110. චුල පුන්නමා සුත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගාරමාතු ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හි වූ පොහොය ඇති පසළොස් වක්හි පිරුණාවූ සඳ ඇති රාත්‍රියෙහි භික්‍ෂු සංයා විසින් පිරිවරණ ලද්දේ හිස්වූ එළිමහණෙහි වැඩ හුන්නේ වෙයි. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ භික්‍ෂු සංයා දෙස බලා භික්‍ෂූන්ට කථා කළ සේක.

´´මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙමේ අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දන්නේදැ?´´ යි ඇසූහ.

´´ස්වාමීනි, මෙය නොවේමැයි.´´

2. ´´මහණෙනි, යහපත. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වත් තෙම අසත්පුරුෂයායයි, අසත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් ඇද්ද? මීට කරුණු නැත්තේය. අවකාශයක් නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැනගන්නේද?´´

´´ස්වාමීනි, මෙය නොවේමැයි.´´

´´මහණෙනි, මැනව. මහණෙනි, අසත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි සත්පුරුෂයා දැනගන්නේය යන යමක් ඇද්ද, මෙයටද කරුණු නැත්තේය. අවකාශ නැත්තේය. මහණෙනි, අසත්පුරුෂතෙම පාපී ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි. අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි. අසත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි. අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි. අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි. අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. අසත්පුරුෂයන් විසින් දිය යුතු දානය දෙයි.

3.´´මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ තෙම පාප ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂ තෙම ශ්‍රද්ධාව නැත්තේ වෙයි. පවට ලජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. ඇසූ පිරූ තැන් නැත්තේ වෙයි. කුසීත වෙයි. මුලා සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාව නැත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම පාප ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි.

4.´´මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂතෙම, අසත්පුරුෂයන් සේවනය කරන්නේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව නැත්තාහු, පවට ලජ්ජා නැත්තාහු, පවට භය නැත්තාහු, අල්පශ්‍රුත වූවාහු, කුසීත වූවාහු, මුලා සිහි ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු වෙත්ද, ඔවුහු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔවුහු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂයන් සේවනය කරන්නේ වෙයි.

5. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම තමහට දුක් පිණිසද සිතයි. අනුන්හට දුක් පිණිසද සිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිසද සිතයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.

6. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම තමහට දුක් පිණිසද කථා කරයි. අනුන්හට දුක් පිණිසද කථා කරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද කථා කරයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ කථා ඇත්තේ වෙයි.

7. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම බොරු කියන්නේ වෙයි. කේලාම් කියන්නේ වෙයි. ඵරුෂ වචන කියන්නේ වෙයි. ප්‍රලාප කියන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ වචන ඇත්තේ වෙයි.

8. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම සතුන් මරන්නේ වෙයි. සොරකම් කරන්නේ වෙයි. කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි.

9. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි අසත්පුරුෂතෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ´දුන් දානයෙහි විපාක නැත. රැකි ශීලයෙහි විපාක නැත. කළ පූජාවෙහි විපාක නැත. යහපත්ව කරන ලද අයහපත්ව කරන ලද කර්‍මයන්ගේ ඵලයක්, විපාකයක් නැත්තේය. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට කරණ ලද හොඳ නරකවල විපාක නැත. පියාට කරණ ලද හොඳ නරකවල විපාක නැත. මැරී පරලොව උපදින සත්ත්‍වයන් නැත. යමෙක් තුමූ මෙලොවද, පරලොවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත´ යන දෘෂ්ටි ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.

10. ´´මහණෙනි, කෙසේ නම්, අසත්පුරුෂතෙම අසත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලොකයෙහි අසත්පුරුෂ තෙම සකස් නොකොට දානය දෙයි. සිය අතින් දානය නොදෙයි. සිතින් ආදර නොකොට දානය දෙයි. දමා ගැසූ දෙයක් මෙන් දානය දෙයි. මතු අනුසස් නොදක්නේ දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂතෙම අසත්පුරුෂ දානය දෙයි.

11. ´´මහණෙනි, ඒ මේ අසත්පුරුෂ තෙම වනාහි මෙසේ පාප ධර්‍මයන්ගෙන් යුක්තවූයේ, මෙසේ අසත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ අසත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ අසත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ අසත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ අසත්පුරුෂ දානාදී ඇත්තේ ශරීරයාගේ භේදයෙන් මරණින් මතු අසත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, අසත්පුරුෂයන්ගේ ගතිය කවරීද? නරකය හෝ තිරිසන් යෝනිය හෝ වේ.

12.´´මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දන්නේද?´´ ´´ස්වාමීනි, එසේය.´´

´´මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා සත්පුරුෂයෙකැයි, සත්පුරුෂයා දැන ගන්නේය, යන යමක් වේද ඊට කරුණු ඇත්තේය.

´´මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි, අසත්පුරුෂයා දැනගන්නේද?´´ ´´එසේය ස්වාමීනි,´´

´´මහණෙනි, යහපත. මහණෙනි, සත්පුරුෂතෙම මේ පින්වතා අසත්පුරුෂයෙකැයි අසත්පුරුෂයා දැනගන්නේය යන යමක් වේද, ඊටද කරුණු ඇත්තේය.

13. ´´මහණෙනි, සත්පුරුෂතෙම කුසල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි. සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි. සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි. සත්පුරුෂ කථා ඇත්තේ වෙයි. සත්පුරුෂ වචන ඇත්තේ වෙයි. සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි. සත්පුරුෂ දාන දෙන්නේ වෙයි.

14. ´´මහණෙනි, කෙසේ නම් සත්පුරුෂ තෙම කුශල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂ තෙම ශ්‍රද්Ȁdධාව ඇත්තේ වෙයි. පවට ලජ්ජා ඇත්තේ වෙයි. පවට බිය ඇත්තේ වෙයි. බහුශ්‍රුත වෙයි. පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තේ වෙයි. එළඹසිටි සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම කුසල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වෙයි.

15. ´´මහණෙනි, කෙසේ නම් සත්පුරුෂතෙම, සත්පුරුෂයන් සේවනය ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රද්ධාව ඇත්තාහු, පවට ලජ්ජා ඇත්තාහු, පවට භය ඇත්තාහු, බහුශ්‍රුත වූවාහු, පටන් ගන්නා ලද වීය්‍ර්‍ය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, ඔවුහු මොහුගේ මිත්‍රයෝ වෙත්. ඔවුහු යහලුවෝ වෙත්. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂයන් සේවනය ඇත්තේ වෙයි.

16. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම තමහට දුක් පිණිස නොසිතයි. අන්‍යයන්හට දුක් පිණිස නොසිතයි. තමන්ටත් අනුන්ටත් දුක් පිණිස නොසිතයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ සිතිවිලි ඇත්තේ වෙයි.

17. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම තමහට දුක් පිණිසද කථා නොකරයි. අන්‍යයාහට දුක් පිණිසද කථා නොකරයි. තමන්ට හා අනුන්ට දුක් පිණිස කථා නොකරයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ කථා ඇත්තේ වෙයි.

18. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. රළු වචන කීමෙන් වැළකුනේ වෙයි. ප්‍රලාප කීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ වචන ඇත්තේ වෙයි.

19. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුනේ වෙයි. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ වෙයි.

20. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි සත්පුරුෂතෙම මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. ´දුන් දෙයෙහි විපාක ඇත්තේය. රැකි සිල්හි විපාක ඇත්තේය. කළ පූජායෙහි විපාක ඇත්තේය. කරන ලද හොඳ නරක කර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේය. මෙලොව ඇත. පරලොව ඇත. මවට කළ හොඳ නරක දෙකෙහි, පියාට කළ හොඳ නරක දෙකෙහි විපාක ඇත. පරලොව උපදින සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මේ ලෝකයද, පරලෝකයද, තෙමේ විශිෂ්ට ඥානයෙන් (මනා නුවණින්) දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද? එබඳුවූ යහපත් බවට පැමිණියාවූ, මනාව පිළිපන්නාවූ, මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහයි ගනියි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි.

21. ´´මහණෙනි, කෙසේ නම්, සත්පුරුෂතෙම සත්පුරුෂ දානය දේද? මහණෙනි, මේ ලොකයෙහි සත්පුරුෂ තෙම සකස් කොට දන් දෙයි. සියතින් දන් දෙයි. සිතින් ආදර කොට දන් දෙයි. පිරිසිදුව දන් දෙයි. විපාක සලකමින් දානය දෙයි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂතෙම සත්පුරුෂ දාන දෙයි.

22. ´´මහණෙනි, ඒ මේ සත්පුරුෂ තෙමේ වනාහි මෙසේ කුසල ධර්‍මයන්ගෙන් යුක්තවූයේ, මෙසේ සත්පුරුෂ සේවනය ඇත්තේ, මෙසේ සත්පුරුෂ සිතිවිලි ඇත්තේ, මෙසේ සත්පුරුෂ කථා ඇත්තේ, මෙසේ සත්පුරුෂ වචන ඇත්තේ, මෙසේ සත්පුරුෂ කර්‍මාන්ත ඇත්තේ, මෙසේ සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ, මෙසේ සත්පුරුෂ දන් දී, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සත්පුරුෂයන්ගේ යම් ගතියක් වේද, එහි උපදියි. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගතිය කවරීද? උසස් දෙවියන් බවට හෝ උසස් මනුෂ්‍යයන් බවට හෝ පැමිණෙන්නේය´´ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්නේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

දසවැනි චූලපුණ්ණම සූත්‍රය නිමි.

__________

(දේවදහ සූත්‍රය, පඤ්ඤත්තය සූත්‍රය, කින්ති සූත්‍රය, සාමගාම සූත්‍රය, සුනක්ඛත්ත සූත්‍රය, ආනෙඤ්ජ සප්පාය සූත්‍රය, ගණක මොග්ගල්ලාන සූත්‍රය, ගොපක සූත්‍රය, මහා පුණ්ණමා සූත්‍රය, චූල පුණ්ණම සූත්‍රය යන දසයවූ

පළමුවන දෙවදහ වර්‍ගයයි.

_____

109. මහා පුණ්ණමා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ මිගාරමාතා ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පූර්‍ණ චන්‍ද්‍රයාගෙන් යුක්තවූ රාත්‍රියෙහි භික්‍ෂු සංයා විසින් පිරිවරණ ලද්දේ අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ උන්නේ වෙයි. එකල්හි වනාහි එක්තරා භික්‍ෂුනමක් හුනස්නෙන් නැගිට සිව්ර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිළි බැඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය. ´´ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට අවකාශ කෙරේ නම් මම කිසියම් කාරණයක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන්නෙමි´´ යනුයි.

´´එසේවී නම් මහණ, යමක් කැමැත්තෙහිද, එය ස්වකීය ආසනයෙහිම හිඳ අසව´´ යි වදාළසේක. එකල්හි වනාහි ඒ භික්‍ෂු තෙම ස්වකීය ආසනයෙහි හිඳගෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

2. ´´ස්වාමීනි, මොහු වනාහි පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ වෙත්ද? එනම්: රූප උපාදාන ස්කන්‍ධය, වේදනා උපාදාන ස්කන්‍ධය, සංඥා උපාදාන ස්කන්‍ධය, සංස්කාර උපාදාන ස්කන්‍ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්‍ධය යන මොහුයි.

´´මහණ, රූප උපාදාන ස්කන්‍ධය, වේදනා උපාදාන ස්කන්‍ධය, සංඥා උපාදාන ස්කන්‍ධය, සංස්කාර උපාදාන ස්කන්‍ධය, විඥාන උපාදාන ස්කන්‍ධය යන මොහු පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ වෙත්.´´

3. ´´ස්වාමීනි, යහපතැ´´ යි කියා ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්ණයක් ඇසීය. ´´ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?´´ ´´මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.´´ ´´ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්‍ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔවුහුම පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්‍ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?´´ ´´මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්‍ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන ස්කන්‍ධයන් හැර අනිකක් උපාදානද නොවෙයි.´´ ´´මහණ, පඤ්ච උපාදාන ස්කන්‍ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය එහි උපාදානයයි. (දැඩිකොට අල්වා ගැනීමයි.)´´

4. ´´ස්වාමීනි, පඤ්ච උපාදාන ස්කන්‍ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බවක් වන්නේද?´´

´´මහණ, වන්නේය´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ´´මහණ, මේ ලෝකයෙහි ඇතමෙකුහට මෙබඳු සිතක් වෙයි. ´මතු කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වෙදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි. මහණ මෙසේ වනාහි පඤ්ච උපාදාන ස්කන්‍ධයන් කෙරෙහි තෘෂණාවගේ වෙනස් බව වන්නේය´´ යි වදාළ සේක.

5. ´´ස්වාමීනි, කොපමණකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධ යන නම වන්නේදැ´´ යි ඇසීය. ´´මහණ, අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද, තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මෙය රූපස්කන්‍ධය නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මෙය වේදනා ස්කන්‍ධ නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවෝ වෙත්ද, මේ සංඥාස්කන්‍ධය නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාරකෙණෙක් වෙත්ද, මේ සංස්කාර ස්කන්‍ධය නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ විඥාන ස්කන්‍ධය වේ. මහණ, මෙතෙකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධය යන නම වේය´´ යි වදාළ සේක.

6. ´´ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? වේදනා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංඥා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංස්කාර ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? විඥාන ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේදැ´´ යි (ඇසූයේය.)

´´මහණ, සතර මහා භූතයෝ වනාහි රූප ස්කන්ධයාගේ පැනවීමට හේතුවේ. ප්‍රත්‍යය වේ. වේදනා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්‍ශය හේතුවේ. ස්පර්‍ශය ප්‍රත්‍යය වේ. සංඥා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්‍ශය හේතුවේ. ස්පර්‍ශය ප්‍රත්‍යය වේ. මහණ, විඥාන ස්කන්ධයාගේ පැනවීමට නාමරූපය වනාහි හේතුවේ. නාම රූපය ප්‍රත්‍යය වේය´´ යි (වදාළ සේක.)

7. ´´ස්වාමීනි, කෙසේ නම් සත්කාය දෘෂ්ටිය වේදැ´´ යි ඇසීය.

´´මහණ, මේ ලෝකයෙහි ඇසූ පිරූ තැන් නැති, ආය්‍ර්‍යයන් නොදක්නාවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි අදක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂවූ, සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, පෘතග්ජනතෙම රූපය තමායයි කියා හෝ දකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමායයි කියා හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. සංඥාව තමායයි කියා හෝ තමා සංඥාව ඇත්තෙක කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේය කියා හෝ සංඥාව කෙරෙහි තමා ඇත්තේය කියා හෝ දකියි. සංස්කාරය තමායයි කියා හෝ දකියි. තමා සංස්කාර ඇත්තෙක කියා හෝ සංස්කාර කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ දකියි. විඤ්ඤාණය තමා කියා හෝ දකියි. තමා විඥාණය ඇත්තෙක කියා හෝ විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේය කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි සත්කාය දෘෂ්ටිය වේය´´ යි වදාළ සේක.

8. ´´ස්වාමීනි, කෙසේ නම් සත්කාය දෘෂ්ටිය නොවේද?´´

´´මහණ, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් දක්නාවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි මනාව හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි මනාව හික්මුනාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම රූපය තමායයි නොදකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව තමායයි නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව තමායයි නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් තමායයි නොදකියි. තමා සංස්කාරයන් ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. විඥාණය තමායයි නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි. .මා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි හෝ නොදකියි. විඥානය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. මහණ, මෙසේ වනාහි සත්කාය දෘෂ්ටිය නොවේය´´ යි වදාළ සේක.

9. ´´ස්වාමීනි, රූපයෙහි ආශ්වාදය (රසවිඳීම) කවරේද? ආදීනවය (දොෂය) කවරේද? නිස්සරණය (නික්මීම) කවරේද? වේදනාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංඥාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංස්කාරයන්හි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? විඥානයෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? ´´මහණ, රූපය නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ රූපයෙහි ආශ්වාදය වේ. (රසවිඳීම වේ.) යම් රූපයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ රූපයෙහි ආදීනවය වේ. රූපයෙහි යම් ඇලීම නැති කිරීමෙක්, ඇලීම දුරු කිරීමෙක් වේද, මේ රූපයෙහි නිස්සරණය වේ. මහණ, වේදනාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආස්වාදය වේ. (රස විඳ ගැන්ම වේ.) යම් වේදනාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ වේදනාවෙහි ආදීනවය වේ. වේදනාවෙහි යම් ඡන්‍දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක්, ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේද, මේ වේදනාවෙහි නිස්සරණය වේ. සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි ආශ්වාදය වේ. යම් සංඥාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංඥාවෙහි ආදීනවය වේ. සංඥාවෙහි යම් ඡන්‍දරාගයෙන් ඇලීම නැති කිරීමෙක්, ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේද, මේ සංඥාවෙහි නිස්සරණය වේ. සංස්කාරයන් නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංස්කාරයෙහි ආශ්වාදය වේ. යම් සංස්කාරයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංස්කාරයෙහි ආදීනවය වේ. සංස්කාරයෙහි යම් ඡන්‍දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක්, ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේද, මේ සංස්කාරයෙහි නිස්සරණය වේ. විඥානය නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ විඥානයෙහි ආශ්වාදය වේ. යම් විඥානයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ විඥානයෙහි ආදීනවයයි. විඥානයෙහි යම් ඇලීමක් නැති කිරීමක්, ඇලීම දුරු කිරීමක් වේද, මේ විඥානයෙහි නිස්සරණය වේය´´ යි (වදාළ සේක.)

