7. ජාලිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී.එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඒ කාලයෙහිදී ´´මණ්ඩිස්ස´´ නම් පරිබ්‍රාජක තෙමේද දාරුපත්තික නම් පරිබ්‍රාජකයෙකුගේ ශිෂ්‍යයෙක්වූ ජාලිය නම් පරිබ්‍රාජක තෙමේද යන දෙදෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාකොට එක්පැත්තකට වී සිටියාහූය. ඔවුන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය.

´´කිමෙක්ද ඇවැත්නි, ගෞතමයාණෙනි, ජීවයත් ශරීරයත් එකමද නොහොත් ජීවය අනෙකක්ද ශරීරය අනෙකක්ද?´´

´´ඇවැත්නි, එහෙනම් අසව් හොඳින් කල්පනාකරව්. කියන්නෙමි´´යි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය.

(මෙහි 42 පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 27 ඡේදයේ සිට 48 ඡේදය දක්වා යෙදීමේදි මහරජ වෙනූවට ඇවැත්නි යොදන්න.)

2. ´´ඇවැත්නි, භික්‍ෂුව කෙසේනම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´

3. ´´ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම, අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණි එම ධ්‍යානයෙහි වාසය කෙරේද,

4. ´´ඇවැත්නි, නැවතද භික්‍ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳව එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයිද,

5. ´´නැවතද ඇවැත්නි, ඒ භික්‍ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්‍ෂා) සැප තුක් දෙකට මැදිහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේද,

6. ´´නැවතද ඇවැත්නි, ඒ මහණතෙමේ සැප දුරු කිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන්, දුක්ද නොවූ සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැවු ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ ඇවැත්නි යම් භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි, ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයැයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

7. ´´ඥාන දර්ශනය පිණිස විදර්ශනා චිත්තය එළවා තබාද ඥාන දර්ශනයට සිත නමාද, ඇවැත්නි, යම් භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි, ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතු නොවේයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේවු නමුත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

8. ´´ඇවැත්නි, මෙයින් පසු කෙළෙස් නැති කිරීම සඳහා කළයුත්තක් නැතැයි දනීද, මෙසේ දකීද, එබඳුවූ විදර්ශනා ඥානයෙන් (සත්‍යය ඇතිසැටි දැකීම) දැක්කාවූ රහත් භික්‍ෂුනමට, ජීවයත් ශරීරයත් එකමය, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඒ රහත් භික්‍ෂුනමට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට නෙවටීයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළ සේක. මෙයින් සතුටු සිත් ඇත්තාවූ ඒ පැවිද්දෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තෝය.

හත්වෙනි වූ ජාලිය සූත්‍රය නිමියේය.