8. කස්සප සීහනාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නම් නුවර සමීපයෙහිවූ කණ්ණත්ථල මිගදාය නමිවූ තැනක වාසය කළ සේක. එකල කාශ්‍යප නම්වූ නිර්වස්ත්‍ර මහණෙක් පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහිකටයුතු කථාව අවසාන කර එක පැත්තකටවී සිටියේය. නිර්වස්ත්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

2. ´´පින්වත් ගෞතමය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම් වලට ගරහයි, නර්වස්ත්‍රව හිඳීම, කෑම කා අත ලෙවකෑම ආදීවූ කටුක ජීවිත ඇති සියලු තපසුන්ට ඒකාන්තයෙන් අවමන් කරයි, චෝදනා කරයි,යන මේ කාරණය මා විසින් අසන ලදී. යම් ඒ කෙනෙක් මෙසේ කියත්ද, කිමෙක්ද ඔවුහු පින්වත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝද? නැතහොත් නැති නූපන් බොරු ගොතා කියා නින්දා වශයෙන් කියන්නෝද, පින්වත් ගෞතමයන් විසින් කියන ලද කාරණයට අනුව කරුණු කියත්ද, නැතහොත් කරුණු සහිතව කියන අන්‍යයන්ගේ කීමකින් ඔබගේ කීම, ගැරහිය යුතු කරුණකට සුලු වශයෙන්වත් නොපැමිණේද, අපි පින්වත් ගෞතමයන්ට බොරුවෙන් චෝදනා කිරීමට නොකැමැත්තෝ වෙමු.´´

3. කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම් වලට ගරහයි, කටුක ජීවිත ගත කරණ සියලු තපසුන්ට ඒකාන්තයෙන් අවමන් කෙරේයයි යම් ඒ කෙනෙක් කියත්ද, ඔවුහු මා කීවාක් කියන්නෝ නොවෙත්. ඔවුහු මට නැති නූපන් බොරුවෙන් නින්දා කොට කියන්නෝ වෙත්. කාශ්‍යපය, මම මේ ලෝකයෙහි කටුක ජීවිතයක් හෝ අඩුවූ දුක් ඇතිව ගතකරණ ඇතැම් තපසෙකු මරණින් මතු නරකයෙහි උපන්නා හෝ සැප ඇති සුගතියෙහි උපන්නා හෝ මිනිස් ඇස් ඉක්ම පවත්නාවූ පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි. කාශ්‍යපය, යම් බඳුවූ මම මෙසේ මේ තපසුන්ගේ මතු ජතියෙන් මේ ජාතියට පැමිණීමද, දැන් මෙයින් යායුතු තැනද එයින් චුත වීමද, එයින් චුත වූවන්ගේ නැවත ඉපදීමද තත්වූ පරිද්දෙන් දනිම්ද, ඒ මම කුමට තපස්කම්වලට ගරහන්නෙම්ද, කටුක ජීවිතයක් ගතකරණ සියලු තපසුන්ට ඒ කාන්තයෙන් කුමට අවමන් කරන්නෙම්ද?

4. ´´කාශ්‍යපය, පණ්ඩිතවූ, දක්‍ෂවූ, අන්‍යයන් සමග කරණලද වාද ඇත්තාවූ තියූණු නුවණ ඇත්තාවූ තමන්ගේ නුවණින් අනුන්ගේ වැරදි ඇදහීම් බිඳින්නෝයයි සිතා සිටින සමහර මහණ බමුණෝ ඇත්තාහ. සමහර කරුණු වලින් මාගේ ධර්මය ඔවුන්ගේ ධර්මයට සමවෙයි. සමහර කරුණු වලින් සම නොවෙයි.

