6. මහාලි සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අසල මහ වනයෙහි පිහිටි කූටාගාර ශාලානම් විහාරයෙහි වාසය කළ සේක. ඒ කාලයේදී කොසොල් රටවැසි බොහෝවූ බ්‍රාහ්මණයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා විශාලා මහනුවර වාසය කරති. ඒ දූතයෝ මේ කරුණු ඇසුවෝය. එනම් ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍යකුලයෙන් නික්ම මහණව විශාලාමහනුවර සමීපයේ මහවනයෙහි කූටාගාර ශාලානම් විහාරෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මෙසේ යහපත් කීර්ති ඝෝෂාවක් උසස්ව නැංගේය. ඒ කෙසේද ?

(මෙහි 34 පිටෙහි සාමඤ්ඤඵල සූත්‍රයේ 28 ජේදය ´´අරහත්වූ´´ යන වචනයේ සිට යොදන්න.)

එවිට ඒ දූතයෝ ආයුෂ්මත් නාගිත ස්ථවිරයන් වෙත පැමිණ අපි භවත් ගෞතමයන් වහන්සේ දකිනු කැමති බව දැන්නුවෝය.

´´භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවේමය. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අරමුණු ගැනීම් වලින් තුරන්ව සම්පූර්ණ විවේකයෙහි යෙදී ධ්‍යාන සැප විඳින්නෝය´´යි ඔවුන්ට කීයේය. එවිට ඔව්හු අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකලාම යන්නෙමුයි සිතා ඒ විහාරයෙහිම එක පැතිතකට වී උන්හ.

2. ඔට්ඨද්ධ (අඩ උඩු තොල් ඇත්තා ) නම් මහාලි ලිච්ඡවි උපාසක තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමඟ ඒ අදහසින්ම උන්හ.

3. එවිට නාගිත තෙරුන්ට බෑනාවූ සිංහ නම් සාමණේර තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මේ කාරණය දැන්වීය.

´´ස්වාමිනි, මේ ජන සමූහයාට භාග්‍යවතුන් වහන්සේදැකීමට ඉඩ ලබා දෙත්වා!´´

´´එහෙනම් සිංහය, ඔබම භාග්‍යවතුන් වහන්සේට මෙ බව දන්වන්න´´යයි කීයේය.

´´සිංහ සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, බොහෝවූ පිරිස් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියාහ. මේ පිරිසට භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඉඩ දෙත්වා´´.

´´ එසේනම් සිංහයා විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පණවයි´´. කීසේක.

සිංහසාමණේර තෙමේ විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පැනවීය. එවිට භග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම සෙවනැල්ලෙහි පැණවු ආසනයෙහි වැඩහුන් සේක.

4. එවිට ඒ පිරිස්ද ඔට්ඨද්ධ නම් ලිච්ජවි මහාලිද භග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තකින්හුන්නේය. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙම් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළේය.

´´ස්වාමිනි, පසුගිය දවස්වල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මාවෙත පැමිණියේය. පැමිණමට මෙසේ කීය. ´´මහාලිය මම නම් යම් දවසක පටන් මේ තුන් අවුරුද්ද මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කොට වාසය කළෙම්ද ඒ කාලයෙහිදී, ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවු ඇලීම ඇතිකරන්නාවු දිව්‍ය රූපයන් පමණක් දුටුවෙමි. එසේවු නමුත් වන්නාවු දිව්‍ය ශබ්දයන් ඇසුවේ නැතැයි කීයේය´´. ස්වාමීන්වහන්ස, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇත්තාවූම දිව්‍ය ශබ්දයන් නොඇසුවේද නැතැහාත් නැත්තාවු දිව්‍ය ශබ්දයන් නොඇසුවේදැයි´´ යන මේ කාරණය විචාළේය. ´´මහාලිය සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇත්තාවුම දිව්‍ය ශබ්දයන් නොඇසුවේය.

5. ´´ස්වාමීන් වහන්ස, යම් හේතුවකින් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර නැත්තා වු නොව ඇත්තා වූම දිව්‍ය ශබ්දයන් නොඇසුයේ නම් ඊට හේතුව කුමක්ද ඊට හේතු මාර්ගය (ප්‍රත්‍යය) කුමක් දැයි´´ ඇසුවේය.

´´මහාලිය, මේ ශාසනයෙහි යම් භික්ෂු නමකට නැගෙනහිර නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර, උතුරු උඩ යට අනුදිසාවෙහි හෝ එක කොටසක් සම්බන්ධව දිව්‍ය රූපයන් දැකීම පිණිස දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොවඩන ලද්දාවු සමාධියක් වේද ඒ භික්‍ෂුතෙමේ ඒ ඒ දිසාවෙහි දිව්‍ය ශබ්දයන් අසනු පිණිස නොව දිව්‍ය රූපයන් දැකීම පිණිස යන එක කොටසක් සම්බන්ධව වඩනාලද සමාධියෙහි ඒ දිව්‍ය රූපයන් දකී, එහෙත් දිව්‍ය ශබ්දයන් නොම අසයි. ඊට හේතුව කුමක්ද?

