2. සුසීම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන්ට කථාකළසේක.´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියහ. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුසීම දේව්පුතුට කථාකර මෙසේ කීය, ´දරුව සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුසීම, යන්න. අසුරයන් පසුබස්වන්න´´ මහණෙනි, සුසීම දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී (ගමන) ප්‍රමාද කෙළේය.

4. ´´මහණෙනි, දෙවනුවත් ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුසීම දේව්පුතුට කථාකර මෙසේ කීවේය, ´දරුව සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුසීම, යන්න, අසුරයන් පසුබස්වන්න´ මහණෙනි, සුසීම දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී (ගමන) ප්‍රමාද කෙළේය. දෙවනුවද හෙතෙම ප්‍රමාද කෙළේය.

5. ´´මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර තෙම තුන්වෙනුවද සුසීම දේව්පුතුට කථාකර කීවේය.´දරුව සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති, දරුව සුසීම, යන්න. අසුරයන් පසුබස්වන්න´ මහණෙනි, සුසීම දෙව්පුත් තෙම ´එසේය ස්වාමීණි´ යි ශක්‍රදේවේන්‍ද්‍රයාට උත්තරදී ගමන ප්‍රමාද කෙළේය. තුන්වෙනුවද හෙතෙම පමා කෙළේය.

6. ´´මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙම සුසීම දෙව්පුතුට ගාථායෙන් ( මෙසේ ) කීය:

´´නැගී නොසිටින, වීය්‍ර්‍ය නොකරන තැනැත්තේ යම් තැනෙක සැපතට පැමිණේද, සුසීම, එහි යව, මාද එහි පමුණුව.´´

7. ´´ ´උට්ඨාන වීය්‍ර්‍ය රහිතවූයේ අලස වන්නේය. කෘත්‍යයන් නොකරවන්නේය. ( එබන්දෙක් යම්තැනෙක ) සියලු කාමයෙන් සම්පූර්‍ණ වන්නේ නම් ශක්‍රය දේවේවද්‍රය, ඒ උත්තමස්ථානය මට කිව මැනව.´ යි ( සුසීම කීය. )

8. ´´ ´ සුසීම, උට්ඨානවීය්‍ර්‍ය නැත්තාවූ අලසවූ පුද්ගලයෙක් යම් තැනෙක ( අතිශයින් සැපසේ වැඩේද, ) එහි යව, මාද එහිම පමුණුව.´ යි ( ශක්‍රදේවේන්‍ද්‍ර ) කීය.

9. ´´ ´දෙවියන්ට ශ්‍රේෂ්ඨවූ ශක්‍රය, කටයුතු නොකිරීමෙන් යම් උත්තම සැපතක් ලබමුද, ශක්‍රය, ශෝක නැත්තාවූ, දැඩි වෙහෙස නැත්තාවූ ඒ උතුම් මග කිව මැනවැ ´ යි ( සුසීම කීය. )

10. ´´ ´කර්‍ම නොකිරීමෙන් කිසි පුද්ගලයෙක් තෙම කිසි තැනක ජීවත් නොවේද, ( එබඳු තැනෙක් ) ඉදින් ඇත්තේද, එහි යන මග නම් නිර්‍වාණමාර්‍ගයයි. සුසීම, එහි යව. මාද එහිම පමුණුව´ යි ( ශක්‍ර දේවේන්‍ද්‍රතෙම කීය. )

11. ´´මහණෙනි, සිය පින්ඵලය නිසා ජීවත්වන තව්තිසා වැසි දෙවියන්ට සම්පතින් ප්‍රධානවූ අධිපතිව රාජ්‍යය කරවන ඒ ශක්‍ර දේවේන්‍ද්‍රතෙම උට්ඨාන වීය්‍ර්‍යය වර්ණනා කරන්නෙකි. මහණෙනි, මේ ශාසනයෙහිද එය ( ඒ ගුණය ) හොබවව්, තෙපි මෙසේ යහපත් කොට දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදි වූවාහු, නොපැමිණි දෙයට පැමිණීම පිණිසද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළක් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද වීය්‍ර්‍ය කරව්, ධෛය්‍ර්‍ය වඩව්, වෑයම් කරව්´´ යි ( වදාළ සේක. )