13. මහා දුක්ඛක්ඛන්‍ධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවා පූජාකරන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එකල බොහෝ භික්‍ෂුහු පෙරවරු කාලයෙහි සිවුරු හැද පොරවා පාත්‍රයද සිවුරුද ගෙන සැවැත් නුවර පිණ්ඩ පාතය පිණිස ගියාහුය. එකල ඒ භික්‍ෂුන්ට මේ සිත් ඇතිවිය. තවම සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්නට කල් වැඩිය. යම් හෙයකින් අපි අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ගේ (සාසනයෙන් පිට මහණවුවන්ගේ) ආරාමය යම් තැනකද එතනට පැමිණෙන්නෙමු නම් යහපතැයි කියායි.

2. එකල ඒ භික්‍ෂුහු අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ, ඒ අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින් සමග සතුටුවුවාහුය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. ඒ අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක හුන්නාවු ඒ භික්‍ෂුන්ට මෙසේ කීවාහුය. ´´ ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කාමයන්ගේ නැතිකිරීම (පණවයි) ප්‍රකාශ කරයි. අපිත් කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු. ඇවැත්නි, ශ්‍රමන ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි. අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දෙශනාවෙන් අපගේ දෙශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද, වෙනස් අදහස කවරේද වෙනස් කාරණය කුමක්ද කියායි.

3. එවිට ඒ භික්‍ෂුහු ඒ අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ගේ වචනයට සතුටුද නුවුහ, ඉවතද නොදැමූහ. සතුටුද නොවී ඉවතද නොදමා භාග්‍යවතුන් වහන්සේ ගේ සමීපයෙහිදී මේ කථාවේ අර්‍ථය දැනගන්නෙමුයි හුන් ආසනයෙන් නැගිට පිටත්ව ගියාහුය. එකල ඒ භික්‍ෂුහු සැවැත්නුවර පිණ්ඩ පාතය පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැලකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තක උන්නාහුය. එක පැත්තක හුන්නාවු ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවෝය. ´´ ෂවාමීනි, මේ දවසෙහි අපි පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රාද සිවුරුද ගෙන සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස ගියෙමු. ස්වාමීනි, එකල අපට මේ සිත ඇතිවිය. තවම සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරෙන්නට කල් වැඩිය. යම් හෙයකින් අපි අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද ඒ තැනට පැමිණෙන්නෙමු නම් යහපතැයි´ කියායි.

එකල අපි අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතනට පැමිණියෙමු. පැමිණ ඒ අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින් සමග සතුටු වුනෙමු. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථා කොට නිමවා එක පැත්තක උන්නෙමු. ඒ අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයෝ එක පැත්තක උන්නාවු අපට මෙසේ කිවාහුය. ´´ ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම කාමයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි, අපිත් කිමයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු, ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි, අපිත් රූපයන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරමු, ඇවැත්නි, ශ්‍රමණ ගෞතමතෙම වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශ කරයි, අපිත් වේදනාවන්ගේ නැතිකිරීම ප්‍රකාශකරමු, ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ දේශනාවෙන් අපගේ ධර්‍ම දේශනාවෙහි හෝ අනුශාසනාවෙන් අපගේ අනුශාසනාවෙහි හෝ වෙනස කවරේද? වෙනස් අදහස කවරේද? වෙනස් කාරණය කුමක්ද?´´ කියායි.

´´ ස්වාමීනි, අප එකල්හී ඒ අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ගේ කියමන සතුටින් පිළිගැනීමද නොකෙලෙමු. ඉවතද නොදැමීමු. සතුටුද නොවී ඉවතද නොදමා හුන් ආසනයෙන් නැගිට භාගයවතුන් වහන්සේ සමීපයෙහි මේ කියමනේ අර්‍ථය දැන ගන්නෙමුයි´´ පිටත්ව ගියෙමු.