10. ´´ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ, පුද්ගලයාහට මේ විඥානය සහිත කයෙහි (ශරීරයෙහි) ද පිටත්හි සියලු අරමුණුවලද මමය, මාගේයයි ගන්නා මානානුසයෝ නොවෙත්ද?´´

´´මහණ, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි. මේ රූපය තෙම මම නොවෙමි. මේ රූපය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි. මේ වේදනාව තෙම මම නොවෙමියි. මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවෙයි. මේ සංඥාව තෙම මම නොවෙමියි. මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙත්ද, මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි. මේ සංස්කාරය තෙම මම නොවෙමියි. මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි. මේ විඥානය තෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකියිද, මහණ, මෙසේ වනාහි මෙසේ දක්නහුගේ මේ විඥානය සහිතවූ ශරීරයෙහිද, පිටත්හිවූ සියලු නිමිතිවලද, (අහඞ්කාර මමඞ්කාරයයි කියනලද) මමය මාගේයයි ගන්නාලද මානානුසයෝ නොවෙත්ය´´ යි වදාළ සේක.

11. ඉක්බිති එක්තරා භික්‍ෂුවක්හට මෙබඳු සිත පිළිබඳ පරිවිතර්කයක්, (කල්පනාවක්) පහළවිය. ´පින්වත, මෙසේ වනාහි රූපය අනාත්මයයි (තමා නොවෙයි), වේදනාවෝ අනාත්මයයි (තමා නොවෙත්), සංඥාවෝ අනාත්මයයි (තමා නොවෙත්), සංස්කාරයෝ අනාත්මයි, විඥානය අනාත්මයි, අනාත්මයෙහි සිට කරන ලද කර්‍මයෝ කවර ආත්මයෙහි සිට විපාක දෙත්ද´ කියායි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේගේ සිත්හි උපන් අදහස සිතින් දැන භික්‍ෂූන්ට කථාකළ සේක. ´´මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෙක් නොදන්නේ, අවිද්‍යාවෙන් යුක්තවූයේ, තෘෂ්ණාව අධිපතිකොට ඇත්තාවූ සිතින් ශාස්තෘ ශාසනය ඉක්මවා යා යුතුයයි හඟින්නේය, යන යමක් වේද, මේ කාරණය විද්‍යාමාන වේමය. ´පින්වත, මෙසේ වනාහි රූපය අනාත්මය, වේදනාවෝ අනාත්මය, සංඥාවෝ අනාත්මය, සංස්කාරයෝ අනාත්මය, විඥානය අනාත්මය, අනාත්මයෙහි සිට කරණ ලද කර්‍මයෝ කවර ආත්මයක්හි සිට විපාක දෙන්නාහුද´ කියායි. මහණෙනි, තෙපි මාගේ ධර්‍මය නිසා ඒ ඒ තන්හි ඒ ඒ ධර්‍මයන්හි හික්මුණාහුය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය හෝ වේද, අනිත්‍යය හෝ වේද?´´ ´´ස්වාමීනි, අනිත්‍යය.´´ ´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද, සැප හෝ වේදැ´´ යි. ´´සවාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ´ඒ මගේය මෙතෙම මම වෙමියි: මෙතෙම මාගේ ආත්මයයි´ දැකීමට සුදුසුද?´´ ´´ස්වාමීනි, එය නුසුදුසුමැයි.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? වේදනාවෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, එය කල්පනා කරන්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමය.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? සංඥාවෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, එය කල්පනා කරන්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමය.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද,

මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, එය කල්පනා කරන්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමය.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, ඒ මාගේය, මෙතෙම මම වෙමි. මෙය මාගේ ආත්මයයි, දැකීමට සුදුසුද?´´ ´´ස්වාමීනි, සුදුසු නොවේමැයි.´´

12. ´´මහණෙනි. එහෙයින් මේ ලෝකයෙහි අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ (තමා කෙරෙහි වූ හෝ), පිටත්හි වූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, හීනවූ හෝ, ප්‍රණීතවූ හෝ, දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි, මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, යම් දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි, මේ වේදනාව තෙම මම නොවෙමියි, මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, යම් දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවෙයි, මේ සංඥාව තෙම මම නොවෙමියි, මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, යම් දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි සංස්කාර කෙනෙක් වෙත්ද, මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි, මේ සංස්කාරය තෙම මම නොවෙමියි, මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද. අතීතානාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, තමා කෙරෙහි වූ හෝ පිටත්හි වූ හෝ මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි විඥානයක් වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමියි, මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.

13. ´´මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනීම වේ. ජාතිය ක්‍ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්ම භාවය පිණිස අනිකක් නැතැයි දැන ගනීය´´ යි වදාළ සේක.

14. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය සතුටින් පිළිගත්තාහුය. මේ දේශනාව දේශනා කරණ කල්හි සැටක් පමණවූ භික්‍ෂූන්ගේ චිත්තයෝ උපාදාන රහිතවූ ආශ්‍රවයන්ගෙන් මිදුනාහුයි.

නව වැනිවූ මහා පුණ්ණමා සූත්‍රය නිමි. (1 – 9 )

108. ගොපක මොග්ගල්ලාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි නොබෝ කල්හි රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කරති. එකල්හි වනාහි වෙදෙහි පුත්‍රවූ, මගධ රටට අධිපතිවූ, අජාතශතෘ නම් රජතෙම පජ්ජොත රජ ගැන සැක කොට රජගහ නුවර ප්‍රතිසංස්කරණය කරවයි. ඉක්බිති ආයුෂමත් ආනන්‍ද ස්ථවිර තෙම උදය කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන රජගහ නුවරට පිඬු පිණිස වැඩියේය. එකල්හි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තවම රජගහ නුවර පිඩු පිණිස හැසිරීමට කල් වැඩිය. මම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තය (වැඩපොල) යම් තැනෙක්හිද, ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා යම් තැනෙක්හිද, එතැනට යන්නෙම් නම් හොඳයයි අදහස්විය.

2. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේ එන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ´පින්වත් ආනන්‍ද ස්ථවිර තෙම මෙහි එත්වා. පින්වත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගේ පැමිණීම යහපත්ය. පින්වත් ආනන්‍ද ස්ථවිර තෙමේ බොහෝ කලකින් මෙහි පැමිණියේය. පින්වත් ආනන්‍ද ස්ථවිර තෙමේ වැඩ හිඳිනු මැනව. මේ ආසනය පනවන ලදැ´ යි කීය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම පනවනලද ආසනයෙහි වැඩ උන්නේය. ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙමේද, එක්තරා මිටි ආසනයක් ගෙණ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන්

´´ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයන්ගෙන් යුක්තවූයේ අර්හත් සම්මා සම්බුද්ධ වූයේද, සියලු ආකාරයෙන් ඒ ධර්‍මයන්ගෙන් යුක්තවූ එක භික්‍ෂුවක්වත් ඇත්තේදැ´´ යි ඇසීය.

3. ´´බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්‍මයන්ගෙන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ඒ ධර්‍මයන්ගෙන් යුක්තවූ එක භික්‍ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්‍ගය උපදවන්නෙකි. නොහටගත් මාර්‍ගය හටගන්වන්නෙකි. නොකියනලද මාර්‍ගය කියන්නෙකි. මාර්‍ගය දන්නෙක. මාර්‍ගයෙහි දක්‍ෂයෙක. පසුව ධර්‍මයෙන් යුක්තවූ, මාර්‍ගයට අනුව ගමන් කරන්නාවූ ශ්‍රාවකයෝ මෙකල වාසය කෙරෙත්ය´´ යි කීය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේත්, මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර පැවති මේ කථාව කොට නිමවන ලද්දී වේ.

4. එකල්හි මගධ මහාමාත්‍යවූ, වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම, රජගහ නුවර සර්‍මාන්තයන් පරීක්‍ෂා කර බලමින් යන්නේ, ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයාගේ වැඩපොල යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ, කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ, මගධ මහාමාත්‍යවූ, වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන්, ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහුද? නුඹ වහන්සේලා අතර කිනම් කථාවක් කොට නිම කරණ ලද්දීදැ´´ යි ඇසීය.

´´බ්‍රාහ්මණය, මෙහි මාගෙන් ගොපක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම, ´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයන්ගෙන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ඒ ධර්‍මයන්ගෙන් යුක්තවූ එක් භික්‍ෂුවක්වත් ඇත්තේදැ´ යි ඇසීය.´´

´´බ්‍රාහ්මණය, මෙසේ කී කල්හි මම ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට මෙය කීවෙමි. ´බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත්, අර්‍හත් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්‍මයන්ගෙන් යුක්තවූ සේක්ද, සියලු ආකාරයෙන් ධර්‍මයන්ගෙන් යුක්තවූ එක භික්‍ෂුවකුත් නැත්තේමය. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි, නූපන්නාවූ මාර්‍ගය උපදවන්නෙකි. නොහටගත්තාවූ මාර්‍ගය හටගන්වන්නෙකි. නොකියන ලද්දාවූ මාර්‍ගය කියන්නෙකි. මාර්‍ගය දන්නෙක. මාර්‍ගයෙහි දක්‍ෂයෙකි. පසුව ධර්‍මයෙන් යුක්තවූ, මාර්‍ගය අනුව ගමන් කරන්නාවූද, ශ්‍රාවකයෝ මෙකල්හි වාසය කෙරෙත්ය´ යි කීයෙමි. බ්‍රාහ්මණය, අපත් ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාත් අතර මේ කථාව කොට නිමවන ලදී. එකල්හි ඔබ පැමිණියෙහිය´´ යි කීය.

5. ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබන ලද දැන් නුඹ වහන්සේලා අනුගමනය කරන්නාවූ එක් භික්‍ෂුවක්වත් ඇත්තේද? ගෞතමයන් වහන්සේ විසින් තබනලද එබඳු එක් භික්‍ෂු නමකුත් ඇත්තේද?´´

´´බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද්දාවූ, දැන් අප අනුගමනය කරන්නවෙූ, එබඳු එක් භික්‍ෂුවකුත් නැත්තේමැයි.´´

´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංයා විසින් සම්මත කරණ ලද්දාවූ, බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් තබන ලද්දාවූ, දැන් නුඹ වහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්‍ෂුවක්වත් ඇත්දැ´´ යි (ඇසූයේය.)

´´බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංයා විසින් සම්මත කරණ ලද්දාවූ, බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් තබන ලද්දාවූ, දැන් අප යමකු අනුව ගමන් කරන්නාවූ එක භික්‍ෂ නමකුත් නැත්තේමය´´.

6. ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේද?´´ ´´බ්‍රාහ්මණය, අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්‍මය පිළිසරණකොට ඇත්තෝ වෙමු.´´ යි කීය.

´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේය´´ යි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබනලද, දැන් නුඹ වහන්සේලා අනුව ගමන් කරන්නාවූ එක භික්‍ෂුවකුත් ඇත්තේදැයි, මෙසේ අසන ලද්දේම, ´´බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ දක්නාවූ අර්‍හත්සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් තබනලද දැන් අප අනුව යන්නාවූ එබඳුවූ එක භික්‍ෂුවකුත් නැතැ´ යි කීයෙහිය. ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, සංයා විසින් සම්මත කරණ ලද බොහෝවූ ස්ථවිර භික්‍ෂූන් විසින් තබනලද දැන් නුඹ වහන්සේලා අනුව යන එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේදැ´´ යි මෙසේ අසන ලද්දේ, ´´බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි, සංයා විසින් සම්මත කරණ ලද, බෙහෝවූ ස්ථවිර භික්‍ෂූන් විසින් තබන ලද, දැන් අප අනුගමණය කරණ එක භික්‍ෂුවකුත් නැතැ´ යි කීයෙහිය. ´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙසේ පිළිසරණක් නැති කල්හි සමගියට හේතු කවරේදැ´ යි, මෙසේ අසන ලද්දේ, ´බ්‍රාහ්මණය, අපි පිළිසරණ නැත්තෝ නොවෙමු. බ්‍රාහ්මණය, අපි පිළිසරණ ඇත්තෝ වෙමු. ධර්‍මය පිළිසරණ කොට ඇත්තෝ වෙමු´ යි කීයෙහිය. භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අත්‍ර්‍ථය කෙසේ දත යුත්තේදැ´´ යි ඇසීය.

7. ´´බ්‍රාහ්මණය, සර්‍වඥතාඥානයෙන් දන්නාවූ, බුඳු ඇසින් දක්නාවූ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට පණවන ලද ශික්‍ෂාපද, උදෙසා දෙසන ලද ප්‍රාතිමොක්‍ෂය ඇත්තේය. ඒ අපි එදවස්හි වූ, පොහොයෙහි යම්තාක් භික්‍ෂූහු එක ගමක් ඇසුරුකොට වාසය කරමුද, ඒ සියල්ලෝ එක තැනකට රැස්වෙමු. රැස්ව, යමෙකුට එය කට පාඩම් තිබේද, එය කීම සඳහා ඔහුට ආරාධනා කරමු. එය කියනු ලබන කල්හි භික්‍ෂුවක්හට ඇවැතක් වේද, ශික්‍ෂාපද කඩ කිරීමක් වේද, එය අපි ධර්‍මයවූ පරිද්දෙන්, අනුශාසනාව වූ පරිද්දෙන් කරවමු. පින්වත්හු වනාහි එය නොකරවත්. ධර්‍මයම එය කරවාය´´ යි කීය.

8. ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, නුඹ වහන්සේලා මේ කාලයෙහි යම් භික්‍ෂුවකට සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නහුද, සත්කාරකොට, ගෞරව කොට, ඇසුරු කරගෙන වාසය කරන්නහුද, එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේද?´´

´´බ්‍රාහ්මණය, අපි මේ කාලයෙහි යමෙකුට සත්කාර කරමුද, ගෞරව කරමුද, බුහුමන් කරමුද, පුදමුද, සත්කාර කොට. ගෞරව කොට, ඇසුරු කොට ගෙණ වාසය කරමුද, එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේය.´´

9. ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසින් තබන ලද, මෙකල්හි නුඹ වහන්සේලා යමෙකු අනුව පිළිපදින්නාවූ, එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේදැ´ යි මෙසේ අසන ලද්දේ, ´බ්‍රාහ්මණය, මෙතෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි ඒ දන්නාවූ, දක්නාවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තබනලද අපි මේ කාලයෙහි යම් භික්‍ෂුවක් අනුව පිළිපදින්නෙමුද, එබඳු එක භික්‍ෂුවකුත් නැත්තේය´ යි කීයෙහිය. භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ´මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංයා විසින් සම්මත කරණලද, බොහෝවූ ස්ථවිර භික්‍ෂූන් විසින් තබනලද, මෙකල්හි නුඹ වහන්සේලා යම් භික්‍ෂුවක් අනුව පිළිපදින්නාවූ එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේදැ´ යි මෙසේ අසන ලද්දේද, ´බ්‍රාහ්මණය, මෙතෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයයි සංයා විසින් සම්මත කරන ලද බොහෝවූ ස්ථවිර භික්‍ෂූන් විසින් තබනලද, මෙකල්හි අපි යම් භික්‍ෂුවක් අනුව පිළිපදින්නෙමුද, එබඳු එක භික්‍ෂුවකුත් නැත්තේය´ යි කීයෙහිය. භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මේ කාලයෙහි නුඹ වහන්සේලා යමෙකුට සත්කාර කරන්නහුද, ගෞරව කරන්නහුද, බුහුමන් කරන්නහුද, පුදන්නහුද, සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොටගෙණ වාසය කරන්නහුද, එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේදැ´ යි මෙසේ අසන ලද්දේද, ´බ්‍රාහ්මණය, මේ කාලයෙහි අපි යමෙකුට සත්කාර කරමුද, ගෞරව කරමුද, බුහුමන් කරමුද, පුදමුද, සත්කාරකොට, ගෞරවකොට, ඇසුරුකොට ගෙණ, වාසය කරමුද, එබඳු එක භික්‍ෂුවකුත් ඇත්තේයයි කීයෙහිය.´ භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, මේ කීමේ අත්‍ර්‍ථය කෙසේ දතයුත්තේදැ´´ යි ඇසීය.

10. ´´බ්‍රාහ්මණය, සර්‍වඥතාඥානයෙන් දන්නාවූ, බුදු ඇසින් දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණලද, පැහැදිය යුතු ධර්‍ම දසයක් ඇත්තේය. යමෙකු කෙරෙහි මේ ධර්‍මයෝ ඇත්තාහුද, ඔහුට අපි මේ කාලයෙහි සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු. පුදමු. සත්කාරකොට, ගෞරවකොට, ඔහු ඇසුරුකොට ගෙණ වාසය කරමු. කවර දසයක්ද යත්?

