1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
2. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ´´මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේද අසුරයන්ගේද යුද්ධයක් ඇතිවිය.
3. ´´මහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරේන්‍ද්‍රතෙම අසුරයන්ට මෙසේ කීයේය. ´පින්වත්නි, ඉදින් දේව අසුර යුද්ධය වූ කල අසුරයෝ දිනන්නහු නම් දෙවියෝ පරදින්නහු නම් ඒ ශක්රදේවේන්ද්රයා කණ්ඨපඤ්චම බැඳුමෙන් ( දෙඅත්, දෙපා, බෙල්ල යන මේ පස්තැනින් ) බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනෙව්´ ( යි කීය. )
4. ´´මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේත් තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කීය: ´´ පින්වතුනි, ඉදින් දේව අසුර යුද්ධය වූ කල දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් එවිට ඒ ( අසුර රජවූ ) වේපචිත්ති අසුරේන්ද්රයා කණ්ඨපඤ්චම බන්ධනයෙන් බැඳ සුධර්ම සභායෙහි මා සමීපයට ගෙනෙව්´ ( යි කීය. )
5. ´´මහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුනහ.
6. ´´මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු කණ්ඨපඤ්චම බැම්මෙන් බැඳ ශක්‍ර දේවේන්ද්රයාගේ සමීපයෙහි සුධර්මා සභාවට ගෙනාහ.
7. ´´මහණෙනි, එහි වනාහි කණ්ඨපඤ්චම බන්ධනයෙන් බැඳුනු වේපචිත්ති අසුරිඳු තෙම සුධර්මා සභාවට පිවිසෙන විටද, නිත්මෙන විටද ශක්‍ර දේවේන්ද්රයාට අසභ්‍ය ඵරුෂ වචනයෙන් ආක්‍රෝෂ කෙරෙයි, පරිභව කෙරෙයි.
8. ´´මහණෙනි, ඉක්බිති මාතලී රථාචාය්‍ර්‍ය තෙම ශක්‍ර දේවේන්ද්රයාට ගාථායෙන් ( මෙසේ ) කීය.
´´ශක්‍රය, වේපචිත්තිගේ පරොස් බස් ඉදිරියෙහි අසමින් ඉවසන්නේ භයින්ද නොහොත් දුබල බැවින්ද?´´
´´( ශක්‍ර දේවේන්ද්‍ර තෙම මෙසේ කීය: ) ´වේපචිත්තිගේ පරොස් බස් ඉවසන්නේ බියෙන් හෝ දුබල බැවින් නොවේ. මා වැනිවූ නුවණැත්තෙක් එබඳු බාලයකු හා කෙසේ නම් සටන් කරන්නේද, (එකටෙක කරන්නේද?´)
10. ´´( මාතලී මෙසේ කීය: ) ´වළක්වන්නෙක් නොවේ නම්, අඥානයෝ ඉතා බොහෝසේ විරුද්ධව ඉදිරියට එන්නාහුය. එහෙයින් නුවණැති ජනතෙම මහත්වූ දඬුවමින් බාලයා වළක්වන්නේය.
11. ´´( ශක්‍ර දේවේන්ද්‍ර තෙම මෙසේ කීය: ) ´ඉතා කිපියාවූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳේද, එයම බාලයන්ගේ නියම වැළකීමයයි හඟිමි.´´
12. ´´( මාතලී මෙසේ කීය: ) ´මෙතෙම මට භයින් ඉවසා´ යයි අඥානතෙම යම් හෙයකින් හඟීද, ශක්‍රය, පැන දුවන ගොනෙකු පසුපස්සේ එළවායන්නාවූ ගවමුලක් මෙන් නුවණ මඳ ජන තෙම වැඩියක් පසුපස්සේ එළවා යයි.´
13. ´´( ශක්‍ර දේවේන්ද්‍ර තෙම මෙසේ කීය: ) ´හෙතෙම මට භයින් ඉවසාය´ යි ඒකාන්තයෙන් හඟනේ හෝ වේවා නොහඟනේ හෝ වේවා සියලු අත්ර්ථයෝ ස්වකීය දියුණුව පරමකොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම් වූවක් නැත්තේය.´,
´´ ´යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේ දුර්වලයකුගේ ( නින්දාකිරීම් ) ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උතුම් ඉවසීමයයි ( ආය්‍ර්‍යයෝ ) කියත්. දුර්වල ජනතෙම හැමවිටම ඉවසයි.´´
´´ ´යමෙකුගේ බලය අඥාන බලය නම් ඒ බලය බලයක් නොවේයයි ආය්‍ර්‍යයෝ කියති. ධර්මයෙන් සංවර කරන ලද්දාවූ තැනැත්තාගේ බලය නියම බලයම නොවේය´ යි කියන්නෙක් නැත.
´´ ´යමෙක් පළමු කිපුනහුට පෙරළා කිපේද, ඔහුගේ පෙරළා කිපීම ඊටත් වඩා පාපිෂ්ඨයි. කිපුනහුට පෙරලා නොකිපෙන ජනතෙම දිනීමට ඉතා දුෂ්කරවූ සටනක් දිනයි.
´´ ´අන්‍යයෙකු කිපුන බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳේද? ( ඉවසාද ), හෙතෙම තමහටද පරහටද යන දෙකොටසටම යහපත සලසයි.´
´´ ´යම් ජන කෙනෙක් ධර්මයෙහි අදක්ෂද, ඒ අන්ධබාල ජනයෝ තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම පිළියම් කරන්නාවූ පුද්ගලයා අන්‍ධබාලයෙකැයි හඟිත්.´
13 ´´මහණෙනි, ඒ ශක්‍ර දේවේන්ද්‍ර තෙම වනාහි ස්වකීය පුණ්‍ය ඵලය නිසා ජීවත්වන්නේ, තව්තිසා වැසි දෙවියන්ගේ අධිපති භාවයෙන් රාජ්‍යය කරවන්නේ, ඉවසීමෙහි හා මෘදු බැව්හි ගූණ කියන්නෙක් වේ.
14. ´´මහණෙනි, මෙහි ( මේ ශාසනයෙහි ) ද එය ( ඒ ගුණය ) හොබවව්. තෙපි මෙසේ හොඳින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවූවාහු ඉවසීම ඇත්තෝද මෘදු බව ඇත්තාහුද වව්.´´