111. අනුපද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේත නම් රජ කුමරහුගේ උයනෙහි අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමයෙහි (ජේතවනාරාමයෙහි) වැඩ වෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි,´ කියා භික්‍ෂූන්ට කථා කළ සේක. ඒ භික්‍ෂූහු, ´ස්වාමීනි,´ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. ´මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ (ධාතු – ආයතන – පටිච්චසමුප්පාද – ඨානාඨාන යන මේ සතර කරුණෙහි දක්‍ෂ බැවින්) පණ්ඩිතයෙක. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ (මහත්වූ සීල ස්කන්ධාදිය පිරිසිඳ දන්නා බැවින්) මහත් නුවණ ඇත්තෙක. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ වෙන් වෙන්වූ ස්කන්ධාදිය දන්නා නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ බොහෝ සතුටින් ශීලාදිය සම්පූර්‍ණ කරන නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ වහා අවබෝධ කරන නුවණ ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ වහා කෙලෙසුන් සිඳ දමන ප්‍රඥාව ඇත්තෙකි. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම් බහුල ප්‍රඥාව ඇත්තෙකි.

´´මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ අඩමසක් මුථල්ලෙහි (සමාපත්ති වශයෙන්ද, ධ්‍යානාඞ්ග වශයෙන්ද) අනුපිළිවෙළින් ධර්‍මයන් ත්‍රිලක්‍ෂණයට නගා බැලීය. මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ ඒ අනුපිළිවෙළින් ධර්‍මයන් බැලීම මේ ආකාරයෙන් වෙයි.

3. ´´මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිුඛය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ ප්‍රථම ධ්‍යානයෙහි විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, එකාග්‍රතාය, ස්පර්‍ශය, වෙදනාය, සංඥාය, චෙතනාය, චිත්තය, ඡන්‍දය, අධිමොක්‍ෂය, වීය්‍ර්‍යය, ස්මෘතිය, උපෙක්‍ෂාය, මනසිකාරය යන මේ ධර්‍ම කෙණෙක් වෙද්ද, ඒ ධර්මයෝ ඔහු විසින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ප්‍රකටවම උපදිත්. ප්‍රකටවම පවතිත්. ප්‍රකටවම නිරුද්ධවෙති.

4. ´´හෙතෙම මෙසේ දැනගනී. ´මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) නොපැවත (අලුතෙන්) ඇතිවෙත්. ඇතිවී නැතිවෙත්´ කියායි.

´´හෙතෙම ඒ ධර්මයන් කෙරෙහි රාග වශයෙන් නොපැමිණෙන්නේ, (ද්වේශ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියලු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරනලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මෙයට වඩා උසස්, අනතුරුව පැමිණෙන අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශෙෂ අධිගමය ඇත්තේයයි ඔහුට දැඩිව අදහස් වේ.

5. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ විතක්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්, සිතේ පැහැදීම ඇත්තාවූ, සිතේ එකඟ බව ඇත්තාවූ, විතර්‍ක විචාර නැත්තාවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වෙසේ.

´´ඒ ද්විතීය ධ්‍යානයෙහි සිතේ පැහැදීමය, ප්‍රීතියය, සුඛයය, සිතෙහි එකඟ බවය, ස්පර්‍ශය, වේදනාවය, සංඥාවය, චෙතනාය, චිත්තය, ඡන්‍දය, අධිමොක්‍ෂය, වීය්‍ර්‍යය, ස්මෘතිය, උපෙක්‍ෂාවය, මනසිකාරය යන මේ ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයෝ ඔහු විසින් අනුපිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්‍රකටව උපදිත්. ප්‍රකටව පවතිත්, ප්‍රකටව නිරුද්ධ වෙති. හෙතෙම මෙසේ දැන ගනී. ´මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) ඇතිනොවී (අලුතෙන්) ඇතිවෙත්. ඇතිවී නැතිවෙත්.´ කියායි.

6. ´´හෙතෙම ඒ ධර්මයන් කෙරෙහි (රාග වශයෙන්) ගෙන නොපැමිණෙන්නේ, (ද්වෙශ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මෙයට වඩා උසස් අනතුරුව පැමිණෙන විශෙෂාධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශෙෂාධිගම ඇත්තේමය යන සිත ඔහුට දැඩිව ඇතිවෙයි.

