147. චූල රාහුලෝවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඩු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල්හි ඵල සමාපත්තියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ හට මෙබඳු අදහසක් පහළවූසේක. රාහුලගේ අර්හත් ඵල ඥානය මුූකරවන්නාවූ ධර්මයෙහි මෙරීමට පැමිණියාහුය. දැන් මම රාහුල මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කරන්නාවූ ධර්මයන්හි හික්මවන්නෙම් නම් යහපති´ කියායි. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළැක්කේ ආයුෂ්මත් රාහුලයන්ට ආමන්ත්‍රණය කළසේක. ´රාහුලය නිසීදනය (හිඳිනා අසුන) ගනුව අන්ධවනය යම් තැනෙක්හිද, දවල් කාලයෙහි විසීම පිණිස එහි යන්නෙමුයි´´ (වදාළේය.) ´´ස්වාමීනි, එසේය කියා ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේහට උත්තරදී නිසීදනය රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් ගියේය.

2. ඒ කාලයෙහි බොහෝ දහස් ගණන් දෙවියෝ අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල භද්‍රයන් මත්තෙහි ආශ්‍රවයන් ක්ෂයකිරීමෙහි හික්මවන්නේයයි භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියාහුය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් රාහුල තෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසක හුන්නාවූ ආයුෂ්මත් රාහුල භද්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ´´රාහුලය, තා කුමකැයි´´ සිතන්නෙහිද? චක්ෂු ප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?´´ යනුයි.

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද සැප වන්නේද?´´

´´ස්වාමීන් වහන්ස දුක් වන්නේනය. ස්වාමීනි එය දුකය.´´

´´යමක් දුක නම් අනිත්‍ය නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේමයයි´ කී.

3. රාහුල ඒ කුමකැයි හඟින්නෙහිද? රූපයෝ නිත්‍ය වන්නාහුද? අනිත්‍ය වන්නාහුද?´´

´´ස්වාමීනි අනිත්‍ය වන්නාහුය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් වන්නේද? සැප වන්නේද?´´

´´ස්වාමීනි දුක් වන්නේය.

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක්නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි සුදුසු නොවන්නේය.´´

´´රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ෂුර් විඥානය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද? සැප වන්නේද?´´

´´ස්වාමීනි දුක් වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය වේද? පෙරළෙන ස්වභාව ඇත්තේද එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, නොවන්නේයයි´´ (කී)

4. ´´රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ඛු සම්ඵස්සය නිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි අනිත්‍ය වන්නේයි.´´

´´යමක් වනාහි අනිත්‍ය වේ නම් එය දුක් වන්නේද සැප වන්නේද?´´

´´ස්වාමීනි, දුක් වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍යනම් දුකනම් පෙරළෙන ස්වභාවයක් ඇතතේ නම් එය මම වෙමි. එය මාගේ ආත්මය වනනේයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, නොවන්නේය.´´

5. ´´රාහුලය, ඒ කුමකැයි හිඟින්නෙහිද? චක්ඛු සම්ඵස්ස නිසා හටගන්නාවූ යම් වේදනාවක් යම් සංඥාවක් යම් සංචාරයක් යම් විඤ්ඤාණයක් වේද? එය නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද? සැප වන්නේද?´´

´´ස්වාමීනි එය දුක්වන්නේය. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි සුදුසු නොවන්නේය.´´

6. ´´රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? ර්‍හොතප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?´´

´´ස්වාමීනි, එය දුක්වන්නේය.´´

´´යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, අනිත්‍ය නම්, දුක් නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේය.´´

´´ඝානප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?´´

ස්වාමීනි, එය දුක් වන්නේය.´´

´´යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම් අනිත්‍ය නම් දුක් නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේය.´´

´´ජිව්හා ප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?

´´ස්වාමීනි අනිත්‍ය වන්නාහුයයි´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද?´´

´´ස්වාමීනි, එය දුක්වන්නේය.´´

´´යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම් අනිත්‍ය නම් දුක් නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේමය.´´

´´කාය ප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැප වන්නේද?´´

´´ස්වාමීනි, එය දුක් වන්නේය.´´

´´යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම් අනිත්‍යනම්, දුක් නම්, එය මාගේය, එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැක්මට සුදුසුද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේය.´´

´´සිත නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය වන්නේනම් එය දුක් වන්නේද, සැප වන්නේද?´´

´´ස්වාමීනි දුක් වන්නේය.´´ ´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක් වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි සුදුසු නොවන්නේය.´´

7. ´´රාහුලය, එය කුමක් සිතන්නෙහිද? ධර්මයෝ නිත්‍ය වන්නාහුද අනිත්‍ය වන්නාහුද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නාහුය.´´

´´යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද සැප වන්නේද?´´

´´ස්වාමීනි දුක් වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමිනී සුදුසු නොවන්නේය.´´

8. ´´රාහුලය, එ කුමකැයි සිතන්නෙහිද? මනෝ විඤ්ඤාණය නිත්‍යවන්නේද අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි අනිත්‍ය වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දක් වන්නේද සැප වන්නේද?´´

´´ස්වාමීනි දුක් වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම, පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේය.´´

9. රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? මනො සම්ඵස්සය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යමක් අනිත්‍ය නම් එය දුක් වන්නේද, සැප වන්නේද?´´

´´ස්වාමීනි, දුක් වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි, සුදුසු නොවන්නේය.´´

10. ´´රාහුලය, ඒ කුමකැයි හඟින්නෙහිද? මනො ස්පර්ශය හේතුකොටගෙන යම් වේදනාවක්, යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් උපදී නම් එය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වන්නේය.´´

´´යම් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද, සැප වන්නේද?´´

´´ස්වාමීනි, දුක් වන්නේය.´´

´´යමක් වනාහි අනිත්‍යනම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු වන්නේද?´´

´´ස්වාමීනි සුදුසු නොවනනේය.´´

11. ´´රාහුලය, මෙසේ දකින්නාවූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඇසෙහි කල කිරෙන්නේය, රූපයන්හි කලකිරෙන්න්ෙය. චක්ඛු විඤ්ඤාණයෙහි කලකිරෙයි. චක්ඛු සම්ඵස්සයෙහි කල කිරෙයි. යම් මේ චක්ඛුසම්ඵස්සයන් හේතුකොටගෙන වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කල කිරෙයි. කණෙහි කල කිරෙයි. ශබ්දයන්හි කල කිරෙයි. නාසයෙහි කලකිරෙයි. ගන්ධයන්හි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. රසයන්හි කලකිරෙයි. කායෙහි කල කිරෙයි. ස්පර්ශයන්හි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි. ධර්මායතනයන්හි කලකිරෙයි. මනෝ විඤ්ඤාණයෙහි කලකිරෙයි. මනෝ සම්ඵස්සයෙහි කලකිරෙයි. මනොවිඤානයෙහි කලකිරෙයි. මනොසම්ඵස්සයෙහි කලකිරෙයි. මනෝ සම්ඵස්නය හෙතුකොටගෙන යම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඤ්ඤාණයක් උපදීද, එහිද කලකිරෙන්නේය. කලකිරෙන්නේ නොඇලෙන්නේය. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙන්නේය. මිදුන කල්හි මිදුනේය. යන අර්හත් ඤාණ ඵල උපදියි. ඉපදීම් කෙළවර වන්නේය. බ්‍රහ්මචර්යාව වැය නිම වන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. ඉන්පසු මේ ආත්මභාව පිණිස කළයුත්තක් නැතැයි දන්නේය.´´

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටුවූයේ වෙයි.

මේ දේශනාව කරන ලබන කල්හි ආයුෂ්මත් රාහුලයන්ගේ සිත උපාදානයන්ගෙන් තොරව කාමාදී ආශ්‍රවයන් ගෙන් මිදුනේ වේ. ඒ බොහෝ දහස් ගණන් දෙවියන්ටද හටගැනීම් ස්වභාවය ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල හැකිවන ස්වභාව ඇත්තේ යයි කෙලෙස් රජස් නැති දුරුවූ කෙලෙස් මළ ඇති ධර්ම චක්ෂුසයයි කියනලද මාර්ගඥාන පහළ විය.

චූලරාහුලෝවාද සූත්‍රය නිමි. (4-5)

146. නන්දකොවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි මහා ප්‍රජාපති ගෞතමී තොමෝ පන්සියයක් පමණ වූ භික්ෂුණීන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට එළඹියාය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස්ව සිටියේය. එකත්පස්ව සිටියාවු මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අවවාද කරන සේක්වා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට අනුශාසනා කරන සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූණීන්ට ධර්ම කථාව කරණ සේක්වා´´ යනුයි.