4. ´´ මහණෙනි මෙසේ කියන්නාවු අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියයුතු වන්නේය. (කෙසේද?) ඇවැත්නි, කාමයන්ගේ සැපය කවරේ්ද ? දෝෂය කවරේද? ( කාමයන්ගෙන්) නික්මීම කවරේද? රූපයන්ගේ සැපය කවරේද දේෂය කවරේද? (රූපයන්ගෙන් ) නික්මීම කවරේද? වේදනාවන්ගේ සැපය කවරේද? දෝෂය කවරේද ? වේදනාවන්ගෙන් නික්මීම කවරේද? මහණෙනි, මෙසේ විචාරන ලද්දාවු අන්‍ය තීර්‍ථක පරිබ්‍රාජකයෝ සම්පුර්ණ කොට නොකියන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද. මහණෙනි, නොවැටහෙන දෙයෙහි ඒ එසේමය. මහණෙනි, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ ශාසනයෙන් ඇසූවෙකු හෝ හැර (වෙන) යමෙක් මේ ප්‍රශ්නය විසඳීමෙන් සිත සතුටුකරන්නේද, එබඳු කෙනෙකු දෙවියන් සහිත වූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි දෙවි මිනිසුන් සහිතවූ, මහණ බමුනන් සහිතවූ ප්‍රජාවෙහි ඇතිබව නුවණින් නොම දකිමි.

5. ´´මහණෙනි, කාමයන්ගේ සැපය කවරේද? මහණෙනි, කාම ගුණයෝ මේ පසකි. කවර පසක්ද යත්? චක්ඛු විඤ්ඤාණ යෙන් (රූපය දැනගන්නා සිතින්) දත යුතුවූ, යහපත්වු, සිත් අලවන්නාවු , මන වඩන්නාවු ප්‍රිය ස්වභාවවු ආසාව ඉපදීමට කරුණුවු රූපාරම්මණයෝද යහපත්වුද කැමති වන්නාවුද මන වඩන්නාවුද ප්‍රිය වුද ඇලීමෙන් යුක්තවුද ඇලිය යුත්තාවුද සොත විඤ්ඤාණයෙන් (ශබ්දය දැනගන්නා සිතින්) දතයුතුවු ශබ්දයෝද, ඝාණවිඤ්ඤාණයෙන් (ගඳ සුවඳ දැනගන්නා සිතින්) දතයුතු වු ගන්‍ධයොද, ජීව්හාවිඤ්ඤාණයෙන් (රස දැනගන්නා සිතින්) දතයුතු වු රසයෝද, කාය විඤ්ඤාණයෙන් (ස්පර්‍ශය දැනගන්නා සිතින්) දතයුතුවු ස්පර්‍ශයෝද යන මොහු කාම ගුණ පසයි.

´´ මහණෙනි, මේ පංචකාම ගුණයන් යම් කායික සැපක් හෝ මානසික සැපක් උපදවයිද, මෙය කාමයන්ගේ සැපය වන්නේය. මහණෙනි කාමයන්ගේ දොෂය (විපත) කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි කුල පුත්‍ර තෙම යම් කිසි ශ්ල්පයකින් ජීවත් වෙයිද එනම් රේඛා ශාස්ත්‍ර කීමෙන්, ගනන් තැබීමෙන්, සංඛ්‍යාලේඛන ගැනීමෙන්, ගොවිකමින්, වෙළදාමෙන්, ගව පාලනයෙන්, (රජුන්ට) උපස්ථාන කිරීමෙන්, රාජ භටයෙකු වීමෙන්, මෙයින් අන්‍යවු (ඇත්, අස්) ශිල්පයකින්ද, (ජීවත්වනු සඳහා) සීතෙන් පෙළෙනු ලබන්නේ, උෂ්ණයෙන් පෙළෙනු ලබන්නේ, ඩැහැ ලේ බොන මැස්සෝය, මදුරුවෝය, සුළඟය, අව්වය, සර්‍පයෝය යන මාවුන්ගේ ස්පර්‍ශයෙන් ගැටෙමින්, බඩගින්නෙන් හා පිපාසයෙන් මිරිකෙමින් ජීවිතය පවත්වයිද මහණෙනි, මෙයද කාමය හේතුකොට ගෙන, කාමය මුල් කරුන කොට ගෙන, කාමය නිසා මෙලොවම වින්දයුතුවු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