´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙම ප්‍රීතියෙනුදු වෙන්වීමෙන් උපෙක්‍ෂා සහිතවූයේ වෙසෙයි. සිහි ඇත්තේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ ඒ සැපය කයින්ද විඳී. ආය්‍ර්‍යයෝ මේ ධ්‍යානයක් උපෙක්‍ෂා සහිතවූ සිහියෙන් යුත් සැප විහරණයයි කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේ.

´ඒ තෘථීය ධ්‍යානයෙහි වූ සුඛය, සතිය, ප්‍රඥාවය, සිතේ එතඟ බවය, ස්පර්‍ශය, වේදනාවය, සංඥාවය, චෙතනාවය, චිත්තය, ඡන්‍දය, අධිමොක්‍ෂය, වීය්‍ර්‍යය, සතිය, උපෙක්‍ෂාවය, මනසිකාරය යන මේ ධර්ම කෙනෙක් වෙද්ද, ඒ ධර්මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්මයෝ ඔහුට ප්‍රකටව උපදිත්. ප්‍රකටව පවතිත්, ප්‍රකටව නිරුද්Ȁdධ වෙත්. හෙතෙම මෙසේ දැන ගනී. ´මේ ධර්මයෝ වනාහි මෙසේ (පළමු) ඇතිනොවී (අලුතෙන්) ඇතිවෙත්ය. ඇතිවී නැතිවෙත්ය.´ කියායි.

7. ´´හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, සියළු කෙලෙසුන්ගෙන් වෙන්වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මීට වඩා උසස් අනතුරුව පැමිණෙන විශෙෂාධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන විශෙෂාධිගම ඇත්තේමයයි ඔහුට දැඩිව අදහස් වේ.

8. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සුඛයද පහ කිරීමෙන්, දුඃඛයද පහ කිරීමෙන්, සොම්නස් දොම්නස් දෙදෙනාගේ පළමුකොටම නැති කිරීමෙන්, දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්‍ෂාවෙන් යුත්, සිහියෙන් පිරිසිදුවූ, චතුත්‍ර්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ චතුත්‍ර්‍ථ ධ්‍යානයෙහි උපෙක්‍ෂාවයයි කියනලද, දුක්ද නොවූ, සුවද නොවූ වේදනාවය. සිතේ පැහැදීම ඇති හෙයින් සිතින් තෘතීය ධ්‍යානයෙහිවූ සැපය මෙනෙහි නොකරන බවද, ස්පර්‍ශයද, වේදනාවද, සංඥාවද, චේතනාවද, චිත්තයද, ඡන්දයද, අධිමොක්‍ෂයද, වීය්‍ර්‍යද, ස්මෘතියද, උපෙක්‍ෂාවද, මනසිකාරයද යන මේ යම් ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්‍මයෝ ඔහුට ප්‍රකටව උපදිත්. ප්‍රකටව පවතිත්. ප්‍රකටව නිරුද්ධ වෙත්. හෙතෙම මෙසේ දැනගනී. ´මේ ධර්‍මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අථතෙන්) ඇති වෙති. ඇතිවී නැති වෙති´ කියායි.

9. ´´හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම මීට වඩා උසස් අනතුරුව පැමිණෙන විශෙෂාධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන විශෙෂාධිගමයක් ඇත්තේමයයි ඔහුට දැඩිව අදහස් වේ.

10. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගැටීම් ස්වභාවය ඇති රූප ධාතු සංඥාවන් දුරු කිරීමෙන්, නොයෙක් සංඥා මෙනෙහි නොකිරීමෙන්, ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. ඒ ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සඥාවද, චිත්තෙකාග්‍රතාවද, ස්පර්‍ශයද, වේදනාවද, සංඥාවද, චෙතනාවද, චිත්තයද, ඡන්‍දයද, අධි මොක්‍ෂයද, වීය්‍ර්‍යද, ස්මෘතියද, උපෙක්‍ෂාවද, මනසිකාරයද යන මේ ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්‍මයෝ ඔහුට ප්‍රකටව උපදිත්. ප්‍රකටව සිටිත්. ප්‍රකටව නිරුද්ධ වෙත්. හෙතෙම මෙසේ දැනගනී. ´මේ ධර්‍මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අථතෙන්) ඇති වෙති. ඇතිවී නැති වෙති´ කියායි. හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම අනතුරුව පැමිණෙන මීට වඩා උසස් අධිගම ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල වශයෙන් කිරීමෙන් ඒ විශෙෂාධිගම ඇත්තේමයයි ඔහුට දැඩිව අදහස් වේ.

11. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනට පැමිණ වෙසේ. ඒ විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සඥාවද, චිත්තෙකාග්‍රතාවද, ස්පර්‍ශයද, වේදනාවද, සංඥාවද, චෙතනාවද, චිත්තයද, ඡන්‍දයද, අධිමොක්‍ෂයද, වීය්‍ර්‍යද, ස්මෘතියද, උපෙක්‍ෂාවද, මනසිකාරයද යන යම් ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්‍මයෝ ඔහුට ප්‍රකටව උපදිති. ප්‍රකටව සිටිති. ප්‍රකටව නිරුද්ධ වෙති. හෙතෙම මෙසේ දැනගනී. ´මේ ධර්‍මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අථතෙන්) ඇති වෙත්ය. ඇතිවී නැති වෙත්ය´ කියායි.

´´හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන්වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන්) හෝ සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම අනතුරුව පැමිණෙන මීට වඩා උසස් අධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කරන්නාවූ ඒ අධිගමය ඇත්තේමයයි ඔහුට අදහස් වේ.

12. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනට පැමිණ වෙසේ. ඒ ආකිඤ්චඤ්ඤායතන සඥාවද, චිත්තෙකාග්‍රතාවද, ස්පර්‍ශයද, වේදනාවද, චිත්තයද, ඡන්‍දයද, අධිමොක්‍ෂයද, වීය්‍ර්‍යද, ස්මෘතියද, උපෙක්‍ෂාවද, මනසිකාරයද යන යම් ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ ඔහු විසින් පිළිවෙළින් පිරිසිඳ දැනගන්නා ලද්දාහුය. ඒ ධර්‍මයෝ උන්වහන්සේට ප්‍රකටව උපදිත්. ප්‍රකටව සිටිත්. ප්‍රකටව නිරුද්ධ වෙත්. හෙතෙම මෙසේ දැනගනී. ´මේ ධර්‍මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අථතෙන්) ඇති වෙත්ය. ඇතිවී නැති වෙත්ය´ කියායි.

´´හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන් වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන්) හෝ සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම අනතුරුව පැමිණෙන මීට වඩා උසස් අධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කිරීමෙන් ඒ අධිගමය ඇත්තේමයයි ඔහුට දැඩිව අදහස් වේ.

13. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනට පැමිණ වෙසේ. හෙතෙම මේ සමාපත්තියෙන් සිහියෙන් යුක්තව නැගී සිටී. හෙතෙම ඒ සමාපත්තියෙන් සිහියෙන් යුක්තවූයේ නැගී සිට යම් ඒ ධර්‍ම කෙනෙක් ඉතාම ඉක්ම ගියාහුද, නිරුද්ධ වූවාහුද, වෙනස් වූවාහුද. ඒ ධර්‍මයන් මැනවින් බලයි. ´මේ ධර්‍මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අථතෙන්) ඇති වෙත්ය. ඇතිවී නැති වෙත්ය´ කියායි. හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන් නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන් වූයේ, කෙලෙස් වශයෙන් හෝ (අරමුණු වශයෙන්) හෝ සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම අනතුරුව පැමිණෙන මීට වඩා උසස් අධිගමයක් ඇතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කිරීමෙන් ඒ අධිගමය ඇත්තේමයයි ඕහට දැඩිව අදහස් වේ.

