10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු මාතලිය, සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදව, උයන් සිරි දකිනු පිණිස උයනට යමු.´´

4. ´´මහණෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම ´යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව´ යි කීවේය.

5. ´´ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භික්‍ෂු සඞ්ඝයා වඳී. මහණෙනි, එවිට මාතලී රථාචාය්‍ර්‍යතෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථාවලින් (මෙසේ ) කීය.

6. ´´කුණු සිරුරින් වැතිර සයනය කරන්නාවූ මේ මනුෂ්‍යයෝ වනාහි ඔබවහන්සේ වඳනාහ. මොවුහු මව්කුස නමැති කුණපයෙහි ගිලුනාහ, බඩගින්න හා පිපාසයෙන් මඩනා ලද්දාාහ.

´´වාසවය, ගිහිගෙයින් වෙන්ව වසන්නාවූ පැවිද්දන්ගේ කිනම් හැසිරීමක් ප්‍රිය කෙරෙහිද? කිව මැනව. අපි ඔබගේ ඒ තෙපුල අසමු.´

7. ´´ ´මාතලිය, ගෘහවාස රහිතවූ ඔවුන්ගේ මේ ගුණය මම ප්‍රිය කෙරෙමි. (කුමක්ද?) ඔවුහු යම් ගමකින් බැහැර යෙදේද, එකල්හි සියලු ඇල්මෙන් තොරව යෙත්.

´´ ´(උන්වහන්සේ සතු කිසිවක්) ඇතුළුගෙහි නොතබත්, කළයෙහිදු නොබහත්. සැළියෙහිදු නොතබත්. අනුන් නිමවූ බත පිඬු සිඟීම් වශයෙන් සොයන්නෝ වෙත්. යහපත් ව්‍රත (පැවතුම්) ඇත්තාහු එයින් යැපෙත්.

´´ ´උන්වහන්සේ යහපත්ලෙස කියන කථා ඇතියහ, ධෛය්‍ර්‍ය සම්පන්නයහ. නිශ්ශබ්ද වූවාහුය, සමවූ හැසුරුම් ඇත්තාහුය. මාතලිය, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එමෙන්) බොහෝ මනුෂ්‍යයෝද (එකිනෙකා හා විරුද්ධයහ.)

´´ ´විරුද්ධයන් කෙරෙහි මොවුහු අවිරුද්ධයහ. ගත් දඬු ඇතියන් කෙරෙහි නිවුනාහ. ගැනීම් සහිත සත්ත්‍වයන් අතුරෙන් මොවුහු (ගැනීම් නැත්තෝය.) මාතලිය, මම උන්වහන්සේ වඳිමි.´

8. ´´(මාතලී මෙසේ කීය: ) සක් දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳිනෙහිද, ලෙව්හි ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. වාසවය, ඔබවහන්සේ යමෙකුන් වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.´

9. ´´මේ වචනය කියා රජවූ, සුජා නම් අසුරදුවගේ සැමිවූ, මඝ (ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ) සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.´´

දෙවෙනි වර්‍ගයයි.