10. (තුන්වෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු මාතලිය, සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදව, උයන් සිරි දකිනු පිණිස උයනට යමු.´´

4. ´´මහණෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම ´යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව´ යි කීවේය.

5. ´´ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භික්‍ෂු සඞ්ඝයා වඳී. මහණෙනි, එවිට මාතලී රථාචාය්‍ර්‍යතෙම ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථාවලින් (මෙසේ ) කීය.

6. ´´කුණු සිරුරින් වැතිර සයනය කරන්නාවූ මේ මනුෂ්‍යයෝ වනාහි ඔබවහන්සේ වඳනාහ. මොවුහු මව්කුස නමැති කුණපයෙහි ගිලුනාහ, බඩගින්න හා පිපාසයෙන් මඩනා ලද්දාාහ.

´´වාසවය, ගිහිගෙයින් වෙන්ව වසන්නාවූ පැවිද්දන්ගේ කිනම් හැසිරීමක් ප්‍රිය කෙරෙහිද? කිව මැනව. අපි ඔබගේ ඒ තෙපුල අසමු.´

7. ´´ ´මාතලිය, ගෘහවාස රහිතවූ ඔවුන්ගේ මේ ගුණය මම ප්‍රිය කෙරෙමි. (කුමක්ද?) ඔවුහු යම් ගමකින් බැහැර යෙදේද, එකල්හි සියලු ඇල්මෙන් තොරව යෙත්.

´´ ´(උන්වහන්සේ සතු කිසිවක්) ඇතුළුගෙහි නොතබත්, කළයෙහිදු නොබහත්. සැළියෙහිදු නොතබත්. අනුන් නිමවූ බත පිඬු සිඟීම් වශයෙන් සොයන්නෝ වෙත්. යහපත් ව්‍රත (පැවතුම්) ඇත්තාහු එයින් යැපෙත්.

´´ ´උන්වහන්සේ යහපත්ලෙස කියන කථා ඇතියහ, ධෛය්‍ර්‍ය සම්පන්නයහ. නිශ්ශබ්ද වූවාහුය, සමවූ හැසුරුම් ඇත්තාහුය. මාතලිය, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එමෙන්) බොහෝ මනුෂ්‍යයෝද (එකිනෙකා හා විරුද්ධයහ.)

´´ ´විරුද්ධයන් කෙරෙහි මොවුහු අවිරුද්ධයහ. ගත් දඬු ඇතියන් කෙරෙහි නිවුනාහ. ගැනීම් සහිත සත්ත්‍වයන් අතුරෙන් මොවුහු (ගැනීම් නැත්තෝය.) මාතලිය, මම උන්වහන්සේ වඳිමි.´

8. ´´(මාතලී මෙසේ කීය: ) සක් දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳිනෙහිද, ලෙව්හි ශ්‍රේෂ්ඨයෝ ඔවුහුම වෙති. වාසවය, ඔබවහන්සේ යමෙකුන් වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.´

9. ´´මේ වචනය කියා රජවූ, සුජා නම් අසුරදුවගේ සැමිවූ, මඝ (ශක්‍ර දේවේන්‍ද්‍ර තෙමේ) සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.´´

දෙවෙනි වර්‍ගයයි.

9. (දෙවෙනි) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූ සේක, ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට (මෙසේ) කීය: ´යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදවා උයන් සිරි දකිනු පිණිස උයනට යමු.´´

3. ´´ මාතලී රථාචාය්‍ර්‍යයා ´යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. සුදුසු දේට කල් දනුව´ යි සැලකෙළේය.

4. ´´ මහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් බැස ඇඳිලි බැඳ භාග්‍යවතුන් නැමඳීය. මහණෙනි, මාතලී රථාචාය්‍ර්‍යතෙම එවිට ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.

´´වාසව නම්වූ සක්දෙවිඳුනි, දෙවියෝද මිනිස්සුද යම් හේතුවකින් ඔබට වඳනාහුද, සක්දෙව් රජාණනි, යම් කෙනෙකුන්ට ඔබ වඳනෙහිද ඒ සත්ත්‍වතෙම කවරෙක් නම් වෙයිද?

