1. ඉන්‍දක සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක නම් යක්‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

2. ඉක්බිති ඉන්‍දක යක්‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය.

´´සම්බුදුවරයෝ රූපය ජීවය නොවේයයි කියති. ඉදික් මේ ( සත්ත්‍වවකෙම ) මේ සිරුර කෙසේ නම් විඳීද? මේ සත්ත්‍වයාගේ ඇට හා මස්පිඬු කොයි සිට ඒද? මේ ( සත්ත්‍වතෙම ) කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ´´පළමුව ප්‍රතිසන්‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අර්බුදය වේ, ඒ අර්බුදයෙන් පේශිය හට ගනී, ඒ පේශියෙන් ඝන නම් මස්පිඩක් හටගණී. ඒ ඝන නම්වූ මස්පිඩෙන් පිළික පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොම්ද. නියද හටගණී.

´´ඔහුගේ මව යම් ආහාරයකුත් යම් පානයකුත් යම් බොජුනකුත් වළඳාද, මව් කුසට පැමිණි ඒ සත්ත්‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මව් කුසෙහි යැපෙයි.´´