2. සබ්බාසව සූත්‍රය

1. , මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවනයේ අනේපිඩු මහසිටුහු විසින් කරවන ලද ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ‚ ,මහණෙනි, කියා භික්‍ෂූන්ට කථාකළහ. ඒ භික්‍ෂූහු ,ස්වාමීනී, කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්‍මය දේශනා කළහ.

2. , සියලු කාමාදී ආශ්‍රවයන් (කෙලෙස්) වැලැක්වීම පිළිබඳ ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව්‚ සිත්හි ධාරණය කරගනිව්‚ කියන්නෙමියි, වදාළහ.  ,එසේය ස්වාමීනී‚, කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ. මහණෙනි‚ මම දන්නහුගේ දක්නහුගේ කාමාදී කෙලෙස් නැතිකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (කෙලෙස් නැතිකිරීම) නොකියමි.

3. , මහණෙනි‚ කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් නැතිවීම වේද? නුවණින් මෙනෙහි කිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් යන දෙකය. මහණෙනි‚ නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද වැඩෙත්. මහණෙනි‚ නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නාවූ ආශ්‍රවයෝද නූපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද දුරුවෙත්.

මහණෙනි‚ සෝවාන් මාර්‍ගයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. සතිසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ඤාණසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ඉවසීමෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. ශීලසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. වීය්‍ර්‍යසංවරයෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ. සකෘදාගාමී අනාගාමී අර්‍හත් යන මාර්‍ග තුනෙන් පහකළ යුතුවූ කෙලෙස් ඇත්තාහ.

4. ,මහණෙනි, සෝවාන් මගින් පහකළ යුතුවූ කෙලෙස් කවරහුද? මහණෙනි මේ ලෝකයෙහි බුද්Ȁdධාදී ආය්‍ර්‍යයන් නුවණැසින් නුදුටුවාවූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි අදක්‍ෂවූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි නොහික්මුණාවූ බුද්Ȁdධාදී සත්පුරුෂයන් නුවණැසින් නුදුටුවාවූ සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂවූ සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුණාවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන පුද්ගල තෙම් මෙනෙහි කළයුතු තරුණු නොදනියි. මෙනෙහි නොකටයුතුවූ කරුණු නොදනියි. මෙනෙහි කටයුතු වූ කරුණු නොදන්නාවූ මෙනෙහි නොකටයුතු වූ කරුණු නොදන්නාවූ හෙතෙමේ යම් ධර්‍මයන් මෙනෙහි නොකටයුත්තාහුද ඒ ධර්‍මයන් මෙනෙහි කරයි. යම් ධර්‍මයන් මෙනෙහිකළයුත්තාහුද ඒ ධර්‍මයන් මෙනෙහි නොකරයි. මහණෙනි, මෙනෙහි නොකළයුතුවු යම් ධර්‍මයන් මෙනෙහි කෙරේද, ඒ ධර්‍මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්‍මයන් මෙනෙහි කරන්නාවූ යමෙකුට නූපන්නාවූද කාමාශ්‍රවය (කාමආශාව)උපදීද, උපන්නාවූ කාමාශ්‍රවය (කාමආශාව)වැඩේද නුපන්නාවු භවාශ්‍රවය (භව කෙරෙහි ආශාව) උපදියිද උපන්නාවුද, භවාශ්‍රවය වැඩෙයිද නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය (මුළාව) උපදීද උපන්නාවූද අවිද්‍යාශ්‍රවය වැඩේද මේ ධර්මයෝ (ඒ පෘථග්ජනයා විසින්) මෙනෙහි කරන්නාවූ මෙනෙහි නොකළයුතු ධර්‍මයෝයි.