5. ´´මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. කාශ්‍යපය, අපේ මේ කාරණයන්හි යමක් සම නොවේද, ඒ කරුණු තිබෙත්වා මේ කාරණයන්හි යමක් සමවේද, කාශ්‍යපය, මේ කාරණයන් පිළිබඳ ගුරුවරුන් හා ගුරුවරුන් ශ්‍රාවකයන් හා ශ්‍රාවකයන් යම් නුවණැති කෙනෙක් විමසන්නාහු, පරීක්‍ෂා කරන්නාහු, සසඳා බලන්නාහු. මේ පින්වතුන්ගේ යම් ධර්ම කෙනෙක් අකුසල්ද කුසල්යයි වරද සහිතද වරද සහිතයයි සේවනය නොකොටයුතුද, සේවනය නොකොටයුතුයයි නිදොස් අයට නුසුදුසුද නිදොස් අයට නුසුදුසුයයි අපිරිසිදු ධර්මයෝද අපිරිසිදු ධර්මයෝයයි වෙන්කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්මයෙන් දුරුකොට පවතීද, ශ්‍රමණ ගෞතමයෝ හෝ වෙද්ද, අන්‍යවූ පින්වත් ගුරුවරයෝ හෝ වෙත්දැයි මෙසේ නුවණැත්තෝ ගුරුන් ගුරුන් හා ශ්‍රාවකයන්ශ්‍රාවකයන් හා සමාන කර බලන්නාහු කවරෙක් මේ ධර්ම සහමුලින් දුරු කොට පවතීද, ශ්‍රමණ ගෞතම හෝ වේද අන්‍යවූ පින්වත් ගුරුවරු හෝ වෙත්දැයි මෙසේ නුවණැත්තෝ ගුරුවරුන් හා ගුරුවරුන් ශ්‍රාවකයන් හා ශ්‍රාවකයන් විමසා බලන්නහුද?

6. ´´කාශ්‍යපය, ඒ කරුණු විමසා සසඳා බලන්නාවූ නුවණ ඇත්තෝ භවතුන්ගේ මේ යම් ධර්ම අකුසල්ද අකුසල්යයි වරද සහිතයයි නිවැරදි අයට නුසුදුසුද නිවැරදි අයට නුසුදුසුයයි අපිරිසිදු ධර්මය අපිරිසිදු ධර්මයයිවෙන්කොට තබන ලද්දාහුද, ඒ ධර්ම ගෞතම ශ්‍රමණ තෙමේ දුරුකොට පවතී. පින්වත් අන්‍ය ගුරුවරයෝ ස්වල්ප වශයෙන් දුරුකොට පවතිත්යයි මෙසේ කියන්නාහුය, යන යම් කාරණයක් ඇද්ද මේ කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ කරුණු විමසන්නාවූ නුවණැත්තෝ අපටම ඒ කාරණයෙහි බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

´´මේ භවතුන්ගේ යම් ධර්ම කුසල්ද කුසල්යයි දොස් නැත්තේද දොස් නැත්තේයයි, සේවනය කටයුත්තේද සේවනය කටයුත්තේයයි නිවරද අයට සුදුසුයයි, පිරිසිදු ධර්මය පිරිසිදු ධර්මයයි වෙන්කොට තබන ලද්දාහුද?´´

7. ශ්‍රමණ ගෞතම තෙමේ මේ ධර්ම සම්පූර්ණයෙන් සමාදන්ව පවතී. පින්වත්වූ අන්‍ය ගුරුවරයෝ ස්වල්ප කොටසක් සමාදන්ව පවතීයයි මෙසේ කියන්නාහුය යන මේ කාරණයක් ඇත්ද, මේ කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

8. ´´කාශ්‍යපය, අනික් කරුණක්ද ඇත. නුවණැත්තෝ මේ භවතුන්ගේ ධර්මයක් අකුසල්ද, අකුසල්යයි සේවනය කටයුත්තේද සේවනය නොකොටයුත්තේද නිවරද අයට නුසුදුසුයයි, අපිරිසිදුය අපිරිසිදුයයි වෙන්කොට තබන ලද්දාහුද කවරෙක් මේ ධර්මයන් සම්පූර්ණයෙන් දුරුකොට පවත්නේද ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ හෝ වෙද්ද අන්‍ය ගුරුවරයන්ගේ ශ්‍රාවකයෝ හෝ වෙත්දැයි ගුරුවරුන් ගුරුවරුන් හා සමඟද ශ්‍රාවකයන් ශ්‍රාවකයන් හා සමගද සසඳා කරුණු විමසා බලත්වා.

ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ ධර්මයන් සම්පූර්ණයෙන් දුරුකොට පවතී. පින්වත් වූ අන්‍ය ගුරුවරයන්ගේ ශ්‍රාවකයෝ ස්වල්පකොටසක් දුරුකොට පවතීය යන කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

9. ´´කාශ්‍යපය, අනික් කරුණක්ද ඇත. මේ භවතුන්ගේ යම් ධර්මයක් කුසල්ද කුසල්යයි දොස් නැත්තේද දොස් නැත්තේයයි සේවනය කටයුත්තේය, සේවනය කටයුත්තේයයි නිදොස් අයට සුදුසුය නිදෙස් අයට සුදුසුයයි´´ පිරිසිදු ධර්මයෝය. පිරිසිදු ධර්මයෝයයි වෙන්කොට තබන ලද්දාහුද ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ ධර්මයන් සම්පූර්ණයෙන් සමාදන්ව පවතිත්. පින්වත් වූ අන්‍ය ගුරුවරයන්ගේ ශ්‍රාවකයෝ ස්වල්පකොටසක් සමාදන්ව පවතිත්යයි මෙසේ කියන්නාහුය යන මේ කාරණයක් ඇද්ද මේ කාරණය සැබෑවේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

10. ´´කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතමයෝ කියයුතු කල් සලකා කියන්නෝය, සත්‍ය කියන්නෝය, අර්ථ යුක්තව කියන්නෝය, ධර්ම යුක්තව කියන්නෝය,(විනය) යහපත් හැසිරීමක් කියන්නෝයයි යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද, එබඳු (පූර්වභාග ප්‍රතිපදාවක්) කලින් පුරුදු කළයුතු පිළිපැදීමක් ඇත්තේය.

´´කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතමයෝ කියයුතු කල් සලකා කියන්නේය, සත්‍යඅර්ථ යුක්තව ධර්ම යුක්තව කියන්නෝය,(විනය) යහපත් හැසිරීමෙන් යුක්තව කියන්නේයයි යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද, එබඳු උතුම් මාර්ගය කවරේද එබඳු (පූර්වභාග ප්‍රතිපදාවක්) කලින් පුරුදු කළයුතු පිළිපැදීම කවරේද, මේ උතුම් කරුණු අටකින් යුත් (ආය්‍ර්‍ය අෂ්ඨාඞගික ) මාර්ගය වෙයි. ඒ කවරේද? හරි දැකීම, හරි කල්පනාව, හරි කථාව (වචනය), හරි ක්‍රියාව, හරි ජීවත්වීම, හරි උත්සාහය, හරි සිහිකිරීම, හරි (සමාධිය) හිත එකඟ කරගැනීම වේ.

´´මේ ඒ මාර්ගය වේ. මේ (පූර්වභාග ප්‍රතිපදාව) කලින් පුරුදු කළයුතු පිළිපැදීම වෙයි කී සේක. මෙසේ කී කළ අචෙල කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