2. ´´එකල්හි වනාහි ස්ථවිර භික්ෂූහු වාර වශයෙන් භික්ෂුණීන්ට අවවාද කරත්. ආයුෂ්මත් නන්දන ස්ථවිර තෙමේ වනාහි වාර වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළ සේක. ´´ආනන්දය, වාර වශයෙන් භික්ෂූණීන්ට අවවද කිරීම සදහා අද කවරෙකුගේ වාරය වේදැයි´´ ඇසූහ.

´´ස්වාමීනි, වාරවශයෙන් භික්ෂූන්ට අවවාද කිරීම සඳහා අද නන්දක ස්ථවිරයන්ගේ වාරය වේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ගේ වාරයවේ. ස්වාමීනි, මේ ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙම වාරය වශයෙන් භික්ෂූණීන්ට අවවාද කරන්ට නොකැමැති වේයයි´´ කීය.

3. ´´එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ, නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. ´´නන්දකය, භික්ෂූණීන්ට අවවාද කරව, නන්දකය, භික්ෂූණීන්ට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, නුඹ භික්ෂූණීන්ට ධර්ම කථාව කරවයි´´ (වදාළේය.)

´´එසේය ස්වාමීන් වහන්සැයි, ඒ ආයුෂ්මත් වූ නන්දක ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත් නුවරට පිඬුපිණිස පිවිසියේය. පැවැත්නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නෙකු ඇතිව රාජකාරාමය යම් තැනෙක්හිද එතැනට එළඹියේය.

4. ´´ඒ භික්ෂූණීහු දුරදීම එන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් දුටුවාහුමය, දැක ආසනයක් පැනවූවාහුය, පා සේදීමට දියද එලෙව්වාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ පනවන ලද ආසනයෙහි වැඩ හුන්නේමය. වැඩහිඳ පා සේදුයේය. ඒ භික්ෂූණීහුද ආයුෂ්මත් වූ නන්දක ස්ථවිරයන්ට වැඳ එකත්පස්ව හුන්නාහුය. එකත්පස්ව හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ මෙය ප්‍රකාශ කෙළේය. ´´නැගණිවරුනි, ප්‍රශ්න කොට කීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි, කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි කියයුතු වන්නේය. යම් භික්ෂූණී සැකයක් හෝ විමතියක් හෝ වන්නේද, එය ´ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැයි, මගෙන්ම ඇසිය යුත්තේය. (ප්‍රකාශ කෙළේය.)

5. ´´ස්වාමීනි, ආර්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරාද එපමණකින්ම අපි ආර්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේට සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමුයි´´ කීවාහුය.

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැපවේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, (සුදුසු) නොවේමය´´ ´´නැගණිවරුණි, කුමකැයි හිගිව්ද, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය´´

´´කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය´´

´´යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුකය, ´යමක් වනාහි අනිත්‍යය නම්, දුක නම්, වෙනස්වන ස්වභාවඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?´´

´´ස්වාමීනි, එය (සුදුසු) නොවේමැයි´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ අධ්‍යත්මික ආයතන සය අනිත්‍ය වෙත්යයි අප විසින් පළමු කොටම මෙය තත්වූ පරිදි මනා නුවණින් දක්නා ලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ, ආර්ය ශ්‍රාවකයාහට ඒ කාරණය එසේමය.

6. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යවෙත්.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් එය, මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි, දැක්මට සුදුසුද?´´

´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද?´´ ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමිනි, අනිත්‍ය වෙත්.´´

´´ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්´´

´´රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්´´

´´ස්පර්ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්.´´

´´ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍ය වෙත්.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´වසත් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි, දකින්ට සුදුසුද?´´

´´ස්වාමීනි, එය සුදුසු නොවේමැයි´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද, මෙසේ නම් බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍ය වෙත්යයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී.´´

´´නැගණිවරුණි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයාහට ඒ කාරණය එසේමයි.´´

7. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, එය දුක හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැක්මට සුදුසුද?´´

´´ස්වාමීනි, එය නොවේමැයි.´´

´´නැගිණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? සොතවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද, මෙසේ මේ විඤ්ඤාණකායයෝ සදෙන අනිත්‍යයෝයයි අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්යශ්‍රාවකයාහට ඒ කාරණය එසේමැයි.´´

8. ´´නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහණක්හුගේ තෙලද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, පහන් සිථවද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, ආලෝකයද අනිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි මෙසේ කියන්නේද, ´ඇවිලෙන්නාවූ මේ තෙල් පහණෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන්වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තීය. ඒ පහණේ යම් ආලෝකයක් වේද, එය නිත්‍යය. ස්ථිරය, ශාස්වතය, වෙනස්වන නොවන ස්වභාව ඇත්තීයයි´ (කියන්නේද), නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, පහන සිලද අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එහි ආලෝකය නිත්‍යය. වෙනස්වන ස්වභාව ඇත්තේ යයි කියනුම කවරේද?´´

9. ´´නැගණිවරුනි, මෙපරිද්දෙන් ම මේ අධ්‍යත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය. ´අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, නොනැසෙන ස්වභාව ඇත්තේයයි´ යමෙක් කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම එය මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ඒ ඒ වේදනා උපදින හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගත්තාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ ්වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් හටගත් වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.´´

10. ´´නැගණිවරුනි, යම්සේත් පිහිටියාවූ හර ඇත්තාවූ මහත්වූ වෘක්ෂයක්හුගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, කඳත් අනිත්‍යවූයේ වෙන්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළද අනිත්‍යවූයේ වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලද අනිත්‍යවූවා පෙරළෙන ස්වභාව ඇත්තීද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. කඳත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව අත්තේය. අතු හා කොළත් අනිත්‍යය, වෙනස් වන ස්වභාව ඇත්තේය. ගසේ යම් ඡායාවක් වන්නීද, එය නිත්‍යවූ ස්ථීරවූ සදාකාලිකවූ වෙනස් නොවන්නකැයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, කඳත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, අතු හා කොළත් අනිත්‍ය නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, ගසේ ඡායාවත් අනිත්‍යවූ වෙනස්වන බවක් ඇත්තීයයි කියනුම කවරේද?´´

11. ´´නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයෝය, වෙනස්වන ස්වභාව ඇත්තෝය. බාහිරවූ ආයතනයෝ සදෙන නිසා යම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීම්ද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි මෙසේ කියන්නේද, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද්?´´

´´එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ ඒ වේදනාව උපදින හේතූන් ඒ ඒ හේතු වෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිත්. ඒ ඒ වේදනා උපදින හේතූන්ගේ නිරුද්ධවීමෙන් ඒ ඒ හේතුවෙන් උපදින වේදනාවෝ නිරුද්ධවෙත්, එහෙයිනි.´´

´´නැගිණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි.´´

12. ´´නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ දෙනක් මරා සියුම්වූ ගෙරි කපන කැත්තෙන් ගවදෙන මසටද, තුවාල නොකොට, සමටද තුවාල නොකොට, සමත් මසත් අතර බැඳුණු යම් නහර වැදලි ඇත්නම් ඒ ඒ නරහවැදලි පමණක් තියුණු ආයුධයෙන් කපන්නේද, සිඳින්නේද, කපා සිඳ සමගසා ඒ පිට සමින්ම ඒ ගවදෙන වසා පෙරසේම ඒ ගවදෙන ඒ සමින් යුක්තවූවායයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන තැනැත්තේ මනාකොට කියන්නේවේද?´´

´´ස්වාමීනි, එසේ නොවේය.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ දක්ෂවූ ගවයන් මරන්නාවූ හෝ ගවයන් මරන්නෙකුගේ අතවැස්සෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසටද තුවාළ නොකොට පිටත සමටද තුවාල නොකොට, සමටත් මසටත් අතර බැඳුණ යම් නහර ආදියක් වෙත්ද, ඒ නහර ආදියම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් කපන්නේද, සිඳින්නේද, මනාව කපන්නේද කපා සිඳ පිටසම ගසා දමා, ඒ සමින්ම ඒ ගවදෙන වසාදමා පෙර සේම, මේ දෙන මේ සමින් යුක්ත වූවායයි කියන්නේ වේද, එතකුදු වුවත් ඒ සමින්ම යුක්ත නොවන්නීය.´´

13. ´´නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථ හැඟවීමට දක්වන ලදී. මෙය මෙහි අර්ථය වේ. නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතනයන් සදෙනාට මේ නමකි. නැගණිවරුනි, පිට සම යනු බාහිර ආයතන සයට මේ නමකි. නැගණිවරුනි, අතර බැඳුණු නහර ආදිය යනු නන්දිරාගයයි කියන ලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, සියුම්වූ ගෙරිකපන කැත්තය යනු ආර්යවූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්යවූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර ඇති කෙලෙස් මනාව සිඳියි. අතර ඇති සංයෝජන අතර ඇති බන්ධන සිඳියි, කපයි.