5. ,මහණෙනි, මෙනෙහි නොකරන්නාවූ මෙනෙහි කළයුතු ධර්‍මයෝ කවරහුද? මහණෙනි, යම් ධර්‍මයන් මෙනෙහි කරන්නාවූ යමෙකුට නූපන්නාවූද කාමාශ්‍රවය නූපදීද, උපන්නාවූ කාමාශ්‍රවය පහවේද, නුපන්නාවු භවාශ්‍රවය නූපදීද, උපන්නාවුද භවාශ්‍රවය පහවේද, නූපන්නාවූ අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන්නාවූද අවිද්‍යාශ්‍රවය පහවේද, මේ ධර්මයෝ මෙනෙහි නොකරන්නාවූ, මෙනෙහි කළයුතු ධර්‍මයෝය.

මෙනෙහි නොකළයුතු ධර්‍මයන් මෙනෙහි කරන්නාවුද මෙනෙහි කළයුතු ධර්‍මයන් මෙනෙහි නොකරන්නාවූ ඔහුට නූපන්නාවූද ආශ්‍රවයෝ උපදිත්. උපන්නාවූද ආශ්‍රවයෝ වැඩෙත්. ඒ අන්‍ධබාල පෘථග්ජනතෙම මෙසේද නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයෙහි උප්පත්ති වශයෙන් කිසිවෙක් වූයෙම්ද? කිසිවෙක් නුවුයෙම්ද? අතීතකාලයෙහි මම ක්‍ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වූයෙම්ද? අතීත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වූයෙම්ද? මම අතීත කාලයෙහි ක්‍ෂත්‍රියාදී වශයෙන් කවරෙක්ව සිට බ්‍රාහ්මණාදී කවරෙක් වූයෙම්ද? මම අනාගත කාලයෙහි කිසිවෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කිසිවෙක් නොවන්නෙම්ද? අනාගත කාලයෙහි ක්‍ෂත්‍රියාදී වශයෙන් කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි කෙබඳු සටහන් ඇත්තෙක් වන්නෙම්ද? මම මතු කල්හි බ්‍රහ්මණාදී කවරෙක්ව වෛශ්‍යාදී කවරෙක් වන්නෙම්ද? ඉපදීමෙහි පටන් මරණය දක්වා ඇති මේ කාලයෙහිද තමා කෙරෙහි එසේද මෙසේදැයි සැක ඇත්තේ වෙයි. කෙසේදයත් ? මම යන කිසිවෙක් ඇත්තේද, මම යන කිසිවෙක් නැත්තේද‚ ක්‍ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වෙම්ද? කිනම් සටහණක් ඇත්තෙක් වෙම්ද? මේ සත්ව තෙමේ කොතනින් ආයේද? හෙතෙම කොහි යන්නෙක් වන්නේද? යනුවෙනි. මෙසේ නුනුවණින් මෙනෙහි කරන්නාවු ඔහුට සය ආකාර දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියක් උපදිය.ි

6. , සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මයක් ඇත යන ශාස්වත දෘෂ්ටිය හෝ උපදියි. සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ආත්මය සිඳේය යන උච්ඡෙද දෘෂ්ටිය හෝ උපදියි. සංඥාස්කන්ධය ප්‍රධාන කොට ඇති ස්කන්ධයන් ආත්මයයි ගෙන සංඥාස්කන්ධය නමැති ආත්මය කරණකොටගෙන ඉතිරි ස්කන්‍ධ නමැති ආත්මය දනිමියයි කියා හෝ සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. සංඥාව ආත්මය කොට ඉතිරි ස්කන්ධ ආත්මය වශයෙන් නොගෙන සංඥාව නම්වූ ආත්මය විසින් ආත්මය නොවන ඉතිරි ස්කන්ධ දනිමැයි කියා හෝ සත්‍ය වශයෙන් දැඩි වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. සංඥාවෙන් අන්‍ය ස්කන්‍ධයන් අනාත්මය වශයෙන් ගෙන ආත්මය නොවන වේදනාදී ස්කන්ධයන් කරණකොටගෙන ආත්මය වන සංඥාස්කන්ධය දනිමැයි හෝ සත්‍ය වශයෙන් දැඩි වශයෙන් ගනිමින් දෘෂ්ටිය උපදියි. නැතහොත් ඕහට මෙබඳු දෘෂ්ටියක් හෝ වෙයි. කථාකරන්නාවූ සැපදුක් විඳින්නාවූ යම් මේ ආත්මයක් ඒ ඒ ජාතියෙහි කළ කුශල අකුශල කර්මයන්ගේ කර්‍මයන්ගේ විපාකය විඳියිද, මාගේ ඒ මේ ආත්මය තෙම නිත්‍යය, ස්ථිරය, හැමදාම පවතියි. නොපෙරළෙන ස්වභාව ඇත්තේය. හැමදා පවතින දෙයක් මෙන් සදාකාලික යයි සම්මත වූ චන්ද්‍ර සූය්‍ර්‍යාදීන් මෙන් එසේම සිටින්නේයයි කියායි.

