58. අභය (රාජකුමාර) සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එත් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින් කලන්දකනීවාස නම් වූ වේථවනාරාමයෙහි වැඩ වෙසෙන සේක. එකල්හි වනාහි අභය නම් රාජකුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එක පැත්තක හුන්නේය. එක පැත්තක හුන්නාවූ ම අභය නම් කුමාරයාට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. ´´රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ආරෝපනය කරව, (දොසක් නගව) ´අභය නම් රාජකුමාරයා විසින් මෙසේ මහක් සෘද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමන ගෞතමයන්හට වාදාරෝපනය කරන ලද්දේයයි´´ මෙසේ තොපගේ යහපත් ගුණ ාෙෂණයක් පැන නගින්නේය.´´

´´ස්වාමීනි, මම වනාහි ඒ කෙසේ නම් මෙබදු මහත් සෘද්ධි ඇති මෙබදු මහත් ආනුභාව ඇති ශ්‍රමන ගෞතමයන් හට වාදාරෝපනය කරන්නෙම්ද?´´

2. ´´රාජ කුමාරය, එව. නුඹ ශ්‍රමන ගෞතම තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණෙව. පැමිණ ශ්‍රමණ ගෞතම යන්ට මෙසේ කියව. ´ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද තථාගත තෙමේ එබදු වචනයක් කියන්නේදැයි, (අසව) තඉදින් තොප වසින් ශ්‍රමණ ගෞතම තෙම මෙසේ විචාරණ ලද්දේ ´රාජකුමාරය, යම් ඒ වචනයක් අකුන්ට අප්‍රියයද, අමනාපද තථාගතතෙම එබදු වචනයක් කියන්නේයයි´´ මෙසේ ප්‍රකාශ කෙරේ නම්, ඔහුට නුඹ මෙසේ කියව. ස්වාමිනී, එසේ ඇති කල්හි නුඹ වහන්සේ ගේ හා පෘථග්ජනයෙකුගේ ඇති වෙනස කවරේද? පෘථග්ජන තෙමේද වනාහි යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද එබදු වචනය කියන්නේයයි කියව.´´

3. ´´ඉදින් වනාහි තොප විසින් මෙසේ විචාරණ ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම ´රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබදු වචනය නොකියන්නේය´යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් ඔහුට නුඹ මෙසේ කියව. ´ස්වාමීනි, ්එසේ ඇති කල්හි නුඹ වහන්සේ විසින් දේවදත්ත තෙම අපායෙහි උපදින්නෙක, දේවදත්ත තෙම නිරයෙහි උපදින්නෙක, දෙවදත්ත තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක. දෙවදත්ත තෙම පිළියම් කළ නොහැක්කෙකැයි කුමට ප්‍රකාශකරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් වනාහි දෙවදත්ත තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ විය´යි (කියව). රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය විචාරණ ලද්දාවුම ශ්‍රමණ ගෞතම තෙම මවාරන්ට නොහැකිවෙයි. ගිලගන්ට නොහැකි වෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ උගුරෙහි ඇණුනු යකඩ කොක්කක් හෙතෙම මවාරන්ටත් නොහැකි වන්නේද, ගිලින්ටත් නොහැකි වන්නේද, රාජ කුමාරය, එපරිද්දෙන් ම තොප විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවුම, ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකිවේ. ගිල ගන්නටත් නොහැකි වේය´´යි (කීයේය.)