14. ´´නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වැඩූ බැවින් බහුල වශයෙන් කළ බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියටද, අර්භත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යංග ධර්ම සතක් වෙත්. කවර සතක්ද යත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය, ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ සතිසම්බොජ්ඣද්ධ්ගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, කෙලෙසුන් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොධ්‍යද්ධ්ගය වඩයිද, නැගණිවරුනි, යම් ධර්මකෙනෙකුන් වඩන ලද බැවින්, බහුල කරනලද බැවින් භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන්, ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධියට අර්හත්ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඒ මේ බොධ්‍යද්ධ්ගදර්ම සත වෙත්ය´´යි ප්‍රකාශ කෙළේය.

15. ඉක්බිති ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම ඒ භික්ෂූණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට ´´නැගිණිවරුනි, යව් මේ සුදුසු කාලයයි යෙදවීය.´´ (පිටත් කෙළේය.) ඉක්බිති ඒ භික්ෂූණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේගේ වඩනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරයන්ට වැඳ, ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහනසේ යම් තැනෙක්හිද, එතැනට එළඹුනාහුය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවුම ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

´´මෙහෙණිනි, යම් යාමට සුදුසු කාලයයි´´ වදාළේය.

16. ´´ඉක්බිති ඒ භික්ෂූණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ, ප්‍රදක්ෂීනාකොට ගියාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූණීන් බැහැරගිය නොබෝ වේලාවකින් භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ´´මහණෙනි, යම්සේ තුදුස්වක් පොහෝ දිනයෙක සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝ දෙනාට සැකයක් හෝ විමතියක් හෝ නැත. ´සඳ අඩු වූයේම වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම ඒ භික්ෂූණිීහු නන්දකගේ ධර්මදේශනා වෙන් සතුටු වූවාහුම වෙත්. එහෙත් සම්පූර්ණවූ අදහස් ඇතතේ නුවූවාහුමය.´´

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන්ට ආමන්ත්‍රණය කළසේක. ´´නන්දක, එසේවී නම් නුඹ හෙටද ඒ භික්ෂූණීන්ට ඒ අවවාදයෙන්ම අවවාද කරන්නෙහි යයි´´ වදාළේය. ´´එසේය, ස්වාමීනියයි´´ ආයුෂ්මත්වූ නන්දක ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය.

17. ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙමේ ඒ රාත්‍රිහුගේ ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැන්නකු සමග රාජකාරාමය යම් තැනෙක්හිද එතැනට එළඹියේය. ඒ භික්ෂුණීහු වඩන්නාවූ ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ දුරදීම දුටුවාහුය. දැක, ආසනයක් පැනවූවාහුය. ජලයද පාදයන් ධොවනයට එලවූවාහුය. ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ වනාහි පනවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, පාදයන් සේදූසේක. ඒ භික්ෂූණීහුද ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව උන්නාහුය. එකත්පස්ව උන්නාවූ ඒ භික්ෂූණීන්ට ආයුෂ්මත් නන්දක ස්ථවිරතෙම මෙය වදාළේය.

18. ´´නැගණිවරුනි, ප්‍රශ්නකර කිරීමක් වන්නේය. එහි දන්නවුන් විසින් දනිමුයි කියයුතු වන්නේය. නොදන්නවුන් විසින් නොදනිමුයි, කියයුතු වන්නේය. යමක් ගැන වනාහි සැකයක් හෝ විමතියක් හෝ වන්නේද? ස්වාමීනි, මෙය කෙසේද මෙහි අර්ථය කවරේදැ´´යි එය මගෙන්ම ඇසිය යුතුය.

´´ස්වාමීනි, ආර්යවූ නන්දක ස්ථවිරයන් වහන්සේ අපට යමක් පවරයිද එතෙකින් සතුටු සිත් ඇත්තේ කැමැතිවූවෝ වෙමු.´´

19. ´´නැගිණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, ඇස නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක හෝ සැප වේද?´´

´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.´´

´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´නාසය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´දිව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´කය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´සිත නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එය එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමිනී, අප විසින් මෙසේද මෙසේ මේ අධ්‍යාත්මිකවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි පළමුවම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්යශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.´´

20. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? රූපයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහග´´

´´යමක් වනාහි අනිත්‍යනම්, එය දුක් හෝ සැප වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේ.´´

´´නැගණිවරුනි, එය කුමකැයි හගිව්ද? ශබ්දයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´ගන්ධයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමිනී, අනිත්‍යයහ.´´

´´්රසයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ස්පර්ශයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´ධර්මයෝ නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙද්ද?´´

´´ස්වාමිනී. අනිත්‍යයහ.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, අප විසින් මෙසේද මෙසේ මේ බාහිරවූ ආයතනයෝ සදෙන අනිත්‍යහයි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නා ලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් වූ නුවණින් දක්නාවූ ආර්යශ්‍රවකයෙකුට ඒ කාරණය එසේයි.´´

21. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද, චක්ඛු විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යනම්, එය දුක හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දක්නට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

22. ´´නැගණිවරුනි, ඒ කුමකැයි හගිව්ද? සොත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍යය හො වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ඝාණවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´ජීව්හාවිඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යයහ.´´

´´මනොවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුකය.´´

´´යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම්, එය මාගේය, එය මම වෙමියි, එය මාගේ ආත්මයයි දකින්ට සුදුසුද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මෙසේද මෙසේ විඤ්ඤාණ කායයෝ සදෙන අනිත්‍යයෝයයි, අප විසින් පළමුකොටම තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් මනාකොට දක්නාලදී.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.´´

23. ´´නැගණිවරුනි, යම්සේත් ඇවිලෙන්නාවූ තෙල් පහනක තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේ වේද, පහන් සිලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තීවේද, ආලෝකයද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තක් වේද? නැගණිවරුණි, යමෙක් වනාහි මේ ඇවිලෙන්නාවූ තෙල් පහනෙහි තෙලද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තීය. පහන්සීලද අනිත්‍ය වෙනස්වන ස්වභාව ඇත්තීය. මේ පහණේ ආලෝකයක් වේද, එය නිත්‍යය, ස්ථීරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි, කියන්නේද නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මේ ඇවිලෙන්නාවූ තෙල් පහණේ තෙලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. වැටියද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. පහන් සිලද අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය. ඒ පහණේ ආලෝකය අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?´´

24. ´´නැගණිවරුනි, එපරිද්දෙන්ම යමෙක් වනාහි මේ අධ්‍යත්මිකවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. අධ්‍යත්මිකවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ විඳිම්ද, එය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ස්වභාව ඇත්තේයයි කියන්නේ නම්, නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම වනාහි මනාකොට කියන්නේද?´´

´´ස්වාමීනි, එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නා වේදනාවෝ උපදිත්. ඒ ඒ වේ්දනා හට ගන්නා ඒ ඒ හේතූන්ගේ නිරුද්Ȁdධවීමෙන් ඒ ඒ හේතූන්ගෙන් හටගත් වේදනාවෝ නිරුද්ධ වෙත්මයි.´´

´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දක්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමයි.

25. ´´නැගණිවරුනි, යම්සේක්හි පිහිටියාවූ සාරවත්වූ මහත් වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, කඳත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, අතු හා කොළත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, සෙවනැල්ලත් අනිත්‍යද වෙනස්වන ස්වභාව ඇත්තේද, නැගණිවරුනි, යමෙක් වනාහි පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ මුලත් අනිත්‍යය, වෙනස්වන ස්වභාව ඇත්තේය, කඳත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. අතු හා කොළත් අනිත්‍යය වෙනස්වන ස්වභාව ඇත්තේය. මේ ගසේ යම් සෙවනැල්ලක් වන්නීද, එය නිත්‍යය, ස්ථීරය, සදාකාලිකය. යමක් වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියන්නේ නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?´´

´´ස්වාමීනි, පිහිටියාවූ සාරවත්වූ මේ මහත්වූ වෘක්ෂයාගේ වනාහි මුලත් අනිත්‍යනම්, විපරිනාම ස්වභාව ඇත්තේ නම් කඳත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් අතු හා කොළත් අනිත්‍යනම් වෙනස්වන ස්වභාව ඇත්තේ නම් ඒ ගසේ සෙවනැල්ලද අනිත්‍යවූ වෙනස්වන ස්වභාව ඇත්තේය යනු කියනුම කවරේද?´´