´´මහාලිය, ඒ භික්‍ෂුවට දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොව දිව්‍ය රූපයන් දකින පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි මේ කාරණය මෙසේමය.

6. ´´මහාලිය, මේ ශාසනයෙහි යම් භික්‍ෂු නමකට ඒ ඒ දිසාවෙහි එක කොටසක් සම්බන්ධව වඩන ලද්දාවූ, දිව්‍යශබ්දයන් අසන පිණිස වඩන ලද්දාවූ, දිව්‍යරූපයන් දැකීම පිණිස නොවඩන ලද්දාවූ, සමාධියක් වේද, ඒ භික්‍ෂුතෙම ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව දිව්‍ය ශබ්ධයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩන ලද සමාධියෙහි දිව්‍ය ශබ්දයන් අසයි. එසේ නමුත් දිව්‍ය රූපයන් නොදකී. ඊට හේතුව කුමක්ද?´´

´´මහාලිය, ඒ භික්‍ෂුවට ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව දිව්‍ය ශබ්ධයන් අසනු පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩන ලද සමාධියෙහි මෙය මෙසේම වේ.

7. ´´මහාලිය, මේ ශාසනයෙහි යම් භික්‍ෂු නමකට ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිසද, දිව්‍ය ශබ්දයන් අසන පිණිසද, යන දෙකොටසම පිණිස වඩන ලද්දා වූ සමාධියක් වේද, ඒ භික්‍ෂුතෙමේ ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දකිනු පිණිසද, දිව්‍ය ශබ්දයන් අසනු පිණිසදයන දෙකොටසම පිණිස වඩන ලද්දා වූ සමාධියෙහි ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන්ද දකී. දිව්‍ය ශබ්දයන් අසයි. ඊට හේතුව කුමක්ද? මහාලියක්‍ෂ ඒ භික්‍ෂුනමට ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිසද, දිව්‍ය ශබ්දයන් ඇසීම පිණිසද යන දෙකොටසම පිණිස වඩන ලද සමාධිය හේතු කොටගෙන මෙය මෙසේම වේ.´´

8. ´´ස්වාමීන් වහන්ස, මේ දෙකොටසම පුරුදු වු සමාධින් අවබෝධ කරගැනීම හේතුකොටගෙණම භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ නිසා බ්‍රහ්මච්‍ර්‍යාව කෙරෙද්දැයි´´ ඇසීය.

´´මහාලිය, මේ සමාධීන් අවබෝධ කරගැනීම හේතු කොටගෙනම බ්‍රහ්මච්‍ර්‍යය නෙකෙරෙති. මහාලිය යම් ධර්මයක් අවබෝධ කර ගැනීම හේතුකොටගෙන භික්‍ෂුහු මා කෙරෙහි බ්‍රහ්මච්‍ර්‍යය කෙරෙත්ද, එසේ වු මීට වඩා ඉතා උසස් වූදඉතා මිහිරිවූද වෙනත් ධර්ම ඇත්තාහුමය´´ යි කීවාහුය.

´´ස්වාමීන් වහන්ස, මීට වඩා ඉතා උසස්වූද ඉතා මිහිරි වූද ඒ ධර්ම මොනවාදැ´´යි ඇසීය.

´´මහාලිය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ (සංයෝජන) බන්ධන තුනක් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් සෝවාන් වේද , සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේද මාර්ග ධර්ම නියමයෙන් ස්තිර වූයේ වේද, රහත් වීමට නියතවූයේ වේද, භික්‍ෂු තෙමේ තුන් ආකාරබන්ධනයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් රාග, ද්වේෂ, මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වේද, එක වරක් මේ ලෝකයට පැමිණෙන ස්වභාව ඇත්තේ සසර දුක කෙළවර කෙරේද, භික්‍ෂු තෙමේ පස් ආකාර බන්ධනයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් බඹලොව උපදින ස්වභාව ඇත්තේ වේද, භික්ෂු තෙමේ ක්ලේශයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් ක්ලේශ බන්ධනයන්ගෙන් මිදුනාවූ අර්හත් ඵල චිත්තයද අර්හත් ඵලඥානයද මේ ආත්ම භවයෙහි තමන්ම උසස් ඥානයෙන් අවබෝධ කොට ලබාගෙන වාසය කෙරේද, මහාලිය, භික්ෂුහු මාගේ ශාසනයෙහි යම් ධර්ම සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරත්ද, එසේවූ මේ ධර්ම ඒ සමාධීන්ට වඩා අතිශයින් උසස්වූද ශ්‍රේෂ්ඨවූද ධර්මයෝමය´´ යි කී සේක.