,මහණෙනි, මේ දෘෂ්ටියයිද දෘෂ්ටිලැහැබයයිද දෘෂ්ටිකාන්තාරයයිද දෘෂ්ටිහුලයයිද දෘෂ්ටිකම්පනයයිද දෘෂ්ටිසංයොජනයයිද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටි නැමති බැඳුමෙන් යුක්තවූ ඇසූ පිරූ තැන් නැත්තාවූ (නූගත්) පෘථග්ජන තෙම උත්පත්තියෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද සොක කිරීමෙන්ද වැළපීමෙන්ද ශාරීරික දුකින්ද මානසික දුකින්ද දැඩි වෙහෙසින්ද යන සියලු සංසාරදුකින් නොමිදේයයි කියමි.

7. , මහණෙනි‚ බුද්ධාදී ආය්‍ර්‍යයන් දුටුවාවූ ආය්‍ර්‍යධර්‍මයෙහි දක්‍ෂවූ ආය්‍ර්‍ය ධර්‍මයෙහි හික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂවූ සත්පුරුෂ ධර්‍මයෙහි මනා හික්මුණාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙනෙහි කළයුතු ධර්‍මයන් දනියි. මෙනෙහි නොකළයුතු ධර්‍මයන් දනියි. මෙනෙහි කළයුතු ධර්‍මයන් දන්නාවූ මෙනෙහි නොකළයුතු ධර්‍මයන් දන්නාවූ ඒ ආය්‍ර්‍ය පුද්ගලතෙම මෙනෙහි නොකළයුතු ධර්‍ම මෙනෙහි නොකරයි. මෙනෙහි කළයුතු ධර්‍ම මෙනෙහි කරයි. මහණෙනි‚ මෙනෙහි නොකළයුතු ධර්ම කවරහුද? මහණෙනි‚ යම් ධර්‍මයන් මෙනෙහි නොකරන්නහුට නූපන් කාමාශ්‍රවය උපදීද, උපන් කාමාශ්‍රවය වැඩේද, නුපන් භවාශ්‍රවය උපදීද, උපන් භවාශ්‍රවය වැඩේද, නූපන් අවිද්‍යාශ්‍රවය උපදීද, උපන් අවිද්‍යාශ්‍රවය වැඩේද, එබඳු ධර්ම මෙනෙහි නොකළ යුත්තාහුය.

8. ,මහණෙනි‚ මෙනෙහි කළයුතු ධර්ම කවරහුද? මහණෙනි‚ යම් ධර්‍මයක් මෙනෙහි කරන්නහුට නූපන් කාමාශ්‍රවය නූපදීද, උපන් කාමාශ්‍රවය පහවේද, නුපන් භවාශ්‍රවය නූපදීද, උපන් භවාශ්‍රවය පහවේද, නූපන් අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන් අවිද්‍යාශ්‍රවය පහවේද, මෙබඳු ධර්ම මෙනෙහි කළයුත්තාහුය. මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරන, මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරන ඕහට නූපන් ආශ්‍රවයෝ නූපදිත්, උපන් ආශ්‍රවයෝ නැතිවෙත්. හෙතෙම මේ දුකයයි නුවණින් කල්පනා කරයි. මේ දුක් ඉපදීමට හේතුවයි නුවණින් කල්පනා කරයි. මේ දුක නැතිකිරීමයි නුවණින් කල්පනා කරයි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි නුවණින් කල්පනා කරයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ඕහට දිට්ඨිසංයෝජන (විසිආකාර ආත්මදෘෂ්ටිය)ද විචිකිච්ඡා සංයෝජනය (සැකය) සීලබ්බතපරාමාස සංයෝජනයද, මේ ශාසනයෙන් පිටත සිල් හා වත් සෙවීමද යන සංයෝජන (කෙළෙස් බැමි) තුන නැතිවෙත්.