26. නැගණිවරුනි, එපරිද්දෙන්ම මේ බාහිරවූ ආයතනයෝ සදෙන වනාහි අනිත්‍යයහ. වෙනස්වන ස්වභාව ඇත්තාහ. බාහිරවූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද, එය නිත්‍යය, ස්ථිරය. සදාකාලිකය. වෙනස්වන ස්වභාව නැත්තේයයි යමෙක් කියා නම් නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනාකොටම කියන්නේද?´´

´´ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිසා ඒ ඒ හේතුවෙන් හටගන්නාවූ වේදනාවෝ උපදිති. ඒ ඒ වේදනා හටගන්නාවූ හේතූන් නිරුද්ධවීමෙන් ඒ ඒ වේදනා උපදින්නාවූ හේතූන්ගෙන් හටගන්නාවූ වේදනාවෝ නිරුද්ධවෙත්මයි.´´

26. ´´නැගණිවරුනි, යහපත, යහපත, නැගණිවරුනි, තත්වූ පරිද්දෙන් යහපත් නුවණින් දන්නාවූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණය එසේමැයි. නැගණිවරුනි, යම්සේ දක්ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසක් පලුදුනොකොට පිටත සමක් පලුදුනොකොට පිටතසමත් පලුදුනොකොට අතර බැඳි පවත්නා සිවියද, අතරවූ නහරද, අතරවූ බැඳුම්ද ඇත්තේද, එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැත්තෙන් සිඳින්නේද, කපන්නේද, නැවත නැවත කපන්නේද, සිඳ කපා නැවත නැවත කපා පිට හම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා දමා පළමුසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේය. නැගණිවරුනි, එසේ කියන්නාවූ හෙතෙම මනා කොටම කියන්නේද?´´

´´ස්වාමීනි, මෙය එසේ නොවේමැයි.´´

´´ඊට හේතු කවරේද?´´

´´ස්වාමීනි, මේ දක්ෂවූ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතවැසියාහෝ ගවදෙනක් මරා සියුම්වූ ගෙරිකපන කැත්තෙන් ඇතුළත මසද පලුදු නොකොට පිට සමද පලුදු නොකොට එහි අතර සිවිද අතර නහරද අතර බැඳුම්ද ඇත්නම් එපමණක්ම සියුම්වූ ගෙරිකපන කැතතෙන් සිඳින්නේය. කපන්නේය, හාත්පස කපන්නේය. සිඳ කපා හාත්පස කපා පිට සම ගසා ඒ සමින්ම ඒ ගවදෙන වසා, හෙතෙම පෙරසේම මේ ගවදෙන මේ සමින් යුක්තවූවායයි කියන්නේද එතකුදු වුවත් ඒ ගවදෙන ඒ සමින් යුක්ත නොවූවාවෙයි.´´

27. ´´නැගණිවරුනි, මා විසින් මේ උපමාව වනාහි අර්ථය හැඟවීමට දක්වනලදී. මෙය එහි අර්ථය වේ. නැගණිවරුනි, ඇතුළත මස යනු අධ්‍යාත්මිකවූ ආයතන සයට මෙය නමකි. නැගණිවරුනි, පිටත සම යනු බාහිරවූ සිවිය. අතරවූ නහරය, අතරවූ බැඳුම්ය යනු නන්දිරාගයයි කියන ලද තෘෂ්ණාවට මෙය නමකි. නැගණිවරුනි, තියුණුවූ ගෙරි කපන කැත්තය යනු ආර්ය වූ ප්‍රඥාවට මේ නමකි. යම් මේ ආර්ය වූ ප්‍රඥාවක් වේද, ඕතොමෝ අධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති ක්ලෙශය අතරවූ සංයෝජනය අතරවූ බන්ධනය, සිඳියි. කපයි, හාත්පසින් කපයි.

28. ´´නැගණිවරුනි, යමෙකුන් වඩනලද බහුල වශයෙන් කරණලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියට අර්හත් ඵල ප්‍රඥාවට මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වාසය කෙරේද ඒ බොජ්ඣද්ධග ධර්ම සතක් වෙත්. කවර සතක්දයත්? නැගණිවරුනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් දුරු කිරීම පිණිස පවත්නාවූ සති සම්බොජ්ඣද්ධගය වඩයිද, ධම්මවිචය සම්බොජ්ජඣද්ධ්ගය වඩයිද, විරිය සම්බොජ්ඣද්ධය වඩයිද, පීති සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, පස්සද්ධි සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, සමාධි සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් දුරලීම පිණිස පවත්නාවූ උපෙක්ෂා සම්බොජ්ඣද්ධ්ගය වඩයිද, නැගණිවරුනි, මොහු වනාහි බොජ්ඣද්ධ්ග සතවෙත්. යම් ධර්ම කෙනෙකුන් වඩනලද බහුල වශයෙන් කරනලද භික්ෂුතෙම ආශ්‍රවයන් නැසීමෙන් අනාශ්‍රවවූ අර්හත් ඵල සමාධියටද, අර්හත්ඵල ප්‍රඥාවටද මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, ඔහුයි.

29. ::ඉක්බිති ආයුෂ්මත් නන්දක ස්ථවිර තෙමේ ඒ භික්ෂුණීන්ට මේ අවවාදයෙන් අවවාදකොට නැගණිවරුනි, යව් මේ සුදුසු කල්වේයයි´´ කාලයද දැන්වීය.

එකල්හි ඒ භික්ෂුණීහු ආයුෂ්මත් නන්දක ස්ථවිර වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව,හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණාකොට, භාග්‍යවතුන් වහනසේ යම් තැනෙක්හිද, එතැනට එළඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියාහුය. එකත්පස්ව සිටියාවුම ඒ භික්ෂුණීන්ට භාග්‍යවතුන් වහනසේ මෙය (වදාළේය.) ´භික්ෂුණීවරුනි, මේ සුදුසු කාලය වේයයි´´ (වදාළේය.)

30. ඉක්බිති ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට ගියාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූණින් බැහැරගියාවූ නොබෝ කල්හි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ´´මහණෙනි, යම්සේක් එදවස්හිවූ පසලොස්වක් පොහොය ඇති කල්හි සඳ අඩුද සම්පූර්ණදැයි බොහෝ දෙනාට සැකයක් හෝ විමතියක් හෝ නොවේද සඳ සම්පූර්ණවූයේම වේද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ භික්ෂුණීහු නන්දකයාගේ ධර්මදේශනාවෙන් සතුටුසිත් ඇත්තාහුද, සම්පූර්ණවූ අදහස් ඇත්තාහුද වූහ. මහණෙනි, ඒ පන්සියයක්පමණ භික්ෂූණීන් ගෙන් පශ්චිමවූ යම් භික්ෂුණියක්වීද, ඕතොමෝ සෝවාන් වූවා අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තී නියත වූවා සම්බෝධිය පිහිටකොට ඇත්තීවීයයි ´´ වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුයි.

සතරවැනි නන්දකොවාද සූත්‍රය නිමි. (5-4)

145. පුණ්ණෝවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම්වූ අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත්වූ පුණ්ණ ස්ථවිරතෙමේ සවස් වේලෙහි ඵලසමතින් නගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවත්‍රන් වහන්සේට මෙය සැල කළේය.

2. ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා හුදකලා වූයේ, ගණයාගෙන් වෙන් වූයේ, අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ එබඳු සංක්ෂේප අවවාදයකින් මට අවවාද කරණසේක් නම් යහපති´´ කියායි. ´´පුණ්ණ, එසේ වීනම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි´´යි වදාළේය. ´´එසේය, ස්වාමීන් වහන්සැ´´යි ආයුෂ්මත් වූ පුණ්න ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

3. ´´ පුණ්ණ, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ (කම්සැප ගෙනදෙන්නාවූ) ඇලුම් කරන්නාවූ රූපයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය, හොඳයයි කියයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැනීමෙන් දුක හටගැනීම වේයයි කියමි.

´´පුණ්ණය, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ´´ශබ්දයො´´් වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු වේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැස ගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැනීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

´´නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙන දෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හට ගැනීමෙන් දුක් හටගැනීම වේයයි කියමි.

´´දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය යොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටුවන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැනීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

´´කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙන දෙන්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටුවේද, එය හොඳය හොඳයයි කියාද, එයට බැසගෙන සිටීද, එයට සතුටු වන්නාවූ, එය හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඔහුට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැණීම වේයයි කියමි.

´´සිතින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප පිණිස පවතින්නාවූ, ඇලුම් කටයුතුවූ ධර්මයෝද වෙත්මය.

