1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයක් ඇතිවිය. මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්ද්ර තෙම ශක්‍ර දේවේන්ද්රයාට, ´ දේවේන්ද්රය, සුභාෂිතයෙන් ජය වේවා´ යි කීය. ´ වේපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා´ යි ශක්‍ර දේවේන්ද්‍ර තෙමේද කීය.
3. ´´ මහණෙනි, ඉක්බිති දෙවියෝද අසුරයෝද ´මොවුහු අපගේ යහපත් වචන, අයහපත් වචන දන්නාහු´ යි පිරිවර දෙවියන් තැබූහ.
4. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්ද්ර තෙම ශක්‍ර දේවේන්ද්රයාට, ´ දේවේන්ද්රය, ගාථායෙක් කියව´ යි කීය.
5. ´´ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්ද්‍ර තෙම වේපචිත්ති අසුරිඳුට ´වේපචිත්ති, මෙහි නුඹ පුරාණ දෙවි වෙහි. වෙපචිත්ති, ගාථායෙක් කියව´ යි කීය.
6. ´´ මහණෙනි මෙසේ කීකල වේපචිත්ති අසුරිඳු තෙම මේ ගාථාව කීය:
´වළක්වන්නෙක් ඇති නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝ සේ කිපෙත්. එහෙයින් නුවණැති ජන තෙම මහත්වූ දණ්ඩයෙන් බාලයා ( නුවණ නැත්තා ) වළක්වන්නේය.
7. ´´මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීකල අසුරයෝ ඒ මැනවැයි පිළිගත්හ. දෙවියෝ නිශ්ශබ්ද වූහ.
8. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු ශක්‍ර දේවේන්ද්රයාට, ´ දේවේන්ද්රය, ගාථාවක් කියව´ යි කීය.
9. ´´ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්ද්‍ර තෙම මේ ගාථාව කීය:
´කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, මම ඒ ( සංසිඳීම ) ම බාලයා නියම සේ වැළකීම යයි හඟිම්.´´
10. ´´ මහණෙනි ශක්‍ර දේවේන්ද්‍රයා මේ ගාථාව කීකල දෙවියෝ ඒ මැනවයි පිළිගත්හ. අසුරයෝ නිශ්ශබ්ද වූහ.
11. ´´ මහණෙනි, ඉක්බිති ශක්‍ර දේවේන්ද්‍ර තෙම වේපචිත්ති අසුරේන්ද්රයාට ´ වේපචිත්ති අසුරේන්ද්රය, ගාථාවක් කියව´ යි කීය.
12. ´´ මහණෙනි මෙසේ කීකල වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීය:
´මෙතෙම මට භයින් ඉවසාය´ යි අඥාන තෙම යම් හෙයෙකින් ඒ ඉවසීම හඟීද, වාසවය, ඉවසීම පිළිබඳ මේ දෝෂය මම දකිමි. පැන දුවන තැනැත්තා (ලුහු බඳින්නාවූ ) ගව මුලක් මෙන් නුවණ මඳ ජනතෙම වැඩියක් ලුහුබැඳීම කරයි.´
13. ´´මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කීකල අසුරයෝ ඒ අනුමෝදන් වූහ. දෙවියෝ නිශ්ශබ්ද වූහ.´
14. ´´ මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු ශක්‍ර දේවේන්ද්රයාට, ´ දේවේන්ද්රය, ගාථාවක් කියව´ යි කීය.
15. ´´ මහණෙනි මෙසේ කීකල ශක්‍ර දේවේන්ද්‍ර තෙම මේ ගාථා කීය:
´´ ´මෙතෙම මට භයින් ඉවසායයි ( යමෙක් ) ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා, එසේ නොහඟනේ හෝ වේවා, සියලු අත්ර්ථයෝ තමාගේ යහපත පරම කොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම්වූ අන්‍ය යහපතක් නැත්තේය .
´´ ´යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේම දුර්වලයකුගේ (නින්දා කිරීම් ආදිය) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උත්තම ක්ෂාන්තියයි ( ආය්‍ර්‍යයෝ ) කියත්. දුර්වල ජනතෙම නිතර ඉවසයි.´
´´ ´යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලයක් නොවේ යයි ( ආය්‍ර්‍යයෝ ) කියත්. ධර්මයෙන් සංවරවූ තැනැත්තාගේ බලය නියම බලයක් නොවේයයි කියන්නෙක් නැත´
´´ ´යමෙක් පළමු කිපුනෙකුට පෙරළා කිපේද ඔහුගේ පෙරලා කිපීම ඒ පළමු ක්‍රෝධයටත් වඩා පාපිෂ්ඨයි.කිපුනෙකුට පෙරලා නොකිපෙන ජන තෙම දිනීමට දුෂ්කරවූ සටන දිනයි.´
´´ ´ සතුරෙකු කිපුනු බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේ නම්, හෙතෙම තමහටද, පරහටද යන දෙකොටසටම යහපත සලසයි.
´´ ´යම් ජන කෙනෙක් ධර්මයෙහි අදක්ෂද, ඒ අන්ධබාල පෘතග්ජනයා තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම යහපත සලසන්නාවූ පුද්ගලයා අන්ධබාලයෙකු කොට හඟිත්.´
16. ´´ මහණෙනි ශක්‍ර දේවේන්ද්‍රයා මේ ගාථාවන් කීකල දෙවියෝ ඒ මැනවයි පිළිගත්හ. අසුරයෝ නිශ්ශබ්ද වූහ.
17. ´´මහණෙනි, ඉක්බිති දෙවියන්ගේද, අසුරයන්ගේද ( පිරිවර ජනයෝ ) මෙසේ කීහ. ´වේපචිත්ති අසුරේන්ද්රයා විසින් ගාථාවෝ කියන ලද්දාහුය. ඒ වූකලී දඬු මුගුරු ආදිය පිළිබඳ වෙති, ( කැති පොරෝ ආදිය පිළිබඳ වෙති. ) දබර ඇති කරති. අසමගිය ඇති කෙරෙති, කලහ ඇතිකෙරෙති. ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ගාථාවෝ කියන ලද්දාහුය. ඒ දඬු මුගුරු හා කැති පොරෝ පිළිබඳ නොවේ. දබර, අසමගිකම්, කලහ ඇති නොකෙරේ. ශක්‍ර දේවේන්ද්රයාට සුභාෂිතයෙන් ජය වේවා´ යි ( කීහ. )
18. ´´මහණෙනි, මෙසේ වනාහි ශක්‍ර දේවේන්ද්රයාට සුභාෂිතයෙන් ජය අත්වූයේය´´ යි ( වදාළසේක. )