´´ආයුෂ්මත් ගෞතමය, සමහර මහණ බමුණන්ගේ මහණ ධර්ම අනුව වෙන්කරණ ලද්දාවූද, බ්‍රාහ්මණ ධර්ම අනුව වෙන් කරන ලද්දාවූද තාපස කර්මයෝ වෙත්. එනම් නිර්වස්ත්‍ර වූයේ වෙයි. පහන්කරන ලද හොඳ සිරිත්ඇත්තේ වෙයි, කෑම කා අත ලෙවින්නේ වෙයි. කෑමට කැඳවූ කල නොඑන්නේ වෙයි, සිටින්නට කී කල නොසිටින්නේ වෙයි, කාලයට පළමු ගෙණදුන් කැම නොගනී, තමන් උදෙසා සැදූ කෑම නොගනී, ආරාධනා කොට දුන් කෑම නොගනී, සැලියේ කටින් ගෙනදෙන කෑම නොපිළිගණී. කූඩයේ යටින් ගෙනදෙන කෑම නොපිළිගණී. එලිප්ත අතරෙහි සිට දෙන දේ, මෝලක් අතරෙහි සිට දෙන දේ නොගනී. කෑමකන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑමදෙන කල නොගණී. ගර්භනියගෙන්, කිරිපොවන්නියගෙන්, පුරුෂයෙකු ටතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගණී. සම්මාදම් කොට පිසූ කල එයන් නොගණී. බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගණී. මැස්සන් වසා සිටි කෑමද, මස් මාංශ මත්පැන් මත්ද්‍රව්‍ය, නොපිළිගණී. කාඩි බීම නොකෙරෙයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඞකින් හෝ ගෙවල් දෙකක හෝ පිඬු දෙකකින් හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඬුහතකින් ජීවත්වන්නේ හෝ වෙයි. පිණ්ඩපාත්‍ර බතින්ද යැපෙයි. දත්නි නම් කුඩා පිණ්ඩපාත්‍ර බතින්ද යැපෙයි. දවසක් හැර දවසක් කෑම කයි. දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දවසක් කෑම කයි. මෙබඳුවූ වාර බත් කෑමෙහි යෙදෙමින් ජීවත් වෙයි.

12. ´´මේ ක්‍රියාවෝද තාපස කර්මයෝ වෙත්. නොපිසූ පලා කන්නේ හෝ වෙයි. බඩහමු නම් තණ ධාන්‍ය කන්නේ හෝ වෙයි. ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (සම් වැඩ කරන්නන් කපාදැමූ ) සම් කැබලි කන්නේ හෝ වෙයි. කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් කන්නේ හෝ වෙයි. (මූරුවට) පුනක්කු කන්නේ හෝ වෙයි. ගෙම කන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් හෝ යැපෙයි.

13. ´´මේ ක්‍රියාවෝද තාපස කර්මයෝ වෙත්. හණ පතුරු රෙදිද, එරුතණ ආදියෙන් කළ රෙදිද බිමලු රෙදි මාලුද, (රිටිසුඹුලු) ගස් පතුරුද අඳුන් දිවිසම්ද, මැද පැලූ අඳුන් දිවිසම්ද, කුසවැහැරිද, නියඳ (හණ) වැහැරිද, ලෑලි වැහැරිද, ඉසකෙසින් කළ කම්බිලිද, අස්ලොමින් කළ කම්බිලිද, බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම්ද දරයි.ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේද වෙයි, ආසන ඉවත් කොට නැගිට සිටින්නේද වෙයි, උක්කුටිකව හිඳීමේ (ඇන තියාගෙන හිඳීම) වීර්‍යයෙහි යෙදුනේ වෙයි. කටු උඩ නිදාගන්නේ කටු උඩ හැසිරීම කරන්නේ වෙයි. (පෝරු) ලෑලි උඩ කුඩා තාප්පය උඩ එක පැත්තකට කැරී නිදාගන්නේද වෙයි.දූවිලි දැලි දරන්නේද වෙයි, එලියේ වසන්නේද වෙයි, පළමුව, එලූ ආකාරයටම වෙනස් නොකොට ආසනයක ඉන්නේද වෙයි, අසූචි අනුභවයෙහි යෙදුනේ අසූචි අනුභව කරන්නේද වෙයි. ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබොන්නේද වෙයි.උදය දවල් සහ සවස (පාප ප්‍රවාහය) පවු පාකර හරින්නේ මැයි, දියේ ගිලී වාසය කරයි´´ කීයේය.

