11. කේවට්ට සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා සිටාණන්ගේ අඹ වනයේ වාසය කරන සේක. එවිට කේවට්ට් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව උන්නේය. ගෘහපති පුත්‍ර කේවට්ට් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

´´ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මේ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය´´.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට මේ කාරණය කී සේක.

2. ´´කෙවට්ට්ය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි. මහණෙනි, එව්. ඔබ, සුදු වස්ත්‍ර අඳින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරව්´´යි කියාය.

දෙවනුවද, තෙවනුවද කේවට්ට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය ඉහතින් මෙන් කීයේය.

´´කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් නොයෙක් මැවීම් ආදිය කිරීමේ (සෘද්ධි) ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමේ (ආදේශනා) ප්‍රාතිහාර්යය, අනුශාසනා කිරීමේ (අනුශාසනා) ප්‍රාතිහාර්යය යන තුනයි. කේවට්ටය, එයින් සෘද්ධි ප්‍රාතිහාර්ය කවරේද?´´

3. ´´කේවට්ට, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙන්ම යයි. මේ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.´´

´´මෙසේ නොයෙක් සෘද්ධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, ඒ සෘද්ධිමත් භික්‍ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්‍ෂුවගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ´´පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමය´´යි කියන්නේද,

4. ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. ´´පින්වත, ගන්ධාරී නම් විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නම් විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමේ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි´´ කියාය.´´

´´කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ´´යි ඇසූ සේක. ´´ස්වාමිනි, කියන්නේය´´යි කීයේය.

´´කේවට්ටය, මම සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂ හොඳින් දන්නෙමි. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි´´යි වදාළේය.

´´කේවට්ටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?´´

´´කේවට්ට, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ සිත මේ ආකාරද වෙයි. ඔබේ සිත මේ මේ දෙයක් සිතමින් පවතී යයි කියයි. ඒ භික්‍ෂුතෙම ප්‍රසන්නවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ´´මේ භික්‍ෂුවක් මම දුටුවෙමි´´යි ඒ ශ්‍රද්ධාවන්තවූ ප්‍රසන්න තැනැත්තා ශ්‍රදධා නැත්තාවූ, අප්‍රසන්නවූ යම් කෙනෙකුට භික්‍ෂුහුගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ඇත්තෙන්ම ඉතා පුදුමයකැයි කියන්නේද,

5. ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. ´´පින්වත, චින්තාමණී නම් විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමේ අනුන්ගේ සිත දැන කියයි. ඔබේ සිත මෙසේ මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි.´´

´´කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ´´යි ඇසූ සේක. ´´ස්වාමිනි, කියන්නේය´´යි කීයේය.

´´කේවට්ටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂ හොඳින් දන්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි´´යි වදාළේය.

´´කේවට්ටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?´´

´´කේවට්ටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. ´´මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරවු´´ කියාය. මෙයද කේවට්ටය, අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යයි කියනු ලැබේ.´´

(42 පිටේ 28 ඡෙදයේ සිට 49 ඡෙදය දක්වා ´´මහරජ´´ වෙනුවට ´´කේවට්ටය´´ යොදන්න)

´´කේචට්ටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. දෙවැනි ධ්‍යානයටද තුන්වැනි ධ්‍යානයටද හතරවැනි ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කේවට්ටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ´´.

(53 පිටේ 53 ඡේදයේ සිට 59 ඡෙදය යෙදීමේදී ´මහරජ´ වෙනුවට ´කේවට්ටය´ද මෙයද මේ ආත්මයෙහිවූ ඵලයන්ට වඩා උතුම්වූද, බොටහා්සේ මිහිරිවූද, භික්‍ෂූන් විසින් ලැබිය යුතු ඵලයක් වෙයි´ වෙනුවට ´කේවට්ටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ´ යොදන්න)

´´මේ ප්‍රාතිහාර්ය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද්දාහුය´´.

