5. පණිහිත (සූක) වර්‍ගය.

1. මිච්ඡාපණිහිතචිත්ත සූත්‍රය.

1. ´´මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යටවී නණ්ඩුවක් හෝ වරදවා ( තුඩ යටිකුරු කොට, නො ඇණෙන සේ ) තබන ලදුව අතින් හෝ පයින් හෝ මඬනා ලද්දේ අත හෝ පය හෝ නොබිඳෙන්නේය. ලේ හෝ උපදවන්නේයයි ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක්නිසාදයත්, මහණෙනි, නණ්ඩුව ( නොඇණෙන ලෙස ) වරදවා තබන ලද හෙයිනි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් භික්‍ෂුවක් වරදවා තබන ලද සිතින් ´අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි´ ( කියතොත් ) ඒ කාරණය ඇත්තක් නොවේ. මක්නිසාදයත්, මහණෙනි, සිත වරදවා යොදන ලද හෙයිනි.´´
 
2. සම්මාපණිහිත සූත්‍රය.

´´මහණෙනි, ඇල්වී නණ්ඩුවක් හෝ යටවී නණ්ඩුවක් හෝ තබන ලදුව අතින් හෝ පයින් හෝ මඬනා ලද්දේ අත හෝ පය හෝ බිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන කාරණය සත්‍යයක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබන ලද හෙයිනි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් මහණෙක් තෙම මනාකොට තබන ලද සිතින් ´මහා අවිද්‍යාව බිඳින්නේය. විද්‍යාව උපදවන්නේය. නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි´ ඒ කාරණය ඇත්තක් වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත මනාකොට පිහිටුවන ලද හෙයිනි.´´

3. පදුට්ඨචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ ලෝකයෙහි ඉතා දූෂිතවූ ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි. මෙසමයෙහි මේ පුද්ගලයා ඉදින් කලුරිය කෙළේ නම් ( අතින් ) ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් හෙතෙම නරකයෙහි උපදනේය. මක්නිසාදයත්, ඔහුගේ සිත ඉතා දූෂිතවූ හෙයිනි.

´´මහණෙනි, සිත බොහෝ සේ කෙලෙසීම හේතුකොට ගෙණද මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන්, මරණින් මතු අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.´´

4. පසන්තචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ ලෝකයෙහි ප්‍රසන්නවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මාගේ සිතින් මෙසේ පිරිසිඳ දනිමි. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල තෙම කාලක්‍රියා කෙළේ නම් ගෙන එන ලද්දක් යම්සේ බහා තබනු ලැබේද, එසේම මෙතෙම ස්වර්‍ගයෙහි පිහිටියෙක් වේය කියායි. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. මහණෙනි, සිතෙහි පැහැදීම හේතුකොට ගෙණද මේ ලෝකයෙහි සමහර සත්ත්‍වයෝ මෙසේ ශරීරයාගේ භේදයෙන්, මරණින් මතු සුගති නම්වූ ලෝකයෙහි උපදිත්.´´

5. ආචිලචිත්ත සූත්‍රය.

´´මහණෙනි, නොපැහැදුනාවූ, කැළඹුණු, කලල්වූ, මඩවූ යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඉවුරෙහි සිටියේ, විලෙහි ඔබ මොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද සිප්පිබෙල්ලන්ද, සක්බෙල්ලන්ද, කැට හා කැබැලිතිද, මත්ස්‍ය සමූහයාද නොදක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය නොපැහැදුනු බවයි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් භික්‍ෂුවක් තෙම නොපැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාත්‍ර්‍ථය හෝ දැනගන්නේය. පරාත්‍ර්‍ථය හෝ දැන ගන්නේය. උභයාර්ථය හෝ දැනගන්නේය. මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහිවූ ආය්‍ර්‍යභාව කරණයට ( අර්‍හත්බව සැලසීමට ) සමත්‍ර්‍ථවූ ඥානදර්‍ශනවිෂයෙක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි ( කියතොත් ) ඒ කාරණය විද්‍යමාන නොවේ. ඊට හේතු කවරේද? මහණෙනි, ( ඔහුගේ ) සිත නොපැහැදුනු බවයි.´´

6. අනාචිලචිත්ත සූත්‍රය.

´´මහණෙනි, පිරිසිදුවූ, අතිශයින් ප්‍රසන්නවූ, නොකැළඹුනාවූ යම් දියවිලක් වේද, ඇස් ඇති පුරුෂයෙක් තෙම ඒ විල ඉවුරෙහි සිටියේ, විලෙහි ඔබ මොබ හැසිරෙන්නාවූද, නැවතී සිටින්නාවූද, සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැට හා කැබැලිතිද, මත්ස්‍ය සමූහයාද දක්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ජලය පැහැදුනු බවයි.

´´මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් මහටණක් තෙම පැහැදුනාවූ සිතින් යුක්තව ආත්මාත්‍ර්‍ථය හෝ දැනගන්නේය. පරාත්‍ර්‍ථය හෝ දැන ගන්නේය. උභයාර්ථය හෝ දැන ගන්නේය. මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහිවූ ආය්‍ර්‍යභාව කරණයට ( අර්‍හත්බව සැලසීමට ) සමත්‍ර්‍ථවූ ඥානදර්‍ශන විශෙෂයක් හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේයයි ( කියතොත් ) ඒ කාරණය විද්‍යමාන වේ. ඊට හේතු කවරේද? මහණෙනි, ( ඔහුගේ ) චිත්තය පැහැදුනු බවයි.´´

7. මුදුචිත්ත ( අථවා පන්‍දන ) සූත්‍රය.

´´මහණෙනි, යම් කිසි වෘක්‍ෂ වර්‍ගයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් මෘදු බැවින් හා කටයුත්තකට සුදුසු බැවින් කොළොම් ගස යම් සේ අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, එපරිද්දෙන්ම වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත හා සමාන මෘදුබව හා කටයුත්තට සුදුසු බව ඇති අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, වඩනලද, නැවත නැවත පුරුදු කරණ ලද සිත මෘදුවද වේ. කටයුත්තට සුදුසුද වේ.´´

8. ලහුපරිචිත්ත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා සවභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.´´

9. උපක්තිලිට්ඨචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ සිත පැහැ විහිදුවන්නේය. එය වනාහි ආගන්තුකවූ ( රාගාදී ) උපක්ලේශයන් විසින් කිලිටි කරණ ලද්දේය.´´

10. විප්පමුත්තචිත්ත සූත්‍රය.

´´මහණෙනි, මේ සිත වනාහි ආගන්තුකවූ ( රාගාදී ) උපක්ලෙශයන්ගෙන් හාත් පසින් මිදුනේය.´´

පස්වන වර්‍ගය නිමි.

12.ලෝහිච්ච සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේභික්‍ෂුන් පන්සියයක් පමණවූ මහා භික්‍ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් වඩිනා කල සාලවතිකා නම් ගමට වැඩිසේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම බොහෝ ධනය සහිතවූ පසේනදි කොසොල් රජු විසින් දෙනලද සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරයි.