14. ´´කාශ්‍යපය, ඉඳින් නිර්වස්ත්‍ර වූයේ හෝ වේද, පහන්කරණ ලද හොඳ සිරිත්ඇත්තේ වේද, කෑම කා අත ලෙවින්නේ ආදී ක්‍රියා කෙරේද, ඔහු විසින් මේ ශීල සම්පත්තියද මේ සමාධි (සිතේ එකඟ කම)සම්පත්තියද,

මේ ඥාන සම්පත්තියද නොවඩන ලද්දී අවභෝද නොකරණ ලද්දී වෙයි. ඔහු විසින් මේ ශීල සම්පත්තියද, මේ චිත්ත සම්පත්තියද, මේ ප්‍රඥා සම්පත්තියද නොවඩන ලද්දී අවභෝද නොකරණ ලද්දී වෙයි. කුමක් වේද? ඔහු මහණ කටයුතු වලින් දුරු වූයේම වෙයි. බ්‍රාහ්මණ කටයුතු වලින් දුරුවූයේම වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්‍ෂු තෙම වෛර නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත් වඩාද, (ආශ්‍රව) ක්ලේෂයන් පහ කිරීමෙන් කෙලෙස් නැතිවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්ම භාවයෙහිම තමන්ම විශේෂ ඥානයෙන් දැන අවබෝද කොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්‍ෂුතෙම මේ කාරණයෙන් මහණයයිද, මේ කාරණයෙන් බ්‍රාහ්මණ යයිද කියනු ලැබේ.´´

15. මෙසේ කී කල්හි අචෙල කාශ්‍යප ´´පින්වත් ගෞතමය, මහණ පැවැත්ම අපහසු වෙයි. බ්‍රාහ්මණ පැවැත්ම දුෂ්කර වෙයි´´ මෙසේ භාග්‍යවතුන් වහන්සේට කීයේය.

´´කාශ්‍යපය, මහණ පැවැත්ම දුෂ්කරය, බ්‍රාහ්මණ පැවැත්ම දුෂ්කරය, යන මේ කථාව ලෝකයෙහි ස්වභාව වෙයි. කාශ්‍යපය ඉඳින් නිර්වස්ත්‍ර වීමද, කෑම කා අත ලොවීම ආදී ඉහත සඳහන් කළ තාපස ක්‍රියාවන්හි වාසය කෙරේද, කාශ්‍යපය, මේ අඩු පැවතුම් ක්‍රමයෙන්ද, මේ දපස් පැවතුමෙන්ද, මේ මහණ පැවතුමෙන්ද, මේ බ්‍රාහ්මණ පැවතුමෙන්ද, දුෂ්කර වූයේ, ඉතා දුෂ්කර වන්නේද එපමණකින්, මහණ පැවතුම්දුෂ්කරය, බ්‍රාහ්මණ පැවැතුම් දුෂ්කරය´ යන මේ වචන කීමට සුදුසු නොවේ.

´´ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු විසින් හෝ යටත් පිරිසෙයින් දිය අදින දාසියක් විසින් ඉහත සඳහන් මහණ පැවතුම් හෝ බ්‍රාහ්මණ පැවතුම් හෝ කරනු හැකි වන්නේය. කාශ්‍යපය, යම් හෙයකින් මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරවම මේ තපස් පැවතුම් වලින් තොරව මහණ පැවතුම් හෝ බ්‍රාහ්මණ පැවතුම් දුෂ්කර වූයේ ඉතා දුෂ්කර වූයේ වේනම් , එහෙයින් ´මහණ පැවතුම්දුෂ්කරය, බ්‍රාහ්මණ පැවැතුම් දුෂ්කරය´යි මේ වචන කීමට සුදුසු වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්‍ෂුතෙම ද්වේෂ (වෛර) නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත් වඩාද, කෙලෙස්පහ කිරීමෙන් කෙලෙස් නැති සමාධියද, ප්‍රඥාවද, මේ ආත්ම භාවයෙහිම ඔහු උසස් ඥානයෙන් දැන, අවබෝද කොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය මේ භික්‍ෂු තෙම මේ කාරණයෙන් ´´මහණ´´යයිද ´´බ්‍රාහ්මණ´´යයිද කියනු ලැබේ.´´

16. මෙසේ කී කල අචෙල කාශ්‍යප, ´´පින්වත් ගෞතමය, මහණ තෙම දුකසේ දැනගතයුතු වෙයි, බ්‍රාහ්මණතෙමදුකසේ දැනගතයුතු වේය´´යි භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය.

