9. පාථෙය්‍ය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්‍වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්‍වයෝ බැඳුනාහු වෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ශ්‍රද්ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්‍යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්‍වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්‍වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.´´