4. ´´ඉදින් මහණතෙම එයට සතුටුවෙයිද, එය හොඳය හොඳයයි කියයිද, එයට බැසගෙන සිටීද, එයට සතුටුවන්නාවූ එයට හොඳය හොඳයයි කියන්නාවූ, එයට බැසගෙන සිටින්නාවූ, ඒ මහණහට ආශාව උපදියි. පුණ්ණය, ආශාව හටගැණීමෙන් දුක් හටගැනීම වේයයි කියමි. පුණ්න, ඇසින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සාප ගෙන දෙන්නාවූ, ඇළුම් කරන්නාවූ, රූපයෝද වෙත්ද, ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එයට හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එයට හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ ආශාව නිරුද්ධවීමෙන් දුක් නිරුද්ධ වේයයි කියමි.

´´පුණ්ණ, කණින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙන දෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ශබ්දයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එයට හොඳය හොඳයයි නොකියාද, එයට බැස ගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිව මෙන් දුක් නැතිවීම වේයයි කියමි.

´´නාසයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙනදෙන්නාවූ ඇලුම් කටයුතුවූ, ගන්ධයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.

´´දිවෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙන දෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, රසයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවේයයි කියමි.

´´කයින් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙන දෙන්නාවූ, ඇලුම් කටයුතුවූ, ස්පර්ශයෝ වෙත්මය. ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, ඒ ගැන එය හොඳය හොඳයයි නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නැතිවේ. ආශාව නැතිවීමෙන් දුක් නැතිවීම වේයයි කියමි.

´´සිතින් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සැප ගෙන දෙන්නාවූ, ඇථම් කටයුතුවූ, ධර්මයෝද වෙත්මය.

5. ´´ඉදින් මහණතෙම එයට සතුටු නොවේද, එය හොඳය හොඳයයි නොකියාද, එයට බැසගෙන නොසිටීද, එයට සතුටු නොවන්නාවූ, එය නොකියන්නාවූ, එයට බැසගෙන නොසිටින්නාවූ, ඔහුගේ ආශාව නිරුද්ධවේ. පුණ්ණ, ආශාව නිරුද්Ȁdධවීමෙන් දුක් නිරුද්Ȁdධවීම වේයයි කියමි.

6. ´´පුණ්ණ, මා විසින් මේ සංක්ෂේප අවවාදයෙන් අවවාද කරණ ලද්දාවූ, නුඹ, කිනම් ජනපදයක වාසය කරන්නෙහිද?´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්ෂේප අවවාදයෙන් අවවාද කරනු ලැබූ මම සූනාපන්ත නම් ජනපදයක් ඇත්තේය. එහි වාසය කරන්නෙමි. ´´

7. පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිස්සු චණ්ඩය, පුණ්ණ, සුනාපරන්ත ජනපද වැසි මිනිස්සු රෞද්‍රය, පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද? පුණ්ණය, එහිදී තට කොබදු සිතක් වන්නේද?´´

´´ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්සු ආක්‍රොෂ කරන්නාහුද, පරිභව කරන්නාහුද, එහිදී මට මෙබදු සිතක් වන්නේය. ඒකාන්තයෙන් යහපත්වෙත්. ´මේ සුනාපරන්ත වැසි මිනිස්සු ඒකාන්තයෙන් වඩා යහපත් වෙත්. යම් හෙයකින් මොවුහු මට අතින් පහර නොදෙත්ද, (එහෙයිනි.) භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය.´´

8. ´´පුණ්ණ, ඉදින් වනාහි තොපට සුනාපරන්ත වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම්, පුණ්ණ, එහිදී වනාහී තොපට කෙබදු සිතක් වන්නේද?´´

´´ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු අතින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබදු සිතක් වන්නේය. ´මේ සුනාපරන්ත දනව්වැසි මිනිස්සු ඒකාන්තයෙන් යහපත්ය. මේ සුනාපරන්ත දව් වැසි මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්ය. යම් හෙයකින් මොව්හු මට කැටයකින් පහර නොදෙත්ද, එහෙයිනි, භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේද?´´

9. ´´ස්වාමීනි, ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කැටයකින් පහර දෙන්නාහු නම්, පුණ්ණ එහිදී වනාහි තොපට කෙබදු සිතක් වන්නේද?´´

ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු කටකින් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබදු සිතක් වන්නේය. ´ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මොව්හු දණ්ඩකින් පහර නොදෙත්ද, එහෙයිනි, භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය.

10. ´´පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ තොපට එහිදී වනාහි කෙබදු සිතක් වන්නේද?´´

´´ස්වාමීනි, ඉදින් වනාහි මට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු දණ්ඩෙන් පහර දෙන්නාහු නම්, එහිදී මට මෙබදු සිතක් වන්නේය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව්වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මේ මිනිස්සු ආයුධයකින් පහර නොදෙත්ද, එහෙයිනි, භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය.´´

11. ´´පුණ්ණ ඉදින් වනාහි තොපට සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම්, පුණ්ණ එහි වනාහි තොපට කෙබදු සිතක් වන්නේද?´´

´´ස්වාමීනි, ඉදින් මට සුනාපරන්ත දනව් වාසි මිනිස්සු ආයුධයෙන් පහර දෙන්නාහු නම් එහිදී මට මෙබදු සිතක් වන්නේය. ´ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු යහපත්ය. ඒකාන්තයෙන් මේ සුනාපරන්ත දනව් වැසි මිනිස්සු ඉතා යහපත්ය. යම් හෙයකින් මට මේ මිනිස්සු සියුම් ආයුධයකින් මා ජීවිතයෙන් තොර නොකෙරෙත්ද, (එහෙයිනි) භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය.´´

12. ´´පුණ්ණ, ඉදින් වනාහි සුනාපරන්ත දනව් වැසි මිනිස්සු සියුම් ආයුධයකින් තා ජීවිතයෙන් තොර කරන්නාහු නම් පුණ්ණ, එහිදී තොපට කෙබදු සිතක් වන්නේද?´´

´´ස්වාමීනි, ඉදින් මා සුනාපරත්න දනව් වැසි මිනිස්සු සියුම් ආයුධයකින් ජීවිතයෙන් තොර කෙරෙත්ද, එහිදී මට මෙබදු සිතක් වන්නේය. ශරීරයත් ජීවිතයත් පිළිකුල් කරනු ලබමින් දිවිනැසීම පිණිස ආයුධ තනන්නවුන් නොයන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙත්මය. මා විසින් ඒ මේ ආයුධයෙන් දිවි තොර කරන්නෝ නොසොයාම ලදහ. භාග්‍යවතුන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය. සුගතයන් වහන්ස, මෙහිදී මට මෙබදු සිතක් වන්නේය.

13. ´´පුණ්ණ, යහපත යහපත පුණ්ණ, නුඹ මේ ඉන්ද්‍රිය දමනයෙන් හා සංසිඳීමෙන් යුක්තවූයේ සුනාපරත්න නම් දනව්වෙහි වාසය කරන්ට හැකිවන්නෙහිමය. පුණ්ණ, දැන් නුඹ යම් අදහස් කෙළෙහි නම් ඊට සුදුසු කාලය දනුවයි. (වදාළේය.)

ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්ෂිණා කොට සෙනස්න තැන්පත් කොට තබා පාත්‍ර සිව්රු ගෙණ සුනාපරත්න ජනපදය යම් තැනෙක්හිද, එහි චාරිකා වෙහි ගියේය. පිළිවෙළින් චාරිකා කරන්නේ සුනාපරන්ත නම් ජනපදය යම් තැනෙක්හිද එතැනට ගියේය.

14. ´එකල්හි ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ සුනාපරත්න නම් ජනපදයෙහි වාසය කරත්. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ඒ වස් කාලය තුළම පන්සියයක් පමණ උපාසකවරු පිළියෙල කළේය. ඒ වස් කාලය තුළම පන්සියයක් පමණ උපාසකවරු පිළියෙළ කෙළේය. ඒ වස් කාලය තුළම ත්‍රිවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කෙළේය. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ ස්ථවිරතෙමේ මෑතකලෙක්හි පිරිනිවියේය.

15. ´´එකල්හි බොහෝ වූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නාහුය. එකත් පස්ව හුන්නාවුම ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කලාහුය.

´´ස්වාමිනී, යම් ඒ පුණ්ණ නම් කුලපුත්‍රයෙක් තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේප අවවාදයෙන් අවවාද කරණ ලද්දේද, හෙතෙම කථරිය කළේය.

´´ඔහුගේ ගතිය කුමක්ද? පරලොව කුමක්ද??´´

´´මහණෙනි පුණ්ණ නම් කුලපුත්‍ර තෙමේ පණ්ඩිතය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන්නේය. ධර්මාවබෝධය කරුණු කොට මට වෙහෙස නොකෙළේය. මහණෙනි, පුණ්ණ නම් කුලපුත්‍ර තෙමේ, පිරිනිවියේය´´ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇත්තාවු ඒ හික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තාහුය.