´´කාශ්‍යපය, මහණ තෙම දුකසේ දැනගතයුතු වෙයි, බ්‍රාහ්මණතෙමදුකසේ දැනගත යුතුයයි මේ කථා ලොකයෙහි ව්‍යවහාර කථාවෙයි. ඉඳින් නිර්වස්ත්‍ර වේද අත්හරින ලද සිරිත් ඇත්තේ කෑම කා අත ලෙවින්නේද, මේ ආදී ක්‍රියාවන්හි යෙදී එපමණකින්ම මහණ තෙම දුකසේ දැනගත යුත්තේය, බ්‍රාහ්මණතෙමදුකසේ දැනගත යුත්තේයයි, යන මේ වචන කීමට සුදුසු නොවෙයි.

´´කාශ්‍යපය, යම් කරුණකින් මේ අඩු වූ පැවතුමෙන් තොරවම මේ මහණ හෝ බ්‍රාහ්මණ හෝ දුකසේ දැනගත යුත්තේද ඉතා දුකසේ දැනගත යුත්තේද වේ නම් එහෙයින් ´´මහණ තෙම දුකසේ දැනගතයුතුය, බ්‍රාහ්මණ තෙමදුකසේ දැනගත යුතු යයි´´ මේ වචන කීම සුදුසුයි.

´´කාශ්‍යපය, යම් කරුණකින්, භික්‍ෂු තෙම ද්වේෂ (වෛර) නැතුව දොම්නස් නැතිව මෛත්‍රී සිත් වඩාද, කෙලෙස්පහ කිරීමෙන් කෙලෙස් නැතිවූ සමාධියද, ප්‍රඥාවද, මේ ජීවිතයෙහිම තමන් උසස් ඟඳානයෙන් දැන, අවබෝද කොට ඊට පැම්ණ වාසය කෙරේද, කාශ්‍යපය මේ භික්‍ෂු තෙම ´´මහණ´´යයිද ´´බ්‍රාහ්මණ´´යයිද කියනු ලැබේ.´´

17. මෙසේ කී කල්හි අචෙල කාශ්‍යප, පින්වත් ගෞතමය, ඒ සීල සම්පදාව කුමක්ද?චිත්ත සම්පදාව කුමක්ද? ප්‍රඥා සම්පදාව කුමක්ද?යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. (මෙහි 42 පිටේ සාමඤ්ඤ ඵල සූත්‍රයේ 27 ඡේදයේ සිට 59 ඡේදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´කාශ්‍යපය´´ යොදන්න.)

18. ´´කාශ්‍යපය, මම එක් කාලයෙක්හි මෙහි රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුථ පව්වේ වාසය කළෙමි. එහි නිග්‍රොධ නම්වූ තපස් බ්‍රාහ්මණ ගුරුවරයෙක් අධිජෙගුච්ඡ වීය්‍ර්‍ය පිළිබඳව මාගෙන් ප්‍රශ්න ඇසුවේය. ඔහු විසින් අධිජෙගුච්ඡ වීය්‍ර්‍යයෙහි ප්‍රශ්න අසන ලද්දාවූ මම විසඳුයෙමි. මා විසින් විසඳූ කල්හි ඉතා වැඩියක්ම සතුටු සිත් ඇත්තේ වූයේයයි කීයේය´´.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා කවරෙක් ඉතා වැඩියක් සතුටු සිත් ඇත්තේ නොවන්නේද?ස්වාමීනි, මමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ඉතා වැඩියක් සතුටු සිත් ඇත්තේ වීමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, භික්‍ෂුසංඝයාද සරණකොට යමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමියි´´ කියා සිටියේය.