11. ´´බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගෞරවයෙන් යුක්තව, සුළු වරදෙහිද බය දක්නෙක්ව, ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, බොහෝකොට අසන ලද්දෙක්, ඇසූ දේ දරන්නෙක්, අසනලද දේ රැස්කර ගන්නෙක් වෙයිද, මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත්වූද, අත්‍ර්‍ථ සහිතවූද, ව්‍යඤ්ජන සහිතවූද, යම් ඒ ධර්‍මයෝ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, පිරිසිදුවූ බ්‍රහ්මචය්‍ර්‍යාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහුද, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් සලකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනවට අවබොධ කරන ලද්දාහු වෙත්ද,

´´චීවරය, පිණ්ඩපාතය, සෙනාසනය, ගිලනුන්ට ප්‍රත්‍යවූ බෙහෙත් පිරිකරය, යන මෙයින් සතුටුවූයේ වෙයිද, විශෙෂයෙන් සිතෙහි හටගන්නාවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, සතර ධ්‍යානයන් කැමැති පරිදි ලබන්නේ, දුක් රහිතව ලබන්නේ, පහසුවෙන් ලබන්නේ වේද,

12. ´´අනෙක ප්‍රකාරවූ ඎද්ධි දක්වන්නේ වෙයිද, එකෙක්ද වී, බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක් වී, එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ වීමට, බිත්තියෙන් පිටතට, ප්‍රාකාරයෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට, නොගැටෙමින් අහසෙහි මෙන් ගමන් කරයි. පොළොවෙහිද මතුවීම ගිලීම දියෙහි මෙන් කරයි. දියෙහිද දිය බිඳීමක් නැතිව පොළොවෙහි මෙන් ගමන් කරයි. අහසෙහිද පියාපත් ඇති පක්‍ෂියකු මෙන් පය්‍ර්‍යඞ්ක බැඳ ගමන් කරයි. මෙසේ මහත් ඎද්ධි ඇති, මෙසේ මහත් ආනුභාව ඇති මේ චන්‍ද්‍ර සූය්‍ර්‍යයන්ද අතින් අල්වයි. පිරිමදියි. බ්‍රහ්ම ලෝකය දක්වාද කයින් වසඟයෙහි පවත්වයිද,

´´පිරිසිදුවූ මිනිසැ´ස ඉක්ම පවත්නාවූ, දිව්‍යවූ, ශ්‍රොත ඥානයෙන් දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලඟවූද, යම් ශබ්ද ඇත්ද, ඒ ශබ්ද දෙකොටස අසයිද,

11.´´අන්‍ය සත්ත්‍වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ, සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනියි. රාග සහිතවූ හෝ සිත රාග සහිතවූ සිතයයි දැනගනියි. පහවූ රාගය ඇති සිත හෝ පහවූ රාගය ඇති සිතයයි දැනගනියි. ෙවෂ සහිතවූ සිත හෝ ද්වේෂ සහිතවූ සිතයයි දැනගනියි. පහවූ ද්වේෂ ඇති සිත හෝ පහවූ ෙවෂ ඇති සිතයයි දැනගනියි. මොහ සහිතවූ සිත හෝ මොහ සහිතවූ සිතයයි දැනගනියි. පහවූ මොහය ඇති සිත හෝ පහවූ මොහය ඇති සිතයයි දැනගනියි. හැකුථණාවූ සිත හෝ හැකුථණු සිතයයි දැනගනියි. විසිර ගියාවූ සිත හෝ විසිර ගියාවූ සිතයයි දැනගනියි. මහද්ගතවූ සිත හෝ මහද්ගත සිතයයි දැනගනියි. මහද්ගත නොවූ සිත හෝ මහද්ගත නොවූ සිතයයි දැනගනියි. උත්තර සහිතවූ සිත හෝ උත්තර සහිත සිතයයි දැනගනියි. නිරුත්තරවූ සිත හෝ නිරුත්තර සිතයයි දැනගනියි. එකඟවූ සිත හෝ එකඟවූ සිතයයි දැනගනියි. එකඟ නොවූ සිත හෝ එකඟ නොවූ සිතයයි දැනගනියි. මිදුනාවූ සිත හෝ මිදුනාවූ සිතයයි දැනගනියි. නොමිදුනාවූ සිත හෝ නොමිදුනාවූ සිතයයි දැනගනියිද,

14. ´´නොයෙක් ආකාරවූ පෙර විසූ ස්කන්‍ධ පිළිවෙළ සිහි කරයි. කෙසේදයත්? එක ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසත්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්‍ත කල්පයන්ද, නොයෙක් විවර්‍ත කල්පයන්ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන්ද, අසුවල් තැන්හි මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණ ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයේ අසුවල් තන්හි ඉපදුනෙමි. එහිදු මෙනම් ඇත්තෙක්, මෙබඳු ගොත්‍ර ඇත්තෙක්, මෙබඳු වර්‍ණය ඇත්තෙක්, මෙබඳු ආහාරය ඇත්තෙක්, මෙබඳු සුව දුක් විඳින්නෙක්, මෙබඳු ආයුෂය කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයේ මෙහි උපන්නේ වෙමියි මෙසේ ආකාර සහිතවූ, කොටස් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසීම් සිහි කරයිද,

15. ´´පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ, දිව්‍යවූ ඇසින්, චුත වන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීතවූද, යහපත් වර්‍ණ ඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, හොඳ ලොව ගියාවූද, නරක ලොව ගියාවූද, සත්ත්‍වයන් දකියි. කම්වූ පරිද්දෙන් පරලොව ගියාවූ සත්ත්‍වයන් දැනගනියිද,

´´ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, අර්හත් ඵල සමාධියටද, අර්හත් ඵල ප්‍රඥාවටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද,

´´බ්‍රාහ්මණය, සර්‍වඥතාඥානයෙන් දන්නාවූ, බුදු ඇසින් දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ මේ පැහැදියයුතු ධර්‍ම දසය වෙත්. යමෙකු කෙරෙහි මේ ධර්‍ම දසය ඇත්තාහුද, මේ කාලයෙහි අපි ඔහුට සත්කාර කරමු. ගෞරව කරමු. බුහුමන් කරමු. පුදමු. සත්කාරකොට, ගෞරවකොට, ඔහු ඇසුරුකොට ගෙණ වාසය කරමු´´ යි කීය.

16. මෙසේ කී කල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙමේ උපනන්ද නම් සේනාපතියාට කථා කෙළේය. ´´සේනාපතිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඉදින් මේ පින්වත්හු මෙසේ සත්කාර කළයුත්තෙකුට සත්කාර කරද්ද? ගෞරව කළ යුත්තාට ගෞරව කරද්ද? බුහුමන් කළ යුත්තාට බුහුමන් කරද්ද? පිදිය යුත්තාට පුදත්ද? ඒකාන්තයෙන් මේ පින්වත්හු, සත්කාර කළ යුත්තාට සත්කාර කෙරෙත්. ගෞරව කළ යුත්තාට ගෞරව කෙරෙත්. බුහුමන් කළ යුත්තාට බුහුමන් කෙරෙත්. පිදිය යුත්තාට පුදත්. ඒ පින්වත්හු වනාහි මෙකී තැනැත්තාටද සත්කාර නොකරන්නාහු නම්, බුහුමන් නොකරන්නාහු නම්, නොපුදන්නාහු නම්, එසේ ඇති කල්හි කවරෙකුට ඒ පින්වත්හු සත්කාර කරන්නාහුද, ගෞරව කරන්නාහුද, බුහුමන් කරන්නාහුද, පුදන්නාහුද, සත්කාර කොට, ගෞරව කොට, ඇසුරු කොට ගෙණ වාසය කරන්නාහුදැ´´ යි (උපනන්ද සේනාපති තෙමේ කීය.)

17.´´ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන්, භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ කාලයෙහි කොහි වාසය කරත්දැ´´ යි ඇසීය.,

´´බ්‍රාහ්මණය, මම වනාහි මෙකල්හි වෙථවනාරාමයෙහි වාසය කරමි´´ යි (කීයේය.) ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, කිමෙක්ද? වෙථවනාරාමය සිත් අලවන්නේද? ස්වල්ප ශබ්ද ඇත්තේද? මඳවූ ාෙෂා ඇත්තේද? ජනවාතයෙන් තොරවූයේද? මිනිසුන්ගේ රහස් කුමන්ත්‍රණවලට සුදුසුද, තනිව විසීමට සුදුසුදැ´´ යි (ඇසීය.)

18.´´බ්‍රාහ්මණය, තොප වැනි ආරක්‍ෂකයන් පාලකයන් නිසා ඒකාන්තයෙන් වෙථවනාරාමය සිත් අලවන්නේද, නිශ්ශබ්ද වූයේද, මඳවූ ඊර්ෂා ඇත්තේද, මිනිසුන්ගේ රහස් කීම සුදුසු වූයේද, තනිව වාසයට සුදුසු වූයේද වෙයි´´

´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, ධ්‍යාන වඩන ස්වභාව ඇති, ධ්‍යාන වඩන්නාවූ පින්වතුන් වහන්සේලා නිසා ඒකාන්තයෙන් වෙථවනාරාමය සිත් අලවන්නේද, නිශ්ශබ්ද වූයේද, මඳ ඊර්ෂා ඇත්තේද? පහවූ ජනවාතය ඇත්තේද, මිනිසුන්ගේ රහස් කීමට සුදුසු වූයේද, තනිව වාසයට සුදුසු වූයේද වෙයි. පින්වත්හු ධ්‍යාන ඇත්තාහු, ධ්‍යාන වඩන සුථ වූවාහු වෙත්. භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, එක් කලෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, එකල්හි මම මහාවනයෙහි කූටාගාර ශාලාව යම් තැනකද ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෙමි. එහිද ඒ භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධ්‍යානය පිළිබඳ කථාව වදාළහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ ධ්‍යාන ඇත්තෙක්ද, ධ්‍යාන වඩන්නෙක්ද වූහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ සියලුම ධ්‍යානය වර්‍ණනා කළ සේකැ´´ යි (කීයේය.)

19. ´´බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්‍ණනා නොකළහ. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්‍ණනා නොකළේද නොවේ. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ ධ්‍යානයක් වර්‍ණනා නොකෙළේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ඇතැමෙක් කාම රාගය පැනනැගී, කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්තව වාසය කරයි. උපන්නාවූ කාම රාගයාගේ දුරු කිරීමද, තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම කාම රාගයම ඇතුථකොට ධ්‍යාන කරයි. (අරමුණු බලයි.) ප්‍රකාරයෙන් බලයෙන් නිතර බලයි. නැවත නැවත බලයි. ව්‍යාපාද පැන නැගී, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූද ව්‍යාපාදයාගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන නොගනියි. හෙතෙම ව්‍යාපාදයම ඇතුථකොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. ථීනමිද්ධය පැන නැගී ථීනමිද්ධයෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූද ථීනමිද්ධයාගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් දැන නොගනියි. හෙතෙම ථීනමිද්ධයම අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. අතර කොට බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. උද්ධච්චකුක්කුච්චය පැනනැගී උද්ධච්චකුක්කුච්චයෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූද උද්ධච්චකුක්කුච්චයාගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම උද්ධච්චකුක්කුච්චයම ඇතුථකොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. විචිකිච්ඡාව පැන නැගී විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් වාසය කරයි. උපන්නාවූ විචිකිච්ඡාවගේ දුරු කිරීමද තත්වූ පරිද්දෙන් නොදනියි. හෙතෙම විචිකිච්ඡාවම ඇතුථ කොට අරමුණු බලයි. ප්‍රකාරයෙන් බලයි. නිතර බලයි. නැවත නැවත බලයි. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ධ්‍යාන වර්‍ණනා නොකෙළේය.

20. ´´බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳුවූ ධ්‍යානයක් වර්‍ණනා කෙළේද? බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්ක විචාරයාගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ර්‍පීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියගේද නොඇල්මෙන් උපේක්‍ෂා ඇත්තේද, සිහි ඇත්තේද, නුවණ ඇත්තේද, වාසය කරයි. සැපයද කයින් විඳියි. ඒ යම් ධ්‍යානයක් ආය්‍ර්‍යයෝ උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි වර්‍ණනා කරත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරුකිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්ත්‍ථධ්‍යානට පැමිණ වාසය කරයිද, බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳුවූ ධ්‍යානය වර්‍ණනා කළ සේකැ´´ යි (කීයේය.)

21. ´´භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ ගැරහියයුතුවූ ධ්‍යානයට ගැරහූ සේක. පැසසියයුතු ධ්‍යානයට පැසසූ සේක. භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, දැන් අපි යන්නෙමු. අපි බොහෝ වැඩපල ඇත්තෝ බොහෝ කටයුතු ඇත්තෝ වෙමු´´ යි. ´´බ්‍රාහ්මණය, නුඹ ඊට කල් දනුව´´ යි (කීයේය.)

ඉක්බිති, මගධ මහාමාත්‍යවූ, වස්සකාර නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගේ කීම සතුටින් පිළිගෙන අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට ගියේය.

22. ඉක්බිති ගොපක මොග්ගල්ලාන බ්‍රාහ්මණ තෙම මගධ මහාමාත්‍යවූ, වස්සකාර නම් බ්‍රාහ්මණයා ගිය නොබෝ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. ´´අපි භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේගෙන් යමක් ඇසුවෙමුද, එය අපට භවත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ප්‍රකාශ නොකෙළේය´´ යි කීය.

´´බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ යම් ධර්‍මයන්ගෙන් යුක්තවූවාහුද, ඒ ධර්‍මවලින් සියලු ආකාරයෙන් යුක්තවූ, එක භික්‍ෂුවකුත් නැත්තේය. බ්‍රහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි නූපන් මාර්‍ගය උපදවන්නෙකි. නොහටගත් මාර්‍ගය හටගන්වන්නෙකි. නොකියන ලද මාර්‍ගය කියන්නෙකි. මාර්‍ගය දන්නේය. මාර්‍ගයෙහි දක්‍ෂයෙකි. මෙකල වාසය කරන්නාවූ ශ්‍රාවකයෝ පසුව ඒ ධර්‍මයන්ගෙන් යුක්තවූ මාර්‍ගය අනුව ගමන් කරන්නෝ වෙත්යයි බ්‍රාහ්මණය, තොපට කීවමෝ නොවෙමුද?´´

අටවෙනිවූ ගොපක මොග්ගල්ලාන සූත්‍රය නිමි. (1 – 8)

107. ගණක මොග්ගල්ලාන සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි මිගරමාතුපාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි, ´ගණක මොග්ගල්ලාන´ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

2. ´´භවත් ගෞතමයන් වහන්ස, යම්සේ මේ මිගාරමාතු පාසාදයාගේ අන්තිම හිනිපෙත්ත දක්වා පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් දක්නා ලැබේද, භවත් ගෞතමයන් වහන්ස, එමෙන් මේ බ්‍රාහ්මණයන්ගේ මන්ත්‍ර ඉගෙනීමෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, මේ දුනු ශිල්පයෙහිද, පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, ගණන් ශාස්ත්‍රයෙන් ජීවත් වන්නාවූ අපගේ ගණන් ශාස්ත්‍රයෙහිද පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම දක්නා ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි ගෝලයන් ලැබ පළමුකොට මෙසේ ගණන් කරවමු. එක, එකය, දෙක, දෙකය, තුන, තුනය, හතර, හතරය, පහ, පහය, හය, හයය, හත, හතය, අට, අටය, නවය, නවයයි. දසය, දසයයි, මෙසේ භවත් ගෞතමයන් වහන්ස, අපි සියයටද ගනන් කරවමු. භවත් ගෞතමයන් වහන්ස, මේ ධර්ම විනයෙහිද, එසේ පිළිවෙළින් හික්මීමක්, පිළිවෙළින් කිරීමක්, පිළිවෙළින් පිළිපැදීමක් පෙන්විය හැක්කේද?´´

3. ´´බ්‍රාහ්මණය, මේ ධර්ම විනයෙහි පිළිවෙළින් හික්මීම, පිළිවෙළින් කිරීම, පිළිවෙළින් පිළිපැදීම, පෙන්විය හැක්කේය. බ්‍රාහ්මණය, යම්සේ දක්‍ෂවූ අශ්වයන් හික්මවන්නෙක් යහපත්වූ ආජානීය අශ්වයෙකු ලැබ පළමුකොටම කටකලියාවට පුරුදු කරවයිද, ඉක්බිති මත්තෙහි කටයුතු පුරුදු කරවයිද, බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම තථාගත තෙම දමනය කිරීමට සුදුසු පුරුෂයෙකු ලැබ, පළමුකොටම මෙසේ හික්මවන්නේය. ´මහණ, එව. නුඹ සිල්වත් වෙව. ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කරව. සමාදන්ව ශික්‍ෂා පදයන්හි හික්මෙව´ යි යනුවෙනි.

4. ´´බ්‍රාහ්මණය, භික්‍ෂුතෙම යම් තැනක පටන් සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තව, කුඩා වරදෙහි පවා භය දක්නෙක්ව වාසය කෙරේද, සමාදන්ව ශික්‍ෂාපදයන්හි හික්මේද, තථාගත තෙම ඔහු මත්තෙහි හික්මවයි. ´මහණ, එව. නුඹ ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇත්තෙක් වෙව. ඇසින් රූපය දැක නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි (ඇසෙහි) සංවර නැතුව වාසය කරන්නහු ලොභය, ද්වෙෂය යන ලාමකවූ අකුසල ධර්මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. චක්‍ෂුරින්‍ද්‍රියය රකුව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´කණින් ශබ්දය අසා නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ සොතෙන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නාවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. සොතෙන්‍ද්‍රියය රකුව, සොතෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´නාසයෙන් ගන්‍ධය ආඝ්‍රාණයකොට නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් මේ ඝාණෙන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නාවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ඝාණෙන්‍ද්‍රියය රකුව, ඝාණෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´දිවෙන් රසය දැන නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ජිහ්ව ඉන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නාවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ජිහ්වෙන්‍ද්‍රියය රකුව, ජිහ්ව ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´කයින් ප්‍රශ්වව්‍යයන් ස්පර්‍ශකොට නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යම් හෙයකින් ස්පර්‍ශෙන්‍ද්‍රියයෙහි සංවර නැතිව වාසය කරන්නාවූ මොහුට විෂම ලොභය, දොම්නස යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වහනය වෙත්ද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. ස්පර්‍ශෙන්‍ද්‍රියය රකුව, ස්පර්‍ශෙන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව.

