය මොනවට දක්නා මම තමහට අතිශයින් නිගාකරමි.´´

1. ඣත්‍වා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

3. එකත්පස්ව සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීය:

4. ´´ගෞතමයන් වහන්ස, (සත්ත්‍වතෙම) කුමක් නසා සුවසේ නිදාගනීද? කුමක් නසා ශෝක නොකෙරේද? කිනම් එකම ධර්‍මයක්හුගේ විනාශය රුචිකරන සේක්ද?´´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´වාසවය, ක්‍රෝධය නසා (සත්ත්‍වතෙම) සුවසේ නිදාගැනීම කෙරේ. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ, විෂ මුල් ඇති, (ක්‍රෝධ කරනවිට සතුටු ඇති බැවින්) මිහිරි කරටිය ඇති, ක්‍රෝධය නැසීම ආය්‍ර්‍යයෝ ප්‍රශංසා කරත්. යම් හේතුවකින් ඒ ක්‍රෝධය නසා ශෝක නොකෙරේද (එහෙයිනි).´´