9. ´´ස්වාමීන් වහන්ස, මේ සෝවාන් ඵල ආදී ධර්මයන් අවබෝධ කරගැණීම පිණිස මාර්ගයක් ඇද්ද, පිළිපැදීමක් ඇද්ද´´යි ඇසීය. ´´මහාලිය, මේ සෝවාන් ඵල ආදී ධර්මයන් අවබෝධ කරගැණීම පිණිස මාර්ගයක් ඇත්තේමය. පිළිපැදීමක් ඇත්තේමැයි´´ කී සේක.

´´ස්වාමීන් වහන්ස, ඒ මාර්ගය කවරේද? ඒ පිළිපැදීම කවරීදැයි´´ ඇසුවේය.

´´මේ උතුම් අංග අටකින් යුත් මාර්ගය (ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි) එනම්- හරි අවබොධය, හරි කල්පනාව, හරි වචනය හෝ කථාව, හරි ක්‍රියාව, හරි ජීවත්වීම, හරි උත්සාහය, හරි සිහිකිරීම, හරි සමාධිය, මහාලිය, ඒ ධර්ම අවබොධ කිරීමට මේ මාර්ගය වේ. මෙයම පිළිපැදිම වේ.

10. ´´මහාලිය, මම එක් කලක කොසඹෑ නුවර ාේසිතාරාමයෙහි වාසය කළෙමි. එවිට මණ්ඩිස්ස නම් පරිබ්‍රාජක තෙමේද, පරිබ්‍රාජකයෙකුගේ අතවැසියෙකු වූ ජාලිය නම් පරිබ්‍රාජක තෙමේද යන මහණුන් දෙදෙන පැමිණ මා හා සමග සතුටුවූහ. සතුටුවිය යුතු කථා අවසාන කොට එක පැත්තකට වී සිටියෝය, ඒ මහණුන් දෙදෙනා මාගෙන් මෙසේ ඇසුවාහ.

´´ඇවැත් ගෞතමයාණෙනි, ජීවයත් ශරීරයත් එකද නෙහොත් ජීවය අනිකෙක්ද, ශරීරය අනිකෙක්ද?´´ ඒ පැවිද්දන්ට මම මෙසේ කීවෙමි.

11. ´´මහාලිය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් වර්ණ ධර්මයන්ගෙන් යුක්තවූ යහපත් ගති ඇත්තාවූ සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාය්‍ර්‍ය සත්‍ය) සත්‍යයවූ උතුම් ධර්ම සතර අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙව්යන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රාහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිත වූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, (දස ආකාරයෙන් ) නියම විතියට වචන ශබ්ද කරන්නාවූ ව්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ සියලු ශාසන මාර්ග බ්‍රහ්මච්‍ර්‍යය ගෙනහැර දක්වති.

(මෙහි 43 පිටෙහි සාමඤඤඵල සූත්‍රයේ 28 ඡේදයේ සිට 48 ඡේදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´මහාලිය´´ යොදන්න.

12. ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශයන් ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන්වුයේම අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති පළමුවෙනි ධ්‍යාන කුසල චින්තනය තමාතුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද?´´

13. ´´ඇවැත්නි, නැවතද භික්‍ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟබව ඇති සමාධියෙන් හටගත් වූ ප්‍රීතිසැපය ඇති දෙවැනි ධ්‍යානකුසල චිත්තයට පැමිණ වාසය කෙරෙයිද, ඇවැත්නි යම් ඒ හික්‍ෂු නමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණහට ජීවිතයත් ශරීරයත් එකමය හෝ ජීවය අනිකෙක, ශරීරය අනෙකකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ හික්‍ෂු නමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනිකෙක, ශරීරය අන්කෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් දෙකම එකය, හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැයි හෝ නොකියමි´´

14. ´´නැවතද ඇවැත්නි ඒ භික්‍ෂුතෙම් ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්‍ෂා) සැපදුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේද´´

15. ´´නැවතද ඇවැත්නි, ඒ මහණතෙමේ සැප දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැවු ඇති හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේද ඇවැත්නි, යම්ඇසීමි, ඇවැත්නි යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි, ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයැයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

16. ´´ඥාන දර්ශනය පිණිස විදර්ශනා චිත්තය එළවාතබාද ඥාන දර්ශනයට සිත නමාද, ඇවැත්නි යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද එවැනි ඥාන දර්ශනයක් ඇති මහණකුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුනෙවේයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

17. ඇවැත්නි, මෙයින් පසු කෙලෙස් නැතිකිරීම සඳහා කළයුත්තක් නැතැයි දනීද, යම් භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද එබඳුවූ විදර්ශනා ඥානයෙන් (සත්‍යය ඇතිසැටි දැකීම) දැක්කාවූ රහත් භික්‍ෂු නමකට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඒ රහත් භික්‍ෂු නමට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට නොවටීයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළසේක. මෙයින් සතුටු සිත් ඇත්තාවූ ඔට්ඨද්ධ නම් මහාලි ලිච්ඡවි රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

හයවෙනිවූ මහාලිය සූත්‍රය නිමියේය.