4. ´´ස්වාමීනි, එසේය´´ කියා අභය රාජ කුමාර තෙම නිගණ්ඨනාත පුත්‍රයාට උත්තර දී හුනස්නෙන් නැගිට නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූම උබය රාජ කුමාරයාට හිරු දෙස බලා මෙබඳු සිතක් වූයේය. ´අද වනාහි භාග්‍යවතුන් වහන්සේට වදාරොපනය කරන්ට කල් නොවේ. හෙට මම ස්වකීය ගෘහයේදී භාග්‍යවතුන් වහන්සේට වදාරෝපනය කරන්නෙමි´´ යි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, හෙට දවස පිණිස භාග්‍යවතුන් වහන්සේ තමා සතර වෙනි කොට ඇත්තේ මාගේ බත ඉවසන සේක්වා´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක. ඉක්බිති අභය රාජකුමාර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වඳ ගියේය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ගතවී මෙන් පෙරවරු වේලෙයි හැඳ පොරවා පාත්‍රා සිවුරුගෙන අභයරාජ කුමාරයාගේ ගෘහය යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ හුන්සේක. ඉක්බිති අභයරාජ කුමාරතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කෑයුතු දෙයින් අනුභව කටයුතු දෙයින් සියතින් වැළඳ වූයේය. සම්පවාරණය කරවූයේය. ඉක්බිති වළදා අවසන්වූ පාත්‍රයෙන් ඉවත්කරණලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේ (වෙත) එක්තරා මිටි ආසනයක් ගෙණ එක පැත්තක උන්නේය. එක පැත්තක හුන්නාවූම අභයරාජ කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

6. ´´ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගතතෙම වචනය කියන්නේද?´´

´´රාජ කුමාරය, එය ඒකාන්ත නොවේ´´යයි (වදාළේය.) ´´ස්වාමීනි, මේ ප්‍රශ්නයෙහිදී නිගණ්ඨයෝ නැසුනාහුය´´යි (කීයේය) ´´රාජකුමාරය, කුමට වනාහි නුඹ, ´´ස්වාමීනි, මෙහි නිගණ්ඨයෝ නැසුනාහුය´´යි මෙසේ කියන්නෙහිද?

´´ස්වාමීනි, මෙහි මම නිගණ්ඨනාත පුත්‍රතෙම යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් නිගණ්ඨනාත පුත්‍රයාට වැඳ එකපැත්තක හුන්නෙමි. ස්වාමීනි, එක පැත්තක හුන්නාවූ මට නිගණ්ඨනාත පුත්‍රතෙම මෙය කීයේය. ´´රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතමයන්ට දොෂයක් නගව, අභය රාජකුමාරයා විසින් මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට දෝෂ දක්වන ලද්දේයයි මෙසේ නුඹගේ යහපත් වූ ගුණ ාේෂා වෙක් පැන නගින්නේය. ස්වාමීනි, මෙසේ කීකල්හි මම නිගණ්ඨනාත පුත්‍රයාට මෙය කීවෙමි. ´´ස්වාමීනි, ඒ කෙසේ නම් මම මෙසේ මහත් සෘද්ධි ඇති මෙසේ මහත් ආනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්ට වාදාරෝපානය කරන්නෙම්ද?´´ ´රාජකුමාරය, එව, නුඹ ශ්‍රමණ ගෞතම තෙම යම් තැනෙක්හිද, එතැනට එළඹෙව. එළඹ, ශ්‍රමණ ගෞතමයන්ට මෙසේ කියව. ´´ස්වාමීනි, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද, අමනාපද, තථාගත තෙම එබදු වචනය කියන්නේද?´ ඉදින් නුඹ විසින් මෙසේ අසන ලද්දාවූ ශ්‍රමණ ගෞතම තෙම ´රාජ කුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබදු වචනය කියන්නේයයි´´මෙසේ ප්‍රකාශ කරයි නම් ඔහුට නුඹ මෙසේ කියව. ´´ස්වාමීනි, එසේ ඇති කල්හි, නුඹ වහන්සේගේ හා පෘථග්ජනයෙකුගේ කවර වෙනසක්ද? පෘථග්ජන තෙමේද වනාහි යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද, එබඳු වචනය කියන්නේයයි´ කියව´´

