10. අරඤඤ සූත්‍රය.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

´´වනයෙහි වසන, එක් වේලක් පමණක් වළඳන, ශාන්තවූ බ්‍රහ්මචාරීන්ගේ (ශරීර) වර්‍ණය කවරහෙයකින් ප්‍රසන්න වේද?´´

´´වනයෙහි වසන (ඒ භික්‍ෂූහු) ගිය දේ ගැන ශෝක නොකෙරෙත්. (නොපතත්) දැන් ලත් දෙයෙකින් යැපෙත්. එහෙයින් ඔවුන්ගේ (ශරීර) වර්‍ණය ප්‍රසන්න වේ.´´

´´නොපැමිණි දේ පැතීමෙන්ද, ගිය දේ ගැන ශෝක කිරීමෙන්ද, අනුවණයෝ රත්වූ ගලක් මත්තෙහි කපා දැමූ ළා බට දණ්ඩක් සේ වියලෙත්.´´ (භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.)

(පළමුවන නළවර්‍ගයයි.)