තුන්වෙනි පුණ්ණොවාද සූත්‍රය නිමි. (5-3)

144. ඡන්නොවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක්හී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසනසේක, එකල්හි වනාහි ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද සථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න සථවිරයන් වහන්සේද ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කෙරෙත්. එකල්හී වනාහී ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දූකින් පෙළුනේ දැඩි ගිලන්වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පල සමවතින් නැගී සිටියේ, ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැල කෙළේය. ,ඇවැත්වූ චුන්‍දය, අපි ආයුෂ්මත් ඡන්න තෙම යම් තැනෙක්හිද එතැනට ඔහුගේ අසනීප විමසනු සඳහා යමුයයි, කීහ.

2. ,ඇවැත්නි, එසේයයි . කියා ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දූන්හ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹුනාහුය. එළඹ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසක හුන්නාහුය. එකත්පසක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේගෙන් ,ඇවැත්වූ ඡන්නය, කිමෙක්ද තොපට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද, කිම දූක් වේදනාවෝ අඩුවෙත්ද නොවැඩෙත්ද, අඩුවීමක් පැනේද වැඩිදියුණුවීම නොපැනේදැයි, ඇසූහ.

3. ,ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේයයි, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවකින් හිස විදින්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඉවසිය නොහැක. යැපිය නොහැක දැඩිවූ මාගේ දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වරපටකින් හිසෙහි හිස් වෙළුමක් දෙන්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ බලවත්වූ වාතයෝ හිස සිඳින්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේත් දක්‍ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතකයෙකුගේ අතවැසියෙක් හෝ සියුම් ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපන්නාහුය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොව්. දැඩිවූ මාගේ දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩෙන බව පෙනේ. අඩු වන බවක් නොපෙනේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දූර්‍වල පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්වාගෙණ අඟුරු වලෙක්හි ලා තවන්නාහුද, නැවත නැවත තවන්නාහුද, ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම මාගේ ශරීරයෙහි බලවත්වූ දාහයක්වේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. මාගේ දැඩිවූ දූක් වේදනා වැඩෙත්. අඩු නොවෙත්. වැඩිවන බව පෙනේ. අඩුවන බව නොපෙනේයයි. කීය. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ආයුධයකින් ගෙල සිඳින්නෙමි. ජීවිතය බලාපොරොත්තු නොවෙමියි (කීයේය.)

4. ,ආයුෂ්මත් ඡන්න තෙමේ ආයුධයකින් දිවි තොරකර නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම (ජීවත්වීම) අපි බලාපොරොත්තු වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර නැත්නම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ ආහාර සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් නැත්නම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සැපවූ බෙහෙත් සපයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදූසුවූ උපස්ථානයෙක් නැත්නම් මම ආයුෂ්මත් ඡන්නයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂමත් ඡන්න තෙමේ ආයුධ ගෙන දිවි නසා නොගණීවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. ආයුෂ්මත් ඡන්නයන්ගේ යැපීම අපි අපේක්‍ෂා කරමු.,

5. ,ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට සිපවූ ආහාර නැත්තේද නොවෙයි. මට සැපවූ බෙහෙත් නැත්තේද නොවෙයි. මට සුදූසුවූ උපස්ථායකයෙක් නැත්තේද නොවෙයි. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එතකුදූ වුවත් මා විසින් ශාස්තෲන් වහන්සේ බොහෝ කලක් මනාපයෙන්ම සේවනය කරනලදි. අමනාපයෙන් නොවේ. ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ශාස්තෲන් වහන්සේ මනාපයෙන්ම සේවනය කරන්නේයඅමනාපයෙන් නොවේය යන යමක් වේද, මෙය වනාහී ශ්‍රාවකයා හට සුදූසුය. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඡන්න භික්‍ෂුතෙම නැවත උත්පත්තියක් නැතුව ආයුධයකින් දිවි තොරකර ගන්නේයයි. දනු මැනවයි, කීය. ,ඉදින් ආයුෂ්මත් ඡන්න තෙමේ ප්‍රශ්න ඇසීමට අවකාශ කෙරේ නම්, අපි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු,. ,ඇවැත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, අසනු මැනව. අසා දැනගන්නෙයි., (කීය්ය.)

6. ,ඇවැත්වූ ඡන්නය, ඇසය, ඇසෙහි උපදින විඤ්ඤාණය, ඇසෙහි උපදින විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දන්නෙහිද, ඇවැත්වූ ඡන්නය, කණය, කණෙහි උපදින විඤ්ඤාණය, කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන් ) මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දන්නෙහිද ? ඇවැත්වූ ඡන්නය, නාසය, නාසයෙහි උපදින විඤ්ඤාණය, නාසය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන් ) මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දන්නෙහිද, ඇවැත්වූ ඡන්නය, දිවය, දිවෙහි උපදින විඤ්ඤාණය, දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන් ) මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දන්නෙහිද, ඇවැත්වූ ඡන්නය, කයය, කයෙහි උපදින විඤ්ඤාණය, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන් ) මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දන්නෙහිද, ඇවැත්වූ ඡන්නය, මනොවිඤ්ඤාණය, මනොවිඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය යන මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි දන්නෙහිදැයි ?, (ඇසුවේය.)

7. ,ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසය, ඇස පිළිබඳවූ විඤ්ඤාණය ඇස පිළිබඳ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදක්නෙමි. ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කණය, කණ පිළිබඳවූ විඤ්ඤාණය කණ පිළිබඳ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නාසය, නාසය පිළිබඳවූ විඤ්ඤාණය නාසය පිළිබඳ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවය, දිව පිළිබඳවූ විඤ්ඤාණය දිව පිළිබඳ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයය, කය පිළිබඳවූ විඤ්ඤාණය කය පිළිබඳ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මයයි නොදකිමි. ආයුෂමත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මනසය, මනස පිළිබඳවූ විඤ්ඤාණය කණ පිළිබඳ විඤ්ඤාණයෙන් දතයුතු වූ ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙහෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙමි´´යි (කීයේය.)

8. ´´ආයුෂ්මත්වූ ජන්න ස්ථවිරයෙනි, ඇසෙහි ඇස පිළිබඳවූ විඥානයෙහි, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි කුමක්දැයි කුමක් දැන, ඇසය, ඇස පිළිබඳවූ විඥානය, ඇස පිළිබඳ වූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතමෙ මම නොවෙමි. මෙතෙම මාගේ ඇත්මය නොවේයයි දක්නෙහිද, ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කණෙහිද කණ පිළිබඳවූ විඥානයෙහිද, කණ පිළිබඳවූ විඤ්ඤානයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, නාසය පිළිබඳවූ විඥ්ඥාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතමෙ මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබදවූ, විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතමෙ මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, කයෙහිද කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබදවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිද? ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහිද, මනස පිළිබඳ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද, කුමක් දැක, කුමක් දැන මනසය, මනස පිළිබඳවූ විඥානය, මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන්ය, යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දක්නෙහිදැයි´´ (ඇසීය.)

9. ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඇසෙහිද ඇස පිළිබඳවූ විඥානයෙහිද, ඇස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහිද, නිරුද්ධවීම දැක නිරුද්ධවීම දැන ඇසය ඇස පිළිබඳවූ විඥානය ඇස පිළිබඳවූ විඥාණයෙන් දතයුතු වූ ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතමෙ මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්ස, කණෙහිද, කණ පිළිබඳවූ විඥානයෙහිද, කණ පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, නාසයෙහිද, නාසය පිළිබඳවූ විඥානයෙහිද, නාසය පිළිබඳවූ, විඤ්ඤාණයෙන් දතයුතුවූ ධර්මයන්ය යන මොවුන් මෙය මාගේ නොවෙයි. මෙතමෙ මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, දිවෙහිද දිව පිළිබඳවූ විඥානයෙහිද, දිව පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත් වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, කයෙහිද, කය පිළිබඳවූ විඥානයෙහිද, කය පිළිබඳවූ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන්ය (යන මොවුන්) මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමි. ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මනසෙහිද, මනස පිළිබඳවූ විඥානයෙහි, මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි ද, නිරුද්ධවීම දැක, නිරුද්ධවීම දැන මනසය මනස පිළිබඳවූ විඥානය මනස පිළිබඳවූ විඥානයෙන් දතයුතු වූ ධර්මයන්ය යන මෙය මාගේ නොවෙයි. මෙතෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි දකිමියි´´ (කීයේය.)