´´සිතින් ධර්‍මය දැන නිමිති ගන්නෙක්, කුඩා සලකුණු ගන්නෙක් නොවෙව. යමක් හේතුකොටගෙන මනින්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට ලොභය, ද්වෙෂය යන ලාමකවූ අකුසල ධර්‍මයෝ අනුව වැටහෙන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදුව. මනින්‍ද්‍රියය රකුව, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව´ යි යනුවෙනි.

5. ´´බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම ඉඳුරන්හි රක්නාලද .දොරටු ඇත්තේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ´මහණ එව. නුඹ භොජනයෙහි පමණ දක්නෙක් වෙව. නුවණින් සලකා ආහාරය ගනුව. ක්‍රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අලඞකාර කිරීම පිණිස නොවේ. යම්තාක්ම මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, විහිංසා වැලැක්ම පිණිස, බ්‍රහ්මචය්‍ර්‍යාවට අනුග්‍රහ පිණිස වේ. මෙසේ පැරණිවූ වේදනාවද නසමි. අළුත් වේදනාවද නූපදවන්නෙමි. මාගේ ජීවිත යාත්‍රාවද, නිරවද්‍ය භාවයද, පහසු විහරණයද වන්නේයයි (ආහාර ගනුව යනුවෙනි.)

6. ´´බ්‍රාහ්මණය, යම් තැනෙක පටන් මහණතෙම වැළඳීමෙහි පමණ දන්නේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ´´මහණ, එව. නුඹ නිදි දුරු කිරීමෙහි යෙදී වාසය කරව. දාවල් දවස සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ ප්‍රථම යාමයෙහි සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරව. රාත්‍රියගේ මධ්‍යම යාමය දකුණු පසින් දකුණු පයෙහි වම් පය මඳක් ඉක්මවා තබා සිහි ඇත්තේ, නුවණ ඇත්තේ, නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සයනය කරව. රාත්‍රියෙහි පශ්විම යාමයෙහි නින්දෙන් නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, සිත වසන්නාවූ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරව´ යි (යනුවෙනි.)

7. ´´බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, ඔහු තථාගතතෙම මත්තෙහි හික්මවයි. ´මහණ, එව. නුඹ සිහි නුවණින් යුක්තවූවෙක් වෙව. ඉදිරියට ගමන් කිරීමෙහිද, ආපසු ගමන් කිරීමෙහිද, නුවණින් යුක්තව කරන්නෙක්, ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද නුවණින් යුක්තවූවෙක්, අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, නුවණින් යුක්තවූවෙක්, දෙපට සිව්ර හා පා සිව්රු දැරීමෙහි නුවණින් යුක්තවූවෙක්. අනුභව කිරීමෙහි, පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි, නුවණින් යුක්තවූවෙක්, මල මූත්‍ර පහ කිරීමෙහි නුවණින් යුක්තවූවෙක්, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදි දුරු කිරීමෙහි, කීමෙහි, කතා නොකිරීමෙහි, නුවණින් යුක්තවූවෙක් වේවයි (යනුවෙනි.)

8. ´´බ්‍රාහ්මණය, යම් තැනක පටන් මහණතෙම සිහි නුවණින් යුක්තවූයේ වේද, ඒ පුද්ගලයා තථාගතතෙම මත්තෙහි හික්මවයි. ´මහණ, එව. නුඹ විවේක ඇත්තාවූ සේනාසනයක් භජනය කරව. එනම්, අරණ්‍යය, වෘක්‍ෂමූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වල ගුහාවය, සොහොනය, වනසෙනසුනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි. හෙතෙම විවේක ඇති සෙනසුනක් භජනය කරයි. අරණ්‍යය, වෘක්‍ෂමූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වත ගුහාය, සොහොනය, වනසෙනසුනය, අභ්‍යවකාශය, පිදුරු බිස්නය යන මොහුයි.

හෙතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, පළඟ බැඳගෙන, ඎජුව කය පිහිටුවා අරමුණට ඉදිරිපත්කොට සිහිය පිහිටුවා හිඳියි. හෙතෙම ලොකයෙහි ලොභය දුරුකොට පහව ගියාවූ විෂම ලොභය ඇති සිතින් යුක්තව වාසය කරයි. ලොභයෙන් සිත පිරිසිදු කරයි. ෙවෂය දුරුකොට, ෙවෂ රහිත සිත් ඇත්තේ, සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ව්‍යාපාද දොෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර පහව ගියාවූ ථීනමිද්ධය ඇතිව, ආලොක සංඥා ඇතිව, සිහි නුවණ දෙකින් යුක්තව වාසය කරයි. ථීනමිද්Ȁdධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන්කම හා පසුතැවීම) දුරුකොට සන්සුන්ව, කමා කෙරෙහි සංසිඳුනු සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙනි සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර, දුරුකළ සැක ඇත්තේ, කුසල ධර්‍මයන්හි කෙසේ කෙසේදැයි යන සැක නැතිව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

9. ´´හෙතෙම මේ සිත කිලිටු කරන්නාවූ, ප්‍රඥාව දුර්‍වල කරන්නාවූ, පඤ්චනීවරණයන් හැර, කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟබව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහිද නොඇල්මෙන්, උපෙක්‍ෂාවෙන්ද, සිහි නුවණ දෙකින්ද, යුක්තවවාසය කරයි. සැපයද නාම කයින් විඳියි. යම් ධ්‍යානයකට පැමිණීම නිසා ආය්‍ර්‍යයෝ උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපයාගේද දුරු කිරීමෙන්, දුක්ඛයාගේද දුරු කිරීමෙන්, පළමු උපචාර කාලයේම සොම්නස්, දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, චතුත්‍ර්‍ථධයානයට පැමිණ වාසය කරයි.

10. ´´බ්‍රාහ්මණය, යම් ඒ භික්‍ෂූහු ශෛක්‍ෂවූවාහු නොපැමිණි අර්‍හත්‍වය ඇත්තාහු උතුම්වූ නිවණ පතමින් වාසය කරත්ද, ඔවුන් කෙරෙහි මාගේ මෙබඳුවූ මේ අනුශාසනාව වෙයි. යම් ඒ භික්‍ෂූහු රහත් වූවාහු ක්‍ෂය කළ ආශ්‍රව ඇත්තාහු, වැස නිමවනලද බඹසර (උතුම් හැසිරීම) ඇත්තාහු, සතර මගින් කරනලද කටයුතු ඇත්තාහු, බහා තබනලද කෙලෙස් බර ඇත්තාහු, පිළිවෙළින් පැමිණි අර්‍හත්‍වය ඇත්තාහු, ක්‍ෂයකළ භවසංයෝජන ඇත්තාහු, මනාව නුවණින් දැන කෙලෙසුන් කෙරෙන් මිඳුනාහු වෙත්ද, ඔවුනට මේ ධර්‍මයෝ මේ ආත්මයෙහි සැප විහරණය පිණිසද, සිහි නුවණ දෙකින් යුක්තවීම පිණිසද පවතිත්ය´ යි වදාළසේක.

11 මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´කිමෙක්ද? භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු සියල්ලෝම ඒකාන්ත නිෂ්ටාවවූ නිවනට පැමිණෙත්ද, නොහොත් ඇතැමෙක් නොපැමිණෙත්ද?´´

12. ´´බ්‍රාහ්මණය, ඇතැම් මාගේ ශ්‍රාවකයෝ මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, ඒකාන්ත නිෂ්ටාවවූ නිවනට පැමිණෙත්. ඇතැම්හු නොපැමිණෙත්ය´´ යි (වදාළසේක.) ´´ භවත් ගෞතමයන් වහන්ස, නිවණද ඇත්තේද, නිවණට පැමිණෙන මාර්‍ගයද ඇත්තේය. එහි යොදවන්නාවූ භවත් ගෞතමයන් වහන්සේද ඇත්තාහ. එතකුදු වුවත් භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ භවත් ගෞතමයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරණු ලබන්නාහු, සමහරු ඒකාන්ත නිෂ්ටාවවූ නිවනට පැමිණෙත්. සමහරු නොපැමිණෙත් යන යමක්වේද, ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?´´

13. ´´බ්‍රාහ්මණය, එසේ නම් තොපගෙන්ම මෙය අසන්නෙමි. යම්සේ තොපට වැටහෙන්නේද, එසේ එය ප්‍රකාශ කරව. බ්‍රාහ්මණය, ඒ කුමකැයි හඟින්නෙහිද? නුඹ රජගහ නුවරට යන්නාවූ මාර්‍ගය පිළිබඳව දක්‍ෂයෙක් වෙහිද?´´ ´´එසේය, පින්වතුන් වහන්ස, මම රජගහ නුවරට යන්නාවූ මග පිළිබඳව දක්‍ෂයෙක්මි´´ යි කීයේය.

´´බ්‍රාහ්මණය, , ඒ කුමකැයි හඟින්නෙහිද? මෙහි රජගහ නුවරට යනු කැමැත්තාවූ පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ, ´ස්වාමීනි, මම රජගහ නුවරට යනු කැමැත්තෙමි. ඒ මට රජගහ නුවරට යන මග දක්වණු මැනවැ´ යි කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ´පින්වත් පුරුෂය, මෙසේ මේ මාර්‍ගය රජගහ නුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල, ආරාමයන්ගෙන් අලංකාරවූ, උයන්වලින් අලංකාරවූ, භූමියෙන් අලංකාරවූ, පොකුණුවලින් අලංකාරවූ රජගහ නුවර දක්නෙහිය´ කියායි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ හෙතෙම වැරදි මගක් ගෙණ ආපසු හැරී යන්නේය.

ඉක්බිති රජගහ නුවරට යනු කැමැත්ාවූ දෙවෙනි පුරුෂයෙක් එන්නේය. හෙතෙම නුඹ වෙත පැමිණ ´ස්වාමීනි, මම රජගහ නුවරට යනු කැමැත්තෙමි. ඒ මට රජගහ නුවරට යන මග දක්වණු මැනවැ´ යි කියන්නේය. ඔහුට නුඹ මෙසේ කියන්නෙහිය. ´පින්වත් පුරුෂය, මෙසේ මේ මග රජගහ නුවරට යයි. ඒ මගින් ටික දුරක් යව. ඒ මගින් ටික දුරක් ගිය කල අසවල් නම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල අසවල් නම් නියම් ගම දක්නෙහිය. එයින් ටික දුරක් යව. එයින් ටික දුරක් ගිය කල, ආරාමයන්ගෙන් අලංකාරවූ, වනයන්ගෙන් අලංකාරවූ, භූමීන්ගෙන් අලංකාරවූ, පොකුණුවලින් අලංකාරවූ රජගහ නුවර දක්නෙහිය´ යනුවෙනි. නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ හෙතෙම සුවසේ රජගහ නුවරට යන්නේය.

´´බ්‍රාහ්මණය, රජගහ නුවරද ඇත. රජගහ නුවරට යන මගද ඇත. යොදවන්නාවූ නුඹ ඇත. එතකුදු වුවත් නුඹ විසින් මෙසේ අවවාද කරනු ලැබූ, මෙසේ අනුශාසනා කරනු ලැබූ එක් පුරුෂයෙක් නොමග ගෙන ආපසු හැරී යන්නේය. එක් පුරුෂයෙක් සුවසේ රජගහ නුවරට යන්නේය යන මීට හේතුව කුමක්ද?´´ ´´භවත් ගෞතමයන් වහන්ස, කාරණය කුමක්ද? මෙහි මම කුමක් කෙරෙම්ද? භවත් ගෞතමයන් වහන්ස, මම මග කියන්නේ වෙමියි කීය.

14. ´´බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම නිවණ ඇත්තේමය. නිවණට යන මග ඇත්තේමය. යොදවන්නාවූ මමද සිටිමි. එතකුදු වුවත් මාගේ ශ්‍රාවකයෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු, මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු සමහරු ඒකාන්තයෙන් නිෂ්ටාවවූ නිවණට පැමිණෙත්. සමහරු නොපැමිණෙත්. බ්‍රාහ්මණය, මෙහි මම කුමක් කෙරෙම්ද? බ්‍රාහ්මණය, තථාගත තෙම මග කියන්නේ වේයයි´´ වදාළසේක.

15. මෙසේ වදාළ කල්හි ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රද්ධාව නැත්තාවූ, ජීවිකාව ප්‍රයෝජන කොට ඇත්තාවූ, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූ, කෛරාටිකවූ, මායා ඇත්තාවූ, කෙටුහ ශාස්ත්‍ර දන්නාවූ, උඩඟුවූ, මානය ඇත්තාවූ, චපලවූ, දොඩමලුවූ, විසුරුණු වචන ඇත්තාවූ, ඉන්‍ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ නොදන්නාවූ, නිදි දුරු කිරීමෙහි නොයෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තුවක් නැත්තාවූ, ශික්‍ෂාවෙහි තියුණු ගෞරවයක් නැත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට ඇත්තාවූ, සස්න ලිහිල් කොට ගත්තාවූ, පසුබැස්මෙහි පෙරටුව ගමන් කරන්නාවූ, විවේකයෙහි බහා තබන ලද බර ඇත්තාවූ, කම්මැලිවූ, හීන වීය්‍ර්‍ය ඇත්තාවූ, සිහි මුළාවූ, නුවණ නැත්තාවූ, සිත එකඟ නොවූ, කැළඹුණු සිත් ඇත්තාවූ, ප්‍රඥා නැත්තාවූ, කෙලතොලුවූ, යම් පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතම තෙමේ ඔවුන් සමග වාසය නොකරයි.

´´ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ, කෛරාටික නොවූ, මායා නැත්තාවූ, කෙටුහ ශාස්ත්‍ර නොකියන්නාවූ, උඩඟු නොවූ, උස්වූ මාන නළ නැත්තාවූ, චපල නොවූ, දොඩමලු නොවූ, විසුරුණු වචන නැත්තාවූ, ඉන්‍ද්‍රියයනහි රක්නාලද දොරටු ඇත්තාවූ, වැළඳීමෙහි පමණ දන්නාවූ, නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ, ශ්‍රමණ බැව්හි බලාපොරොත්තු ඇත්තාවූ, ශික්‍ෂායෙහි තියුණු ගෞරව ඇත්තාවූ, ප්‍රත්‍ය බහුලකොට නැත්තාවූ, සස්න ලිහිල්කොට නොගන්නාවූ, පසුබැස්මෙහි බහා තබනලද බර ඇත්තාවු, විවේකයෙහි පෙරටුව ගමන් කරන්නාවූ, පටන් ගන්නා ලද වීය්‍ර්‍යය ඇත්තාවූ, හරන ලද ආත්ම ආශාව ඇත්තාවූ, එළඹ සිටි සිහි ඇත්තාවූ, මනා නුවණ ඇත්තාවූ, සමාධියට පැමිණියාවූ, එකඟවූ සිත් ඇත්තාවූ, ප්‍රඥාව ඇත්තාවූ, කෙලතොලු නොවූ යම් ඒ පුද්ගලයෝ වෙත්ද, භවත් ගෞතම තෙමේ ඔවුන් සමග වාසය කරයි.

´´භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යම්කිසි සුවඳ මුල් වර්‍ග වෙත්ද, කලුවැල් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ හර වර්‍ග වෙත්ද, රත් සඳුන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. යම්කිසි සුවඳ මල් වර්‍ග වෙත්ද, දෑසමන් ඔවුන්ගෙන් අග්‍රයයි කියනු ලැබේ. එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේගේ අවවාදය තෙම මෙකල්හි පවත්නා ධර්‍ම අතුරෙන් අතිශයින් අග්‍ර වන්නේය.

16. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළාවූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්‍ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනෙක ප්‍රකාරයෙන් ධර්‍මය දේශනා කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද, භික්‍ෂු සඞඝයාද (සරණකොට යමි.) භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා´´ යි කීය.

හත්වෙනිවූ ගණක මොග්ගල්ලාන සූත්‍රය නිමි. ( 1 – 7 )

106. ආනෙඤ්ජ සප්පාය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මස්සදම්ම නම්වූ කුරුරට වැස්සන්ගේ නියම් ගමක් වේද, එහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට, ´මහණෙනි´ යි කථා කළ සේක. ´පින්වතුන වහන්සැ´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

2. ´´මහණෙනි, වස්තුකාම ක්ලේශ කාමයෝ ඇතිව නැතිවන හෙයින් අනිත්‍ය යන සාරයක් නැති හෙයින් හිස්ය. විනාශ වන්නාහුය. විනාශවන ස්වභාවය ඇත්තාහුය. මහණෙනි, මෙය මායාවකින් කරන ලද්දක් වැනිය. අඥානයන් විසින් මගේය මගේය කියනු ලබන්නාහුය. මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම ගුණයෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍යකාම ගුණයෝ වෙත්ද, මෙලොව ඇත්තාවූ යම් මනුෂ්‍ය කාම සංඥාවෝ වෙත්ද, පරලොව ඇත්තාවූ යම් දිව්‍ය කාම සංඥාවෝ වෙත්ද, මේ දෙකොටස මාරයාට යටත්වේ. මෙය මාරයාගේ ස්ථානය වේ. මාරයා දමන කෑම වෙයි. මාරයාගේ කොටු (ගාල්) වෙයි. මේ කාමයන් අරමුණු කොට සිත්හි හටගන්නාවූ දැඩි ලෝභයද, ක්‍රොධයද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද යන අකුසලයෝ පවතිත්. ඒ අකුසලයෝ මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්.