2. එකල ලොහිච්ච නම් බ්‍රාහ්මණයාට මෙවැනි ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය. ´මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් කුසල කර්මයකට පැමිණෙන්නේද, කුසල කර්මයට පැමිණ අනුන්ට ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පරණ බැම්මක් කපා වෙන අලුත් බැම්මක් බදින්නේ යම්සේද මෙය එවැනිවූ ලාමක ලොභයෙකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? ´ කියායි.

3. ´´ ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් ගොස් මහණවූ ශ්‍රමණ භවත් ගෞතම තෙම භික්‍ෂුන් පන්සියයක් පමණවූ මහා භික්‍ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරන අතර සාලවතිකා නම් ගමට වැඩියේයයි´´ ලොහිච්ච බ්‍රාහ්මණයාට අසන්ට ලැබුණේය. ඒ භාග්‍යවත් ගෞතමයානන් වහන්සේ ගැන මෙවැනි හිත් සතුටු කරන කීර්ති ඝොෂාවක් පැන නැංගේය. එනම්, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්වූසේක, සම්‍යක් සම්බුධවූසේක, විදර්ශනාඥාන ආදී විද්‍යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ට විද්‍යා පසළොස් චරණධර්මයන්ගේන් යුක්තවූසේක, යහපත් ගමන් ඇතිසේක, සියලු ලෝකයන් දන්නාසේක. ශ්‍රෙෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කරීමෙහි රියදුරෙකු වැනිසේක. දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් වූසේක. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයේන් දැන අවබොධකොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ, සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙනහැර දක්වතියි´´ කීයේය.

ලොහිච්ච බ්‍රාහ්මණ තෙම මෙය අසා, ´´එවැනි රහතුන්ගේ දැකීම යහපත්වේයයි´´ සිතුවේය.

4.එවිට ලොහිච්ච බ්‍රාහ්මණ තෙම රොසික නම් ඇම්බැට්ටයාට අඞගසා මෙසේ කීවේය. ´´යහලු රොසිකය, ශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, රෝග නැති බව, සැපයෙන් වාසය කිරීම යන කරුණු ලොහිච්ච බ්‍රාහ්මණයා අසන්නේයයි මාගේ වචනයෙන් අසන්න. අසා, හෙට දිනයෙහි ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භෝජනය භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංඝයා සමග පිළිගන්නා සේක්වායි´´ද දැනුම් දෙන්න.

5. ´´ස්වාමීනි, එසේයයි´´ කියා රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ලොහිච්ච බ්‍රාහ්මණයා කී පරිදි භෝජනය භික්‍ෂු සංඝයා සමග පිළිගනිවායි, කියාද දැන්නුවේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය පිළිගත්තේය.

ලොහිච්ච බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ විසින් එය පිළිගන්නා ලද්දේයයි කීයේය.

6. එවිට ලොහිච්ච බ්‍රාහ්මණතෙම ඒ රාත්‍රිය පසුවූ කල සිය නිවසෙහි මිහිරිවූ කෑ යුතු දේද, වැළදිය යුතු දේද, පිළියෙළ කරවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට භෝජනය පිළියෙළ කරණ ලද්දේයයි දැන්වීමට නියම කළේය.

එවිට රොසික නම් ඇම්බැට්ටයා භෝජනය සූදානම් කරන ලද්දේය. ඊට කාලයයි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවේය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්‍ෂු සංඝයා සමග සාලවතිකා නම් ගමට පැමිණියෝය.

7. එකල රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගමන් කළේය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරුණ දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයාහට ලාමකවූ මෙවැනි වැරදි මතයක් උපන්නේය. ´´මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුසල ධර්මයට පැමිණෙන්නේද, කුසල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකකුට කුමක් කරන්නේද? පැරණි බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ ලාමකවූ ලොභය එසේමයයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේදැයි´´ කියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයා ලාමකවූ මේ වැරදි මතයෙන් මුදවන සේක්වා.´´

´´රොසිකය, ඉතා යහපත් වන්නේයයි´´ කීසේක.

8. එවිට භාග්‍යවතුන් වහන්සේ ලොහිච්ච බ්‍රාහ්මණයාගේ ගෙදරට පැමිණ, පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම බුදුන් ප්‍රධාන භික්‍ෂු සංඝයා මිහිරි කෑ යුතු වැළදිය යුතු දෙයින් සිය අතින් අනුභව කරවා මනාකොට පැවරුවේය.එවිට වළදා පාත්‍රයෙන් ඉවත් කරණලද අත් ඇතිව හිඳින භාග්‍යවතුන් වහන්සේ දැක එක්තරා පහත් ආසනයක් ගෙන එකපැත්තක උන්නාවූ ලොහිච්ච බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ කීයේය.

´´ලොහිච්චය, මේ ලොකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකට නොකරන්නේය. අනිකෙක් අනිකකුට කුමක් කරන්නේද? පැරණි බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමකවූ ලොභයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේදැයි, යන මෙබඳුවූ ලාමක මතයක් ඔබට උපන්නේ සැබෑද?´´. ´´භවද් ගෞතමයන් වහන්ස, එසේයයි´´ කීයේය.

9. ´´ලොහිච්චය, යමෙක් මෙසේ කියන්නේද, ලොහිච්ච බ්‍රාහ්මණතෙම සාලවතිකා නම් ගම අධිපතිව වාසය කරයි. සාලවතිකා නම් ගම හටගන්නා යම් පමණ වස්තුව වේද එය ලොහිච්ච බ්‍රාහ්මණතෙම තනිවම ප්‍රයොජන ගන්නේය, අනුන්ට නොදෙන්නේයයි. මෙසේ කියන්නාවූ ඔහු, යමෙක් ඒ ලොහිච්ච බ්‍රාහ්මණයා නිසා ජීවත් වෙත්ද ඔවුන්ට ලාභ අන්තරාය කරන්නේ වේ. ලාභ අන්තරාය කරන්නෙක් වූයේ හිත වැඩ නොකැමැත්තේවේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වෙයි. ක්‍රොධ සිත එළඹ සිටි කල මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වෙයි.´´

10. ´´ලොහිච්චය, මෙතෙකින් යමෙක් මෙසේ කියන්නේද, පසේනදි කොසොල් රජතෙම කසී කොසොල් දෙරටෙහි අධිපතිව වාසය කරයි. කසී කොසොල් දෙරටෙහි යම් වස්තු උත්පත්තියක් ඇද්ද එය පසේනදි කොසොල් රජතෙම තනිවම ප්‍රයොජන ගන්නේය. අනුන්ට නොදෙන්නේද, කියායි. මෙසේ කියන්නාවූ ඔහු ඔබ හෝ වෙනත් අය හෝ යම් කෙනෙක් ඒ පසේනදි කොසොල් රජු නිසා ජීවත්වෙත්ද, ඔවුන්ට අන්තරාය කරන්නේ වේ. අන්තරාය කරවූයේ එහි වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නොකැමැත්තහුට ක්‍රොධ සිත පිහිටියේ වෙයි. ක්‍රොධ සිත් ඇත්තහුට මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ.´´