,මහණෙනි, මේ ආශ්‍රවයෝ පළමුකොට නිවන් දැකීම වන සෝවාන් මාර්‍ගයෙන් නැතිකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.

,මහණෙනි, සතිසංවරයෙන් නැතිකළයුතු කෙළෙස් කවරහුද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා බලා ඇස පිළිබඳ සංවරයෙන් යුක්තවූයේ වාසය කරයිද, මහණෙනි ඇස සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත වූ යම් කෙළෙස් උපදිත්ද ඇස සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහල නොවෙත්. නුවණින් සලකා බලා කණ සංවර කර ගෙන වාසය කරයිද, කණ සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත වූ කෙළෙස් උපදිත්ද, කණ සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහල නොවෙත්. නුවණින් සලකා බලා නාසය සංවර කර ගෙන වාසය කරයිද, නාසය සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත වූ කෙළෙස් උපදිත්ද, නාසය සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහල නොවෙත්. නුවණින් සලකා බලා දිව සංවර කර ගෙන වාසය කරයිද, දිව සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත වූ කෙළෙස් උපදිත්ද, දිව සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහල නොවෙත්. නුවණින් සලකා බලා ශරීරය සංවර කර ගෙන වාසය කරයිද, ශරීරය සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත වූ කෙළෙස් උපදිත්ද, ශරීරය සංවර කරගෙන වාසය කරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහල නොවෙත්. නුවණින් සලකා බලා සිත සංවර කර ගෙන වාසය කරයිද, සිත සංවර කර නොගෙන වාසය කරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත වූ කෙළෙස් උපදිත්ද, සිත සංවර කර ගෙන වසන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහල නොවෙත්. මහණෙනි මේ ආශ්‍රවයන් සිහිය නමැති සංවරයෙන් නැති කළ යුත්තාහුයයි කියනු ලැබේ.

10. ,මහණෙනි, සිව්පස සේවනයෙන් පහකල යුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නුවණින් සලකා ශීත නැසීම පිණිස, උෂ්ණය නැසීම පිණිස, මැසි, මදුරු, සුළං, වැසි, සර්ප ආදී ස්පර්‍ශ නැති කිරීම පිණිස, ලජ්ජා උපදවන ශරීර අවයව වසාගැනීම පිණිස පමණක් සිවුරු සේවනය කරයිද. නුවණින් සලකා බලා ක්‍රීඩා පිණිස නොව, මද වැඩීම පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාර පිණිස නොව, මේ ශරීරයාගේ පැවැත්ම පිණි,ස යැපීම පිණිස, බඩගිනි වෙහෙස සංසිඳුවනු පිණිස, ශාසනමාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව රැකීමට අනුබල පිණිස, මේ වැළඳීමෙන් පැරණි බඩගිනිවේදනාව නසන්නෙමි, (අධික භෝජනයෙන් හටගන්නා) අලුත් වේදනාද නූපදවන්නෙමි, මාගේ ශරීර පැවැත්මද වන්නේය සැප විහරණයද වන්නේයයි සලකා ආහාර වළඳයිද. ශීත නැසීම පිණිස, උෂ්ණය නැසීම පිණිස, මැසි, මදුර,ැ සුළං, වැසි, සර්ප ආදී ස්පර්‍ශ නැති කිරීම පිණිස, ඎතුපීඩා නැතිකිරීම පිණිස, විවෙකයෙහි ඇලෙනු පිණිස, සේවනය කරමියි නුවණින් සලකා සෙනාසන සේවනය කරයිද. උපන්නාවූ නොයෙක් රෝග වේදනා නැසීම පිණිස, රෝගාබාධයන් නැතිව සිටීම පිණිස සේවනය කරමියි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සේවනය කරයිද.

