11. අරණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තන්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද? සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්‍යමාර්‍ග) වාසය නොනැසේ. මහණහු (තන්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ. ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.´´

අටවන ඣත්‍වා වර්‍ගයයි.

(දෙවතා සංයුත්තය සමාප්තයි.)