10. මෙසේ කීකල්හි ආයුෂ්මත්වූ චුන්ද ස්ථවිර තෙම ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයන්ට මෙය කීයේය. ´´ආයුෂ්මත්වූ ඡන්න ස්ථවිරයෙනි, එහෙයින් මෙහි මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය නිතර මෙනෙහි කටයුතුයි. තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු කළවුන්ට කම්පාවීම ඇත්තේය. තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළවුන්ට කම්පාවීමක් නැත්තේය. කම්පාවීමක් නැති කල්හි කෙලෙසුන්ගේ සංසිඳීම ඇතිවෙයි. සංසිඳීම ඇති කල්හි ඇලීම් නැතිවෙයි., ඇලීම නැති කල්හි ප්‍රතිසන්ධි වශයෙන් ඊමද චුතවීම් වශයෙන් යාමද නොවේ. යාම්ඊම් හා උත්පත්තිය නැති කල්හි මේ ලෝකයෙහි ද පරලෝකයෙහිද ඒ දොලොවෙහිම නොවේ. මෙයට දුක්ඛයාගේ කෙළවරවේය´´ (කියායි.)

11. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේට මේ අවවාදයෙන් අවවාද කොට, හුනස්නෙන් නැගිට වැඩියාහුය. ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් චුන්ද ස්ථවිරයන් වහන්සේද, බැහැර ගිය නොබෝ කල්හි ආයුධයකින් දිවි තොරකර ගත්තේය. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ´´ස්වාමීනි, ආයුෂ්මත් ඡන්නයන් විසින් ආයුධයකින් දිවි තොර කර ගන්නා ලදී. උන්වහන්සේ ගේ ගතිය කවරීද පරලොව කවරේදැයි´´ ඇසූහ. ´´ශාරිපුත්‍රය, චන්න භික්ෂුව විසින් තොප ඉදිරියෙහිදීම නැවත උත්පත්තියක් නැතියි ප්‍රකාශ කරනලද්දේ නොවේද?´´

12. ´´ස්වාමීනි පුබ්බජ්ජිර නම් වජ්ජිග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්නයන්ගේ මිත්‍ර වූ කුලගෙවල් යහලු කුලගෙවල් එළඹියයුතු ගෙවල් ඇත්තේයයි´´ කීයේය. ´´ශාරිපුතුය ජන්න නම් භික්ෂුන්ගේ මේ මිත්‍රවූ කුලයෝ යහථ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්මය. ශාරිපුත්‍රය, මම මෙතෙක් එළඹිය යුත්තෙකැයි නොකියමි. ශාරිපුත්‍රය, යමෙක් වනාහි මේ කයත් බහා තබාද අන්‍යවූ කයකුත් ගනීද මම ඔහු එළඹිය යුත්තෙකැයි කියමි. ඡන්න නම් භික්ෂුවට එය නැත්තේය. ඡන්නනම් භික්ෂුතෙම නැවත උත්පත්තියක් නොගෙන ආයුධයෙන් දිවි නැති කෙළේය.´´ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේයි.

ඡන්නොවාද සූත්‍රය නිමි (5-2)

143. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවන නම්වූ අනේපිඩු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. ඒ කාලයෙහි වනාහී අනාථපිණ්ඩික නම් ගෘහපති තෙමේ දැඩි ගිලන් වූයේ, හටගත් ආබාධ ඇත්තේ, දූකින් පෙළුනේවේ.

2. එකල්හි වනාහි අනාථපිණ්ඩික පම් ගෘහපති තෙමේ එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය. ,එම්බා පුරුෂය, නුඹ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතඅනට එළඹෙව. එළඹ, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දූකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේවේ. ඒ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳින්නේයයි,’ කියව. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනටද එළඹෙව. එළඹ, මාගේ වචනයෙන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනි, අනාථපිණඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දූකින් පෙළුනේ, දැඩි ගිලන් වූයේ වේ. ඒ අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳීයයි,’ ( වැඳ ) මෙසේද කියව. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ ගෘහය යම් තැනෙක්හිද, අනුකම්පා කර එහි වඩිනසේක් නම් මැනවැයි’ (කියව ).

3. ,එසේය, ස්වාමීනියි, කියා ඒ පරුෂතෙම අනාථපිණ්ඩික ගෘහපතියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කෙළේය. ,ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දූකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳින්නේය කියායි. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ, ආයුෂ්මත් ශාරීපුත්‍ර සථවිරයන් වහන්සේට වැඳ, එකත්පසක හුන්නේය. එකත්පසක හුන්නාවූ ඒ පුරුෂතෙමේ ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේටද මෙපවත් සැළකෙළේය. ,ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දූකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ඒ සිටුතෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශ්‍රීපාදයන් සිරසින් වඳින්නේය. මෙසේද කියයි. ‘ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද අනුකම්පා කර එහි එළඹෙනසේක් නම් මැනවැයි කියායි.’

4. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් ඉවසූසේක. එකල්හී වනාහී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හැඳ පොරවා පාත්‍ර සිව්රු රැගෙණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ පශ්චාත් ශ්‍රමණයෙකු කොට ( දෙවැන්නෙකු කොටගෙණ ) අනාථපිණ්ඩික ගෘහපතිහුගේ ගෘහය යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ, පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩ හිඳ වනාහීආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, අනේපිඩු සිටුහුගෙන් ,කිමෙක්ද ? ගෘහපතිය, නුඹට ඉවසිය හැක්කේද ? කිමෙක්ද ? යැපිය හැක්කේද ? කිමෙක්ද ? දූක් වේදනාවෝ අඩුවෙත්ද නැතහොත් වැඩිවෙත්ද, අඩුවීමක් පෙනේද, වැඩිවීමක් පෙනේදැ ? යි, ඇසූහ.

5. ,ස්වාමීනි, ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දූක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. අඩුවීමක් නොපෙනේ. වැඩිවීමම පෙනෙන්නේයයි, කීය. ,ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ සියුම්වූ විදින කටුවකින් හිස් විදින්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහී ඉතා දැඩි වාතයෝ හිස විදින්නාහුය. ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩිවූ දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.

ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තෙමේ දැඩිවූ වරපට කඩකින් හිසට හිස්වෙළුමක් දෙන්නේ යම්සේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහී මාගේ හිස දැඩි වාතයෝ හාත්පස සිඳින්නාහුය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය, යැපිය නොහැක්කේය. මාගේ දැඩි දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ දක්‍ෂවූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් හෝ සියුම්වූ ගෙරි කපන කැත්තෙන් බඩ කපන්නේ වේද, ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එපරිද්දෙන්ම වනාහී දැඩි වාතයෝ කුස හාත්පස කපන්නාහුය. ස්වාමීනි, ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දූක් වේදනාවෝ වැඩෙත්, අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේය.

6. ,ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම්සේ වනාහී බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතාදූර්‍වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් අල්වාගෙණ අඟරු වලෙක්හී තවන්නාහුද නැවත නැවත තවන්නාහුද, එපරිද්දෙන්ම ශරීරයෙහි දැඩි දාහය (දැවීම) වේ. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ දැඩි දූක් වේදනාවෝ වැඩෙත්. අඩු නොවෙත්. වැඩීම පෙනෙන්නේය. අඩුවීම නොපෙනෙන්නේයයි, (කී).

7. ,ගෘහපතිය, එසේ නම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය. ගෘහපතිය, එහෙයින් නුඹ විසින් මේ කාරණයෙහිලා මෙසේ හික්මිය යුත්තේව. කණ මමය මාගේයයි නොගන්නෙමි. මාගේකණ ඇසුරු කළාවූ විඥානයක් නොවන්නේයයි ගෘහපතිය, නුඹ විසින් මෙසේ හික්මිය යුත්තේය. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය ඇසුරු කළාවූ විඥානයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනිහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව ඇසුරු කළාවූ විඤ්ඤාණයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය ඇසුරු කළාවූ විඤ්ඤාණයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත මමය මාගේයයි නොගන්නෙමි. මාගේ සිත ඇසුරු කළාවූ විඤ්ඤාණයක්ද නොවන්නේයයි, ගෘහපතිය මෙසේ වනිහී නුඹ විසින් හික්මිය යුතුයි.

ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි, ගෘහපතිය නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ශබ්දය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ශබ්දය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ගන්ධය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ගන්ධය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රසය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘රසය’ ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ස්පර්‍ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ‘ස්පර්‍ශ කළ යුත්ත’ ඇසුරු

කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ධර්‍මාරමුණු මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ධර්‍මය ඇසුරු කළාවූ විඤ්ඤාණයක් නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

8. ,ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ විඤ්ඤාණය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ විඤ්ඤාණය ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ විඤ්ඤාණය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ විඤ්ඤාණය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ විඤ්ඤාණය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

9. ,ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්‍ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්‍ශය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ ස්පර්‍ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්‍ශය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ ස්පර්‍ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්‍ශය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ ස්පර්‍ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්‍ශය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳවූ ස්පර්‍ශය මමය මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්‍ශය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳවූ ස්පර්‍ශය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳවූ ස්පර්‍ශය, ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

10. ,ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ඇස පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කණ පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කණ පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නාසය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නාසය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. දිව පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ දිව පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. කය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ කය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සිත පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත්තාවූ වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සිත පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

11. ,ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. පඨවි ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ පඨවි ධාතුව ඇසුරු කළාවූ විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආපො ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආපොධාතුව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. තෙජොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ තෙජොධාතුව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි, ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. වායොධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වායොධාතුව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආකාශ ධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආකාසධාතුව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණධාතුව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණධාතුව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

12. ,එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. රූපය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ රූපය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. වේදනාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ වේදනාව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. සංඥාව මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංඥාව ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. සංස්කාරයන් මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ සංස්කාරයන් ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

13. ,ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආකාසානඤ්චායතන මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආකාසානඤ්චායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි තොප විසින් මෙසේ හික්මිය යුතුයි. විඤ්ඤාණඤ්චායතනය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ විඤ්ඤාණඤ්චායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. ආකිඤ්චඤ්ඤායතනය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි.

14. ,ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. මෙලොව කිසිවක් මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ මෙලොව කිසිවක් ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. පරලොව කිසිවක් මමය, මාගේයයි නොගන්නෙමි. මාගේ පරලොව කිසිවක් ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයි. ගෘහපතිය, එහෙයින් මෙහි නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. යම් මේ දක්නාගද අසනලද ආඝ්‍රාණය කරනලද රස විඳිනලද ස්පර්‍ශ කරනලද සිතින් දැනගන්නාගද සොයනලද හැසිරෙනලද දෙයකුත් වේද, ඒ සියල්ලද මමය, මාගේයයි නොගන්නෙමි. එය ඇසුරු කළාවූ, විඤ්ඤාණයද නොවන්නේයයි ගෘහපතිය, මෙසේ වනාහී නුඹ විසින් හික්මිය යුතුයයි, වදාළේය.

15. මෙසේ කීකල්හී අනාථපිණ්ඩික ගෘහපතිතෙම හැඬුයේය. කඳුළු වැගිර වූයේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම අනේපිඩු සිටුහුට ,ගෘහපතිය, නුඹ වනාහී සම්පත්තීන්හි ඇලෙන්නෙහිද? ගෘහපතිය, නුඹ වනාහී සම්පත්තීන්හී ගැලෙන්නෙහි දැයි, ඇසීය.

සිවාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, මම සම්පත්තීන්හී නොඇලෙන්නෙමි, නොගැලෙන්නෙමි. එතකුදූ වුවත් මා විසින් බොහෝ කලක් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලද්දේය. සිත දියුණූ කළාවූ භික්‍ෂූහුද ඇසුරු කරන ලද්දාහ. මාවිසින් මෙබඳු ධර්‍ම කථාවක් නොඅසනලදැයි, (කීයේය)

16. ,ගෘහපතිය, සුදූවත් හඳනාවූ ගිහිවූවන්ට මෙබඳු ධර්‍මකථා නොවැටහේ. ගෘහපතිය, පැවිද්දන්ට වනාහී මෙබඳු ධර්‍ම කථා වැටහේයයි, කීය.

ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, එසේ වීනම් සුදූවත් හඳනාවූ ගිහිවූවන්ටද මෙබඳු ධර්‍ම කථා දෙශනා කෙරේවා. ස්වාමීනි, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ස්වල්ප කෙලෙස් සහගතවූ කුලපුත්‍රයෝ ඇත්තාහුමය, ධර්මය නොඇසීම හේතුකොටගෙන ඔවුහු පිරිහෙන්නාහුය. ධර්මය දැනගන්නාහු වන්නාහුයයි, කීය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, අනේපිඩු සිටුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැඟිට වැඩියාහුය. ඉක්බිති අනේපිඩු සිටුතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, වැඩිය නොබෝ කලකින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු තුසිත දිව්‍යලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියේය.

17. ,එකල්හී අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රතෙම ඉක්ම ගියාවූ රාත්‍රියෙහි බබළන වර්‍ණ ඇත්තේ සියලු ජේතවනාරාමය ආලොක කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක සිටියේය. එකත් පසක සිටියාවූ අනාථපිණ්ඩික නම් දිව්‍ය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් (මෙය) කීයේය.
(1) ,ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරණ ලද්දාවූ ධර්‍මරාවන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපදවන්නක් වේ.

2) ,(මාර්‍ග චෙතනාවූ) ධර්‍මයද (මාර්‍ග ප්‍රඥාවවූ) විද්‍යාවද (සමාධි පාක්‍ෂිකවූ) කර්‍මයද ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද, යන මෙයින් සත්‍වයෝ පිරිසිදූ වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදූ නොවෙත්.

(3) ,එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ නුවණැති පුරුෂතෙම ධර්‍මය නුවණින් සොයන්නේය. මෙසේ ඒ ආය්‍ර්‍ය මාර්‍ගයෙන් පිරිසිදූ වේ.

(4) ,ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරීපුත්‍ර ස්ථවිරතෙමේම ප්‍රධානවේ. යම් භික්‍ෂුවක් වනාහී පරතෙරට ගියේ වේද (නිවනට ගියේ වේද) ඒ සියල්ලන්ට වඩා මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම් වන්නේය, යනුයි.

18. අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම මෙය ප්‍රකාශ කෙළේය. ශාස්තෲන් වහන්සේ අනුමත කළසේක. ඉක්බිත් අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම ,ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුමත කළසේකැයි, භාග්‍යවතුන් වහන්සේට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන් වූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රීහුගේ ඉක්මීමෙන් භික්‍ෂූන්ට ආමන්තුණය කළසේක. ,මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉක්ම ගියාවූ රාත්‍රිය ඇති කල්හී බබළන ශරීර වර්‍ණය ඇත්තේ සියළු ජේතවනාරාමය බබුළුවා මම යම් තැනෙක්හිද එතැනට එළඹුණේය. එළඹ මට වැඳ එකත්පස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටියාවූ ඒ දිව්‍යපුත්‍ර තෙම මට ගාථාවලින් මෙසේ කීයේය,
(1) ,ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරන ලද්දාවූ, ධර්‍මරාජන්වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වැඩ වසන ලද්දාවූ ඒ මේ ජේතවනාරාමය මට ප්‍රීති උපදවන්නක්වේ.

(2) ,(මාර්‍ග චෙතනාවූ) ධර්‍මයද (මාර්‍ග ප්‍රඥාවවූ) විද්‍යාවද (සමාධිපාක්‍ෂිකවූ) කර්‍මයද, ශීලයෙන් යුක්තවූ උතුම් ජීවිතයද, යන මෙයින් සත්‍වයෝ පිරිසිදූ වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසිදූ නොවෙත්.

(3) ,එහෙයින් තමහට වැඩ කැමැත්තාවූ නුවණැති පුරුෂතෙම ධර්‍මය නුවණින් සොයන්නේය. මෙසේ ඒ ආය්‍ර්‍ය මාර්‍ගයෙන් පිරිසිදූ වේ.

(4) ,ප්‍රඥාවෙන්ද, ශීලයෙන්ද, සංසිඳීමෙන්ද ශාරීපුත්‍ර ස්ථවිරතෙමේම ප්‍රධානවේ. යම් භික්‍ෂුවක් වනාහී පරතෙරට ගියේ වේද (නිවනට ගියේ වේද) ඒ සියල්ලන්ට වඩා මේ සැරියුත් තෙරුන් වහන්සේම උතුම් වන්නේය, යනුයි.

19. ,මහණෙනි, ඒ දිව්‍යපුත්‍රතෙම ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමත කළසේකැයි මට වැඳ ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදහන්වීයයි,

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. ,ස්වාමීනි, ඒ මේ දිව්‍යපුත්‍රතෙම වනාහී ඒකාන්තයෙන් අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රතෙම වන්නේය. ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපතිතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් කෙරෙහි අචලවූ ප්‍රසාද ඇත්තෙක් වූයේය, කියායි.

20. ,ආනන්දය, යහපත, යහපත, ආන්නදය, යම්තාක්ම කල්පනා කිරීමෙන් පැමිණිය යුතුද ඒතාක්ම නුඹ විසින් පැමිණෙන ලද්දේය. ආනන්දය, හෙතෙම අනාථපිණ්ඩික නම් දිව්‍යපුත්‍රයාවේ. අනිකෙක් නොවේයයි, වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුවූ සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය.

අනාථපිණ්ඩිකොවාද සූත්‍රය නිමි. ( 5 – 1 )