19. ´´කාශ්‍යපය, අන්‍ය තීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණවීමට කැමතිවේද උපසම්පදාව ලැබීමට කැමතිවේද, ඔහු මාස හතරක් පුරුදුවීම (පිරිවෙස්) කෙරේ. හාර මසක් ගතවූ කල සතුටු කරණු ලැබූ භික්‍ෂුහු ඔහු මහණ කෙරෙත්, භික්‍ෂුභාවය පිණිස උපසම්පදා කෙරෙත්, එසේ නමුත් මවිසින් මෙහි පුද්ගල වෙනස දක්නා ලද්දේයයි කී සේක.

20. ´´කාශ්‍යපය, ශීලවාදීවූ සමහර මහණ බමණු කෙනෙක් වෙත්ද ඔහු නොයෙක් ආකාරයෙන් ශීලයේ ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ඉතා පිරිසිදුවූ උතුම් ශීලයක් වේද, මම ඒ ශීලයෙහි තමාගේ ශීලයෙහි තමාගේ ශීලය වැනි ශීලයකින් සම වූවෙකු නොදැක්කේමි. ඊට වැඩි කෙනෙක් කොයින්ද? එසේවූ කල යම් මේ උත්තම ශීලයෙක් වේද ඒ ශීලයෙහි මමද උදම් වෙමි. කෙලෙස් තැවීම් ගැරහීම් වාද ඇත්තාවූද ප්‍රඥාවාදීවූ ද කෙලෙසුන්ගෙන් මිදීම ගැන වාද ඇතිවූද බමුණෝ ඇත්තාහ. ඔහු ශීලවාදී වූවෙක් කියත්.

21. ´´කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. ඒ නාදය ජනයා නැති ස්ථානයක තනිව හිඳ කෙරෙයි. පිරිස් මැද නොකෙරෙයි. අන්‍ය තිර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුය. යම් කාරණයක් ඇද්ද එසේ වූ නමුත් ඔවුහු මෙසේ කියනු හැක්කෝ නොවන්නාහුමය. ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි´´ මෙසේ කියයුතු වන්නාහුය. ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. පිරිස් මැද කෙරෙයි. එහෙත් නිර්භයව නාද නොකෙරෙයි´´ මෙසේද කියන්නාහුය.

´´ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. පිරිස් මැද කෙරෙයි, නිර්භයව නාද කෙරෙයි.´´

´´ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝද ප්‍රශ්න නොඅසත්, ඔවුන් විසින් ප්‍රශ්න අසන ලද්දේ නොවිසඳයි.ප්‍රශ්න විසඳීමෙන් සිත් නොගනී .ප්‍රශ්න විසඳීමෙන් සිත් නොහඟිත්! මොහුගේ වචන ඇසිය යුතුයයි හඟිත් අසා නොපහදිත්, අසා පහදිත්. පැහැදුනු ආකාරයක් නොකෙරෙත්, පැහැදුනු ආකාරයක් කෙරෙත්. දෙසූ ධර්මය අනුව නොපිළිපදිත්. දෙසූ ධර්මය අනුව පිළිපැදීමද කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් නොගනිත්´´යයි ඔවුහු මෙසේ කියයුත්තෝ නොවන්නාහුය.

´´අර්හත්වූ ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි. විශාරදව නාද කෙරෙයි. ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න අසත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳීම කෙරෙයි.ප්‍රශ්න විසඳීමෙන් සිත් ගැනීම කෙරෙයි .ඔහුගේ වචන ඇසිය යුතුයයි හඟිත්, අසාද පහදිත්, පැහැදුනු ආකාරයක් නොකෙරෙත්, පැහැදුනු ආකාරයක් කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදිත්, දෙසූ ධර්මය සේපිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් ගනිත්යයි´´ කාශ්‍යපය, මෙසේ කියයුත්තෝ වන්නාහුය. අචෙල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුයේමය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතන් වහන්සේලාට ඇතුලත් කෙනෙක්ම වූයේය.

අටවෙනිවූ කස්සප සීහනාද සූත්‍රය නිමියේය.