14. ´´තවද මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤා වෙදයිත නිරොධයට පැමිණ වෙසෙයි. මාර්‍ග ප්‍රඥාවෙන් චතුරාය්‍ර්‍ය සත්‍යයන් දැක ආශ්‍රවයෝ පහවූවාහු වෙත්. හෙතෙම ඒ සමාපත්තියෙන් සිහියෙන් යුක්තව නැගී සිටී. හෙතෙම ඒ සමාපත්තියෙන් සිහියෙන් යුක්තව නැගී සිට යම් ඒ ධර්‍ම කෙනෙක් ඉක්ම ගියාහුද, නිරුද්ධ වූවාහුද, වෙනස් වූවාහුද. ඒ ධර්‍මයන් මැනවින් බලයි. ´මේ ධර්‍මයෝ වනාහි මෙසේ (පළමු) ඇති නොවී (අථතෙන්) ඇති වෙත්ය. ඇතිවී නැති වෙත්ය´ කියායි.

හෙතෙම ඒ ධර්‍මයන් කෙරෙහි (රාග වශයෙන්) නොපැමිණෙන්නේ, (ද්වෙෂ වශයෙන්) ඉවත් නොවන්නේ, (තෘෂ්ණා, දෘෂ්ටි වශයෙන්) නොඇලෙන්නේ, (ඡන්‍ද රාගයෙන්) නොබැඳුනේ, (කාම රාගයෙන්) මිදුනේ, (සියළු කෙලෙසුන්ගෙන්) වෙන් වූයේ, (කෙලෙස් වශයෙන් හෝ අරමුණු වශයෙන් හෝ) සීමාවක් නොකරන ලද සිතින් යුක්තව වෙසේ. හෙතෙම අනතුරුව පැමිණෙන මීට වඩා උසස් අධිගමයක් නැතැයි දැනගනී. ඒ දැනීම බහුල වශයෙන් කිරීමෙන් අනතුරුව පැමිණෙන ඊට වඩා උසස් අධිගමයක් නැත්තේමය´ යි ඕහට දැඩිව අදහස් වේ.

15. ´´මහණෙනි, ඒ යමෙකුට වනාහි ආය්‍ර්‍ය ශීලයෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේයයිද, ආය්‍ර්‍යසමාධියෙහි වශී ප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේයයිද, ආය්‍ර්‍ය ප්‍රඥාවෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරෙට පැමිණියේයයිද, ආය්‍ර්‍ය විමුක්තියෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේයයිද, මැනවින් කියනු ලබන්නේනම් සැරියුත් තෙරුන්ටම ආය්‍ර්‍ය ශීලයෙහි වශී ප්‍රාප්ත වූයේය. පරතෙරට පැමිණියේය. ආය්‍ර්‍ය සමාධියෙහි වශීප්‍රාප්තවූයේය. පරතෙරට පැමිණියේය. ආය්‍ර්‍ය ප්‍රඥාවෙහි වශීප්‍රාප්ත වූයේය. පරතෙරෙට පැමිණියේය. ආය්‍ර්‍ය විමුක්තියෙහි වශීප්‍රාප්තවූයේය. පරතෙරෙට පැමිණියේය. කියයුතු වන්නේය.

15. ´´මහණෙනි, ඒ යමෙකුට වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඖෙරස පුත්‍රයෙක. මුඛයෙන් උපන් පුත්‍රයෙක. ධර්‍මයෙන් හටගත් කෙනෙක. ධර්‍මයෙන් මැවුණු කෙනෙක. ධර්‍ම දායාදය ගන්නා කෙනෙක. ආමිෂ දායාදය නොගන්නා කෙනෙකැයි මැනවින් කියනු ලබන්නේ නම් සැරියුත් තෙරුන්ටම භාග්‍යවතුන් වහන්සේගේ ඖෙරස පුත්‍රයෙක, මුඛයෙන් උපන් පුත්‍රයෙක. ධර්‍මයෙන් හටගත් කෙනෙක. ධර්‍මයෙන් මැවුණු කෙනෙක. ධර්‍ම දායාදය ගන්නා කෙනෙක. ආමිෂ දායාදය නොගන්නා කෙනෙකැයි කියයුතු වන්නේය.

´´මහණෙනි, ශාරිපුත්‍ර තෙමේ තථාගතයන් විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්‍මචක්‍රය මැනවින් ඒ අනුවම පවත්වයි.´´ භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. සතුටුවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ කීමට සතුටු වූවාහුය.

පළමුවැනිවූ අනූපද සූත්‍රය නිමි. ( 2 – 1 )