´´ මහනෙනි, මෙසේ වීය්‍ර්‍යය කරන්නාවු, උත්සාහ කරන්නාවු ඒ කුල පුත්‍රයාහට ඒ වස්තු සම්පත් හොඳින් නොඋපදිද්ද නොලබත්ද හෙතෙම ඒකාන්තයෙන් මාගේ වීය්‍ර්‍යය හිස්විය, මගේ අත්සාහය නිස්ඵලවීයයි කියා ශොකවෙයි වෙහෙස වෙයි වැලපෙයි පපුවේ අත් ගසමින් හඬයි. සිහි නැතිබවට පැමිනෙයි. මහණෙනි, මෙයද කාමය හේතුකොට කාමය මුල් කාරනය කොට, කාමය කරන කොට කාමය නිසා මෙලොවදීම වින්දයුතුවු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

´´ මහණෙනි, මෙසේ වීය්‍ර්‍ය කරන්නාවු, උත්සාහ කරන්නාවු ඒ කුලපුත්‍රයාගේ ඒ සම්පත්තීහු උපදිත්ද ලබත්ද ඔහු ඒ ලැබු සම්පත්තිය ආරක්ෂා කරනු පිණිස කයිනුත් සිතිනුත් දුක් වඳියි. කෙසේද? මාගේ මේ සම්පත්තිය රජවරු පැහැර නොගන්නාහු නම්, ගින්නෙන් නොදැවෙන්නේනම්, දියෙහි නොයානම්, අප්‍රිය වුවෝ නොගන්නාහු නම් යෙහෙකැයි කියායි. මෙසේ රකින්නාවු පාලනය කන්නාවු, ඔහුගේ ඒ සම්පත්තීහු රජවරුද පැහැර ගනිත්, සොරුද පැහැර ගනිත්, ගින්නෙන් හෝ දැවෙයි, දියෙහි හෝ යයි. අප්‍රිය වුවෝ හෝ ගනිති. මා විසින් යම් වස්තුවකුත් උපදවන ලද්දේවිද එයද දැන් අපට නැතැයි ශෝක කෙරෙයි. වෙහෙස වෙයි වැලපෙයි. පපුවේ අත් ගසමින් හඩයි. සිහි නැති බවට පැමිනෙයි. මහණෙනි, කාමය හේතුකොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණ කොට ගෙන, කාමය නිසා මෙලොවදීම වින්දයුත්‍රවු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

6. ´මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතු කොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොට ගෙන කාමය නිසා රජවරුද රජවරු සමග කලහ කරති. ක්‍ෂත්‍රියයෝද ක්‍ෂත්‍රියයන් සමග කලහ කරති. බමුණෝද බමුණන් සමග කලහ කරති. ගෘහපතියෝද ගෘහපතීන් සමග කලහ කරති. මවද පුතා සමග කලහ කරයි. පුතාද මව සමග කලහ කරයි. පියාද පුතා සමග කලහ කරයි. පුතාද පියා සමග කලහ කරයි. සහෝදරයාද සහොදරයා සමග කලහ කරයි. සහෝදරයාද සහෝදරිය සමග කලහ කරයි. සහෝදරියද සහොදරයා සමග කලහ කරයි. යහලුවාද යහලුවා සමග කලහ කරයි. ඔවුහු කෝලාහල, විරුධකම් විවාද යන මීට පැමිණියාහු එකිනෙකා අතින්ද පහරදෙති, කැට කැබිලිති වලින්ද පහර දෙති. පොලුවලින්ද පහර දෙති. (කඩු ආදී ) ආයුධ වලින්ද පහර දෙති. ඔවුහු එයින් මරණයටද පැමිත්‍ණත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතුකොට, කාමය මුල් කරුණකෙට, කාරණ කොටගෙන, කාමය නිසා මෙලොවදීම වින්ද යුතුවු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල් කරුණ කොට, කාමය කරණකොටගෙන කාමය නිසා මෙලොව දීම වින්ද යුතුවු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල්කරුනකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙන දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ දෙපසින් රැස්ව යුධ භූමියට පනිති. ඊතල විදින කල්හී, කඩු කරකවන කල්හී, එහි ඔවුහු ඊතලවලින්ද විදිනු ලබත්, අඩයටිවලින්ද විදිනු ලබත්. කඩුවෙන් හිස සිඳිනු ලබත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතු කොට, කාමය මුල් කරුණ කොට, කාමය කරණ කොට ගෙන කාමය නිසම මෙලොවදීම වින්ද යුතුවු ආදීනව රාශිය දුක් රාශිය වන්නේය.

