6. පජ්ජොත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය..

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) ´´ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රෙෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.´´