7. දුක්කර (කුම්ම) සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම බෘග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´බාලයා විසින් මහණදම් කළ නොහැක්ක, ඉවසිය නොහැක්ක. යම් ඒ මහණදමෙක්හි අව්‍යක්තයා පසුබසීද, එහිලා ඔහුට සම්බාධකයෝ බොහෝ වෙත්.

´´ඉදින් (නොමගින් උපන් ) සිත නොවළක්වන්නේ නම්, ඔහු කී දිනක් මහණකම් කරන්නේද? ඔහු පාප විතර්‍කයන්ට වසඟවූයේ අරමුණක් පාසා පසුබස්නේය.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)

´´අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්‍කයන් භාවනාලම්බන නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්‍රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය .´´