11. ´´ලොහිච්චය, එමෙන්ම යමෙක් මෙසේ කියන්නේද ´මේ ලොකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනෙකෙක් අනෙකෙකුට කුමක් කරන්නේද, පරණ බැම්මක් කපා දමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම්සේද මේ එවැනි ලාමක වූ ලෝභයකැයි කියමි´. මෙසේ කියන්නාවූ හෙතෙම යම් ඒ කුලපුත්‍රයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද ධර්ම විනය ඇති ශාසනයට පැමිණ මෙබඳුවූ මහත් විශේෂ අවබෝධයකට පැමිණත්. සෝවාන් ඵලයද සකෘදාගාමී ඵලයද අනාගාමී ඵලයද අර්හත් ඵලයද අවබෝධ කෙරෙත්. යමි කෙනෙක් දෙව් ලොව ඉපදීම සඳහා දෙව්ලොව උපදින කුසල්ද දියුණු කරත්. එබඳුවූ ඔවුන්ට අන්තරායක් කරන්නේවේ. අන්තරාය කරන්නේ හිත වැඩ නොකැමැත්තේ වේ. හිත වැඩ නෙකැමැත්තෙහුට ක්‍රොධ සිත එළඹ සිටියේ වෙයි. ක්‍රොධ සිත එළඹ සිටියහුට මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ වේ. ලොහිච්වය, මිත්‍යාදෘෂ්ටි ඇත්තා හට නිරය ගතිය හෝ තිරිසන් ගතිය යන දෙයාකාර ගති අතුරින් එක්තරා ගතියක් මම කියමි.´´

12. ලොහිච්වය, මේ ලෝකයෙහි චෝදනා කිරීමට සුදුසු වූ අනුශාසකයෝ තුන්දෙනෙක් ඇත්තාහ. යමෙක් එබඳුවූ ශාස්තෘවරයන්ට චෝදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබෑවක්මය, ධර්මයට එකඟය, නිවරදය, කවර තුන්දෙනෙක්ද? ලොහිච්වය, ලොකයෙහි ඇතැම් අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහිගෙයින් නික්ම අනගාරික (ගිහි ජීවිතයෙන් තොර) ශාසනයට මහණවේද, ඔහු විසින් ඒ ශ්‍රමණ හාවයෙහි ඵලය වන රහත් බව නොලබන ලද්දේවේද, ඔහු ඒ රහත් බවට නෙපැමිණ (ශාවකයන්ට) තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයින්ට ධර්මය දේශනා කරයිද, ඔහුගේ ඒ ගෝලයෝ එය නොඅසත්ද, ඒ ධර්මය ඇසීම සඳහා කන් නොනමත්ද, ඒ ධර්මය දැන ගැනීම පිණිස සිත එළඹ නොපිහිටුවත්ද අනුශාසකයාගේ අනුශාසනයෙන් ඉවත්ව පවතිත්ද, ඔහු චෝදනා කටයුතු වන්නේය.

13. ´´ලොහිච්වය, නැවත අනෙකක් කියමි. මේ ලොකයෙහි සමහර අනුශාසකයෙක් යම් ප්‍රයෝජනයක් සඳහා ගිහිගෙයින් නික්ම අනගාරික ශාසනයේ මහණවේද ඔහු ඒ ප්‍රයෝජනය වන රහත් බවට නොපැමිණියේ වේද, ඔහු ඒ රහත් බවට නෙපැමිණ, තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි ගෝලයන්ට ධර්ම දේශණා කෙරෙයිද ඒ ගෝලයෝ ඔහුගේ ධර්මය අසත්ද, ඒ ධර්මය ඇසීම පිණිස කන් නමත්ද, ඒ ධර්මය දැනගැනීමට සිත් එළඹ සිටුවත්ද? ගුරුවරයාගේ අනුශාසනයෙන් පිටත නොපවතිත්ද, ඔහු චෝදනා කටයුතු වන්නේය.´´

´´සමහර ගුරුවරයෙක් යම් අර්ථඵල ලාභයක් පිණීස ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයේ මහණවූයේ ඔහු ඒ ප්‍රයෝජනය වන රහත්බව පැමිණියේ වේද, ඔහු ඒ රහත් බවට පැමිණ ,´´තොපට මේ හිත පිණිසය, තොපට මේ සැප පිණිසයයි´´ ගෝලයන්ට ධර්මදේශණා කෙරෙයිද, ඔහුගේ ඒ ගෝලයෝ එය නොඅසත්ද, ඒ ධර්මය ඇසීම සඳහා කන් නොනමත්ද, ඒ ධර්මය දැන ගැනීම පිණිස සිත එළඹ නොපිහිටුවත්ද අනුශාසකයාගේ අනුශාසනයෙන් පිටත පවතිත්ද, ඔහු චෝදනා කටයුතු වන්නේය. අනෙකෙක් අනෙකෙකුට කුමක් කරන්නේද? ලොහිච්වය, ලෝකයෙහි යමෙක් චෝදනා කිරීමට සුදුසුවේද, මේ දක්වන ලද්දේ එසේ චෝදනා කිරීමට සුදුසු වූ තුන්වෙනි අනුශාසකයායි. යමෙක් මෙවැනි ගුරුවරයාට චෝදනා කෙරේද, ඒ චෝදනාව ඇත්තක්මය, සැබෑවක්මය, ධර්මයට එකඟය, නිවරදය.´´

14. මෙසේ කී කල ලෙහිච්ව බ්‍රහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැනුම් දුන්නේය, ´´භවත් ගෞතමයන් වහන්ස, ලොකයෙහි යමෙක් චෝදනා කිරීමට නුසුදුසු වේද, එවැනි කිසියම් ගුරුවරයෙක් ඇත්තේද?´´

´´ලොහිච්චය, ලොකයෙහි චෝදනා කිරීමට නුසුදුසු ගුරුවරයෙක් ඇත්තේමය.

´´භවත් ගෞතවයන් වහන්ස, ඒ ගුරුවරයා නම් කවුද?

(මෙහි 43 පිටේ 28 වෙනි ජේදයේ සිට 49 වන ජෙදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´ලොහිච්වය´´ යොදන්න.´´මෙහිදීද මේ ආත්මයේ දැක්කයුතු´´ අතහරින්න)

´´ලොහිච්වය, යම් ශාස්තෘවරයෙකු (අනුශාසකයෙකු) නිසා ශාවක තෙමේ (ගෝලයා) මෙවැනි මහත් විශේෂ බවකට පැමිණේද, ලොහිච්චය,ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා කිරීමට නුසුදුසු වන්නේ නම් මේ ශාස්තෘ තෙමේද එසේ චෝදනා කිරීමට නුසුදුසු ශාස්තෘවරයෙකි. යමෙක් එවැනිවූ ශාස්තෘවරයාට චෝදනා කෙරේ නම් ඒ චෝදනාව ඇත්තක් නොවේ, සැබෑ නොවේ, ධර්මයට එකඟ නොවේ, වරදය.´´

15. ´´ලොහිච්වය, යම් ශාස්තෘවරයෙකු නිසා ශ්‍රාවක තෙමේ මෙවැනි මහත් විශේෂ බවකට පැමිණේද, ලොකයෙහි යම් ශාස්තෘවරයෙක් චෝදනා කිරීමට නුසුදුසු වන්නේ නම් මේ ශාස්තෘ තෙමේද එසේ චෝදනා කිරීමට නුසුදුසු ශාස්තෘවරයෙකු. යමෙක් එවැනිවූ ශාස්තෘවරයකුට චෝදනා කෙරේ නම් ඒ චෝදනාව ඇත්තක් නොවේ, සැබෑ නොවේ, ධර්මයට එකඟ නොවේ, වරදය.´´