3. ´´මහණෙනි, එහි ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ සලකයි. ´මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම ගුණයෝ වෙත්ද, මේ ආත්මයෙහි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලෙව්හි ඇත්තාවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටසම මාරයාට යටත්ය. මේ මාරයාගේම ස්ථානය වේ. මේ මාරයා විසින් දමන ලද කෑම වේ. මේ මාරයාගේ කොටුව වේ. මේ කාමය අරමුණුකොට මේ සිතෙහි හටගන්නාවූ පවිටුවූ අකුසල්වූ දැඩි ලෝභයෝද, ක්‍රොධයෝද, අන්‍යයන්ට වැඩියෙන් කිරීමයයි කියනලද සාරම්භයද පවතිත්. ඔවුහුද මේ ශාසනයෙහි හික්මෙන්නාවූ ආය්‍ර්‍ය ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිත්. මම වනාහි විපුලවූ මහග්ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්වා, සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නෙම් නම් ඉතා යෙහෙක, මම විපුලවූ මහත්ගතවූ සිතින් කාමගුණ ලෝකය මැඩ පවත්වා, සිතින් ධ්‍යාන අරමුණු අධිෂ්ඨාන කොට වාසය කරන්නාවූ මාගේ යම් සිතෙහි හටගන්නාවූ පවිටුවූ, අකුසල්වූ අභිධ්‍යාවෝද, ව්‍යාපාදයෝද, සාරම්භයෝත් වෙත්ද, ඔවුහු නොවන්නාහ. ඔවුන්ගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නොවූ අප්‍රමාණවූ මොනවට වඩනා ලද්දාවූ සිතක් වන්නේය´ යි සිතන්නේය. මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ, ඔහුගේ සිත රහත් බවට හේතුවූ විදර්‍ශනාවෙහි හෝ ධ්‍යානයට හේතුවූ උපචාර සමාධියෙහි හෝ පහදියි. මනා පැහැදීම් ඇති කල්හි ඉහාත්මයෙහි හෝ කම්පා නොවන ධ්‍යාන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) නොහොත් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්‍ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද, එය කුසල චතුර්‍ථධ්‍යානයට සමානවූවක් වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවන කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

4. ´´මහණෙනි, නැවතද අනිකක් කියමි. ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´මේ ආත්මයෙහිවූ යම් කාමයෝත් වෙත්ද, පරලෙව්හි යම් කාමයෝත් වෙත්ද, මේ ආත්මයෙහිවූ යම් කාමසංඥාවෝත් වෙත්ද, පරලෙව්හි යම් කාමසංඥාවෝත් වෙත්ද, සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා උපාදාය රූපයයි යම්කිසි රූපයක් වේද, මෙසේ පිළිපන්නාවූ එය බහුලකොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකාසානඤ්තායතනයට පැමිණෙන හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි ආකාසානඤ්තායතනයට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යම් කාරණයකින් ඒ භික්‍ෂුව උපදින්නාවූ විපාක විඤ්ඤාණයක් වේද එය ආකාසානඤ්තායතන කුසල චිත්තයට සමාන වන්නේය. යන මේ කාරණය ඇත්තේය.

´´මහණෙනි, මේ දෙවෙනිවූ කෙලෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

5. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ සලකයි. මෙලොවවු යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, යම් මෙලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ කාම සංඥාවෝත් වෙත්ද, යම් මෙලොවවූ රූපයෝත් වෙත්ද, යම් පරලොවවූ රූපයොත් වෙත්ද, යම් මෙලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, යම් පරලොවවූ රූප සංඥාවෝත් වෙත්ද, මේ දෙකොටස අනිත්‍යය. යමක් අනිත්‍යද, එය සතුටුවන්නට නුසුදුසුය. මමය මාගේයයි කීමට නුසුදුසුය. තෘෂ්ණාවෙන් ඇතුළත් කර ගැනීමට නුසුදුසුයයි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත විඤ්ඤාණඤ්චායතන හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි හෝ විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ භෙදයෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහු උපදින්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණඤ්චායතනයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මේ තුන්වන කෙළෙසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

6. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´මෙලොවවු යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නොවී නිරුද්ධ වෙත්ද, යම් ඒ ආකිඤ්චඤ්ඤායතන සමාධියක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතයයි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙහි සිත පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නාවූ විපාක විඤ්ඤාණය ආකිඤ්චඤ්ඤායතන කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ පළමුවැනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

7. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම ආරණ්‍යයට පැමිණියේ හෝ වෘක්‍ෂමූලයට පැමිණියේ හෝ සූණ්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මෙය මමය යන දෙයකින් හෝ මගේය යන දෙයකින් හෝ සූන්‍ය වේයයි, මෙසේ පිළිපන්නාවූ එය බහුලකොව වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤා යතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වෙයි යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ දෙවෙනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

8. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍යශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´කිසි තැනක මමයයි කිසිවෙක් නැල. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවෙක්ද නැතැ´ යි. මෙසේ පිළිපන්නාවූ එය බහුලකොව වාසය කරන්නාවූ ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතන සමාධි හේතුවෙහි පහදියි. පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි හෝ ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වේ යන මේ කාරණය ඇත්තේය.

මහණෙනි, මේ තුන්වෙනි ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

9. ´´මහණෙනි, නැවත අනිකක්ද කියමි. ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. ´මෙලොවවු යම් කාමයෝත් වෙත්ද, පරලොවවූ යම් කාමයෝත් වෙත්ද, මෙලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් කාම සංඥාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, පරලොවවූ යම් රූප සංඥාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, මේ සියලු සංඥාවෝ ඉතිරි නැතිව නිරුද්ධ වෙත්ද, යම් ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතය´ යි මෙසේ පිළිපන්නාවූ එය බහුල කොට වාසය කරන්නාවූ ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතන හේතුවෙහි පහදියි. මේ ආත්මයෙහි පැහැදීම ඇති කල්හි මේ ආත්මයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණෙයි. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. (රහත් වෙයි.) ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නාවූ විපාක විඤ්ඤාණය කුසල විඤ්ඤාණයට සමාන වන්නේය යන මේ කාරණය ඇත්තේය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

10. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ඉදින් මා විසින් පෙර කර්‍ම රැස් නොකරන ලද්දේ නම් මාගේ මේ විපාක භවය නොපවතනේය. ඉදින් දැන් කර්‍ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවත්නේය. දැන් යම් පඤ්චස්කන්‍ධයක් ඇත්තේද, එය දුරු කරමි´ යි මෙසේ විදර්‍ශනා උපෙක්‍ෂාව ලබයි. ස්වාමීනි, මේ මහණතෙම පිරිනිවියේද?´´

´´ආනන්‍දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේය. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේය´´ යි වදාළේය. ´´ස්වාමීනි, යම් හෙයකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් පාන්නේද. මෙහි ඇතැම් මහණෙක් පිරිනිවන් නොපාන්නේද, ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?´´ ´´ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේවේ. මා විසින් පෙර කර්‍ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපවතින්නේය. ඉදින් දැන් කර්‍ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්‍ධයක් ඇත්තේද, එය දුරු කරමි´ යි මෙසේ විදර්‍ශනා උපෙක්‍ෂාව ලබයි. හෙතෙම ඒ උපෙක්‍ෂාවට මමය මාගේයයි සතුටුවෙයි. මමය මාගේයයි කියායි. මමය මාගේයයි තෘෂණාවෙන් බැස ගනියි. ඒ උපෙක්‍ෂාවට සතුටු වන්නාවූ මමය යනාදීන් කියන්නාවූ, තෘෂ්ණාවෙන් බැස ගත්තාවූ උපෙක්‍ෂාව විඤ්ඤාණය ඇසුරු කර ලද්දේ වෙයි. එය දැඩිකොට අල්වා ගැනීමයි. ආනන්‍දය, දැඩිකොට අල්වා ගැනීම සහිතවූ මහණතෙම පිරිනිවන් පාන්නේ නොවෙයි.´´ ´´ස්වාමීනි, දැඩිකොට අල්වා ගන්නාවූ ඒ මහණතෙම කුමක් දැඩිසේ අල්වා ගනීද?´´ ´´නෙවසඤ්ඤානාසඤ්ඤායතනය´´ යි වදාළේය. ´´ස්වාමීනි, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වා ගනු ලබන ශ්‍රෙෂ්ඨවූ භවය අල්වා ගනියි.´´ ´´ආනන්‍දය, ඒ මහණතෙම වනාහි දැඩිකොට අල්වා ගනු ලබන ශ්‍රෙෂ්ඨවූ භවය අල්වා ගන්නේය. ආනන්‍දය, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයක් වේද, මෙය වනාහි දැඩිව අල්වාගනු ලබන ශ්‍රේෂ්ඨ භවයයි.

11. ´´ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ´පෙර මා විසින් කර්‍ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේය. දැන් කර්‍ම රැස් නොකෙළේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේය. දැන් යම් පඤ්චස්කන්‍ධයන් වේද, එය දුරු කරමි´ යි මෙසේ විදර්‍ශනොපෙක්‍ෂාව ලබයිද, හෙතෙම ඒ උපෙක්‍ෂාවට ´මමය මාගේය´ යි සතුටු නොවෙයි. ´මමය මාගේය´ යි නොකියයි. එහි තෘෂණාවෙන් බැසගෙන නොසිටියි. ඒ උපෙක්‍ෂාවට සතුටු නොවන්නාවූ, ´මමය මාගේය´ යි නොකියන්නාවූ, එහි බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ එය ඇසුරු කළාවූ, විඤ්ඤානය නොවෙයි. එය දැඩිකොට අල්වා ගැනීම නොවෙයි. ආනන්‍දය, දැඩිව අල්වා ගැනීම නැත්තාවූ පිරිනිවන් පාන්නේය´´ යි වදාළසේක.

12. ´´ස්වාමීනි, ආශ්චය්‍ර්‍යය, ස්වාමීනි, අද්භූතය, ස්වාමීනි, ඒ ඒ සමාපත්තිය ඇසුරුකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ඕඝයන්ගේ එතර කිරීම වදාරණ ලදී. ස්වාමීනි, ආය්‍ර්‍යවූ විමොක්‍ෂය කවරේද?´´

´´ආනන්‍දය, මේ ශාසනයෙහි ආය්‍ර්‍යශ්‍රාවකතෙම මෙසේ කල්පනා කරයි . ´මෙලොවවූ යම් කාමයෝත් වෙත්ද. පරලොවවූ කාමයොත් වෙත්ද, මෙලොවවූ යම් කාමසංඥාවොත් වෙත්ද. පරලොවවූ යම් කාම සංඤාවෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපයෝත් වෙත්ද, පරලොවවූ යම් රූපයෝත් වෙත්ද, මෙලොවවූ යම් රූපසංඥාවෝත් වෙත්ද. පරලොවවූ යම් රූපසංඤාවෝත් වෙත්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝත් වෙත්ද, යම් ආකිඤ්චඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෝත් වෙත්ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය නම් වූ ත්‍රෛභූමික සංස්කාරයන් කෙරෙන් දැඩිසේ අල්වා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේද, එය අමෘතය නම් වේ.

13. ´´ආනන්‍දය, මෙසේ වනාහි මා විසින් කම්පා නොවන, ධ්‍යාන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකිඤ්චඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරන ලදී. නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට හිතවූ ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒ ඒ සමාධි ඇසුරුකොට ඕඝයන්ගේ එතර කිරීම දේශනා කරන ලදී. ආය්‍ර්‍යවූ විමොක්‍ෂය දේශනා කරන ලදී. ආනන්‍දය, ශ්‍රාවකයනට වැඩ කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ ශාස්තෘහු විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේද, මා විසින් එය තොපට කරන ලදී. ආනන්‍දය, මේ වෘක්‍ෂමූල වෙත්. මේ සූන්‍යාගාර වෙත්. ආනන්‍දය, ධ්‍යාන කරව්. (සමාධි උපදවව්.) ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාව වේ´´ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

ආනෙඤ්ජ සප්පාය සූත්‍රය නිමි. ( 1 – 6 )

105. සුනක්ඛත්ත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි බොහෝවූ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්‍ෂය කරන ලද්දීය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කටයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කරන ලද්දේ වෙයි. සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම ´බොහෝවූ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ජාතිය ක්‍ෂය කරන ලද්දීය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කටයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, කියා අර්‍හත්‍වය ප්‍රකාශ කරන ලදැ´ යි ඇසුවේමය.

2. ඉක්බිති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, බොහෝවූ භික්‍ෂූන් විසින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ´ජාතිය ක්‍ෂය කරන ලදී. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලදී. සතර මාර්‍ගයෙන් කටයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි,´ කියා අර්‍හත්‍වය ප්‍රකාශ කරන ලදැයි මෙය මා විසින් අසන ලදී. ස්වාමීනි, යම් මේ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ජාතිය ක්‍ෂය කරන ලද්දීය. මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කටයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කරන ලද්දාහුද? ස්වාමීනි, කිමෙක්ද, ඒ භික්‍ෂූහු මනාකොටම රහත්බව ප්‍රකාශ කළාහුද නොහොත් මෙහි සමහර භික්‍ෂූහු අධිමානයෙන් (රහත්ය යන හැඟීමෙන්) ප්‍රකාශ කළාහුදැ?´´ යි ඇසීය.

3. ´´සුනක්ඛත්තය, යම් ඒ භික්‍ෂූහු මා සමීපයෙහි ජාතිය ක්‍ෂය කරන ලද්දීය, මාර්‍ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කටයුතු දෙය කරන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දනිමුයි, රහත්බව ප්‍රකාශ කළාහුද, මෙහි ඇතැම් භික්‍ෂූහු මනාකොටම රහත් බව ප්‍රකාශ කළාහු වෙත්. මෙහි ඇතැම් භික්‍ෂූහු අධිමානයෙන්ද රහත් බව ප්‍රකාශ කළාහු වෙත්මැයි. සුනක්ඛත්තය, එහි යම් ඒ භික්‍ෂූහු මනාකොටම රහත් බව ප්‍රකාශ කළාහුද, ඔවුන්ගේ එය එසේම වෙයි. යම් ඒ භික්‍ෂූහු වනාහි අධිමානයෙන් රහත්බව ප්‍රකාශ කළාහුද, සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්‍මය දේශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. සුනක්ඛත්තය, මෙහි තථාගතයන්ට ඔවුන්ට ධර්‍මය දේශනා කරන්නෙමියි, මෙබඳු අදහසක් වෙයි. එතකුදු වුවත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ ප්‍රශ්න සදාගෙන තථාගතයන් කරා පැමිණ අසත්. සුනක්ඛත්තය, එහි තථාගතයන්ට ඔවුන්ට ධර්‍මය දේශනා කරන්නෙමි, යන මෙබඳු අදහසක් වෙයි. එයිනුදු ඔහුගේ සිත වෙනස් වේය කියායි.´´

4.´´භාග්‍යවතුන් වහන්ස, මෙයට මේ සුදුසු කාලය වේ. සුගතයන් වහන්ස, මෙයට මේ සුදුසු කාලය වේ. භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයක් දේශනා කරන්නේද, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහුය´´ යි කීය. ´´සුනක්ඛත්තය එසේ වී නම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි´´ යි වදාළේය. ´´ස්වාමීනි´´ යි සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය,

5. ´´සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පසක් වෙත්. කවර පසක්ද යත්, ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇථම් උපදවන්නාවූ, ඇසින් දත යුතු රූපයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇථම් උපදවන්නාවූ, කනින් දත යුතු ශබ්දයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇථම් උපදවන්නාවූ, නැහැයෙන් දත යුතු ගන්‍ධයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇථම් උපදවන්නාවූ, දිවෙන් දත යුතු රසයෝය. ඉෂ්ටවූ, කැමති වන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇථම් ඇතිකරන්නාවූ, ශරීරයෙන් දත යුතුවූ ස්පර්‍ශයෝය. සුනක්ඛත්තය, මොහු වනාහි කාම ගුණ පස වෙත්.

6. ´´සුනක්ඛත්තය, මේ ලෝකයෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් තෙම පඤ්චකාම ගුණයන්හි ඇලුණ පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා වනාහි ඊට සුදුසුවූ කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූ කරුණුම නැවත නැවත සිතත්නේ වෙයි. නැවත නැවත කල්පනා කරන්නේ වෙයි. එබඳු පුරුෂයන්ම සේවනය කරයි. ඔහු සමගම සතුටට පැමිණෙයි. කම්පා නොවන යට ධ්‍යාන සය පිළිබඳ කථාවක් කියනු ලබන කල්හි ඇහුන්කන් නොදෙයි. කණ යොමු නොකරයි. දැනගැනීම පිණිස සිත නොඑලවයි. එබඳු පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.

