4. දළිද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

3. ´´හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

4. ´´හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

5. ´´ මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ ( ඒ දෙවියා ) ලාමක වශයෙන් සිතත්:, ( ඒ බව ) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ´පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

6. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.´´ (කියායි.)

7. ´´ මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:

´´යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආය්‍ර්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,

´´යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.

´´එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.´´