´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට කාමය මුල්කරුනකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කඩුව හා පලිහ ගෙන, දුන්න හා හියවුර (ඊතල දමන කොපුව) බැඳ තෙත් මඩ සහිත කොටු පවුරු අගල් ලඟට පැනයත්. ඊතල ව්ද්න කල්හී අඩයටි දමාගසන කල්හී, කඩු කරකවන කල්හී එහි ඹවුහු ඊතලවලින්ද විදිනු ලබත්, අඩයටි වලින්ද විදිනු ලබත්, ගින්නෙහි කකාල ලෝදිය ඉසිත්, (සතදන්ත නම්) දන්ඩෙන් මඩිත්, කඩුවෙන්ද හිස සිඳිත්. ඔවුහු මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්. මහණෙනි, මෙයද කාමය හේතුකොට, කාමය මුල් කරුණකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා මෙලොවදීම වින්ද යුතුවු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල්කරුනකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා ගෙවල් බිඳිති, ගම් පැහැරීමෙන් (වස්තුව) ගෙන යත්. ගෙයි වැසියන් පණපිටින් අල්වාගෙන වස්තුව පැහැර ගනිති. මං පැහැරීම (කොල්ලකෑම) කරති. පර ස්ත්‍රීන් දූෂ්‍යද කරති. ඒ සොරුන් රජවරු අල්වා නොයෙක් කම් කටොලු කරවත්, කස වලින් තලවත්, වේවැල් වලින් තළවත්, දෙකට පැලූ (දෙරින් පමණ) දඬුවලින් තළවත්, අත්ද කපත්, පයද කපත් අත්පා සියල්ලමත් කපත්, කනත් කපත් නාසයත් කපත්, කන් නාසාත් කපත්, බිලංගථාලික (ඉස් කබල ගලවා මොලය උතුරවමින් කරන) නම් වධය කරත්, සංඛ මුණ්ඩික (හිසේ කෙස් හා සම ගලවා බොරලු ලා උලා සුදු කිරීම) නම් වධය දෙති, රාහු මුඛ (අඬුවෙන් කට අරවා එහි තුල ගිනි දැල්වීම) නම් වධය දෙත්, ජෝති මාලික (ශරීරය තෙල් රෙදි වලින් වෙලා ගිනි දැල්වීම) නම් ධය දෙත්, හත්‍ථපජෙජාතික (අත්දෙකේ තෙල් රෙදි වෙලා ගිනි දැල්විම) නම් වධය දෙත්, එරක වත්තික (බෙල්ලෙහි පටන් ඇස්වටය දක්වා හම ගලවා ඔහු ලවා පෑගවීම) නම් වධය දෙත්. චීරක වාසික (බෙල්ලෙහි පටන් තුණටිය දක්වා සම ගලවා නබා එතනින් පටන් ගෙන ඇස්වටය දක්වා සම ගලවා තැබීම) නම් වධය දෙත්, එණෙය්‍යක (දෙදෙන දෙවැලමිටිවල යවුල් ගසා වට කොට ගිනි තැබීම) නම් වධය දෙත්, බලිස මංසික (දෙපැත්තෙන් තුඩු ඇති බිලියෙන් ගසා මස් කැඩීම) නම් වධය දෙත්. කහාපණක (කහවනුසේ මස් කැපීම) නම් වධය දෙත්, ඛාරාපතචඡික (සිරුර සිදුරු කොට කාරම් දිය ඉසීම) නම් වධය දෙත්, පළිඝ පරිවත්තින (ඇලයකින් බිම හොවා කනෙහි යවුල් ගසා පය ගෙන කරකැවීම) නම් වධය දෙත්, පලාල පිඞික (සම නොබිඳෙන සේ ඇට මස් තළා පිදුරු වැටියක් සේ ඇකීලීම) නම් වධය දෙත්, රත්වු තෙල් ඉසිත්, බල්ලන් ලවා කවත්, ජිවිතය තිබියදිම අලෙහි ඉදුවත්, කඩුවෙන් හිස් ස්ඳිත්, ඔවුහු එහි මරණයටද පැමිණෙත්, මරණය සමාන දුකටද පැමිණෙත්, මහණෙනි, මෙයද කාමය හේතුකොට කාමය මුල්කරුනකොට, කාමය කරණකොට ගෙන කාමය නිසාම මෙලොවදීම වින්ද යුතුවූ ආදීනව රාශිය දුක් රාශිය වන්නේය. මෙයද කාමයන්ගේ දොෂයකි.

7. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. කාමය හේතුකොට, කාමය මුල්කරුනකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා කයින් දුසිරිතේ හැසිරෙති, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙති, සිතින් දුසිරිතෙහි හැසිරෙති ඔවුහු කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවු නපුරු ගති ඇති නපුරුකොට වැටීමක් ඇත්තාවු නිරයෙහි උපදිති. මහණෙනි, මෙය කාමය හේතුකොට කාමය මුල්කරුනකොට, කාමය කරණකොට ගෙන කාමය නිසා පරලොව වින්දයුතු ආදීනව රාශිය, දුක් රාශිය වන්නේය.

´´මහණෙනි, කාමයන්ගේ නැතිකිරීම කවරේද? මහණෙනි, කාමයන්හි ආසාව මැඩ දුරු කිරීමක් වේද, මෙය කාමයන්ගේ නිදහස් වීමයි. මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ හෝ මෙසේ කාමයන්ගේ සැපය සැපය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද, වෙන්වීම වෙන්වීම වශයෙන්ද, තත්වු පරිද්දෙන් නොදනිත්ද, ඔහු ඒකාන්තයෙන් තමා හෝ කාමයන් පහකරන්නේය. අන්‍යයෙකු යම්සේ පිළිපැදීමෙන් ඒ කාමයන් දුරුකරන්නේද ඒ ආකාරයෙන් සමාදන් කරවන්නේය. (යොදවන්නේය) යන මේ කාරනය විද්‍යාමාන නොවෙයි, (සිදු නොවෙයි)

´´මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ හෝ මෙසේ කාමයන්ගේ සැපය සැපය වශයෙන්ද, දෝෂය දෝෂය වශයෙන්ද, වෙන්වීම වෙන්වීම වශයෙන්ද, තත්වු පරිද්දෙන් දනිත්ද, ඔහු ඒකාන්තයෙන් තමා හෝ කාමයන් පහකරන්නේය. අන්‍යයෙකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ කාමයන් දුරුකරන්නේද ඒ ආකාරයෙන් සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය) යන මේ කාරනය විද්‍යාමාන වෙයි, (සිදු වෙයි).

