5. භීත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

2. ´´මහා ප්‍රාඥවූ ගෞතමයන් වහන්ස, ඔබ විසින් මාර්‍ගයද නොයෙක් කරුණු වශයෙන් වදාරණලදී. ඔබගෙන් විචාරමි, මෙහි නොයෙක් සත්‍ව සමූහයා කුමකට බිය ගත්තේද? කිමෙක පිහිටි තැනැත්තේ පරලොවට යන්නේ බිය නොවන්නේද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)´´බොහෝ කෑම බීම ඇති ගෘහයෙහි වසන තැනැත්තේ වචනයද, සිතද නිසි පරිදි පිහිටුවා, කයින් පවු නොකරන්නේ, ශ්‍රද්ධාව, මොළොක් බව, බෙදා වැළඳීම, ත්‍යාගවත් බව යන සතර ධර්‍මයන්හි සිටියේ වේද, (එබඳු ) ධර්‍මයෙහි පිහිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.´´