5. අරහන්ත සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සිවිත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැ්මිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:

´´සිවු මගින් කළ යුතු දෙ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන යම් රහත් භික්‍ෂුවෙක් වේනම්, ඔහු ´මම කිසමි´ කියාත් කියන්නේද? ´(ඔවුහු) මට කියති´ කියාත් කියන්නේද?´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) ´´කළ යුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන්නාවූ, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු ´මම කියමි´ කියාත් කියන්නේය. ´මට කියත්ය´ කියාත් කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන ව්‍යවහාර මාත්‍රයෙන් (´මම කියමි´, ´මට කියති´ යනාදිය) ව්‍යවහාර කරන්නේය.´´

´´කළයුතු දේ කොට නිමවූ, කෙලෙස් නැසූ, අන්තිම ආත්ම බව දරන, යම් රහත් භික්‍ෂුවෙක් වේ නම්, ඔහු මානය නිසා හෝ ´මම කියමි´ කියාත් ´මට කියති´ යි කියාත් කියන්නේද?´´

´´ඔහුගේ මානය ප්‍රහීණය. මාන (ගැට) ඔහුට නැත. ඔහු විසිත් සියලු මාන ගැට හාත්පසින් නසනලදී. මනා නුවණැති ඔහු තණ්හා ඉක්මවූයෙක. (එසේවූ) ඔහු ´මම කියමි´ කියාද, ´මට කියති´ කියාද කියන්නේය. නුවණැති ඔහු ලෝක ව්‍යවහාරයද දැන හුදෙක් ව්‍යවහාර වශයෙන් (´මම´, ´මට´ යන ආදිය) කියන්නේය.