8. ´´ මහණෙනි, රූපයන්ගේ සැපය කවරේද? මහණෙනි, පසළොස් වයස් ඇත්තාවු හෝ සොළොස් වයස් ඇත්තාවු හෝ ඉතා උස් නොවු ඉතා මිටි නොවු ඉත කෙට්ටු නොවු, ඉතා මහත නොවු, ඉතා කලු නොවු, ඉතා සුදුනොවු, ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ බ්‍රහ්මණ කන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ යම්සේ වන්නීද, මහණෙනි, ඒ කාලයෙහි ශරීර වර්ණය යහපත්වේද? ´´ස්වාමීනි, එසේය´´ මහණෙනි, යම් හෙයකින් ඒ යහපත් ශරීර වර්ණය නිසා යම් කායික සැපක් හෝ මානසික සැපක් හෝ උපදීද, මෙය රූපයන්ගේ සැපය වේ.

´´මහණෙනි, රූපයන්ගේ දෝෂය කවරේද? මහණෙනි, පසු කලෙකදී අසූවයස් ගියාවු හෝ අනූ වයස් ගියාවු හෝ සියක් වයස් ගියාවු හෝ ජරාජීර්‍ණවුද, (මහලුවුද) ගොනැස්සක් (වකුටු යට ලීයක්) සේ වක්වු, කොන්ද මැදින් බිඳුනාවු, සැර යටිය පිහිට කොට ඇති, වෙවුලමින් යන්නාවු, රෝගී වු, තරුණ බව නැතිවු දත් වැටුනු කෙස් පැහුනු හිසකෙස් සිඳුනු හිසේ තට්ටය පෑදුනු ඇඟ රැලි වැටුනාවු ශරීරය කැලැල්වලින් කිලුටුවු ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහුද, පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද එයම අතුරුදන්වී දෝෂය පහළ වූයේද? ´´ස්වාමීණි එසේය´´ මහණෙනි මේත් රූපයන්ගේ දෝෂයයි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. හටගත් ආබාධ ඇති හටගත් දුක් ඇති දැඩි ගිලන්වු තමන්ගේම මළ මූත්‍ර යෙහි වැටුනාවු එහිම සයනය කරන්නාවු අනුන් විසින් නැගිටවනු ලබන්නාවු අනුන් විසින් හොවවනු (සයනය කරවනු) ලබන්නාවු ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද එය අතුරුදන්වී දෝෂය පහළවිද? ´´ ස්වාමීනි එසේය´´ මහණෙනි, මේත් රූපයන්ගේ දෝෂයයි.

9. ´´ මහණෙනි, මැරී එක් දවසක්වුද, මැරී දෙදවසක්වුද, මැරී තුන් දවසක්වුද, ඉදිමී ගියාවුද, තද නිල් පහැවුද, හටගත් පුයා (සැරව) ඇත්තාවුද සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද ? පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද, එය අතුරුදහන්වී දෝෂය පහලවීද? ´´ ස්වාමීනි එසේය´´ මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. කපුටන් විසින් කඩා කනු ලබන්නාවු, උකුස්සන් විසින් කඩා කනු ලබන්නාවු, ගිජු ලිහිණියන් විසින් කඩා කනුලබන්නාවු බල්ලන් විසින් කඩා කනුලබන්නාවු, සිවලුන් විසින් කඩා කනුලබන්නාවු නොයෙක් කුඩා සතුන් විසින් කඩා කනු ලබන්නාවු සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද එය අතුරුදහන්වී දෝෂය පහලවිද ´´ස්වාමිනි එසේය´´ මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. මස් ලේ සහිතවු, නහරින් බැඳුනාවු, ඇට සැකිල්ලක්වු සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද එය අතුරුදන් වී දෝෂය පහලවීද? ´´ස්වාමීනි එසේය´´ මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.