7. ´´ඉදින් වනාහි නුඹ විසින් මෙසේ විචාළාවූ ශ්‍රමණ ගෞතම තෙම ´රාජකුමාරය, යම් ඒ වචනයක් අනුන්ට අප්‍රියද අමනාපද තථාගත තෙම එබදු වචනය නොකියන්නේයයි මෙසේ ප්‍රකාශ කරයි නම්, ඔහුට නුඹ මෙසේ කියව. ´´ස්වාමීනි, එසේ ඇති කල්හි කුමට නුඹවහන්සේ විසින් දෙව්දත් තෙම අපායෙහි උපදින්නෙක, දෙව්දත් තෙම නිරයෙහි උපදින්නෙක, දෙව්දත් තෙම කල්පයක් නිරයෙහි සිටින්නෙක, දෙව්දත් තෙම පිළියම් කළ නොහැක්කෙකැයි ප්‍රකාශ කරන ලද්දේද? නුඹ වහන්සේගේ ඒ වචනයෙන් වනාහි දෙව්දත් තෙම කිපියේ නොසතුටු සිත් ඇත්තේ වූයේ නොවේදැයි ඇසිය යුතුය. රාජකුමාරය, නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලද්දාවූම ශ්‍රමණ ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වෙයි. ගිලගන්ටත් නොහැකි වෙයි. යම්සේ නම් පුරුෂයෙකුගේ බොටුවෙහි ඇවුලුනු යකඩ කොක්කක් ඔහුට වමාරන්ටත් නොහැකි වන්නේද, ගිලගන්ටත් නොහැකි වන්නේද, රාජකුමාරය, එපරිද්දෙන්ම නුඹ විසින් මේ උභතොකොටික ප්‍රශ්නය අසන ලදද්දාවූම ශ්‍රමන ගෞතම තෙම වමාරන්ටත් නොහැකි වේ. ගිලගන්ටත් නොහැකි වේයයි´´ (කීයේය).

8. එකල්හි වනාහි බාලවූ උඩුකුරුව සයනය කරන්නාවූ ලදරු කුමාරයෙක් අභය රාජ කුමාරයාගේ ඇකයෙහි (උකුලෙහි) හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අභය රාජ කුමාරයාට මෙය වදාළේය. ´´රාජකුමාරය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මේ කුමාරුවා නුඹගේ ප්‍රමාදයක් නිසා හෝ කිරි මවගේ ප්‍රමාදයක් නිසා හෝ ලී කැබැල්ලක් හෝ කැබිලිති කටුවක්හෝ මුඛයෙහි දමා ගන්නේ නම් එයට කුමක් කරන්නෙහිද?´´

´´ස්වාමීනි, මම එය හැර ගන්නෙමි. ස්වාමීනි, ඉදින් මම පළමුවරම හැරගන්ට නොහැකි වන්නෙම් නම් වම් අතින් හිස අල්වාගෙණ දකුණු අතින් ඇඟිල්ල වක් කොට ලේ සහිත වුවත් හැරගන්නෙමි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, කුමරු කෙරෙහි මාගේ අනුකම්පාව ඇත්තේ යයි´´ (නීයේය.) ´´රාජක්‍රමාරය, එපරිද්දෙන්ම තථාගත තෙම යම් වචනයක් සිදු නොවූ, සත්‍ය නොවූ අවැඩ ගෙන දෙන්නක්යයි දනීද, ඒ වචනය අනුන්ට අප්‍රිය වේද, අමනාප වේද, තථාගත තෙම එබදු වචනය නොකියයි. තථාගත තෙම එබදු වචනය නොකියයි. තථාගත තෙම යම් වචනයක් සිදුවූ සත්‍යවූ අවැඩ ගෙන දෙන්නක්යයි දනියිද, ඒ වචනය ද අනුන්ට අප්‍රිය අමනාප වේද, තථාගත තෙම එබදු වචනයද නොකියයි. තථාගත තෙම යම් වචනයක් වනාහි වූ දෙයක්ය සත්‍යයක්ය අර්ථ පිණිස පවතින්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට අප්‍රිය අමනාප වේද, එහි තථාගත තෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි. තථාගත තෙම යම් වචනයක් නොවූ දෙයක්ය, අසත්‍යයක්ය, අවැඩ ගෙණ දෙන්නක්යයි දනියිද, ඒ වචනයද නොකියයි. තථාගත තෙම යම් වචනයක් වූ දෙයක්ය, සත්‍යයක්ය, අවැඩ ගෙණ දෙන්නක්යයි දනියිද ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද, තථාගතතෙම එබදු වචනයද නොකියයි.

