2. දේවා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවෙසෙති.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර කෙම පෙර මිනිස්බවෙහි සිටිකල මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් ´මඝවා´ යයි කියනු ලැබේ.

3 ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල පුරයක් පුරයක් පාසා දන් දුන්නේය. එහෙයින් ´පුරින්‍දද´ යයි කියනු ලැබේ.

4. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල සකස්කොට දන්දුනි. එහෙයින් ´ශක්‍ර´ යයි කියනු ලැබේ.

5. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම පෙර මිනිස්බවෙහි සිටිකල වාසස්ථානයක් දුන්නේය. එහෙයින් ´වාසව´ යයි කියනු ලැබේ.

6. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම කරුණු දහසක් මොහොතින් සිතයි. එහෙයින් ´සහස්සක්ඛ´ (දහසක් ඇස් ඇත්තා) යයි කියනු ලැබේ.

7. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයාට ´සුජා´ නම් අසුර කන්‍යාව ප්‍රජාපතී වූවාය. එහෙයින් (ඔහුට) ´සුජම්පතී´ යයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ගේ ඓශ්චය්‍ර්‍යාධිපති භාවයෙන් රාජ්‍යය කරවීය. එහෙයින් ´දේවා නමින්‍ද´ යයි කියනු ලැබේ.

9. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල වත් සතක් සමාදන්වන ලද්දාහුය. ඒ වත් සත සමාදන්වූ බැවින් ශක්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.

´´ඒ වත්සත කවරහුද? දිවි ඇති තෙක් මව්පියන් පෝෂ්‍ය කරන්නෙක් වෙම්වා. දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙක් වෙම්වා, දිවි ඇතිතෙක් මෘදු වචන ඇත්තේ වෙම්වා, දිවි ඇතිතෙක් කේළාම් නැත්තේ වෙම්වා, දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇති සිතින්, නිතර දෙන්නේ දීම පිණිස සේදූ අත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇලුනෙක්ව වෙසෙම්වා, දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තෙක් වෙම්වා. දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තේ වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යන මේ සතයි.). ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මිනිස්බවෙහි සිටි කල මේ වත්සත සම්පූර්‍ණ කරන ලද්දාහු වෙති. මේ වත්සත සමාදන්වන බැවින් ශක්‍ර දේවේන්‍ද්‍රතෙම ශක්‍රබවට පැමිණියේය.

´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු වචන කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුනාවූ, සැබෑ වචන ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ ඒකාන්තයෙන් කියත්.´´