7. ´´සුනක්ඛත්තය, යම් සේ පුරුෂයෙක් තමන්ගේ ගමින් හෝ නියම් ගමින් හෝ පිටවී බොහෝ කලක් වාසය කරණ ලද්දේ වේද, හෙතෙම ඒ ගමින් හෝ නියම් ගමින් හෝ බැහැර ගිය නොබෝ කල් ඇති එක්තරා පුරුෂයෙකු දක්නේද, හෙතෙම ඒ පුරුෂයාගෙන් ඒ ගමේ හෝ නියම් ගමේ හෝ නිර්භය බවද, සුභික්‍ෂ බවද, නීරෝග බවද අසන්නේය. ඔහුට ඒ පුරුෂ තෙම ඒ ගමේ හෝ නියම් ගමේ හෝ නිර්භය බවද, සුභික්‍ෂ බවද, නීරෝග බවද කියන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඒ පුරුෂ තෙම ඒ පුරුෂයාගේ කීම අසනු කැමැති වන්නේද? කන් යොමු කරන්නේද? දැනගැනීමට සිත එලවන්නේද? ඒ පුරුෂයාත් සේවනය කරන්නේද? ඔහු සමග සතුටටත් පැමිණෙන්නේද?´´

´´ස්වාමීනි, එසේය.´´

8. ´´සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් ඇද්ද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථා ඇත්තේ වෙයි. ඊට අනුකූලවූම කරුණු නැවත නැවත කල්පනා කරයි. නැවත නැවත සලකයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. කම්පා නොවන යට ධ්‍යාන සය පිළිබඳවූ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැනගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. හෙතෙම (ලෝකාමිසයෙහි) පඤ්චකාම ගුණයෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායි දත යුතු වන්නේය.

9. ´´සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් කම්පා නොවන යට ධ්‍යානයෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් ඇද්ද ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, යට ධ්‍යානයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ කථාම කරයි. ඊට අනුකූලවූ කරුණුම සිතයි. කල්පනා කරයි. එවැනි පුරුෂයාම සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. පඤ්චකාම ගුණයන් පිළිබඳ කථා කරනු ලබන කල්හි එය අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීම පිණිස සිත නොඑලවයි. එවැනි පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි.

10. ´´සුනක්ඛත්තය, යම්සේ නටුවෙන් ගිලිහුනාවූ ඉදුනු කොළය නටුවෙන් නැවත නිල්වන් වීමට සුදුසු නොවේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම යට ධ්‍යාන සයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා යම් ඒ පඤ්චතාම ගුණයක් වේද, එයින් මිදුනේය. හෙතෙම පඤ්චතාම ගුණයන්හි නොඇලුණාවූ, කම්පා නොවන යට ධ්‍යාන සයෙහි ඇලුණු පුද්ගලයායයි දතයුතු වන්නේය.

11. ´´සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුද්ගලයෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථා කරයි. ඊට අනුකූලවූම කරුණු සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයා සේවනයද කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. යට ධ්‍යාන සය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම් සේ දෙකට බිඳුනාවූ මහ ගලක් හාකළ නොහැක්කේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ආකිඤ්චඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයාගේ යම් යට ධ්‍යානයන් පිළිබඳ ඇලීමක් වේද, එය බිඳුනේ වෙයි. හෙතෙම යට ධ්‍යාන සයෙහි නොඇලුණු ආකිඤ්චඤ්ඤායතනයෙහි ඇලුණු පුරුෂ පුද්ගලයායයි දත යුතු වන්නේය.

12. ´´සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් නෙවසඤ්ඤානාඤ්ඤායතන සමාධියෙහි ඇලුණු ඇත්තෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු අදහස් ඇත්තේය. සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇත්තාවූ පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූම කථාවක්ම කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයාද සේවනයද කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාධිය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට කැමැති නොවෙයි. කන් යොමු නොකරයි. දැන ගැනීමට සිත නොඑලවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම් සේ පුරුෂයෙක් රසවත් ආහාරයක් වළඳා නිමවූ කළ හැර දමන්නේද, සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද, ඒ පුරුෂයාහට ඒ අනුභව කළ භෝජනය වමනය කළ කල්හි එය නැවත අනුභව කරන්ට කැමැත්තක් වන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවන්නේමැයි. ඊට හේතු කවරේද? ස්වාමීනි, ඒ වමනය කළ ආහාරය වනාහි පිළිකුල්යයි සම්මත හෙයිනි.´´

13. ´´සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාඤ්ඤායතන සමාධියෙහි ඇලුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයා ආකිඤ්චඤ්ඤායතන සංයෝජනය වමනය කළ කල්හිද එසේමය. හෙතෙම ආකිඤ්චඤ්ඤායතන සංයෝජනයෙන් නොබැඳුණු නෙවසඤ්ඤානාඤ්ඤායතන සමාධියෙහි ඇලුණු පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.

´´සුනක්ඛත්තය, මෙහි ඇතැම් පුරුෂ පුද්ගලයෙක් මනාකොට නිවණෙහි කැමති අදහස් ඇත්තෙක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. සුනක්ඛත්තය, මනාව නිවණෙහි කැමති අදහස් ඇති පුරුෂ පුද්ගලයා ඊට සුදුසුවූ වචනම කථා කරයි. ඊට අනුකූල කරුණුම සිතයි. කල්පනා කරයි. ඒ පුරුෂයාද සේවනය කරයි. ඔහු සමග සතුටටද පැමිණෙයි. නෙවසඤ්ඤානාඤ්ඤායතන සමාධිය පිළිබඳ කථා කියනු ලබන කල්හි අසන්ට නොකැමැති වෙයි. දැන ගැනීම පිණිස සිත නොඑළවයි. ඒ පුරුෂයාද සේවනය නොකරයි. ඔහු සමග සතුටටද නොපැමිණෙයි. සුනක්ඛත්තය, යම්සේ තල්ගස මස්තකය සිඳින ලද්දේ නැවත හට ගැනීමට නුසුදුසු වේද, සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මනාව නිවණෙහි කැමතිවූ අදහස් ඇති පුරුෂ පුද්ගලයා විසින් නෙවසඤ්ඤානාඤ්ඤායතන සමාධියෙහි යම් බැඳීමක් වෙත්ද, එය සිඳින ලදී. සිඳිනලද මුල් ඇති තල්ගසක් මෙන් කරණ ලදී. විනාශ කරණ ලදී. මතු නූපදින බවට පමුණ්වන ලදී. හෙතෙම නෙවසඤ්ඤානාඤ්ඤායතන සංයෝජනයෙන් වෙන්වූ මනාව නිවණෙහි නැමුණු අදහස් ඇති පුරුෂ පුද්ගලයායයි දතයුතු වන්නේය.

14. ´´සුනක්ඛත්තය, මේ සස්නෙහි ඇතැම් භික්‍ෂුවක්හට තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධශ්‍රමණයන් වහන්සේ විසින් වදාරණ ලදී. අවිද්‍යාව නමැති විෂ දෝෂය, ඡන්‍දරාගය, ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. ´මා විසින් තෘෂ්ණා නමැති හුල පහකරණ ලදී. අවිද්‍යා නමැති විෂ දෝෂය ඉවත් කරණ ලද්දේය. මම වනාහි නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමියි, අත්‍ර්‍ථයට සමානවූ මෙබඳු හැඟීමක් ඇත්තෙක් වන්නේය යන යමක් වෙයිද, ඊට හේතු ඇත්තේය. හෙතෙම වනාහි නිවණෙහි කැමතිවූ සිත් ඇති පුද්ගලයාට නුසුදුසුවූ යම් අරමුණු වෙත්ද, ඒ අරමුණුවල බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක බැඳෙන්නේය. කණින් නුසුදුසු ශබ්දක් අසා බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසු ගන්ධය දැන බැඳෙන්නේය. දිවෙන් නුසුදුසු රසය දැන බැඳෙන්නේය. කයෙන් නුසුදුසු ස්පර්‍ශය ස්පර්‍ශකොට බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්‍මරම්මණ දැන බැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයෙහි බැඳුනාවූ, කණින් නුසුදුසු ශබ්දයෙහි බැඳුනාවූ, නාසයෙන් නුසුදුසු ගන්ධයෙහි බැඳුනාවූ, දිවෙන් නුසුදුසු රසයෙහි බැඳුනාවූ, කයින් නුසුදුසු ස්පර්‍ශයෙහි බැඳුනාවූ, සිතින් නුසුදුසු ධර්‍මාරම්මණයෙහි බැඳුනාවූ, ඔහුගේ රාගය තෙම සිත වියලන්නේය. (නසන්නේය.) හෙතෙම රාගයෙන් වියලන ලද සිතින් යුක්තව මරණයට හෝ මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය.

15. ´´සුනක්ඛත්තය, යම් සේ පුරුෂතෙම විෂ සහිතවූ දැඩිකොට විෂ පොවනලද හුලකින් විදින ලද්දේ වන්නේද, ඔහුගේ අසල් වැසියෝ, නෑ සහ ලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ඔහුගේ ඒ ශල්‍යකර්ම කරන්නාවූ වෙදතෙම ආයුධයෙන් වණ මුඛය හාත්පස කපන්නේය. ආයුධයෙන් වණ මුඛය හාත්පස කපා සොයන කටුවෙන් හුල සොයන්නේය. සොයන කටුවෙන් හුල සොයා ඇද දමන්නේය. ඉතිරිවූ විෂ දොෂය ඉතිරිවූ විෂදොසක් නැතැයි හඟිමින් ඉවත් කරන්නේය.

´´හෙතෙම මෙසේ කියන්නේය. ´පින්වත් පුරුෂය, නුඹගේ හුල උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොට ඉවත් කරනලදී. ඔබට මෙය අනතුරක් පිණිස නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව. අපථ්‍යවූ ආහාර අනුභව නොකරව. අපථ්‍ය ආහාර ගන්නේ වණය වැගිරීම් සහිත වන්නේය. කලින් කල වණය සේදුව මැනවි. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ගැල්වුව මැනව, කලින් කල වණය නොසේදීමෙන්, කලින් කල වණයෙහි බෙහෙත් නොගැල්වීමෙන් වණයෙහි සැරව හා ලේ බැඳ නොගනීවා. සුලං ඇති තන්හි හා අව්වෙහි නොඇවිදිනු. සුලං ඇති තන්හි හා අව්වෙහි ඇවිදීමෙන් වණයෙහි දූවිලි හා නණ්ඩු වැදීමට ඉඩ නොදේවා. .පින්වත් පුරුෂය, වණය රකිමින්, වණයෙහි මස් මස් ලියලන අන්දමින් වාසය කරව´ යයි කියන්නේය. ´මෙසේ හෙතෙම මාගේ හුල උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොට ඉවත් කරණ ලදී. මට මෙයින් අනතුරක් නොවන්නේය´ යි සිතන්නේය. හෙතෙම අපථ්‍යවූ ආහාර අනුභව කරන්නේය. අපථ්‍ය ආහාර අන්භව කරන්නාවූ ඔහුගේ වණය වැගිරීම ඇත්තක් වන්නේය. කලින් කල වණය නෙසෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් නොගල්වන්නේය. කලින් කල වණය නොසෝදන්නාවූ, කලින් කල වණයෙහි බෙහෙත් නොගල්වන්නාවූ, ඔහුගේ වණය ලේ සැරව දෙකින් බැඳ ගන්නේය. අව් සුලං ඇති තන්හි ඇවිදින්නේය. අව් සුලං දෙකෙහි ඇවිදින ඔහුගේ වණයට දූවිලි හා වී නණ්ඩු ආදිය ඇතුල් වන්නේය. වණය රැක ගනිමින් වාසය නොකරන්නේය. මස් ලියලන සේ වාසය නොකරන්නේය. ඔහුගේ මේ අපථ්‍ය කටයුතු කිරීමෙන් අපවිත්‍ර විෂදොෂය ඉතිරිව ඉවත්වන ලද්දේය. ඒ කරුණු දෙකින් වණය මහත් බවට පැමිණෙන්නේය. හෙතෙම මහත් බවට පැමිණියාවූ වණයෙන් මරණයට හෝ මරණය සමාණ දුකට හෝ පැමිණෙන්නේය.

16.´´සුනක්ඛත්තය, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක්හට මෙබඳු අදහසක් වන්නේය, යන යමක් වේද, ´තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්Ȁdධ ශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නමැති විෂ දෝෂය ඡන්‍දරාගය හා ව්‍යාපාදය කරණකොට කිපේ. මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල පහ කරණ ලදී. අවිද්‍යා නමැති විෂදොෂය දුරුකරනලදී. මම නිවණෙහි නැමුනු අදහස් ඇත්තෙක් වෙමි. අත්‍ර්‍ථයට සමානවූ මෙබඳු අදහසක් ඇත්තෙක් වන්නේය.´

´´හෙතෙම මනාව නිවණෙහි නැමුනු අදහස් ඇත්තහුට නුසුදුසුවූ යම් ඒ කරුණු වෙත්ද, ඒ කරුණුවල යෙදෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්‍ධයක් ආ්‍රානයකොට එහි බැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්‍ශයක් ලබා එහි බැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්‍මාරම්මණයන් දැන එහි බැඳෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි බැඳුනාවූ, කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි බැඳුනාවූ, නාසයෙන් නුසුදුසුවූ ගඳෙක් ආ්‍රානය කොට එහි බැඳුනාවූ, දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි බැඳුනාවූ, කයින් නුසුදුසුවූ ස්පර්‍ශයක් ලබා එහි බැඳුනාවූ, සිතින් නුසුදුසුවූ ධර්‍මාරම්මණයක් දැන එහි බැඳුනාවූ, ඔහුගේ රාගය තෙම සිත නසන්නේය. හෙතෙම රාගයෙන් නසනලද සිතින් මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නේය. සුනක්ඛත්තය, ආය්‍ර්‍ය විනයෙහි යමෙක් මහණකම අතහැර හීනවූ ගිහි බවට පෙරළේද, මේ වනාහි මරණයවේ. සුනක්ඛත්තය, යමෙක් කෙලෙසුන්ගෙන් කිලිටිවූ එක්තරා ඇවතකට පැමිණෙන්නේද, මේ වනාහි මරණය හා සමාන දුකවේ.

17. ´´සුනක්ඛත්තය, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක්හට ´තෘෂ්ණාව වනාහි හුලකැයි බුද්ධ ශ්‍රමණයන් විසින් වදාරණලදී. අවිද්‍යා නමැති විෂ දෝෂය ඡන්‍දරාගය හා ව්‍යාපාදය කරණකොටගෙන කිපෙයි. මා විසින් තෘෂ්ණා නැමැති හුල පහ කරණ ලදී. අවිද්‍යා නමැති විෂ දෝෂය ඉවත් කරණලදී. මම නිවණෙහි නැමුණු අදහස් ඇත්තෙක් වෙමි.´ යන අදහස උපදින්නේය, යන යමක් වේද, ඊට ඇත්තේය. මනාකොටම නිවණෙහි නැමුණු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසුවූ යම් ඒ කරුණු වෙත්ද, ඒ කරුණුවල නොයෙදෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසුවූ ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්‍ධයක් ආ්‍රාණයකොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්‍ශයක් ලබා එහි නොබැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්‍මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නොබැඳෙන්නාවූ, කණින් නුසුදුසු ශබ්දයක් අසා එහි නොබැඳෙන්නාවූ, නාසයෙන් නුසුදුසු ගන්‍ධයක් ආ්‍රාණයකොට එහි නොබැඳෙන්නාවූ, දිවෙන් නුසුදුසු රසක් විඳ එහි නොබැඳෙන්නාවූ, කයින් නුසුදුසු ස්පර්‍ශයක් ලබා එහි නොබැඳෙන්නාවූ, සිතින් නුසුදුසු ධර්‍මාරම්මණයක් දැන එහි නොබැඳෙන්නාවූ, ඔහුගේ රාගය තෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනැසූ සිතින් මරණයට හෝ නොම පැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.

18. ´´සුනක්ඛත්තය, යම් සේ පුරුෂයෙක් විෂ සහිතවූ දැඩිව විෂ පොවනලද හුලෙන් විදින ලද්දේ වන්නේද, ඔහුගේ අසල් වැසියෝ, නෑ සහ ලේ නෑයෝ ශල්‍යකර්ම කරන්නාවූ වෙදෙකු කැඳවන්නාහුය. ඔහුගේ ඒ ශල්‍යකර්ම කරන්නාවූ වෙදතෙම ආයුධයෙන් වණ මුඛය පිරිසිදු කරන්නේය. ආයුධයෙන් වණ මුඛය පිරිසිදු කොට සොයන කටුවෙන් හුල සොයන්නේය. සොයන කටුවෙන් හුල සොයා හුල ඇද දමන්නේය. ඉතිරිවූ දෙයක් නැත්තේයයි දනිමින් ඉතිරි දෙයක් නැතිවම විෂ දෝෂය බැහැර කරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ´පින්වත් පුරුෂය, නුඹගේ හුල උදුරා දමනලදී. ඉතිරි නැතිවම විෂදොෂය බැහැර කරන ලද්දේය. නුඹට අන්තරායක්ද නොවේ. පථ්‍යවූ ආහාර අනුභව කරව. අපථ්‍යවූ ආහාර අනුභව කිරීමෙන් තොපගේ වණය වැගිරෙන ස්වභාවය ඇත්තක් කර නොගනුව. කලින් කල වණය සේදුව මැනව. කලින් කල වණ මුඛයෙහි බෙහෙත් ආලේප කරව, කලින් කල වණය නොසේදීමෙන්, කලින් කල වණ මුඛයෙහි බෙහෙත් නොගැල්වීමෙන් නුඹගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගනුව. අවු සුලං ගමන් නොකරනු. අවු සුලං දෙකට අසුවෙමින් ගමන් කොට නුඹගේ වණයෙහි දූවිලි හා වී නණ්ඩු ආදිය ඇතුල්කර නොගනුව. පින්වත් පුරුෂය, වණය රැක ගන්නෙක්ව වණයෙහි මස් ලියලවා ගන්නෙක්ව වාසය කරව´ යි කියන්නේය. ඔහුට වනාහි ´මාගේ හුල උදුරා දමනලදී. විෂදොෂය ඉතිරි නොකොටම බැහැර කරණ ලදී. මාගේ අන්තරායට හේතුවක් නැනැ´ යි සිතන්නේය. හෙතෙම පථ්‍යවූ ආහාරද අනුභව කරන්නේය. පථ්‍යවූ ආහාර අනුභව කරන්නාවූ ඔහුගේ වණය වැගිරෙන්නක් නොවන්නේය. කලින් කල වනය සෝදන්නේය. කලින් කල වණයෙහි බෙහෙත් ගල්වන්නේය. කලින් කල වණය සෝදන්නාවූ, කලින් කල වණයෙහි බෙහෙත් ගල්වන්නාවූ ඔහුගේ වණ මුඛය සැරවෙන් හා ලෙයින් බැඳ නොගන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නේය. අවු සුලං දෙකෙහි ගමන් නොකරන්නාවූ ඔහුගේ වණයෙහි දූවිලි හා වී නණ්ඩු ඇතුල් නොවන්නේය. වණය රක්‍ෂා කරන්නෙක්ව වණයෙහි මස් ලියලවන්නෙක්ව වාසය කරන්නේය. ඔහුගේ මේ පථ්‍ය ක්‍රියා කිරීමෙන්ද අපවිත්‍රවූ විෂදොෂය ඉතිරි නැතිවම බැහැරවූයේ වෙයි. ඒ කරුණු දෙක නිසා වණයෙහි මස් වැඩෙන්නේය. හෙතෙම වණය ගොඩවී සිවිය හොඳින ඇතිවීම නිසා මරණයට හෝ නොපැමිණෙන්නේය. මරණය හා සමාණ දුකට හෝ නොපැමිණෙන්නේය.

