6. නිද්දාතන්‍දි සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකළ වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´නින්ද, මැලිබව, බඩගිනි, සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ (සිත කිලිටිකරණ කාරණයන්) නිසා මෙහි සත්ත්‍වයන්ට ආය්‍ර්‍ය මාර්‍ගය නොපැනේ.´´

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) ´´නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීය්‍ර්‍යයෙන් පලවා හැරීමෙන් ආය්‍ර්‍යමාර්‍ගය පිරිසිදුවේ.´´