1. දේවා (වතපද) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රයා පෙර මනුෂ්‍යයව සිටිකල වත්සතක් සමාදන්වන ලද්දේය. මේ වත්සත සමාදන්වීම නිසා ශක්‍රතෙම ශක්‍ර පදවියට පැමිණියේය.

3. ´´කවර වත් සතක්ද? යත්: දිවි ඇති තෙක් මව්පියන් පෝෂ්‍ය කරන්නෙම්වා. දිවි ඇතිතෙක් කුලදෙටුවන් පුදන්නෙම්වා, දිවි ඇතිතෙක් මෘදු වචන ඇත්තේ වන්නෙම්වා, දිවි ඇතිතෙක් කේළාම් නොකියනෙම්වා, දිවි ඇතිතෙක් පහවූ මසුරු මළ ඇති සිතින්, නිතර දෙන්නේ දෙනු පිණිස හැම කල සේදූ අත් ඇත්තේ, දීමෙහි නිතර ඇලුනේ, අනුන් විසින් ඉල්ලනු ලැබීමට සුදුසුවූයේ, දන් බෙදාදීමෙහි ඇලුනේ වන්නෙම්වා, දිවි ඇතිතෙක් සත්‍ය වචන ඇත්තෙම් වෙම්වා. දිවි ඇතිතෙක් ක්‍රෝධ නැත්තෙම් වෙම්වා, ඉදින් මට ක්‍රෝධය උපනි නම් වහාම එය දුරුකරන්නෙම්වා (යන මේ සතයි.)

4. ´´මහණෙනි, පෙර මිනිස් බවෙහිවූ සක්දෙවිඳු විසින් මේ වත් සත සමාදන්වූයේ විය. මේ වත් සත සමාදන්ටූ බැවින් ශක්‍ර තෙම ශක්‍රත්වයට පැමිණියේය.

5. ´´මව්පියන් පෝෂණය කරන්නාවූ, කුලදෙටුවන්ට ගරුබුහුමන් කරන්නාවූ, මෘදු වචන කියන්නාවූ, කේළාම් බස් නොකියන්නාවූ, මසුරු මළ දුරු කිරීමෙහි යෙදුනාවූ, සැබෑ තෙපුල් ඇත්තාවූ, ක්‍රෝධය මැඩ පවත්නාවූ, ඒ සත්ත්‍වයා සත්පුරුෂයෙකැයි තව්තිසා වැසි දෙවියෝ ඒකාන්තයෙන් කියත්.´´