19 .´´සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම මේ සස්නෙහි ඇතැම් මහණෙකුට ´තෘෂ්ණාව වනාහි හුලයයි බුද්Ȁdධ ශ්‍රමණයන් විසින් වදාරණ ලදී. අවිද්‍යා නමැති විෂ දෝෂය ඡන්‍දරාගය හා ව්‍යාපාදය කරණකොට කිපෙයි. මා විසින් ඒ තෘෂ්ණා නමැති හුල උදුරා දමන ලදී. අවිද්‍යා නමැති විෂදොෂය ඉවත් කරනලදී. මම නිවණෙහි නැමුනු අදහස් ඇත්තෙක් වෙමි´ යි යන මෙබඳු අදහසක් වන්නේය යන යමක් වේද, ඊට හේතු ඇත්තේය. නිවණෙහි නැමුනු අදහස් ඇත්තාවූ ඔහුට නුසුදුසු යම් ඒ කරුණු වෙත්ද, හෙතෙම ඒ කරුණුවල නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසු රූපයක් දැක එහි නොබැඳෙන්නේය. කණින් නුසුදුසූ ශබ්දයක් අසා එහි නොබැඳෙන්නේය. නාසයෙන් නුසුදුසුවූ ගන්‍ධයක් ආ්‍රානයකොට එහි නොබැඳෙන්නේය. දිවෙන් නුසුදුසුවූ රසයක් විඳ එහි නොබැඳෙන්නේය. කයින් නුසුදුසුවූ ස්පර්‍ශයක් ස්පර්‍ශකොට එහි නොබැඳෙන්නේය. සිතින් නුසුදුසුවූ ධර්‍මාරම්මණයන් දැන එහි නොබැඳෙන්නේය. ඇසින් නුසුදුසුවූ රූප දැක එහි නොබැඳුනාවූ, කණින් නුසුදුසුවූ ශබ්ද අසා එහි නොබැඳුනාවූ, නාසයෙන් නුසුදුසුවූ ගඳ ආ්‍රානය කොට එහි නොබැඳුනාවූ, දිවෙන් නුසුදුසුවූ රස විඳ එහි නොබැඳුනාවූ, කයින් නුසුදුසුවූ ස්පර්‍ශ ස්පර්‍ශකොට එහි නොබැඳුනාවූ, සිතින් නුසුදුසුවූ ධර්‍මාරම්මණ දැන එහි නොබැඳුනාවූ, ඔහුගේ රාගය තෙම සිත නොනසන්නේය. හෙතෙම රාගයෙන් නොනසනලද සිතින් මරණයට නොපැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ නොපැමිණෙන්නේය.

20. ´´සුනක්ඛත්තය, මා විසින් අත්‍ර්‍ථය හැඟවීම සඳහා මේ උපමාවක් කරන ලදී. මෙයම මෙහි අත්‍ර්‍ථය වේ. සුනක්ඛත්තය, වණය යනු සවැදෑරුම්වූ අධ්‍යාත්මිකවූ ආයතනයන්ට නමකි. සුනක්ඛත්තය, විෂදොෂය යනු අවිද්‍යාවට නමකි. සුනක්ඛත්තය, හුල යනු තෘෂ්ණාවට නමකි. සුනක්ඛත්තය, සොයන කටුව යනු සිහියට නමකි. සුනක්ඛත්තය, ආයුධය යනු ආය්‍ර්‍යවූ ප්‍රඥාවට නමකි. සුනක්ඛත්තය, ශල්‍ය කර්‍තෘවූ වෛද්‍යවරයා යනු අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේට නමකි. සුනක්ඛත්තය, ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවරවූයේ ක්ලෙශයෝ දුකට මුලයයි මෙසේ දැන කෙලෙස් රහිතවූයේ කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ වේද හෙතෙම ක්ලෙශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය යන මේ කරුණට හේතු නැත. යම්සේ පානය කටයුතුවූ පැන් භාජනයක් වර්‍ණයෙන් යුක්තවූයේ , ගන්‍ධයෙන් යුක්තවූයේ වේද, හෙද වනාහි විෂයෙන් මිශ්‍රවූයේ වේ. ඉක්බිති ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සැප කැමැති, දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. සුනක්ඛත්තය, ඒ කුමකැයි හඟින්නෙහිද? ´මෙය බීමෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා සමාන දුකට හෝ පැමිණෙන්නෙමි.´ යන කාරණය යම් හෙයකින් දන්නාවූ ඒ පුරුෂතෙම මේ පැන් භාජනය බොන්නේද?´´

´´සවාමීනි, එය නොවේමැයි.´´

21. ´´සුනක්ඛත්තය, එපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම්වූ ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන කෙලෙස් රහිතවූයේ කෙලෙසුන්ගේ නිවණෙන් මිදුනේ වේද, හෙතෙම ඒ ක්ලේශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය. යන මේ කාරණයට හේතු නැත. සුනක්ඛත්තය, යම්සේ දරුණු විෂ ඇත්තාවූ සර්පයෙක් වේද, ඉක්බිති ජීවත්වනු කැමැත්තාවූ, නොමැරෙනු කැමැත්තාවූ, සැප කැමැත්තාවූ, දුක් පිළිකුල් කරන්නාවූ පුරුෂයෙක් එන්නේය. සුනක්ඛත්තය,ඒ කුමකැයි හඟින්නෙහිද? මොහු විසින් දෂ්ට කළාවූ ´´මම මරණයට හෝ මරණය තරම් දුකට හෝ පැමිණෙන්නෙමි´ යි දන්නාවූ ඒ පුරුෂතෙම මේ දරුණු විෂ ඇත්තාවූ සර්පයාට අත හෝ ඇඟිල්ලක් හෝ දෙන්නේද?´´

´´ස්වාමීනි, එය නොවේමැයි.´´

´´සුනක්ඛත්තය, මෙපරිද්දෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් සවැදෑරුම් ඵස්සායතනයන්හි සංවරවූයේ කෙලෙස් දුකට මුලයයි දැන, උපාධි රහිත වූයේ, කෙලෙස් නැසීමවූ නිවණෙන් මිදුනේ, ක්ලේශයන්හි කය හෝ එලවන්නේය. සිත හෝ උපදවන්නේය. යන මේ කාරණයට හේතු නැත.´´

භග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති සුනක්ඛත්ත නම් ලිච්ඡවි පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේයි.

පස්වෙනිවූ සුනක්ඛත්ත සූත්‍රය නිමි. ( 1 – 5 )

104. සාමගාම සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ ´´සාම´´ නම් ගමෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ´´නිණ්ඨනාථ´´ පුත්‍රතෙම චාපා නම් නුවර නොබෝ දින මැරුනේ වෙයි. ඔහුගේ මරණින් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු. හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුන්ට මූඛ නැමැති ආයුධවලින් අනිමින් වාසය කෙරෙත්. ´නුඹ මේ ධර්‍ම විනය නොදන්නෙහිය. මම මේ ධර්‍ම විනය දනිමි. කිම නුඹ මේ ධර්‍ම විනය දන්නෙහිද, නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරන ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්. ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරව´ යි කියමින් එකම වධයක් මෙන් නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ යම් ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇථනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට කියන ලද්දාවූ, නපුරුකොට දන්නා ලද්දාවූ, නෛය්‍ර්‍යානික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවකු විසින් කියන ලද්දාවූ, බිඳුනු පිහිට ඇත්තාවූ, පිළිසරණ නැත්තාවූ ධර්‍ම විනයක යම්සේද, එමෙනි.

2. ඉක්බිති ´´චුන්‍ද´´ සමණුද්දෙස තෙම පාවා නම් නුවර වස් වසන ලද්දේ සාම නම් ගම යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එක් පසෙක උන්නාවූ චුන්‍ද සමනුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ස්වාමීණි, නිගණ්ඨනාථ පුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝ දින මැරෙන ලද්දේ වෙයි. ඔහුගේ මැරීමෙන් පසු බිඳී ගියාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුනට මුඛ නමැති ආයුධවලින් අනිමින් වාසය කෙරෙත්. ´නුඹ මේ ධර්‍ම විනය නොදන්නහෙිය. මම මේ ධර්‍ම විනය දනිමි. කිම, මේ ධර්‍ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය, මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරණ ලද්ද විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරන ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරව´ යි එකම වධයක් මෙන් නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාථ පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාථ පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇථණු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛය්‍ර්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද, එමෙනි.)´´

3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම චුන්‍ද සමනුද්දෙසයන්ට ´´ඇවැත් චුන්‍දය, මේ කථා පඬුර භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඇත්තේමය. ඇවැත් චුන්‍දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණෙන්නෙමු. පැමිණ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට කියන්නෙමු.´´ යි කීය. ´´සවාමීනි, එසේය´´ කියා චුන්‍ද නම් සමනුද්දෙස තෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.

4. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේද, චුන්‍ද සමනුද්දෙස තෙමේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක උන්නාහුය. එකත්පසක උන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ චුන්‍ද සමනුද්දෙස තෙම මෙසේ කීය. ස්වාමීනි, නිගණ්ඨනාතපුත්‍ර තෙම පාවා නම් නුවර නොබෝ දින මැරුනේය. ඔහුගේ මරණයෙන් පසු බිඳුනාවූ නිගණ්ඨයෝ දෙකොටසක්ව හටගත් දබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණියාහු, ඔවුනොවුන්ට මුඛ නමැති ආයුධවලින් අනින්නාහු වාසය කෙරෙත්. ´නුඹ මේ ධර්‍ම විනය නොදන්නෙහිය. මම මේ ධර්‍ම විනය දනිමි. කිම නුඹ මේ ධර්‍ම විනය දන්නෙහිද? නුඹ වරදවා පිළිපන්නෙහිය. මම මනාකොට පිළිපන්නේ වෙමි. මට වැඩ සහිතය. නුඹට වැඩ සහිත නොවේ. පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමු කීයෙහිය. තා විසින් පුරුදු නොකරන ලද්ද, විවාදයට පැමිණ නැවතුනේය. තට වාදය නගන ලද්දේය. නිග්‍රහ කරණ ලද්දේ වෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව්. ඉදින් හැකි වන්නෙහි නම් අවුල් හරවයි එකම වධයක් මෙන් ´´නිගණ්ඨනාත පුත්‍රයාගේ අතවැස්සන් කෙරෙහි පවතියි. යම් නිගණ්ඨනාත පුත්‍රයාගේ සුදුවත් හඳනාවූ ගිහි ශ්‍රාවක කෙනෙක් වෙත්ද, ඔවුහුද නිගණ්ඨනාත පුත්‍රයාගේ අත වැස්සන් කෙරෙහි කළකිරුණු ස්වභාව ඇත්තාහු, නොඇථනු ස්වභාව ඇත්තාහු, පසුබස්නා ස්වභාව ඇත්තාහු වෙත්. නපුරුකොට දන්නා ලද්දාවූ, නෛය්‍ර්‍යාණික නොවූ, සංසිඳීම පිණිස නොපවත්නාවූ, සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් වදාරණ ලද්දාවූ, බිඳුනාවූ පිහිට ඇති පිළිසරණ නැත්තාවූ (සස්නෙහි යම්සේද, එමෙනි.) ´´ස්වාමීනි, ඒ මට මෙබඳු අදහසක් වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සංයා කෙරෙහි විවාදයක් නොම උපදීවා. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වන්නේය´´ කියායි.

5.´´ආනන්‍දය, ඒ කුමකැයි හඟින්නෙහිද, මා විසින් තොපට යම් ධර්‍ම කෙනෙක් නුවණින් අවබෝධ කොට දෙශනා කරන ලද්දාහුද, එනම් සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඎද්ධි පාදයෝය, පඤ්චෙන්‍ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යඞ්ගයෝය, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය යන මොහුයි. ආනන්දය, නුඹ මේ ධර්‍මයන්හි වෙන් වෙන් වාද ඇත්තාවූ භික්‍ෂූන් දෙදෙනකු දක්නෙහිද?´´ ´´ස්වාමීනි, යම් මේ ධර්‍ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් නුවණින් අවබෝධකොට දැන දේශනා කරන ලද්දාහුද, එනම් සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යක් ප්‍රධානයෝය, සතර ඎද්ධි පාදයෝය, පඤ්චෙන්‍ද්‍රියයෝය, පඤ්චබලයෝය, සප්ත බොධ්‍යඞ්ගයෝය, ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගයෝය (යන මොහුයි.) මේ ධර්‍මයන්හි වෙනස් වාද ඇත්තාවූ භික්‍ෂූන් දෙදෙනතුදු මම නොදකිමි.

´´ස්වාමීනි, යම් ඒ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරුකොට වාසය කෙරෙත්ද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ ඇවෑමෙන් සංයා කෙරෙහි ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්‍ෂය හේතුනොටගෙන හෝ විවාද උපදවන්නාහුද, ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වන්නේයයි´´ ආනන්‍ද ස්ථවිර තෙමේ කීය.

6. ´´ආනන්‍දය, යම් මේ ආජීවය හේතුකොටගෙන හෝ ප්‍රාතිමොක්‍ෂය හේතුකාටගෙන හෝ විවාදයෙක් වේද, ඒ ස්වල්පමාත්‍ර ඇත්තක් වේ. ආනන්‍දය, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ සඞයා කෙරෙහි විවාදයක් උපදිනු ලබන්නේ උපදින්නේද, ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේය´´ යි වදාළේය.

´´ආනන්‍දය, මේ විවාදයට මුල් කරුණු සයක් වෙත්. කවර සයක්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණ තෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ක්‍රොධ කරන්නෙක්, වෛර බැඳගන්නෙක් වේද, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ශීලයද සම්පූර්‍ණ නොකරන්නෙක් වෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නොකරන්නේ, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නොකරන්නෙක්, යටහත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ශීලය සම්පූර්‍ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංයා කෙරෙහි විවාද උපදවයි. ඒ විවාදය බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්‍දය, ඉදින් තෙපි මේ විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේ පහකිරීම පිණිස උත්සාහ දරන්නහුය. ආනන්‍දය, ඉදින් තෙපි මේ විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි හටනොගැනීම පිණිස පිළිපදින්නහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි හට නොගැනීම වේ.

7. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ගුණමකු වූයේ, එකට එක කරන්නේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි.

ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නහුද, ආනන්‍දය, එහි තොපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

8. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරුවූයේ වෙයි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමක විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

9. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම කෛරාටික වූයේ, මායා ඇත්තේ වේ. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නහුය.

ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

10. ´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම ලාමක ආසා ඇත්තේ මිත්‍යාදෘෂ්ටිවූයේ වෙයි. හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නැත්තේ, යටහත් පැවතුම් නැත්තේ වාසය කරයි. ශික්‍ෂාවෙහිද සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නැත්තේ, යටත් පැවතුම් නැත්තේ, වාසය කෙරේද, ශික්‍ෂාවෙහි සම්පූර්‍ණ කිරීම ඇත්තේ නොවේද, හෙතෙම සංයා කෙරෙහි යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස වේද, එබඳු විවාද උපදවයි. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයට මුල් කරුණු තමා කෙරෙහි හෝ පිටත්හි හෝ දකින්නාහුද, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම දුරුකිරීමට උත්සාහ කරන්නාහුය. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමා කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නාහු නම්, ආනන්‍දය, එහි තෙපි ඒ ලාමකවූ විවාද මූලයාගේම මත්තෙහි නොහටගැනීම පිණිස පිළිපදින්නාහුය. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ දුරු කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ මත්තෙහි නොහටගැනීම වේ.

´´ස්වකීය දෘෂ්ටිය අල්වාගැනීම ඇත්තේ දැඩිව ගැනීම ඇත්තේ දුරලිය නොහැක්කේ වේ.