,මහණෙනි, නුවණින් සලකා සිව්පසය සේවනය නොකිරීම නිසා පහළවන, වෙහෙස දැවිල්ල සහිත කෙලෙස් වෙත් නම් නුවණින් සලකා සිව්පසය සේවනය කිරීමෙන් ඔහුට ඒ කෙලෙස් පහළ නොවෙත්. මහණෙනි මේ කෙලෙස් නුවණින් සලකා සිව්පසය සේවනය කිරීමෙන් පහකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.

11. , මහණෙනි, අධිවාසනයෙන් (ඉවසීමෙන්) නැතිකළයුතු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා බලා ශීතල ඉවසන්නේ වෙයි, උෂ්ණය, බඩගින්න හා පිපාසය, මැසි, මදුරු, සුලං, අව්ව, සර්ප ආදී ස්පර්‍ශ ඉවසන්නේ වෙයි. නපුරුකොට කියන ලද, නපුරුලෙස පැමිණි වචන ඉවසන්නේ වෙයි. හටගත් දුක්වූ, තියුණුවූ, කෲරවූ, කටුකවූ, සතුටක් නූපදවන්නාවූ, අමනාපවූ, දිවිපැහැරගැනීමට තරම් වූ ශරීර වේදනාවන් ඉවසන්නේ වෙයි. මහණෙනි, නොඉවසන්නහුට වෙහෙස හා දැවිල්ල ඇති කෙලෙස් උපදින්නාහු නම් මෙසේ ඉවසන්නහුට ඒ කෙලෙස් පහල නොවෙත්. මහණෙනි මේ කෙලෙස් ඉවසීමෙන් නැතිකළ යුත්තාහුයැයි කියනු ලබත්.

12. ,මහණෙනි, දුරලීමෙන් නැතිකලයුතු කෙලෙස් කවරහුද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා නපුරු ඇතුන් දුරු කරයි. වල් අසුන් දුරු කරයි. සැර ගොනුන් දුරු කරයි. නපුරු බල්ලන් දුරු කරයි. සර්පයින්ද උල්කටු පිහිටි තැන්ද හාත්පසින් කඩාගිය ඉවුරුද එක් පසෙකින් කඩාගිය ප්‍රපාතද ඉඳුල් දිය ගැප්මල ආදිය දමන ස්ථානද එබඳු කුණුමඩ ගලාබස්නා තැන්ද දුරු කරයි. යම්බඳු නුසුදුසු සේනාසන වල හුන්නාවූද අගොචර ස්ථානයන්හි හැසිරෙන්නාවූද ලාමකවූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයන් සෙවනය කරන්නාවූ භික්‍ෂුව නුවණැත්තාවු එකට මහණකම් කරන්නාවු භික්ෂූහු පවිටු මහණෙකු කොට සලකන්නාහුද එබඳු අයුතුතැන් හා එබඳු අගොචර ස්ථානද, එබඳු පවිටු මිතුරන්ද නුවණින් සලකා බලා දුරුකරයි. මහණෙනි, එසේ දුරු නොකරන්නහුට වෙහෙස හා දැවිලි සහිත යම් කෙලෙස් උපදිත්ද, එබඳු දේ දුරුකරන්නහුට ඒ කෙළෙස් පහළ නොවෙත්. මහණෙනි, මේ කෙලෙස් දුරලීමෙන් නැතිකලයුත්තාහුයැයි කියනු ලැබෙත්.

13. ,මහණෙනි විනොදනයෙන් (දොෂ සැලකීම් සහිත වීය්‍ර්‍යයෙන් දුරලීමෙන්) නැතිකල යුතුවූු කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා උපන්නාවු කාම කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවූ ව්‍යාපාද (නැසීමේ) කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවු විහිංසා (හිංසාකිරීමේ) කල්පනාව නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, උපන්නාවු ලාමක අකුශල ධර්‍ම නොඉවසයිද, දුරුකරයිද, බැහැර කරයිද, විනාශ කරයිද, අභාවයට පමුණුවයිද, යම්හෙයකින් ඒ කල්පනා දුරුනොකරන්නහුට නොකරන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිත්ද ඒ කල්පනා දුරලන්නහුට වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහළ නොවෙත්. මහණෙනි මේ කෙලෙස් දුරලීමෙන් නැති කළ යුත්තාහයි කියනු ලැබෙත්.