16. මෙසේ කී කල ලොහිච්වය බ්‍රහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්නුවේය. ´´නරා වළක වැටෙන්නාවූ පුරුෂයෙක් කෙස්වැටියෙන් අල්වාගෙන ගොඩගෙන පොළවෙහි පිහිටුවන්නේ යම්සේද එපරිද්දෙන්ම මිත්‍යාදෘෂ්ටි නමැති නරාවළෙහි වැටෙන්නාවූ මම ධර්ම දේශනාව නමැති අතින් ඉන් ගොඩගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වර්ග මාර්ග තලයෙහි පිහිටුවන ලද්දෙමි. ගෞතමයාණන් වහන්ස, ධර්මදේශනාව යහපති, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. ගෞතම භාග්‍යවතුන් වහන්සේ අද පටන් ජීවිතයේ අග දක්වා සරණ ගිය උපාසකයෙකැයි මා දරාගනිත්වා.´´

(දොළොස්වෙනිවූ ලොහිච්ව සූත්‍රය නිමියේයි)

11. කේවට්ට සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයෙහිවූ පාවාරිකා සිටාණන්ගේ අඹ වනයේ වාසය කරන සේක. එවිට කේවට්ට් තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව උන්නේය. ගෘහපති පුත්‍ර කේවට්ට් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

´´ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුනාහුය. ස්වාමිනි, යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරන්නේද, එවැනි එක් භික්‍ෂුවක් ප්‍රාතිහාර්ය කිරීමට නියම කරන සේක්වා. මෙසේ සෘද්ධි ප්‍රාතිහාර්ය පැවැත්වූ කල්හි මේ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝ සෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය´´.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට මේ කාරණය කී සේක.

2. ´´කෙවට්ට්ය, මම මෙසේ භික්‍ෂුන්ට ධර්ම දේශනා නොකරමි. මහණෙනි, එව්. ඔබ, සුදු වස්ත්‍ර අඳින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි ප්‍රාතිහාර්ය කරව්´´යි කියාය.

දෙවනුවද, තෙවනුවද කේවට්ට ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය ඉහතින් මෙන් කීයේය.

´´කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් නොයෙක් මැවීම් ආදිය කිරීමේ (සෘද්ධි) ප්‍රාතිහාර්යය, අනුන්ගේ සිත් දැක්වීමේ (ආදේශනා) ප්‍රාතිහාර්යය, අනුශාසනා කිරීමේ (අනුශාසනා) ප්‍රාතිහාර්යය යන තුනයි. කේවට්ටය, එයින් සෘද්ධි ප්‍රාතිහාර්ය කවරේද?´´

3. ´´කේවට්ට, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම නොයෙක් අයුරු ඇති සෘද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපිමෙන් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙන්ම යයි. මේ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.´´

´´මෙසේ නොයෙක් සෘද්ධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, ඒ සෘද්ධිමත් භික්‍ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්‍ෂුවගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ´´පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමය´´යි කියන්නේද,

4. ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. ´´පින්වත, ගන්ධාරී නම් විද්‍යාවක් ඇත්තේය. ගන්ධාර රට බොහෝ සෘෂිහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙක් විසින් කරන ලද විද්‍යාවක් ගන්ධාරී නම් විය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමේ නොයෙක් අයුරු ඇති සෘද්ධි වෙන් වෙන් කොට දක්වයි´´ කියාය.´´

´´කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ´´යි ඇසූ සේක. ´´ස්වාමිනි, කියන්නේය´´යි කීයේය.

´´කේවට්ටය, මම සෘද්ධි ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂ හොඳින් දන්නෙමි. සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි´´යි වදාළේය.

´´කේවට්ටය, ආදේශනා ප්‍රාතිහාර්යය කවරේද?´´

´´කේවට්ට, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ සිතේ මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ සිත මේ ආකාරද වෙයි. ඔබේ සිත මේ මේ දෙයක් සිතමින් පවතී යයි කියයි. ඒ භික්‍ෂුතෙම ප්‍රසන්නවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, ´´මේ භික්‍ෂුවක් මම දුටුවෙමි´´යි ඒ ශ්‍රද්ධාවන්තවූ ප්‍රසන්න තැනැත්තා ශ්‍රදධා නැත්තාවූ, අප්‍රසන්නවූ යම් කෙනෙකුට භික්‍ෂුහුගේ මහත් සෘද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, ඇත්තෙන්ම ඉතා පුදුමයකැයි කියන්නේද,

5. ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තා, මෙසේ කියන්නේය. ´´පින්වත, චින්තාමණී නම් විද්‍යාවක් ඇත්තේය. ඒ විද්‍යාවෙන් භික්‍ෂු තෙමේ අනුන්ගේ සිත දැන කියයි. ඔබේ සිත මෙසේ මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි.´´

´´කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ, නොපැහැදුනාවූ තැනැත්තේ, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන තැනැත්තාට මෙසේ කියන්නේදැ´´යි ඇසූ සේක. ´´ස්වාමිනි, කියන්නේය´´යි කීයේය.

´´කේවට්ටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂ හොඳින් දන්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසූචි මෙන් පිළිකුල් කරමි´´යි වදාළේය.

´´කේවට්ටය, අනුශාසනා ප්‍රාතිහාර්යය කවරේද?´´

´´කේවට්ටය, භික්‍ෂු තෙම මෙසේ අනුශාසනා කෙරෙයි. ´´මෙසේ කල්පනා කරවු, මෙසේ කල්පනා නොකරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ මෙනෙහි නොකරවු, මෙය දුරු කරවු, මීට පැමිණ වාසය කරවු´´ කියාය. මෙයද කේවට්ටය, අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යයි කියනු ලැබේ.´´

(42 පිටේ 28 ඡෙදයේ සිට 49 ඡෙදය දක්වා ´´මහරජ´´ වෙනුවට ´´කේවට්ටය´´ යොදන්න)

´´කේචට්ටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. දෙවැනි ධ්‍යානයටද තුන්වැනි ධ්‍යානයටද හතරවැනි ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කේවට්ටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ´´.

(53 පිටේ 53 ඡේදයේ සිට 59 ඡෙදය යෙදීමේදී ´මහරජ´ වෙනුවට ´කේවට්ටය´ද මෙයද මේ ආත්මයෙහිවූ ඵලයන්ට වඩා උතුම්වූද, බොටහා්සේ මිහිරිවූද, භික්‍ෂූන් විසින් ලැබිය යුතු ඵලයක් වෙයි´ වෙනුවට ´කේවට්ටය, මෙයද අනුශාසනා ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ´ යොදන්න)

´´මේ ප්‍රාතිහාර්ය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරන ලද්දාහුය´´.