මස් නැති ලෙයින් තැවරුනාවු, නහරින් බැඳුනාවු, ඇට සැකිල්ලක්වු, සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, මහනෙනි ඒ කුමකැයි සිතන්නාහුද? පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද එය අතුරුදන්වී දොෂය පහලවීද? ´´ ස්වාමීනි එසේය´´ මහණෙනි, මෙයද රූපයන්ගේ දොෂයයි.

මස් ලේ නැති, නහරින් බැඳුනාවු ඇට සැකිල්ලක්වු සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද? මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? පෙරවු යම් යහපත් වර්‍ණනයක් වීද එය අතුරුදන්වී දෝෂය පහළවීද? ස්වාමීනි එසේය. මහණෙනි මෙයද රූපයන්ගේ දෝෂයයි.

සම්බන්‍ධයෙන් (සන්දි වලින්) වෙන්වු, දිසා අනුදිසාවන්හි විසිරුනු ඇට ඇති (හෙවත්) වෙන දිසාවක අත් ඇටද, වෙන දිසාවෙක පා ඇටද, වෙන දිසාවක කෙණ්ඩා ඇටද, වෙන දිසාවක කලවා ඇටද, වෙන දිසාවක කටි ඇටයද, වෙන දිසාවක කොදු ඇටයද , වෙන දිසාවක හිස් කබලදවු සොහානෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහලවීද? ස්වාමිනි එසේය, මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.

සක් ගෙඩියකට බඳු පැහැය ඇති, සුදුවු, ඇට ඇති සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, මහණනි ඒ කුමක්දැයි සිතන්නහුද? පෙරවු යම් යහපත් වර්‍ණයක්වීද? එය අතුරුදන්වී දොෂය පහල වීද? ´´ස්වාමීනි එසේය´´ මහණෙනි මෙයද රූපයන්ගේ දෝෂයයි.

අවුරුදු ගණන් ඉක්ම ගියාවුද, කැටි ගැසුනාවුද, ඇට ඇති සොහොනෙහි දමනලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද, කුණුවු සුනුවු ඇට ඇති සොහොනෙහි දමන ලද මළ සිරුරක්වු ඒ නැගනියම දක්නේද? මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද, පෙරවු යම් යහපත් වර්‍ණයක් වීද, එය අතුරුදන්වී දොෂය පහලවීද? ස්වාමිනි එසේය, මහණෙනි, මෙයද රූපයන්ගේ දෝෂයයි.

10. ´´ මහණෙනි, රූපයන්ගේ නිදහස්වීම නම් කුමක්ද? මහණෙනි, රූපයන්හි ආසාව මැඩ පැවැත්වීමක් වේද, ආසාව නැති කිරීමක් වේද, මෙය රූපයන්ගෙන් නිදහස් වීමයි.

´´ මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මනයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද තත්වුපරිද්දෙන් නොදනිත්ද, ඔවුහු ඒකාන්තයෙන්ම තමා හෝ රූපය දුරු කරන්නේය. අන්‍යයකු හෝ යම්සේ පිළිපැදීමෙන් ඒ රූපයන් දුරුකරන්නෙද එසේ සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය) යන මේ කාරණය විද්‍යමාන නොවෙයි. (සිදු නොවෙයි.)

´´ මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ හෝ මෙසේ රූපයන්ගේ සැපය සැපය වශයෙන්ද, දොෂය දොෂය වශයෙන්ද වෙන්වීම වෙන්වීම වශයෙන්ද, තත්වු පරිද්දෙන් දනිත්ද, ඔවුහු ඒකාන්තයෙන් තමා හෝ රූපයන් දුරුකරන්නේය, අනුන් හෝ ඒ පිණිස සමාදන් කරවන්නෝය. (යොදවන්නෝය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. (සිදුවෙයි)

11. ´´ මහණෙනි, වේදනාවන්ගේ සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර සහිතවු, විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් යුක්තවු ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද?