9. ´´තථාගත තෙම යම් වචනයක් වනාහි වූ දෙයක්ය, සත්‍යයක්ය, වැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද එහි තථාගතතෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි. ඊට හේතු කවරේද? රාජතුමාරය, තථාගතයන්ගේ සත්වයන් කෙරෙහි අනුකම්පාව ඇත්තේයයි´´ වදාළේය.

10. ´´ස්වාමීනි, යම් මේ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්‍රමණ පණ්ඩිතයෝද, ප්‍රශ්නයක් සකස් කොට තථාගතයන් වහන්සේ කරා එළඹ විචාරත්ද, ස්වාමීනි, යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ විචාරන්නාහුද, ඔවන්ට මම මෙසේ විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නෙමියි පළමුකොටම භාග්‍යවතුන් වහන්සේ විසින් කල්පනා කරන ලද්දේ වේද, නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන් වහන්සේට වැටහේද?´´ ´´රාජකුමාරය, එසේ නම් නුඹගෙන්ම මේ කාරණය අසන්නෙමි. යම්සේ නුඹට වැටහෙන්නේද, එසේ එය පුකාශ කරව. රාකුමාරය, නුඹ රථයෙහි ලොකු කුඩා අවයව වල දක්ෂයෙක්ද?´´

´´ස්වාමිනී, එසේය, මම රථයෙහි කුඩා මහත් අවයවවල දක්ෂයෙක්මියි´´ කීය.

´´රාජකුමාරය, ඒ කුමකැයි හගින්නෙහිද? යම් කෙනෙක් නුඹ වෙත පැමිණ රථයාගේ මේ කිනම් අවයවයක් දැයි මෙසේ අසන්නාහුද? යම් කෙනෙක් මා වෙත පැමිණ මෙසේ අසන්නාහුද, ඔවුන්ට මම මෙසේ අසන ලද්දේ මෙසේ කියන්නෙමියි´´ පළමුකොටම නුඹ විසින් මෙය කල්පනා කරන ලද්දක් වන්නේද? නොහොත් තැනට සුදුසු පරිද්දෙන්ම මෙය නුඹට වැටහෙන්නේද?

´´ස්වාමීනි, මම වනාහි රථයාගේ අවයව පිළිබද දක්ෂවූ රථ පදවන්නෙකැයි ප්‍රසිද්ධ වූයේ වෙමි. මා විසින් රථයේ සියලු අවයව දැන ගන්නා ලදහ. තැනට සුදුසු පරිද්දෙන්ම මෙය මට වැටහෙන්නේයයි´´ (කීයේය).

´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ප්‍රශ්නයක් සකස් කොට තථාගතයන් වෙත එළඹ විචාරත්ද, තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන්ට වැටහේ. ඊට හේතු කවරේද? රාජකුමාරය, යම් ධර්ම ස්වභාවයක් මනාකොට අවබොධ කිරීම හේතුකොටගෙන ස්ථානෝචිත නුවණින්ම මෙය තථාගතයන්ට වැටහේද? ඒ ධර්ම ස්වභාව වනාහි තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දේයයි´´ වදාළේය.

11. මෙසේ වදාළ කල්හි අභය කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත,  ස්වාමීනි, ඉතා යහපත, ස්වාමිනී,යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මහ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ ්රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනාකරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ ්සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංයාද (සරණකොට යමි) භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා´´ (කීය.)

අටවෙනිවූ අභය (රාජකුමාර) සූත්‍රය නිමි. (1 – 6)