14. ,මහණෙනි, භාවනාවෙන් නැතිකළයුතුවූ කෙලෙස් කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නුවණින් සලකා විවෙකය ඇසුරු කළාවූ විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ නිවනට පමුණුවන්නාවූ ස්මෘතිසම්බොද්Ȁdධ්‍යඞගය (සම්බොධියට අඞගවූ සිහිය) වඩයි.

,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, ස්මෘතිසම්බොද්ධ්‍යඞගය (සම්බොධියට අඞගවූ සිහිය) වඩයි.

,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, ධර්‍මවිචය සම්බොද්ධ්‍යඞගය (සම්බොධියට අඞගවූ නුවණ) වඩයි.

,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, වීය්‍ර්‍යසම්බොද්ධ්‍යඞගය (සම්බොධියට අඞගවූ වීය්‍ර්‍යය) වඩයි.

,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, ප්‍රීති සම්බොද්ධ්‍යඞගය (සම්බොධියට අඞගවූ ප්‍රීතිය) වඩයි.

,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, පස්සද්ධි සම්බොද්ධ්‍යඞගය (සම්බොධියට අඞගවූ කායපස්සද්ධි චිත්තපස්සද්ධි දෙක) වඩයි. ,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, සමාධිසම්බොද්Ȁdධ්‍යඞගය (සම්බොධියට අඞගවූ සමාධිය) වඩයි.

,නුවණින් සලකා, විවෙකය ඇසුරුකළාවූ, විරාගය (නොඇල්ම) ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට පමුණුවන්නාවූ, උපෙක්‍ෂා සම්බොද්ධ්‍යඞගය (සම්බොධියට අඞගවූ උපෙක්‍ෂාව) වඩයි. භාවනා නොකරන්නහුට වෙහෙස දැවිල්ල සහිත යම් කෙලෙස් උපදිත්ද, භාවනාකරන්නහුට ඒ වෙහෙස හා දැවිල්ල සහිත කෙළෙස් පහළ නොවෙත්.

15. ,මහණෙනි, යම් කලෙකපටන් මහණහුගේ සෝවාන් මාර්ගයෙන් නැති කළ යුතු කෙලෙස් සෝවාන් මාර්‍ගයෙන් නැති වූවාහු වෙත්ද, සංවරයෙන් නැතිකළයුතු කෙළෙස් සංවරයෙන් නැතිවූවාහු වෙත්ද, සේවනයෙන් නැතිකළයුතු කෙලෙස් සේවනයෙන් නැතිවූවාහු වෙත්ද, ඉවසීමෙන් නැතිකළයුතු කෙලෙස් ඉවසීමෙන් නැතිවූවාහු වෙත්ද, දුරු කිරීමෙන් නැතිකළයුතු කෙලෙස් දුරුකිරීමෙන් නැතිවූවාහු වෙත්ද, දුරලීමෙන් නැතිකළයුතු කෙලෙස් දුරලීමෙන් නැතිවූවාහු වෙත්ද, භාවනාවෙන් නැතිකළයුතු කෙලෙස් භාවනාවෙන් නැතිවුවාහු වෙත්ද, මහණෙනි, මේ මහණ තෙම සියලු කෙලෙස් වැලැක්වීමෙන් යුක්ත වූයේ වාසය කෙරේයයිද, තෘස්ණාව මුල් සංසිඳේයයිද, සංයෝජන නැතිකළේයයිද මානය නැති කිරීමෙන් සියලු සංසාරදුක කෙළවර කෙළේ යයි,ද කියනු ලැබේ. මේ ධර්‍මදෙශනාව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් අනුමෝදන් වූවෝය.

දෙවෙනිවූ සබ්බාසව සූත්‍රය නිමි.