´´ මහණෙනි, භික්‍ෂුව යම් කලෙක්හි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක, විචාර සහිතවු විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් යුක්තවු ප්‍රථම ධ්‍යානයට සමවැද වාසය කෙරේද, ඒ කාලයෙහි තමන්ට වෙහෙස (දුක්) පිණිස උත්සාහ නොකරයි, අනුන්ට වෙහෙස (දුක්) පිණිස උත්සාහ නොකරයි. දෙකොටසටම වෙහෙස පිණිස උත්සාහ නොකරයි. ඒ කාලයෙහි නිදුක්වුම වේදනාව විඳියි. මහණෙනි, නිදුක් බවම කෙලවර කොට ඇති බව වේදනාවන්ගේ සැපයයි මම කියමි.

´´ මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂුව විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳවීමෙන් තමන්ගේ සිතෙහි යහපත් පැහැදීමක් ඇති කරන්නාවු, සිතේ එකඟ බව ඇති විතර්ක විචාර රහිතවු, සමාධියෙන් උපන් ප්‍රීති සුවය ඇති, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, භික්‍ෂුව යම් කලෙක සැපය නැති කිරීමෙන්ද, පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරලීමෙන්ද දුක් නැත්තාවු, සැප නැත්තාවු උපෙක්‍ෂා සිහි පිරිසිදු බව ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, ඒ කාලයෙහි තමන්ට වෙහෙස පිණිස උත්සාහ නොකරයි. අනුන්ට වෙහෙස පිණිස උත්සාහ නොකරයි. දෙකොටසටම වෙහෙස පිණිස උත්සාහ නොකරයි. ඒ කාලයෙහි නිදුක්වුම වේදනාව විඳියි. මහණෙනි, නිදුක් බවම කෙලවර කොට ඇතිබව වේදනාවන්ගේ සැපයයි මම කියමි.

12. ´´ මහණෙනි, වේදනාවන්ගේ දොෂය කවරේද? මහණෙනි, යම් හෙයකින් වේදනාවෝ නිත්‍ය නොවන්නාහුද දුක් වුවාහුද, පෙරලෙන ස්වභාව ඇත්තාහුද, මේ ආකාරය වේදනාවන්ගේ දොෂයයි. මහණෙනි, වෙදනාවන්ගේ නිදහස් වීම කවරේද? මහණෙනි, වේදනාවන් කෙරෙහි ආසාව මැඩපැවැත්විමක් වේද, ආසාව නැතිකිරීමක් වේද, මෙය වේදනාවන්ගේ නිදහස් වීමයි.

´´ මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මනයෝ හෝ මෙසේ වේදනාවන්ගේ සැපය සැපය වශයෙන්ද දොෂය දොෂය වශයෙන්ද නිදහස් වීම නිදහස් විම වශයෙන්ද තත්වු පරිද්දෙන් නොදන්නේද, ඔවුහු ඒකාන්තයෙන් තුමු හෝ වේදනාවන් දන්නෝය. අන්‍යයකු යම්සේ පිළිපැදිමෙන් ඒ වේදනාවන්ගේ තත්වය දැනගනී නම් එසේ හෝ සමාදන් කරවන්නේය යන මේ කාරණය විද්‍යාමාන නොවෙයි.

´´ මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රහ්මණයෝ හෝ මෙසේ වේදනාවන්ගේ සැපය සැපය වහයෙන්ද දොෂය දොෂය වහයෙන්ද නිදහස්විම නිදහස්විම වහයෙන්ද තත්වු පරිද්දෙන් දනිත්ද ඔහු ඒකාන්තයෙන් තුමු හෝ වේදනාවන් දන්නෝය. අන්‍යයකු යම්සේ පිළිපැදිමෙන් ඒ වේදනාවන්ගේ තත්වය දැනගනී නම් එසේහෝ සමාදන් කරවන්නෝය. යන මේ කාරණය විද්‍යමාන වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේහනාව ඇසු භික්‍ෂුහු සතුටු වුහ.

මහා ද්‍රක්ඛක්ඛන්‍ධ සුත්‍රය නිමි.