6. ´´කේවටටය, පෙර වූ දෙයක් කියමි. මේ භික්‍ෂු සංඝයා අතුරෙහිමවූ එක්තරා භික්‍ෂුවක් හට මෙවැනි අදහසක් පහළ වූයේය. ´´පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදීන පරිදි විනාශ වන්නාහූදැ´´යි කියාය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම යම් ආකාරයකින් සිත එකඟවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද සෘධිවිධඥානය පහළ වන්නේද, එවැනි සමාධියකට සමවැදුනේය. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මේ කාරණය ඇසුයේය. ´´ඇවැත්නි, පඨවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නොපවතින පරිදි විනාශ වන්නාහූදැ´´යි කියාය. කේවට්ටය, මෙසේ කී කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මහණ, මේ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූ සතරවරම් රජ කෙනෙක් ඇත්තාහුය. මේ කාරණය, ඒ සතරවරම් මහ රජහූ දන්නාහුය´´. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සතරවරම් රජුහු වෙත පැමිණ ඒ සතරවරම් රජුගෙන්ද මේ කාරණය ඇසුවේය. කේවට්ටය, මෙසේ ඇසූ කල සතරවරම් රජහූ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මේ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූ තාවතිංස නම් දෙවිකෙනෙක් ඇත්තාහුය. මේ කාරණය, ඒ සතරවරම් මහ රජහූ දන්නාහුය´´.

කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම තව්තිසා වැසි දෙවියෝ වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල තව්තිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට ´´මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූද, දෙවියන්ට ප්‍රධානවූ ශක්‍ර නම් දෙවිකෙනෙක් ඇත්තේය. මේ කාරණය, දෙවියනට ප්‍රධානවූ ඒ ශක්‍ර නම් දෙවියා දන්නේය´´.

7. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්‍රදෙව් තෙම වෙත පැමිණ ඒ දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල ශක්‍ර දෙවියා ඒ භික්‍ෂුවට ´´මේ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද, ශරීර වර්ණය, පිරිවර ආදියෙන් ඉතා උතුම්වූද යාම නම් දෙවිකෙනෙක් ඇත්තාහුය. මේ කාරණය, ඒ යාමදෙවියෝ දන්නාහුය´´. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම යාම දෙවියෝ වෙත පැමිණ යාම දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල තව්තිසා වැසි දෙවියෝ ඒ භික්‍ෂුවට ´´මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද වර්ණය සම්පත් ආදියෙන් ඉතා උතුම්වූද සුයාම නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ දිව්‍යපුත්‍රයා මේ කාරණය දන්නේය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සුයාම නම් දිව්‍යපුත්‍රතෙම වෙත පැමිණ සුයාම දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. සුයාම දිව්‍යපුත්‍රයා මේ වචන කීයේය. ´´මේ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උතුම්වූද තුසිත නම් දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ තුසිත දෙවියෝ මේ කාරණය දන්නාහුය´´. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම තුසිත දෙවියෝ වෙත පැමිණ තුසිත දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. මේ ඇසූ කල තුසිත දෙවියෝ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මහණ, මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්තියෙන් යුක්තවූද වර්ණය සම්පත් ආදියෙන් ඉතා උතුම්වූද සන්තුෂිත නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ සන්තුෂිත දිව්‍යපුත්‍රයා මේ කාරණය දන්නේය´´.

8. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සන්තුෂිතදිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සන්තුෂිත දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල සන්තුෂිත දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට මේ වචන කීයේය. ´´මේ කාරණය මම නොදනිමි. මහණ, අපට වඩා ඉතා රූප සම්පත් ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උතුම්වූද නිම්මානරති නම් දෙවි කෙනෙක් ඇත්තාහ. මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම නිම්මානරති දෙවියන් වෙත පැමිණ, නිම්මානරති දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඒ දෙවියෝ ඒ භික්‍ෂුවට මේ වචන කීවෝය. ´´මහණ, අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උතුම්වූද සුනිම්මිත නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මේ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය´´.

9. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම සුනිම්මිත නම් දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, සුනිම්මිත දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල සුනිම්මිත දිව්‍යපුත්‍රයා, ´´මේ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත්තියෙන් උතුම්වූද පරනිම්මිත වසවත්ති නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම පරනිම්මිත වසවත්ති නම් දෙවියන් වෙත පැමිණ, පරනිම්මිත වසවත්ති නම් දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. කේවට්ටය, මෙසේ ඇසූ කල ඒ පරනිම්මිත වසවත්ති දෙවියෝ, ´´මහණ, මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන්ද, වර්ණ සම්පත් ආදියෙන්ද උතුම්වූ වසවත්ති නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. මේ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය´´.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වසවත්ති නම් දිව්‍යපුත්‍රයා වෙත පැමිණ, වසවත්ති නම් දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. මෙසේ ඇසූ කල ඒ වසවත්ති දිව්‍යපුත්‍රයා ඒ භික්‍ෂුවට, ´´මහණ, මේ කාරණය මමද නොදනිමි. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත්තියෙන් උතුම්වූද බ්‍රහ්මකායික නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය´´.

10. ´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂු තෙම යම්සේ සිත එකඟ වූ කල්හි බඹලොව යන මාර්ගය පහළ වූයේද, එබදූවූ සමාධියට සමවැදුනේය. කේවට්ටය, ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්ම කායික නම් දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ´´මේ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සමපත් ආදියෙන් යුක්තවූද, යස ඉසුරු ආදියෙන් උතුම්වූද, සියල්ලන් මැඩපවත්වා සිටියාවූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දන්නාවූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ

ලෝකයට අධිපතිවූ, ලෝකය සාදන්නාවූ, ලෝකය මවන්නාවූ, සත්වයන් කොටස් වලට බෙදන්නාවූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන් හට පියවූ මහාබ්‍රහ්මවූ බ්‍රහ්මයෙක් ඇත්තේය. මේ කාරණය ඔහු දන්නේය´´. ´´ඇවැත්නි, ඒ මහාබ්‍රහ්ම තෙම දැන් කොතනදැයි´´ ඇසුවේය. ´´මහණ, බ්‍රහ්මතෙම යම් තනෙකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යම් ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේ වුවත් යම්සේ (නිමිති) ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවේද යන මේ එක පූර්ව ලකුණක් මහාබ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය´´.

´´කේවට්ටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වේලාවකින්ම පහළවූයේය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේය.´´

11. ´´කේවට්ටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේය. මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානිඋා වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසඟයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොට්ඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි´´.

´´කේවට්ටය, දෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය.

´´ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ කියාය´´.

´´කේවට්ටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මතෙම ඉහතින් මෙන් ඔහු ගැනම කීවේය´´.

´´කේවට්ටය, තෙවනුවද ඒ භික්‍ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය.

´´ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ නොඅසමි. ඔබ බ්‍රහ්මයෙක් වූවෙහිද, මහාබ්‍රහ්මයෙක් වූවෙහිද, ලොවට ප්‍රධාන දෙවියා වූවෙහිද, ලෝකයට කර්තෘ වූවෙහිද, ලෝකයට උත්තම වූවෙහිද, සත්වයන් කොටස් වලට බෙදන්නෙක් වූවෙහිද, පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙක් වූවෙහිද, උපන්නාවුද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූවෙහිදැයි´´ (කියාය.)

´´ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ (කියාය.)

12. ´´කේවට්ටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්‍ෂුව අතින් අල්වාගෙන එක් පැත්තකට පමුණුවා, ඒ භික්‍ෂුවට මේ කාරණය කීයේය. ´´මහණ, මේ බ්‍රහ්ම කායික දෙවියෝ මා මෙසේ දනිත් – මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය, මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරනලද කිසිවකුත් නැත්තේයයි කියාය. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මේ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනෙක ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුද යන මේ කාරණය මමද නොදනිමි´´ (කියාය.)