5. ´´ශක්‍රතෙම මෙසේ කීය. මාතලිය, දෙවියන් සහිතවූ මේ ලෝකයෙහි යම් සම්‍යක් සම්බුදු කෙනෙක් වෙත්ද, අතිශ්‍රේෂ්ඨවූ ඒ ශාස්තෲන් වහන්සේ මම වඳිමි.

´´යම් කෙනෙකුන්ගේ රාගයත් ෙවෂයත් මෝහයත් දුරුවූයේද, ක්‍ෂයකරණ ලද ආශ්‍රවයන් ඇත්තාහුද, පිදීමට සුදුසු වෙත්ද, මාතලිය, මම ඒ (රහතුන්) වඳිමි.

´´ මාතලිය, යම් කෙනෙක් රාගෙවෂයන් දුරු කිරීමෙන්, අවිද්‍යාව ඉක්මවීමෙන් නිවන්මගට පිළිපන්නාහු සසර නැසීමෙහි ඇලුනාහු, අප්‍රමාදවූවාහු පිළිවෙලින් හික්මෙත්ද, ඔවුන් වඳිමි.

6. ´´(මාතලී මෙසේ කීය.) සක්දෙවිඳුනි, යමෙකුන්ට නුඹවහන්සේ වඳින්නෙහිද, (ඔවුහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසවයෙනි, (නුඹවහන්සේ) යම් කෙනෙකුන්ට වඳනෙහිද, මමත් ඔවුන් වඳිමි.´´

7. ´´ මේ වචනය කියා මඝ යන නම් ඇති, දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම සියලු දිසාවන් වැඳ දෙවියන් අභිමුඛයෙහි රථයට නැංගේයි.´´

8. (පළමුවන) සක්ක නමස්සන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම වරක් මාතලී රථාචාය්‍ර්‍යයාට කථා කෙළේය. ´යහලු මාතලිය, (අසුන්) දහසින් යුත් ආජන්‍ය රථය යොදව. උයන් සිරි දකිනු පිණිස උද්‍යාන භූමියට යමු.´´

3. ´´ මහණෙනි, මාතලී රථාචාය්‍ර්‍ය තෙම ´ එසේ යහපති ස්වාමීනි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදා ශක්‍රදේවේන්‍ද්‍රයාට ´නිදුකාණනි, ඔබ වහන්සේගේ සහශ්‍රයුක්ත ආජන්‍ය රථය යොදන ලද්දේය. ගමනට සුදුසු කල් දනුව´ යි සැලකෙළේය.

4. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම වෛජයන්ත ප්‍රාසාදයෙන් බස්නේ ඇඳිලි බැඳ සියලු දිශාවන් වැන්දේය.

5. ´´ මහනෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම (ඒ දැක) ශක්‍රදේවේන්‍ද්‍රයාට ගාථායෙන් (මෙසේ ) කීය.

´´වේදත්‍රය හදාරන්නාවූ සියලු පොළෝතලවාසීහුද, ක්‍ෂත්‍රියයෝද, සතරවරම් මහරජහුද, පිරිවර (සෙසු) දෙවියෝද, ඔබට වඳිති. සක්දෙවිඳුනි, පිරිවර සහිතවූ යමෙකුට ඔබවහන්සේ වඳනෙහිද, ඒ තෙමේ කිනම් (යකෙක්ද?)

6. ´´වෙදත්‍රය පාරප්‍රාප්තවූ පෘථිවිතලවාසීවූ සියල්ලෝද, ක්‍ෂත්‍රියයෝද, සිවුවරම් මහරජදරුවෝද, පරිවාර සම්පන්නවූ සෙසු දෙවියෝද මට වඳිත්.

´´ඒ මමද ශීලයෙන් සමෘද්ධවූ, බොහෝ කලක් මුළුල්ලෙහි එකඟකළ සිත් ඇති, (දිවිහිමියෙන්) බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි යෙදී වසන්නාවූ පැවිද්දන් සකසා වඳිමි.

