10. පජ්ජොත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:

2. ´´ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?´´

´´මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්‍රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්‍වයෝ ජීවත් වෙත්ද?´´

3. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´ප්‍රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි. ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් ෂත්ත්‍වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.´´