12. ආළවක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අළව්යකුගේ භවනයෙහි වැඩවසන සේක.

2. ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ´´මහණ, නික්මෙව´´ යි කීය. ´´මැනවි, ඇවැත්නි´´ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ´´මහණ. ඇතුල්වෙව´´ (යි ආළවකයා කීය.) ´´ඇවැත්නි මැනවැ´´ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.

3. දෙවෙනුවත් ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ´´මහණ, නික්මෙව´´ යි කීය. ´´ ඇවැත්නි මැනවැ´´ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ´´මහණ. ඇතුල්වෙව´´ යි (ආළවකයා කීය.) ´´ඇවැත්නි මැනවැ´´ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.

4. තුන්වෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ´´මහණ, නික්මෙව´´ යි කීය. ´´ ඇවැත්නි මැනවැ´´ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. ´´මහණ. ඇතුල්වෙව´´ යි (ආළවකයා කීය.) ´´ඇවැත්නි මැනවැ´´ යි භාග්‍යවතුන් වහන්සේ ඇතුල්වූ සේක.

5. සතරවෙනුවද ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ´´මහණ, නික්මෙව´´ යි කීය.

6. ´´ඇවැත්නි, මම නොනික්මෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව´´ (යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)

7. ´´මහණ, තා අතින් ප්‍රශ්නයක් අසමි. ඉදින් එය මට නොවිසඳියේ නම් තාගේ සිත හෝ කළඹන්නෙමි. තාගේ හෘදය හෝ පළන්නෙමි. පාදයෙන් අල්ලා ගඟින් එතර හෝ දමන්නෙමි´´ (යි ආළවකයා කීය.).

( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. )

8. ´´ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, බමුණන් සහිත ලොව දේව මනුෂ්‍ය ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත කළඹන්නේ හෝ හෘදය පළන්නේ හෝ පාදයෙන් ගෙන මහ ගඟින් එතර දමන්නේ හෝ වේද, එබන්දකු මම නොදකිමි. එසේ වුවද, ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි, නම් එය අසව.´´

9. ඉක්බිති ආළවක යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

´´මෙලෙව්හිවූ පුද්ගලයාට ශ්‍රෙෂ්ඨ ධනය නම් කුමක්ද? පුරුදුකළාවූ කුමක් සැප ගෙන දෙන්නේද? කෙසේ ජීවත්වන්නකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේද?

10. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ´´මෙලෙව්හි පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ධනය නම් ශ්‍රද්ධාවයි. පුරුදුකළාවූ ධර්‍මය සැප ගෙන දෙයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් සුමිහිරි රසයි. ප්‍රඥාවෙන් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි ( ආය්‍ර්‍යයෝ ) කියත්.´´

11. (ආළවකයා මෙසේ කීය:) ´´සසර නමැති සැඩ පහර කොයි පරිද්දෙකින් තරණය කෙරේද? සසරසයුර කෙසේ තරණය කෙරේද? දුක කෙසේ ඉක්මවාද? ( සත්ත්‍වයා ) කෙසේ පිරිසිදු වේද?´´

12. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ´´ශ්‍රද්ධාව කරණකොටගෙන ඕඝය තරණය කරයි. අුප්‍රමාදයෙන් සසරසයුර තරණය කරයි. වීය්‍ර්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාව කරණකොටගෙණ පිරිසිදුවේ.´´

13. (ආළවකයා මෙසේ කීය:) ප්‍රඥාව කවරාකාරයෙකින් ලබයිද? ධනය කවර ආකාරයෙකින් ලබයිද? කීර්තියට කවර කාරණයෙකින් පැමිණේද? මිත්‍රයන් කවර කාරණයෙකින් තමා කෙරෙහි බැඳගනීද? මෙලොවින් පරලොවට පැමිණ කවර කාරණයෙකින් ශෝක නොකෙරේද?´´

14. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ) ´´නුවණැත්තාවූ, ප්‍රමාදනුවූ ජනතෙම, රහතුන්ගේ සද්ධර්‍මය අදහන්නේ, මනාව ඇසීම හේතුකොටගෙන නිර්‍වාණයට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.

´´සුදුසු කටයුත්තෙහි යෙදුනු, ඉසිලියයුතු බර උසුලන වීය්‍ර්‍ය සම්පන්න ජනතෙම ධනය ලබයි. සත්‍යය කරණකොටගෙණ කීර්තියට පැමිණෙයි. ත්‍යාගවත් ජනතෙම මිත්‍රයන් බැඳගනී.

´´ගිහිගෙයි වසන්නාවූ ශ්‍රද්ධා ඇති, යම් ගිහියකුහට සත්‍යයත්, ඉන්‍ද්‍රිය දමනයත්, වීය්‍ර්‍යයත්, ත්‍යාගයත් යන මේ ධර්‍ම සතර වෙත් නම් හෙතෙම මෙලොවින් පරලොව ගොස් ඒකාන්තයෙන් ශෝක නොකෙරේ.

´´එව,. සත්‍යයටත්, ඉන්ද්‍රිය දමනයටත්, ත්‍යාගයටත්, ඉවසීමටත් වඩා උසස් වූවක් මෙලොව ඇත්දැයි අන්‍ය බොහෝවූ මහණ බමුණන්ගෙන්ද විචාරව.´´

15. ( ආළවකයා මෙසේ කීය:) ´´මෙලොව අභිවෘද්ධියද පරලොව සුගතියද පිණිස යමක් වේනම් ඒ කාරණය මම අද පටන් දනිමි. (එහෙයින්) දැන් ඒ මම බොහෝවූ මහණ බමුණන් කුමකට විචාරම්ද?

´´ යමෙකුහට දෙන ලද දානවස්තුව මහත් අනුසස් ඇත්තේද මම ඒ අද පටන් දනිමි. සර්‍වඥයන් වහන්සේ වාසය පිණිස මේ අළව් නුවරට වැඩවදාළේ ඒකාන්තයෙන් මගේම අභිවෘද්ධිය පිණිසය.

´´ඒ මම බුදුන්ද, ධර්‍මයාගේ සුධර්‍මත්වයද, ( බුදුන් විසින් මැනවින් වදාරණ ලද ධර්‍මයද ), වඳිමින් ගමින් ගමද නුවරින් නුවරද ඇවිදින්නෙමි.

යක්ඛ සංයුත්තය නිමියේය.