´´මහණ, යම් හේතුවකින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මේ ප්‍රශ්නය විසඳීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද, මහණ, එබැවින් නුඹවහන්සේ විසින් මේ කරණය වරදවා කරන ලද්දේය, අපරාධයක් කරන ලද්දේය.මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මේ ප්‍රශ්නය ඇසුව මැනව. යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්‍රකාශ කරන සේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි´´ මහාබ්‍රහ්මතෙම කීයේය.

´´කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිගුකරන්නේ හෝ යම්සේද, දිගුකළ අතක් හකුළන්නේ යම්සේද, ඒ ආකාරයෙන් බ්‍රහ්ම ලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියේ පහළවූයේය. කේවට්ටය, එවිට ඒ භික්‍ෂුතෙම වැඳ එක් පැත්තක උන්නේය. ඒ භික්‍ෂුතෙම මා මෙසේ ප්‍රශ්න කළේය.´´

´´ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ කියාය.

13. ´´කේවට්ටය, මෙසේ ඇසූ කල මම ඒ භික්‍ෂුවට මේ කරණය කීවෙමි. ´´මහණ, පෙර පැවති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍රා කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිත්ද, ඔවුහු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නම් ඒ නැවටම ආපසු එයි. මහණ, එපරිද්දෙන්ම ඔබ යම් හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මේ ප්‍රශ්නය විසඳන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයේහිය. මහණ, ඒ ප්‍රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද? ´´ස්වාමීනි, පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදිනා පරිදි විනාශ වන්නාහුදැයි´´ (කියාය). මහණ, මේ ප්‍රශ්නය ඇසිය යුත්තේ මෙසේය. –

´´කුමකට පැමිණ කුමක් හේතුකොට ගෙන පස්, දිය, ගිනි, වායු යන සතර මහා භූතයෝ නොපිහිටත්ද හෙවත් පිහිටීම නොලබත්ද? කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහා භූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටුම නොලබාද? කවර තැනෙක කුමකට පැමිණ, නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද?´´ කියාය.

එහි විවරණය මෙසේ වෙයි.

´´නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම් කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ, පස්, දිය, ගිනි, වායු යන සතර මහා භූතයෝ පිහිටීම නොලබත්. මහා භූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරූද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාම රූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි´´.

භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක. සතුටු සිත් ඇති කේවට්ට නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සතුටින් පිළිගත්තේය.

කේවට්ට සූත්‍රය නිමි.

10. සුභ සූත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා නොබෝ කලක්වූ කල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ සැවැත් නුවර අසළ ජේතවනාරාමයෙහි වාසය කරයි. එකල තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ තරුණයා යම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කෙරෙයි.

2.එවිට සුභ තරුණයා එක්තරා තරුණයෙක් තමා ඉදිරියට කැඳවුයේය. ´´තරුණය, මෙහෙ එන්න, ඔබ ශ්‍රමණ ආනන්ද තෙරුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණෙව, මාගේ වචනයෙන් ශ්‍රමණ ආනන්ද තෙරුන් වහන්සේ දුකක් නැතිව, නිරෝගීව, සැහැල්ලු පැවතුම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසව්, මෙසේද කියව්. පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද අනුකම්පා කොට එතැනට පැමිණෙත් නම් ඉතා යහපත ´´ඒ තරුණයා, ඔහුට කීදේ කළේය.

3.ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඔහුට මෙසේ කීයේය.

´´තරුණය, මෙය කාලය නොවෙයි. මා විසින් අද සුලු බෙහෙතක් බොන ලද්දේය. පැමිණිය යුතු කල් වෙලා නුවණින් සලකාගෙණ හෙටවත් පැමිණෙම් නම් යහපතැ´´යි කීයේය.

4.එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඒ රාත්‍රිය පසුවී පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු පාත්‍රා ගෙණ පසු මහණවූ චෙතක නම්වූ භික්‍ෂුව හා සමග සුභතරුණයාගේ නිවසට පැමිණියේය.

පැමිණ පණවන ලද ආසනයෙහි වැඩ හුන්නේය. එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ආනන්ද තෙරුන් වහන්සේ වෙත පැමිණියේය. එසේම පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හා සමග සතුටු වූයේය. ඔහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේට මේ කාරණය කීයේය.

´´පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ ඒ භවත් ගෞතමයාණන් වහන්සේගේ දීර්ඝ කාලයක් මුලුල්ලේ ළඟ සිට උපස්ථාන කරන්නා වෙයි. කිට්ටුව හැසුරුණේ වෙයි. ඒ භවත් ගෞතම තෙම යම් ධර්ම පිළිබඳ ගුණ කියන ස්වභාව ඇති සේක්ද යම් ධර්මයක මේ ජනසමූහයා යෙදවූසේක්ද, තැන්පත් කරවූසේක්ද, පිහිටුවූසේක්දැයි, මේ කාරණය පින්වත්වූ ආනන්ද තෙරුන් වහන්සේ දන්නේය. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයාණන් වහන්සේ කවර ධර්ම පිළිබඳ ගුණ කියන ස්වභාව ඇතිවූයේද? කවර ධර්මයන්හි මේ ජනසමූහයා යෙදවූයේද, තැන්පත් කරවූයේද, පිහිට වූයේද?´´

5. තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාර ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇත්තේය. මොන ස්කන්ධයන්ගේද යතහොත්, උතුම් ශීලස්කන්ධයේද, උතුම් සමාධිස්කන්ධයේද, උතුම් ප්‍රඥාස්කන්ධයේද යන තුන් වැදෑරුම් ස්කන්ධයන්ගේය. එකල තරුණයා ඒ උතුම්වූ ශීලස්කන්ධය කවරේදැයි´´ ඇසුවේය.

( මෙහි 42 වෙනි පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 27 වෙනි ජේදයේ සිට 36 වෙනි ජේදය දක්වා යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´තරුණය´´ යොදන්න. )

6. ´´ඒ භාග්‍යවතුන් වහන්සේ යම් සීල සමූහයක ගුණ කියන ස්වභාව ඇතිවූයේද, යම් සීලයක මේ ජනසමූහයා යෙදෙව්වේද, තැන්පත් කරවූයේද, පිහිටුවූයේද, මේ ඒ උතුම් සීල සමූහයයි මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ වෙන දෙයක්ද ඇත්තේමය.´´

පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, පූදුමයක් වේ. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඉතා පුදුමයක් වේ. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඒ මේ උතුම්වූ සීල සමූහය සම්පූර්ණ වෙයි, අසම්පූර්ණ නොවෙයි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මෙසේ හාත්පසින් පිරුනාවූ උතුම්වූ සීල රාශියක් මේ බුද්ධශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙහි මම නොදැක්කෙමි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මෙසේ සම්පූර්ණවූ උසස් සීල සමූහයක් මේ බුද්ධශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තමන් තුළ දක්නාහු නම් ඔහු එපමණකින්ම සෑහීමට පැමිණෙයි. මෙපමණකින්ම කරණ ලද්දේය, අපට ශ්‍රමණභාවයේ අර්ථය පැමිණියේය. අප විසින් කටයුතු කිසිවක්ද නැත කියා එපමණකින්ම සතුටු සිත් ඇතිවන්නාහුය. නැවතද පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ කීයේය, ´´මෙහි මෙයින් මත්තෙහිද කටයුතුවූ අනිකෙක් ඇත්තේමය´´.