´´පින් කරන්නාවූ, සිල්වත්වූ, උපාසක ගුණයෙහි පිහිටියාවූ, යම් ගෘහස්ථකෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත්ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි.´´

7. ´´(මාතලී මෙසේ කීය:) සක්දෙවිඳුනි, යමකුන්ට නුඹවහනුසේ වඳිනෙහිද (ඔහු) ලෙව්හි ශ්‍රේෂ්ඨයෝම වෙති. වාසව නම්වූ දෙව් රජුනි, යම් කෙනෙකුන්ට ඔබ වඳිනෙහිද මමත් ඔවුන් වඳිමි´ යි.

8. ´´මෙසේ කියා මඝ යන නම් ඇත්තාවූ, දෙව් ලොව දෙවියන්ට රජවූ, සුජා නම් අසුර දුහිතෘවගේ සැමිවූ, ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම (සතර දිසාවන් හා සතර අනු දිසාවන්) වැඳ දෙවියන් අභිමුඛයෙහි දිව්‍ය රථයට නැංගේය.´´

7. වන්‍දනා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල භාග්‍යවතුන් වහන්සේ දහවල් විවේකය පිණිස වැඩිසේක් විවේකීවූ සේක.

3. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙමේද, සහම්පතී බඹහුද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වෙනවෙන දොරබාව ( උළුවහු කණු ) ඇසුරුකොට සිටියහ.

4. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´දිනනලද (මාර) යුද්ධ ඇත්තාවූ, බහා තබන ලද බර ඇත්තාවූ, ණයගැති නොවූ මහා වීරයන් වහන්ස, නැගිටින්න. ලෝකයෙහි දහම් අමා දිය වස්වමින් ඇවිදින්න, නුඹවහන්සේගේ සිකද, පසළොස්වක් පොහෝ රාත්‍රියෙහි සඳ මෙන් මිදුනේය.´´

5. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ ඔය ලෙසින් නොවේ. දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ මේ ලෙසය:

´ ´ දිනනලද (මාර) යුද්ධ ඇති, බහා තබන ලද බර ඇත්තාවූ, ණයෙන් මිදුනාවූ පින්වතුන් වහන්ස, නැගී සිටිනු වැනවි. ලෙව්හි ( දහම් දෙසා නිවන් අමා වස්වමින් ) ඇවිද්ද මැනවි. පින්වතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ඒ අවබෝධකරන සත්ත්‍වයෝ ඇතිවන්නාහ.´ ´´

6. යජමාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´පින් කැමතිව යාග කරන්නාවු, මතු භවයන්හි විපාක ගෙනදෙන පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් කවර කෙනෙකුන්ට දෙන ලද්ද මහත්ඵල වේද?´´

4. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´සිව්මගට පිළිපන්නෝද, (සෝවාන් ආදී) සිව් පෙලෙහි සිටියෝද, යන මේ (අෂ්ටාය්‍ර්‍යපුද්ගල) සඞ්ඝතෙම ඎජුය, ප්‍රඥාශීල සමාධීන් යුක්තය.

´´පුණ්‍යාර්ත්‍ථිව යාග කරන්නාවූ, මතු භවයෙහි විපාක ගෙන දෙන්නාවූ, පින් කරන්නාවූ, මනුෂ්‍ය ප්‍රාණීන් විසින් සඞ්ඝයාහට දෙනලද්ද මහත් විපාක ඇත්තේයි.´´

5. රාමණෙය්‍යක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හොඳාකාර වැඳ එකත්පසෙක සිටියේය.

3. එකත්පසෙක හුන් ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ´´ස්වාමීනි, භූමිය පිළිබඳ රමණීය භාවය නම් කිමෙක්දැ´´ යි ඇසීය.

4. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ආරාම චෛත්‍යයෝද, වන චෛත්‍යයෝද, හොඳාකාර කරනලද පොකුණුද, මනුෂ්‍යරමණීයත්වයෙන් සොළොස් කලාවෙන් කලාවකුත් අගනාහු නොවෙති.