11. ´´ආනන්‍දය, හෙතෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහිද, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. ධර්‍මය කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කරයි. සංයා කෙරෙහිද ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තේ වාසය කරයි. සීලයද සම්පූර්‍ණ නොකරන්නේ වෙයි. ආනන්දය, යම් ඒ මහණෙක් තෙම ශාස්තෘන් වහන්සේ කෙරෙහි, ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, ධර්‍මය කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද, සංයා කෙරෙහි ගෞරව නොකරන්නේ යටත් පැවතුම් නැත්තෙක්ව වාසය කෙරේද,. ශීලය සම්පූර්‍ණ නොකරන්නෙක් වේද, හෙතෙම සංයා කෙරෙහි විවාද උපදවයි. යම් විවාදයක් බොහෝ දෙනාට අවැඩ පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථ පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස වන්නේද (එබඳු විවාදයෙකි)

12. ´´ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාදයකට මුල් කරුණ තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ දක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ දුරුකිරීම පිණිස උත්සාහ කරව්. ආනන්‍දය, ඉදින් තෙපි මෙබඳු විවාද මූලය තමන් කෙරෙහි හෝ පිටත්හි හෝ නොදක්නහු නම්, ආනන්‍දය, එහි තෙපි එම ලාමකවූ විවාද මූලයාගේ නොවැඩීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමකවූ විවාද මූලයාගේ පහ කිරීම වේ. මෙසේ මේ ලාමකවූ විවාද මූළයාගේ මත්තෙහි නොහටගැනීම වේ. ආනන්‍දය, මොහු වනාහි විවාදයට මුල් කරුණු සය වෙත්.

13.´´ආනන්‍දය, මේ අධිකරණ සතරක් වෙත්. විවාදය පිළිබඳ අධිකරණය, සීල විපත්ති ආදීන් චෝදනා කිරීම් පිළිබඳ අධිකරණය, සප්ත ආපත්ති ස්කන්‍ධයන් පිළිබඳවූ අධිකරණය, අවලොකන ආදී කටයුතු පිළිබඳ අධිකරණය, ආනන්‍දය, මොහු වනාහි අධිකරණ සතර වෙත්.

14.´´ආනන්‍දය, උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳීම පිණිස මේ අධිකරණ සමථ සතක් වෙත්. සම්මුඛාවිනය දිය යුත්තේය. සති විනය දිය යුත්තේය. අමූළහ විනය දිය යුත්තේය. ප්‍රතිඥාවෙන් කරවිය යුතුයි. යෙභුය්‍යසිකාවය, තස්සපාපිය්‍යසිකාය, තිණවත්‍ථාරකය යන සතයි.

15.´´ආනන්‍දය, කෙසේ නම් සම්මුඛාවිනය වේද? ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂූහු අධර්‍මය ධර්‍මයයි කියමින්, හෝ ධර්‍මය අධර්‍මයයි කියමින් හෝ අවිනය විනයයි කියමින් හෝ විනය අවිනයයි කියමින් කලහ කෙරෙත්ද, ආනන්‍දය, ඒ සියලුම භික්‍ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව ධර්‍ම නීතිය පරීක්‍ෂාකර බැලියයුතුයි. ධර්‍ම නීතිය පරීක්‍ෂාකොට බලා යම් ආකාරයකින් ධර්‍ම නීතිය හා සමවේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය කලහය සංසිඳවිය යුතුයි. ආනන්‍දය, මෙසේ සංසිඳුවීම සම්මුඛාවිනය නම් සංසිඳුවීම වේ. මෙසේ වනාහි මේ ශාසනයෙහි සමහර අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම් සම්මුඛාවිනයයෙනි.

16. ´´ආනන්‍දය, කෙසේ නම් යෙභුය්‍යසිකා නම් සංසිඳුවීම වේද, ආනන්‍දය, ඉදින් ඒ භික්‍ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි සංසිඳවන්ට නොහැකිවෙත් නම්, ආනන්‍දය, ඒ භික්‍ෂූන්ට වඩා යම් ආවාසයක භික්‍ෂූහු ඉතා බොහා් වෙත් නම් ඒ ආවාසයට යා යුත්තේය. එහි සියල්ලන්ම සමගිව රැස්විය යුතුයි.

රැස්ව ධර්‍ම නීතිය පරීක්‍ෂාකර බැලිය යුතුයි. ධර්‍ම නීතිය පරීක්‍ෂාකර බලා යම් ආකාරයකින් ධර්‍ම නීතිය හා සම වේද, ඒ ආකාරයෙන් ඒ අධිකරණය සංසිඳවිය යුතුයි. ආනන්‍දය, මෙසේ වනාහි යෙභුය්‍යසිකා නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳවීම වේ. එනම් යෙභුය්‍යසිකාවෙනි.

17. ´ආනන්‍දය, කෙසේ නම් සතිවිනය නම් සංසිඳවීම වේද, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ

මෙබඳු ගරු ඇවතකින් ´ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැ´ යි චෝදනා කරන්නේය. හෙතෙම, ´ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි නොවෙමි´ යි කියන්නේද, ආනන්‍දය, ඒ භික්‍ෂූහුට වනාහි සති විනය නම් සංසිඳවීම දිය යුත්තේය. ආනන්‍දය මෙසේ වනාහි සතිවිනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ සස්නෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳවීම වේ. එනම් සතිවිනයෙනි.

18. ´´ආනන්‍දය, කෙසේ නම් අමූළහ විනය නම් සංසිඳවීම වේද, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම මහණෙකුට පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ´ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකදැ´ යි චෝදනා කරන්නේය. හෙතෙම, ´ඇවැත්නි, මම පාරාජිකාවකට හෝ පැමිණියේ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැතැයි කියන්නේය. හෙතෙම ඔහුට අවුල් හැරීම වැඩියක් අවුල් කෙරෙයි. ´ආයුෂ්මත්තෙම යහපත්වම දැනගනු මැනව. ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි කෙරෙහිදැ´ යි කියායි. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි, මම වනාහි උමත ුබවට චිත්තයාගේ පෙරළීමට පැමිණියෙමි. ඒ උමතුවූ මා විසින් ශ්‍රමණයන්ට නුසුදුසුවූ බොහෝ දේ කරන ලදී. නුසුදුසු වචන කියන ලදී. නුසුදුසු ක්‍රියා කරනලදී. මට එය මතක නැත. මුලාවූ මා විසින් එය කරන ලදැ´ යි කියන්නේය. ආනන්‍දය, ඒ භික්‍ෂුවහට වනාහි අමුළහ විනය නම් සංසිඳුවීම දිය යුතුයි. ආනන්‍දය, මෙසේ වනාහි අමුළහ විනය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, අමුළහ විනයයෙනි.

19. ´´ආනන්‍දය, කෙසේ නම් පටිඤ්ඤාතකරණය සංසිඳවීම වේද, ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම චොදනා කරණ ලද්දේ හෝ චෝදනා නොකරන ලද්දේ හෝ ඇවත සිහි කරයිද, ප්‍රකාශ කරයිද, ප්‍රකට කෙරේද, ආනන්‍දය, ඒ භික්‍ෂුව විසින් වැඩිමහලු භික්‍ෂුවක් කරා පැමිණ සිවුර ඒකාංශකොට පොරවා, පා වැඳ, උක්කුටුකයෙන් ඉඳ, ඇඳිලි බැඳගෙන, ´ස්වාමීනි, මම මෙනම් ඇවතකට පැමිණියෙමි. එය දේශනා කරමි´ යි මෙසේ කියයුතු වන්නේය. වැඩි මහලු භික්‍ෂුව, ´ඇවත දක්නෙහිදැ´ යි අසයි. හෙතෙම, ´දක්නෙමි´ යි කියන්නේය. ´මත්තෙහි සංවරයට පැමිණෙන්නෙහිදැ´ යි වැඩිමහල් තෙරුන් වහන්සේ අසයි. ´සංවරයට පැමිණෙන්නෙමි´ යි හෙතෙම කියන්නේය. ආනන්‍දය, මෙසේ වනාහි පටිඤ්ඤාතකරණය නම් සංසිඳවීම වේ. මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, පටිඤ්ඤාතකරණයෙනි.

20. ´´ආනන්‍දය, කෙසේ නම් තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණෙක් මහණෙකුට, ´පාරාජිකාවකින් හෝ පාරාජිකාවට ලංවූ ඇවතකින් හෝ මෙබඳුවූ ගරු ඇවතකින් ආයුෂ්මත් තෙමේ පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතකදැ´ යි චෝදනා කරන්නේය. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණියා මතක නැතැයි කියන්නේය.

හෙතෙම ඔහුට අවුල් හරින්නහු වැඩියක් අවුල් කෙරෙයි. ´ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතක්වෙහිදැයි මනාකොටම දැනගනුව´ යි කියයි. ඇවැත්නි මට පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැත. ඇවැත්නි මෙබඳු කුඩා ඇවතකට පැමිණි බව මතකය´ යි කියායි. හෙතෙම අවුල් හරින්නාහු වඩාත් අවුල් කෙරෙයි. ´ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවකට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණිබව මතකදැයි මනාකොට දැනගනුව´ යි කියායි. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි, මම වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසන ලදුවම ප්‍රකාශ කරන්නෙමි. කිමෙක්ද? මම පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ නොකරන්නෙම්දැ´ යි කියන්නේය. හෙතෙම මෙසේ කියයි. ´ඇවැත්නි, නුඹ වනාහි මෙනම් සුලු ඇවතකට පැමිණ නොඅසන ලදුව ප්‍රකාශ නොකරන්නෙහිය. කිමෙක්ද ඔබ පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණ අසන ලදුව ප්‍රකාශ කරන්නෙහිද? ආයුෂ්මත් තෙමේ ඉදින් පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව සිහි වන්නෙහිදැයි මනාකොටම දැනගනුව´ යි කියන්නේය. ඒ භික්‍ෂුතෙමේ ´ඇවැත්නි මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතකය. ඉක්මන්කම නිසා හෝ අනිකක් කියනු කැමතිව මා විසින් මෙසේ අනිකක් කීම නිසා හෝ මට පාරාජිකාවකට හෝ පාරාජිකාවට ලංවූ ඇවතකට හෝ මෙබඳු ගරු ඇවතකට පැමිණි බව මතක නැතැ´ යි. කියනලදී. ආනන්‍දය, මෙසේ වනාහි තස්සපාපිය්‍යසිකා නම් සංසිඳවීම වේ මෙසේද වනාහි මෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තස්සපාපිය්‍යසිකාවෙනි.

21. ´´ආනන්‍දය, කෙසේ නම් තිණවත්‍ථාරක නම් සංසිඳවීම වේද? ආනන්‍දය, මේ ශාසනයෙහි හටගත් දබර ඇති හටගත් කලහ ඇති විවාදයට පැමිණ වාසය කරන්නාවූ භික්‍ෂූන්ගේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියනලද දෙය හා කරණලද දෙය පුරුදු කරණ ලද්දේ වෙයි. ආනන්‍දය, ඒ සියලුම භික්‍ෂූන් විසින් සමගිව රැස්විය යුතුයි. රැස්ව එක් පක්‍ෂයෙක්හිවූ භික්‍ෂූන්ගෙන් ඉතා දක්‍ෂවූ භික්‍ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංශකොට ඇඳිලි බැඳගෙන සංයාහට දැන්විය යුත්තේය. ´ස්වාමීනි, සංතෙම මා කියන්නක් අසාවා. හටගත් දබර ඇක්කාවූ, හටගත් කලහ ඇත්තාවූ, විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේ වෙයි.

´ඉදින් සංයාට පැමිණි කල් ඇත්තේ නම් මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමන්ගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර යම් සෙසු සියලු ඇවැත් මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමන්ගේ ප්‍රයෝජනය පිණිසද, සංයා මධ්‍යයෙහි තිණවත්‍ථාරක කර්‍මයෙන් දේශනා තරන්නෙමි´ යි (කිය යුතුය.)

´´ඉක්බිති අනික් පක්‍ෂයෙක්හිවූ භික්‍ෂූන්ගෙන් ඉතා දක්‍ෂවූ භික්‍ෂුවක් විසින් හුනස්නෙන් නැගිට සිව්රු ඒකාංශකොට පොරවා ඇඳිලි බැඳගෙන සංයාහට දැන්විය යුත්තේය. ´ස්වාමීනි, සංතෙම මා කියන්නක් අසන සේක්වා. හටගත් දබර ඇත්තාවූ, හටගත් කලහ ඇත්තාවූ, විවාදයට පැමිණ වාසය කරන්නාවූ අපගේ මේ බොහෝවූ ශ්‍රමණයන්ට නුසුදුසුවූ කියන ලද්දාවූද, කරණ ලද්දාවූද, පුරුදු කරණ ලද්දාවූද දේ වෙයි. ඉදින් සංයාට පැමිණි කල් ඇත්තේ නම්, මම මේ ආයුෂ්මතුන්ලාගේ යම් ඇවතකුත් වේද, තමාගේ යම් ඇවතකුත් වේද, මහත් වරද සහ ගිහියන් පිළිබඳ වරද හැර සෙසු සියලු වරද මේ ආයුෂ්මතුන්ලාගේ ප්‍රයෝජනය පිණිසද, තමාගේ ප්‍රයෝජනය පිණිසද, සංයා මධ්‍යයෙහි තිණවත්‍ථාරක කර්‍මයෙන් දෙසන්නෙමි´ යි (කිය යුතුය.)

´´ආනන්‍දය, මෙසේ වනාහි තිණවත්‍ථාරක නම් සංසිඳවීම වේ මෙසේද වනාහි මේ ශාසනයෙහි ඇතැම් අධිකරණයන්ගේ සංසිඳීම වේ. එනම්, තිණවත්‍ථාරකයෙනි.

22. ´´ආනන්‍දය, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරු බව ඇතිකරන්නාවූ, රැස්වීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස, මේ සිහි කටයුතු ධර්‍ම සයක් පවතිත්. එක්ව මහණදම් පුරන්නවුන් කෙරෙහි ඉදිරියෙහිද, නොඉදිරියෙහිද, කවර සයක්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණහුගේ මෛත්‍රී කාය කර්‍මය එළඹ සිටියේ වේද, ප්‍රිය බව ඇතිකරන්නාවූ, ගරු බව ඇතිකරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, රැස්වීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස එක්වීම පිණිස පවතියි.

23.´´ආනන්‍දය, නැවතද අනිකක් කියමි. එකට මහණදම් පුරණ භික්‍ෂූන් කෙරෙහි ඉදිරියෙහිද, නොඉදිරියෙහිද භික්‍ෂුහුගේ මෛත්‍රී වාග් කර්‍මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, සංග්‍රහය පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එකඟ බව පිණිස පවතියි.

´´ආනන්‍දය, නැවත අනිකක් කියමි. සබ්‍රම්සරුන් අභිමුඛයෙහිද, අනභිමුඛයෙහිද, භික්‍ෂුවගේ මෛත්‍රී මනො කර්‍මය එළඹ සිටියේ වෙයි. ප්‍රිය බව කරන්නාවූ, ගරු බව කරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, රැස්වීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතියි.

24.´´ ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් ඒ ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, යටත් පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුලත්වූවක් පමණවූද ලාභයෝ වෙත්ද, එබඳුවූ ලාභ සිල්වත්වූ සබ්‍රම්සරුන් හා බෙදා හදා නොවළඳන්නෙක් නොවේද, සමව බෙදා වළඳන්නෙක් වේද, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරු බව ඇතිකරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද, රැස්වීම පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතියි.

25.´´ආනන්‍දය, නැවතද අනිකක්ද කියමි. මහණතෙම කඩනොවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල් නොවූ, දාසකමින් මිදුනාවූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දාවූ, තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වා නොගන්නා ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, යම් ඒ සීලයෝ වෙත්ද, එබඳු සීලයන්හි සබ්‍රම්සරුන් ඉදිරියෙහි හා නොඉදිරියෙහිද, සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරුබව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතුවූ ධර්‍මයද රැස්වීම පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතියි.

26.´´ආනන්‍දය, නැවත අනිකක්ද කියමි. මහණතෙම යම් මේ ආය්‍ර්‍යවූ නෛය්‍ර්‍යාණිකවූ එය පිළිපදින්නහුගේ දුක් මනාව නැසීම පිණිස පවත්නාවූ යම් ඒ ප්‍රඥාවක් වෙයිද, එබඳු ප්‍රඥාවෙන් සබ්‍රම්සරුන් ඉදිරියෙහි හා නොඉදිරියෙහිද සමාන බවට පැමිණ වාසය කරයිද, ප්‍රියබව ඇතිකරන්නාවූ, ගරුබව ඇති කරන්නාවූ, මේ සිහි කටයුතු ධර්‍මයද රැස්වීම පිණිස, අවිවාදය පිණිස, එක්වීම පිණිස පවතියි. ආනන්‍දය, ප්‍රිය බව ඇතිකරන්නාවූ මේ සිහි කටයුතු ධර්‍ම සය රැස්වීම පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්. ආනන්‍දය, ඉදින් තෙපි මේ සිහි කටයුතු ධර්‍ම සය සමාදන්ව පවත්නාහු නම් ආනන්‍දය, තෙපි නොඉවසන්නාවූ කුඩා වරද ඇත්තාවූ හෝ මහත් වරද ඇත්තාවූ යම් වචනයක් දකිව්ද?´´ ´´ස්වාමීනි, නැත.´´

´´ආනන්‍දය, එහෙයින් මේ සිහි කටයුතු ධර්‍ම සය සමාදන්ව පවතිව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේය..´´

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

සාමගාම සූත්‍රය නිමි. ( 1 – 4)