( පළමුවෙනි බණ වරයි )

7. ´´ පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයාණන් වහන්සේ යමකුගේ ගුණ කියන ස්වභාව ඇත්තේද, යම් දෙයක මේ ජනසමූහයා යෙදෙව්වේද, තැන්පත් කරවූයේද, පිහිටුවූයේද ඒ උතුම් සමාධි සමූහය කවරේද?´´

( මෙහි 43 වෙනි පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 37 ජේදයේ සිට 52 ජේදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´තරුණය´´ යොදන්න. ´´මේ ඵලය ඉහතකී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි. බොහෝ සේ ශ්‍රෙෂ්ඨයි´´ වෙනුවට ´´මේ ද ඒ භික්‍ෂුවගේ සමාධියකි´´ යොදන්න. )

´´ තරුණය, මෙයද ඒ භික්‍ෂුවගේ සමාධියකි.´´

8. ´´ තරුණය, භාග්‍යවතුන් වහන්සේ යම් සමාධි සමූහයක ගුණ කියනසේක්ද මේ වනාහි ඒ සමාධි සමූහයයි. මෙහි මේ ජනසමූහයා යෙදවූසේක, තැන්පත් කරවූසේක. මෙහි මෙයින් මත්තෙහි කටයුතු අනිකක්ද ඇත්තේය´´. ´´ පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, පුදුමයක් වේ. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මේ උතුම් සමාධි සමූහය සම්පූර්ණ වෙයි. අසම්පූර්ණ නොවෙයි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මෙසේ හාත්පසන් පිරුණාවූ උතුම් සමාධි සමූහයක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙහි මම නොදැක්කෙමි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මෙසේ සම්පූර්ණවූ උසස් සමාධි සමූහයක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් තමන් තුළ දක්නාහු නම් ඔහු ඒපමණකින්ම සෑහීමට පත්වෙයි. මෙපමණකින්ම කරණ ලද්දේය. අපට ශ්‍රමණ භාවයේ අර්ථය පැමිණියේය. අප විසින් කටයුතු කිසිවක් නැත කියා ඒපමණකින්ම සතුටු සිත් ඇතිවන්නාහුය. ඒසේ තිබියදීත් ආනන්ද තෙරුන් වහන්සේ මෙහි මෙයින් මත්තෙහි කටයුතු අනිකක් ඇත්තේයයිද කියත්. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රඥා සමූහයක ගුණ කියනසේක්ද මේ ජන සමූහයා පිහිටුවනසේක්ද, තැන්පත් කරණසේක්ද, ඒ උතුම් ප්‍රඥා සමූහය කවරේද?´´

( මෙහි 43 පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 53 වෙනි ජේදයේ සිට 59 වෙනි ජේදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´තරුණය´´ යොදන්න. ´´මේ පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් ඵලයෙකි´´ වෙනුවට ´´මෙයද භික්‍ෂුවගේ ප්‍රඥාවකි´´ යොදන්න.)

9. ´´ තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ප්‍රඥාවකගේ ගුණ කියන ස්වභාව ඇත්තේද, තරුණය, ඒ මේ උතුම්වූ ප්‍රඥා රාශිය වෙයි. මෙහිදමේ ජනසමූහයා යෙදවූයේය, තැන්පත් කරවූයේය, පිහිටුවූයේය, මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ අන් දෙයක්ද නැත්තේය´´යි කීයේය.

´´පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, පුදුමයි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, උතුම්වූ ප්‍රඥා රාශිය සම්පූර්ණවූයේ වෙයි. මෙසේ හාත්පසින් පිරුණාවූද, උතුම්වූ ප්‍රඥා රාශියක් මේ බුද්ධ ශාසනයෙන් පිටත අන්‍යවූ ශ්‍රමණ බ්‍රහ්මණයන් තුළ මම නොදැක්කෙමි. මෙහි මෙයින් මත්තෙහි කටයුතුවූ අන්‍ය දෙයක්ද නැත්තේමැයි. පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ධර්ම දේශනාව ඉතා යහපත්ය, පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය.´´

´´පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, මේ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, භික්‍ෂු සංඝයාද, සරණ කොට යෙමි. පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකැයි මා දරාගන්නා සේක්වා´´යයි තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා කීයේය.

( දසවෙනිවූ සුභ සූත්‍රය නිමියේය. )

9.පොට්ඨපාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වාසය කළ සේක. එකල්හි පොට්ඨපාද නම් පරිබ්‍රාජක තෙම ´´සමයප්පවාදක´´ නම්වූ රැස්වී කතා කරන ස්ථානයට (තිඹිරිගස් වලින් වටවූ) එකම ශාලාවක් වැනිවූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පරිබ්‍රාජකයන් ඇති මහත් පරිබ්‍රාජක පිරිස සමග වාසය කෙරෙයි.

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු හා පාත්‍රය ගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිටත්වූ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතක් පහළවිය. සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරීමට කල් වැඩිවෙයි. එබැවින් ඉඳින් මම මල්ලිකා ආරාමයෙහි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම වෙත එළඹෙන්නෙම් නම් ඉතා යහපතැයි, කියායි. එවිට භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා ආරාමයට පැමිණි සේක.

3. ඒ කාලයෙහිපොට්ඨපාද පරිබ්‍රාජක තෙම විශාල පරිබ්‍රාජක පිරිසක් සමග උස්මහත් හඬින්, මහත්සේ නාද කරමින් නොයෙක් පහත් කථා කරමින් සිටියහ.

4. පොට්ඨපාද පරිබ්‍රාජක තෙම එහි පැමිණෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේය. දැක ´´ස්වල්ප ශබ්ද ඇත්තෝ වව්, පින්වත්හු ශබ්ද නොකරව්, මේ ශ්‍රමණ ගෞතම තෙම එයි. ඒ ආයුෂ්මත් තෙම ශබ්දයට නොකැමැත්තේ ශබ්ද නොකිරීමෙහි ගුණ කියන ස්වභාවය ඇතිවූයේ වෙයි´´. මෙසේ කී කල්හි ඒ පරිබ්‍රාජකයෝ නිශ්ශබ්ද වූහ.

5. එවිට භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්‍රාජක තෙම වෙත පැමිණි සේක. එකල්හි පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැනුම් දුන්නේය.

´´ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස, මෙහි වඩිනා සේක්වා. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම යහපත්ය. භාග්‍යවතුන් වහන්සේගේ පැමිණීම අපට ප්‍රීතියකි. ස්වාමීණි, මෙහි යම් මේ පැමිණීමක් වීනම් මේ පැමිණීම භාග්‍යවත් තෙම බොහෝ කලකින් කළේය. ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස, වැඩ හිඳිනා සේක්වා. මේ ආසනය පනවන ලද්දේය´´ කියායි.