´´ගමෙහි වේවා, ඉදින් වනයෙහි හෝ වේවා, පහත් භූමියෙහි හෝ වේවා, ඉදින් ගොඩබිම හෝ වේවා, යම් තැනෙක්හි රහත්හු වෙසෙත්ද, භූමියෙහි රමණීයභාවය එයයි කියත්.´´

4. දළිද්ද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කලන්‍දකනිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි ඒ භික්‍ෂූන්ට කථාකළසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. මේ රජගයනුවරම හිඟන්නාවූ නිවටවූ දිළිඳුවූ එක්තරා පුරුෂයෙක් විය.

3. ´´හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව පිහිටවීය, සීලය සමාදන්වීය. ධර්‍මය ඉගෙනීමෙහි යෙදුනේය, ත්‍යාගය සමාදන්වීය, ප්‍රඥාව සමාදන් වීය.

4. ´´හෙතෙම තථාගතයන් වහන්සේ විසින් දේශනාකරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ධර්‍මය ඉගෙණගැනීමෙහි යෙදී, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳී ගියපසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයට උප්පත්තිවශයෙන් පැමිණියේය. හෙතෙම ශරීර ශෝභාවෙන්ද යසසින්ද අන් දෙවියන් පරදවයි.

5. ´´ මහණෙනි, එහි තව්තිසා වැසි දෙවියෝ ( ඒ දෙවියා ) ලාමක වශයෙන් සිතත්:, ( ඒ බව ) ප්‍රකාශ කෙරෙත්., ඒ ඒ තැන පතුරවත්: ´පින්වත්නි, (මේදේ) ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි: පින්වතුනි, ඒකාන්තයෙන් පුදුමයි, මේ දිව්‍යපුත්‍ර තෙම වනාහි පෙර මිනිස්බවෙහි සිටිකල දිළින්දෙක් විය. (හිඟන්නෙක්) විය, නිවටෙක් විය. හෙතෙම මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසාවැසි දෙවියන්ගේ සමාගමයට, ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි. (කියායි.)

6. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම තව්තිසා වැසි දෙවියන් (මෙසේ) ඇමතීය. පින්වතුනි, තෙපි මේ දෙව්පුතු ලාමකකොට නොසිතව්, පින්වතුනි, මේ දෙව්පුත්තෙම පෙර මිනිස් භවයෙහි සිටිකල තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්විය, සීලය සමාදන්විය, ධර්‍මය ඉගෙනගැනීමෙහි යෙදුනි, ත්‍යාගය සමාදන්විය, ප්‍රඥාව සමාදන්විය, හෙතෙම තථාගතයන් වදාළ ධර්‍මවිනයෙහි ශ්‍රද්ධාව සමාදන්ව, සීලය සමාදන්ව, ශ්‍රුතය සමාදන්ව, ත්‍යාගය සමාදන්ව, ප්‍රඥාව සමාදන්ව, මැරී ශරීරය බිඳීගිය පසු තව්තිසා වැසි දෙවියන්ගේ සමාගමයට සුගති නම්වූ ස්වර්‍ග ලෝකයට උප්පත්ති වශයෙන් පැමිණියේය. හෙතෙම අන් දෙවියන් වර්‍ණයෙන්ද යසසින්ද පරදවයි.´´ (කියායි.)

7. ´´ මහණෙනි, එකල සක් දෙවිඳු තෙම තව්තිසා වැසි දෙවියන් සතුටු කරනුයේ, ඒ වේලාවෙහි මේ ගාථාවන් කීය:

´´යමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථිරවේද, නිශ්චලව හොඳින් පිහිටියේ වේද, යමකුගේ යහපත්වූ ශීලයන් ආය්‍ර්‍යයන් විසින් ප්‍රිය කරන ලද්දේ ඔවුන් විසින් ප්‍රශංසා කරන ලද්දේද,

´´යමකුට සංඝයා කෙරෙහි පැහැදීම ඇත්තේද, යමකුගේ දර්‍ශනයත් ඎජුවූයේවේද, ඔහු දිළිඳු නොවූවෙකැයි උතුමෝ කියති. ඔහුගේ ජීවිතය හිස් නොවේ.

´´එහෙයින් ප්‍රාඥතෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරන්නේ, ශ්‍රද්ධාවද, ශීලයද, පැහැදීමද, ධර්‍මය දැකීමද, එහි යෙදීමෙන් පිරිසිදු කරන්නේය.´´