10. දෙවෙනි පජ්ජුන්නධීතු සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල පජ්ජුන්න දෙවිහුගේ (බාල) දූ වූ චුල්ල කොකනදා තොම රෑ පෙරයම ඉක්මගිය පසු මනා වර්‍ණ ඇත්තී මුඵ මහවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්නගේ දූ වූ චුල්ල කෝකනදා තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

´´පජ්ජුන්නගේ දූ වූ විදුලිය පැහැ බඳු වර්‍ණ ඇති කොකනදා බුදුන්ද, දහම්ද, වඳින්නී (දැන්) මෙහි ආවාය. (ඕ තොමෝ අර්‍ථවත්වූ මේ ගාථා කීය.)

´´ධර්‍මය විස්තර කරන්නෙම් නම් බොහෝ ආකාරයෙන් විස්තර කළ යුත්තකි. (එහෙත්) යම්තාක් මවිසින් සිතින් පුහුණු කරන ලද නම් කොටින් එපමණක් කියන්නෙමි.

´´වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුඵ ලොව කිසිදු පවක් නොකට යුතුයි. සිහි නුවණැත්තේ පඤචකාම සම්පත් (විඳීම)ද හැර, අනර්‍ථය පිණිස පවත්නා කයට දුක් දීමද සේවනය නොකරන්නේය.

සිවු වන සතුල්ලපකායික වර්‍ගයයි.´´

9. පළමුවන පජ්ජුන්නධීතු සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්‍රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය.

(´´වහන්ස,) විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්‍ව සමූහයාට අග්‍රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.

´´පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. යම් අනුවණ කෙනෙක් ආය්‍ර්‍ය ධර්‍මයට නින්‍දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.

´´යම් කෙනෙක් වනාහි ආය්‍ර්‍ය ධර්‍මයෙහි ක්‍ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්‍යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)´´

8. සකලික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්)

භාග්‍යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.

2. එකළ භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.

3. එකල්හි වනාහි සත්සියයක් සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු මද්දකුච්ඡි වනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙක පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.

4. එවිට එක් පසෙක සිටියාවූ එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයෙකි´. ශ්‍රමණ ගෞතම තෙම හස්තියෙකි. එසේ ඇතෙකු බැවින්ම තමහට ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහිනුවණ ඇතිව පීඩා නොවිඳිමින් ඉවසයි.´´

5. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයෙකි´. ශ්‍රමණ ගෞතම තෙම සිංහයෙක. සිංහයෙකු නිසාම, ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.´´

6. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයෙකි´. ශ්‍රමණ ගෞතම තෙම ආජානීයයෙක´. ආජානීය බැවින්ම හටගත් දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.´´

7. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´පින්වත්නි පුදුමයකි´. ශ්‍රමණ ගෞතම තෙම (ගවයන් ලක්‍සයකට අධිපතිවූ නීසහයෙක) අප්‍රතිසමයෙක.සමාන කිරීමට අනිකෙක් නැත්තෙක). අප්‍රතිසම බැවින්ම හටගත් දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා´´යි.

8. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.

´´පින්වත්නි, පුදුමයකි´. ශ්‍රමණ ගෞතම තෙම බර උසුලන්නෙකි. බර උසුලන්නෙකු හෙයින්ම හටගත් ශාරීරිකවූ, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාව සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා´´යි.

9. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´ස්වාමීනි, පුදුමයකි´. ශ්‍රමණ ගෞතම තෙම දැමුණු කෙනෙක, දැමුණු බැවින්ම ශාරීරිකවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාවන් සිහි නුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසා´´යි.

10. ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

´´බලන්න, හොඳින් වඩනාලද සමාධියක්´. නොනැමුණු, අරමුණින් ඉවතට නොනැමුණු, අනුන්ගේ මෙහෙයීමෙන් කෙලෙසුන් මැඩ, ඔවුන් වළක්වාලීම් නැති තැන්පත්වූ සිතක්.´ මෙබඳුවූ පුරුෂ ඇතෙකු, පුරුෂ සිංහයෙකු, පුරුෂාජානීයකු, අසම පුරුෂයකු, පුරුෂ ධෝරය්හයකු, පුරුෂදාන්තයකු, පෙළියයුත්තකු කොට යමෙක් සිතන්නේ නම්, එය ඔහුගේ අඥාන බව විනා අන් කිමෙක්ද?´´

´´වේද පහ දරන්නාවූ අවුරුදු සියයක් තවුස්දම් රකිමින් හැසිරෙන බමුණෝ වෙද්ද, ඉදින් ඔවුන්ගේ සිත මනාකොට නොමිදුනේ නම්, හීන බව (මාර්‍ග ඵල නොලත් බව) ස්වභාව කොට ඇති ඔවුහු නිවන් කරා යන්නෝ නොවෙත්.

´´තණ්හාවෙන් මැඩුණු ව්‍රත හා ශීලයෙන් බැඳුනු තැනැත්තෝ අවුරුදු සියයක් රූක්‍ෂ තපස් කරන්නෝ නමුත්, ඔවුන්ගේ සිත මනාව නොමිදුනේ නම් පිරිහුණු බව ස්වභාවකොට ඇති ඔවුහු නිවන් වෙත යන්නෝ නොවෙත්.

´´මෙලොව මානය පතන්නහුගේ සිතේ දමනයක් නැත. එකඟ නොවූ සිතැති ඔහුගේ චතුරාය්‍ර්‍ය සත්‍යය දැනීමෙක් නැත. පමා තැනැත්තේ හුදකලාව වනයෙහි වසන්නේ නමුදු සසරින් පරතෙරට යාගත නොහැක්කේය.´´

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මානය දුරලා මනාව එකඟ නර ගත් සිතැත්තේ, නුවණින් යුක්තවූයේ, සියලු ලෙසින් මිදුණු තැනැත්තේ හුදෙකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ, ඔහු සසරින් එගොඩට යන්නේය.´´

7. සමය සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ම රහතුන්වූ, භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් ඝික්‍ෂු සමූහයා හා ශාක්‍ය රටෙහි කපිලවස්තු නගරය සමීපයේ මහා වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත්, භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසදහසක් සක්වළින් දෙවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහුය.

2. එකල්හි වනාහි ශුද්ධාවාස බ්‍රහ්මලෝකවාසී දෙවියන් සතරදෙනෙකුන්ට මේ සිත විය. ´´මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සියල්ලන්ම රහතුන්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් භික්‍ෂු සමූහයා හා සමගව ශාක්‍ය රටෙහි කිඹුල්වත් පුර සමීපයෙහිවූ මහ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසසහස්‍ර ලෝක ධාතුවෙහි දේවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහු වෙත්. අපිත් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙන්නමෝ නම්, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථාවක් (බැගින්) කියන්නමෝ නම් ඉතා යෙහෙක.´´

3. ඉක්බිති ඒ දෙවතාවෝ ශක්තිමත් පුරුෂයෙක් යම්සේ හැකුඵෑ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එමෙන්ම ශුද්ධාවාස බ්‍රහ්ම ලොකයෙහි අතුරුදහන් වූවාහු, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවූහු.

4. ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ. පසෙක සිටිඑක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´වනයෙහි මහා සමූහයෙකි. දේව සමූහයෝ එක් රැස් වූවාහ. අපිදු කිසිවකු විසිනුදු පැරදවිය නොහෙන, සංඝයා දැකීම සඳහා මේ ධර්‍ම සමාගමයට ආවෙමු.´´

5. එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´ඒ ධර්‍ම සමාගමයෙහි භික්‍ෂූහු තමන් සිත් සමාධියෙහි යෙදූහ. ඎජු කළහ. යොත් අල්ලාගෙන ඉන්නා රියැදුරන් මෙන් නුවණ ඇත්තෝ ඉන්‍ද්‍රියයන් රකිත්´´

6. එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´පසැස් ඇති ශාස්තෘාන් වහන්සේ විසින් මනාකොට හික්මවනලද, තරුණ ඇතුන් බඳුවූ, (රාග, ෙවෂ, මෝහ නමැති) කණුව සිඳ, (රාග, ෙවෂ, මෝහ නමැති) අගුල සිඳ, (රාග,ද්වේෂ, මෝහ නමැති) එළිපත උදුරා, තණ්හා කම්පන රහිත වූවාහු, උප ක්ලේශ නැත්තෝව, නිර්‍මලව හැසිරෙත්.´´

7. එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´යම් කෙනෙක් බුදුන් සරණ ගියෝ නම්, ඔවුහු අපාය භූමියට නොයන්නාහ, ඔවුහු මිනිසත් බව හැර දෙව් පිරිස පුරාලන්නාහ.´´

6. ශ්‍රද්ධා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.

2. එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

´´ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්‍රද්ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්‍ගයටද යෙයි.´´

3. එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.

´´ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.´´

4. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) ´´අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රෙෂ්ඨ ධනයක් මෙන් රකී.

´´ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.

5. උජඣානසඤ්ඤී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ උජඣානසඤ්ඤික දේවතා කෙනෙක් රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ අහසේ සිටියාහ.

2. අහසෙහි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´යමෙක් අන් සැටියෙන්වූ තමා ඉන් වෙනස් සැටියෙකින් ලොවට පෙන්වන්නේ නම්, ඔහුගේ ඒ සිව්පසය වැළඳීම – ළිහිණි වැද්දා වංචායෙන් ළිහිණි මස් කෑම මෙන් – සොරා කෑමෙකි.´´

´´යමෙක් කරන්නේ නම්, එයම කියයුතු. යමක් නොකරන්නේ නම් එය නොකිය යුතු. නොකරන දේ කියන තැනැත්තා නුවණැති අය හඳුනත්.´´

3. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ස්ථිරවූ මේ යම් ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙක් වේද, යමෙක උපකාරයෙන් නුවණ ඇත්තෝ මර බැම්මෙන් මිදෙත්ද, ඒ ප්‍රතිපත්තිය පිළිපැදීමට කීම හෝ ඇසීම පමණින් නොහැක්ක.´´

නුවණ ඇත්තෝ ලෝක ස්වභාවය දැන රැවැටිලි නොම කෙරෙත්. (සිවුසස්) දැන නිවුණු ඒ නුවණ ඇත්තෝ ලොව ඇල්ම ඉක්මවූවෝය.´´

4. එවිට ඒ දේවතාවෝ පොළොවෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැඳ වැටී භාග්‍යවතුන් වහන්සේට මෙබස් කීහ. ´´ස්වාමීනි, යම් බඳුවූ බාලයන්සේ, මෝඩයන්සේ, අඥානයන්සේ, භාග්‍යවතුන් වහන්සේ වචනයෙන් චෝදනා කළයුත්තකු කොට ඇනුම් බසින්, භාග්‍යවතුන් වහන්සේ වෙහෙසවන්නට සිතූයෙමුද, ඒ අප මැඩගෙන වරද පැවැත්තේය, අපෙන් වරද විය. ස්වාමීනි, මින් මතු මෙවැනි වරද නොකරනු පිණිස, භාග්‍යවතුන් වහන්සේ වරද වරද සේ පිළිගන්නා සේක්වා.´´

5. එවිට භාග්‍යවතුන් වහන්සේ මඳ සිනහ පහළ කළ සේක.

6. එකල ඒ දේවතාවෝ වඩාලාත් දොස් නගමින් (කලකිරී) අහස නැංගහ.

7. එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´වරද දෙසන්නවුන්ගේ වරද යමෙක් නොපිළිගනීනම්, ඇතුළත කෝපය ඇති, ෙවෂය ගරුකොට ගෙන හැසිරෙන හෙතෙම වෛරය (තමා සිතෙහි) බැඳගනී.´´

´´ඉදින් දෝෂයක් නොවේනම්, වරදකුත් නොවේනම්, වෛරයෝත් සංසිඳෙන්නාහු නම්, ඒ කරුණෙන් මෙහි කුශලයෙක් වන්නේය.´´

´´දොස් නැත්තේ කාගේද? වරද නැත්තේ කාගේද? කවරෙක් (මුළාවට) නොපැමිණෙන්නේද? කවරනම් නුවණ ඇත්තෙක් හැමවිටම එළඹ සිටි සිහි ඇත්තෙක් හෝ වේද? (නොවේමය.)´´

8. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´සියලු සන්‍වයින්ට අනුකම්පා කරන ඒ තථාගත සම්‍යක් සම්බුද්ධයාගේ දොස් නැත. ඔහුගේ වරදෙක් නැත. හෙතෙම (කිසිවිටෙකත්) මුළාවට නොපැමිණියේය. හෙතෙමේම හැමකල්හි එළඹ සිටි සිහි ඇති නුවණ ඇත්තාය.´´

´´වරද දෙසන්නවුන්ගේ වරද ඉදින් යමෙක් නොපිළිගන්නේ නම් සිත තුළ කෝපය ඇති, ෙවෂය ගරුකොට හැසිරෙන ඔහු වෛරය (සිත) බැඳගනී (යයි තොප කීවා සරිය.) එහෙත් මම වනාහි ඒ වෛරය නොකැමැත්තෙමි. තොපගේ වරද පිළිගනිමි. (තොපට කමා කෙරෙමි)´´

4. නසන්ති සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිඅනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි සතුල්ලපකායික නමින් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පෙරයම ඉක්මුණුකල මනා පැහැ ඇක්කාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියහ.

2. එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´මිනිසුන් කෙරෙහි නිත්‍ය කාම වස්තූහු නැත්තාහ. යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ, යම් කාම වස්තූන්හි පමාවූ තැනැත්තේ භවයන් (නික්ම) නිවණට නොයන්නේ වේද, එසේවූ, සිත් අදනා, රූපාදී ආරම්මණයෝ නම් මෙහි (ලෝකයෙහි) ඇත්තාහ. (පඤචස්කන්‍ධ) දුක තන්හායෙන් උපදනේය. සසර දුක තණ්හායෙන් හටගැනේ. තණ්හාව නිරුද්ධ කිරීමෙන් (පඤච) ස්කන්‍ධ නිරෝධය වේ. ස්කන්‍ධ නිරෝධයෙන් (සංසාර) දුක්ඛ නිරෝධය වේ.´´

3. ( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙති. පුරුෂයාගේ ඇලීම නම්වූ රාගය කාම නමි. ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්. එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.

´´ක්‍රෝධය දුරලන්නේය. මානය හාත්පසින් බැහැර ලන්නේය. සියලු සංයෝජනයන් ඉක්මවන්නේය. නාම රූප දෙක්හි නොඇලෙන්නාවූ, ලොව කිසිත් (ඇලුම්) නැති, ඔවුන් අතර දුක්ඛයෝ කඩා නොවැටෙත්.´´

´´යමෙක් සත්ත්‍වාදී ප්‍රඥප්තිය දුරලීද, නැවත ඉපදීම් වශයෙන් මවුකුෂ නමැති විමානයට නොපැමිණියේද, මේ නාම රූප දෙකෙහි තණ්හාව දුරලීද, සිඳලූ සියලු පළිබෝධ ඇති, දුක් නැති, ආශා නැති, ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්‍වාවාසයන්හි හෝ සොයන්නාහු නුමුත් දැක්ක නොහැක්ක.´´

4. ආයුෂ්මත් මෝඝරාජ තෙම මෙසේ කීය. ´´ඉදින් දෙවියෝත් මිනිස්සුත් මෙලොවෙහිත් අන් තන්හිත් සොයන්නාහු, එසේ මිදුනු රහතුන් නොදක්නාහු නම්, නරෝත්තමවූ, සත්නට හිත වැඩ සලසන, එසේවූ බුදුරජුන් යම් කෙනෙක් නමදිත් නම් ඔවුහු පැසසුම් ලැබිය යුත්තෝය.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´මොඝරාජය, එසේ මිදුණු රහතුන් යම් කෙනෙක් නමදිත්ද, ඒ භික්‍ෂූහු පැසසුම් ලද යුත්තෝය. ඒ භික්‍ෂූහු දහම් දැන, සැක දුරලා, රාගාදී බැමි ඉක්මවූවෝ වෙත්.´´