6. ´´කේවටටය, පෙර වූ දෙයක් කියමි. මේ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය. ´´පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ´´යි කියාය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම යම් ආකාරයකින් සිත එකඟවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද සෘධිවිධඥානය පහළ වන්නේද, එවැනි සමාධියකට සමවැදුනේය. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මේ කාරණය ඇසුයේය. ´´ඇවැත්නි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නොපවතින පරිදි විනාශ වන්නාහූදැ´´යි කියාය. කේවට්ටය, මෙසේ කී කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මහණ, මේ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූ සතරවරම් රජ කෙනෙක් ඇත්තාහුය. මේ කාරණය, ඒ සතරවරම් මහ රජහූ දන්නාහුය´´. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සතරවරම් රජුහු වෙත පැමිණ ඒ සතරවරම් රජුගෙන්ද මේ කාරණය ඇසුවේය. කේවට්ටය, මෙසේ ඇසූ කල සතරවරම් රජහූ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මේ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූ තාවතිංස නම් දෙවිකෙනෙක් ඇත්තාහුය. මේ කාරණය, ඒ සතරවරම් මහ රජහූ දන්නාහුය´´.

කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම තව්තිසා වැසි දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල තව්තිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට ´´මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූද, දෙවියන්ට ප්‍රධානවූ ශක්‍ර නම් දෙවිකෙනෙක් ඇත්තේය. මේ කාරණය, දෙවියනට ප්‍රධානවූ ඒ ශක්‍ර නම් දෙවියා දන්නේය´´.

7. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්‍රදෙව් තෙම වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල ශක්‍ර දෙවියා ඒ භික්‍ෂුවට ´´මේ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූද යාම නම් දෙවිකෙනෙක් ඇත්තාහුය. මේ කාරණය, ඒ යාමදෙවියෝ දන්නාහුය´´. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම යාම දෙවියෝ වෙත පැමිණ යාම දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල තව්තිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට ´´මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද වර්ණය සම්පත් ආදියෙන් ඉතා උතුම්වූද සුයාම නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ දිව්‍යපුත්‍රයා මේ කාරණය දන්නේය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සුයාම නම් දිව්‍යපුත්‍රතෙම වෙත පැමිණ සුයාම දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. සුයාම දිව්‍යපුත්‍රයා මේ වචන කීයේය. ´´මේ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උතුම්වූද තුසිත නම් දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ තුසිත දෙවියෝ මේ කාරණය දන්නාහුය´´. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම තුසිත දෙවියෝ වෙත පැමිණ තුසිත දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මේ ඇසූ කල තුසිත දෙවියෝ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මහණ, මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද වර්ණය සම්පත් ආදියෙන් ඉතා උතුම්වූද සන්තුෂිත නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ සන්තුෂිත දිව්‍යපුත්‍රයා මේ කාරණය දන්නේය´´.

8. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සන්තුෂිතදිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සන්තුෂිත දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල සන්තුෂිත දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට මේ වචන කීයේය. ´´මේ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා ඉතා රූප සම්පත් ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උතුම්වූද නිම්මානරති නම් දෙවි කෙනෙක් ඇත්තාහ. මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම නිම්මානරති දෙවියන් වෙත පැමිණ, නිම්මානරති දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඒ දෙවියෝ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මහණ, අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උතුම්වූද සුනිම්මිත නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මේ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය´´.

9. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සුනිම්මිත නම් දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සුනිම්මිත දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල සුනිම්මිත දිව්‍යපුත්‍රයා, ´´මේ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත්තියෙන් උතුම්වූද පරනිම්මිත වසවත්ති නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම පරනිම්මිත වසවත්ති නම් දෙවියන් වෙත පැමිණ, පරනිම්මිත වසවත්ති නම් දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. කේවට්ටය, මෙසේ ඇසූ කල ඒ පරනිම්මිත වසවත්ති දෙවියෝ, ´´මහණ, මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන්ද, වර්ණ සම්පත් ආදියෙන්ද උතුම්වූ වසවත්ති නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මේ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වසවත්ති නම් දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, වසවත්ති නම් දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල ඒ වසවත්ති දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට, ´´මහණ, මේ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත්තියෙන් උතුම්වූද බ්‍රහ්මකායික නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය´´.

10. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂු තෙම යම්සේ සිත එකඟ වූ කල්හි බඹලොව යන මාර්ගය පහළ වූයේද, එබදූවූ සමාධියට සමවැදුනේය. කේවට්ටය, ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්ම කායික නම් දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ´´මේ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සමපත් ආදියෙන් යුක්තවූද, යස ඉසුරු ආදියෙන් උතුම්වූද, සියල්ලන් මැඩපවත්වා සිටියාවූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දන්නාවූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ

ලෝකයට අධිපතිවූ, ලෝකය සාදන්නාවූ, ලෝකය මවන්නාවූ, සත්වයන් කොටස් වලට බෙදන්නාවූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන් හට පියවූ මහාබ්‍රහ්මවූ බ්‍රහ්මයෙක් ඇත්තේය. මේ කාරණය ඔහු දන්නේය´´. ´´ඇවැත්නි, ඒ මහාබ්‍රහ්ම තෙම දැන් කොතනදැයි´´ ඇසුවේය. ´´මහණ, බ්‍රහ්මතෙම යම් තනෙකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යම් ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේ වුවත් යම්සේ (නිමිති) ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවේද යන මේ එක පූර්ව ලකුණක් මහාබ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය´´.

´´කේවට්ටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වේලාවකින්ම පහළවූයේය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේය.´´

11. ´´කේවට්ටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේය. මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානිඋා වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසඟයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොට්ඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි´´.

´´කේවට්ටය, දෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය.

´´ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ කියාය´´.

´´කේවට්ටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මතෙම ඉහතින් මෙන් ඔහු ගැනම කීවේය´´.

´´කේවට්ටය, තෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය.

´´ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ නොඅසමි. ඔබ බ්‍රහ්මයෙක් වූවෙහිද, මහාබ්‍රහ්මයෙක් වූවෙහිද, ලොවට ප්‍රධාන දෙවියා වූවෙහිද, ලෝකයට කර්තෘ වූවෙහිද, ලෝකයට උත්තම වූවෙහිද, සත්වයන් කොටස් වලට බෙදන්නෙක් වූවෙහිද, පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙක් වූවෙහිද, උපන්නාවුද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූවෙහිදැයි´´ (කියාය.)

´´ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ (කියාය.)

12. ´´කේවට්ටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්‍ෂුව අතින් අල්වාගෙන එක් පැත්තකට පමුණුවා, ඒ භික්‍ෂුවට මේ කාරණය කීයේය. ´´මහණ, මේ බ්‍රහ්ම කායික දෙවියෝ මා මෙසේ දනිත් – මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය, මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරනලද කිසිවකුත් නැත්තේයයි කියාය. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මේ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනෙක ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුද යන මේ කාරණය මමද නොදනිමි´´ (කියාය.)

´´මහණ, යම් හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මේ ප්‍රශ්නය විසඳීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මේ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මේ ප්‍රශ්නය ඇසුව මැනව. යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි´´ මහාබ්‍රහ්මතෙම කීයේය.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යම්සේද, දිගුකළ අතක් හකුළන්නේ යම්සේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වැඳ එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය.´´

´´ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ කියාය.

13. ´´කේවට්ටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මේ කරණය කීවෙමි. ´´මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍රා කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නම් ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යම් හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මේ ප්‍රශ්නය විසඳන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද? ´´ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ (කියාය). මහණ, මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය. –

´´කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භූතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහා භූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද?´´ කියාය.

එහි විවරණය මෙසේ වෙයි.

´´නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම් කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භූතයෝ පිහිටීම නොලබත්. මහා භූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාම රූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි´´.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක. සතුටු සිත් ඇති කේවට්ට නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්තේය.

කේවට්ට සූත්‍රය නිමි.