7. අප්පටිවිදිත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හිබබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.

එක් පසෙක සිටි ඒ දෙවතාවා භාග්‍යවතුන්වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

´´යම් කෙනෙකුන් විසින් ධර්‍මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද ඔවුහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. (සංසාරයෙහි) නිදිගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට පිබිදෙන්නට දැන් කාලයයි.´´

´´යම් කෙනෙකුන් විසින් ධර්‍මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන් කරා ගෙනයනු නොලැබෙත්. මනාකොට දැන අවබෝධ කළ උතුමෝ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.´´