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේද එක් පහත් ආසනයක් ගෙන එක පැත්තක උන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය ඇසුවේය. ´´පොට්ඨපාදය, දැන් මෙහි කුමන කථාවකින් යුක්තව උන්නාහුද, කිනම් කථාවක්, කරමින් සිට අතරතුර නැවැත්තුවාහුද?´´

6. මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය. ´´ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව උන්නමෝද, ඒ කථාව තිබුණාවේ. ස්වාමීනි, මේ කථාව භාග්‍යවතුන් වහන්සේට පසුවත් අසන්නට අපහසු නොවේ. ස්වාමීනි, පසුගිය දවස්වල මෙතෙම කුමක් කියාදැ´´යි අසනු කැමති කථා පවත්නා බවෙින් කොතුහලක නම්වූ ශාලාවක රැස්ව උන්නාවූ නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් අතර ´´පින්වත, කෙසේ (සංඥා නිරොධය) හැඟම් නැතිවීම වේදැයි´´ සංඥා නිරොධ (හැඟීම නිරුද්ධවීම) පිළිබඳ කථාවක් පහළ ව්ය.

´´එහි සමහරු මෙසේ කීහු, ´´පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදින්නාහුද, බිඳීයන්නාහුද වෙත්.
යම් කලක හැඟීම් උපදින්නාහුද එකල හැඟීම් සහිත වේ. යම් කලක නූපදින්නාහුද එකල හැඟීම් නැත්තෙක් වේ යයි, සමහරු ප්‍රකාශ කෙරෙත්.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. ´´පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. පින්වත, හැඟීම් පුරුෂයාගේ ආත්මය වෙයි. ඒ හැඟීම් ඉවත්වන්නේද, පැමිණෙන්නේද වෙයි. යම් කලක හැඟීම් ඉවත්වන්නේද, එකල හැඟීම් නැත්තේ වෙයි. යම් කලක හැඟීම් පැම්ණෙන්නේද, එකල හැඟීම් ඇත්තේ වෙයි.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, මේ කාරණය වනාහි මෙසේ නොවන්නේය. මහත් සෘධි ඇති මහත් ආනුභාව ඇති මහණ බමුණෝ ඇත්තාහුය. ඒ මහණ බමුණෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතටද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත්ද එකල හැඟීම් ඇති වෙයි. යම් කලක ඉවතට අදිත්ද, එකල පුරුෂයා හැඟීම් රහිත වේය.

´´ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, මහත් සෘධි ඇත්තාවූ මහානුභාව ඇත්තාවූ දේවතාවෝ ඇත්තාහුය. ඒ දේවතාවෝ මේ පුරුෂයාගේ හැඟීම මේ පුරුෂයා වෙතට අදිත්. මේ පුරුෂයාගෙන් ඉවතටද අදිත්. යම් කලක පුරුෂයා වෙතට අදිත්ද එකල හැඟීම් ඇති වෙයි. යම් කලක ඉවතට අදිත්ද, එකල පුරුෂයා හැඟීම් රහිත වේ.´´

´´එකල්හි සුගතවූ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්හි ඉතා දක්‍ෂ නොවේදැ´´යි මට භාග්‍යවතුන් වහන්සේ මතක් විය.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හැඟීම් නිරොධය කිරීමෙන්ම දන්නා සේක. ස්වාමීනි, කෙසේ නම් හැඟීම් නිරොධය වේදැ´´යි ඇසුවේය.

7. ´´පොට්ඨපාදය, යම් ඒ මහණ බමුණෙක් පුරුෂයාගේ හැඟීම හේතුවක් ප්‍රත්‍යයක් නැතුව උපදිත්යයි, නිරුද්ධ වෙත් යයි කියත් නම් ඔවුන් විසින් පළමුකොට අපරාධයක් කරණ ලද්දේය. ඊට හේතු කවරේද? පොට්ඨපාදය, පුරුෂයාගේ හැඟීම් හේතු ප්‍රත්‍යය සහිතවම උපදින්නාහුද නවතින්නාහුද වෙත්. හික්මීමෙන් සමහර හැඟීම් උපදිත්. හික්මීමෙන් සමහර හැඟීම් නවතිත්.´´

´´හික්මීම කුමක්දැයි´´ ඇසුවේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කී සේක.

(මෙහි 42 වෙනි පිටේ සාමඤඤඵල සූත්‍රයේ 28 ඡෙදයේ සිට 52 ඡෙදය දක්වා ´´මහරජ´´ වෙනුවට ´´පොට්ඨපාදය´´ යොදන්න.

´´මේ ඵලය ඉහත කී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි. බොහෝ සේ ශ්‍රෙෂ්ඨයි´´ වෙනුවට ´´මෙයද ශික්‍ෂායයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක´´ යොදන්න.)

´´පොට්ඨපාදය, නැවතද භික්‍ෂුතෙම හැම ආකාරයෙන් රූප හැඟීම් දුරුවීමෙන් තරහ හැඟීම් දුරුවීමෙන් නොයෙක් හැඟීම් සිහි නොකිරීමෙන් ආකාශය නිමක් නැතැයි සිහිකිරීමෙන් ආකාසානඤ්වායතන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පෙර හැඟීමක් වී නම් ඒ හැඟීම නැති වෙයි. එකල (ආකාසානඤ්වායතන) නිමක් නැත් ආකාශයෙන් ලබන ධන්‍යයෙන් යුක්තවූ නොසියුම් කරුණු පහකිරීමෙන් සියුම්වූ හැඟීම් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැඟීමක් උපදී. සමහර හැඟීමක් නැතිවෙයි. මීට භාග්‍යවතුන් වහන්සේ හික්මීමය´´යි වදාළ සේක.

8. පොට්ඨපාදය, නැවතද, භික්‍ෂුතෙම හැම ආකාරයෙන්ම (ආකාසානඤ්වායතන) නිමක් නැති ආකාශය භාවනා කිරීමෙන් ලබන ලද ධ්‍යානය දුරුකොට එම (ආකාසානඤ්වායතන) හිත භාවනාකොට (විඤ්ඤාණඤ්වායතනය) නිමෙක් නැති විඤ්ඤාණය භාවනා කිරීමෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති ආකාසාණඤ්චායතනයන්ගේ යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් ඇතිවීද, ඒ හැගීම නැතිවෙයි. එකල විඤඤාණචඤායතනයන්ගේ යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් ඇතිවෙයි. එකල විඤ්ඤාණචඤායතන ධ්‍යාන සැපයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් ඇත්තෙක් වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැගීමක් උපදී. සමහර හැගීමක් නැතිවෙයි´´ මීටද භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි වදාළ සේක.

9.´´පොට්ඨපාදය, නැවත භික්‍ෂුතෙම හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය දුරුකොට කිසිවක් නැතැයි භාවනාකොට දැන ආකිඤ්ඤාණඤ්චායතන ඒ හිතේ කිසිවක් නැතැයි යන භාවනාවෙන් ලබන ධ්‍යානය උපදවා වාසය කෙරේද, ඔහුගේ යම් පළමු පැවති (විඤ්ඤාණඤ්චායතන) ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කොටස් (පහකිරීමෙන්) සියුම්වූ හැගීමක් ඇතිවීද, ඒ හැගීම් (නිරුඞ වෙයි) නැතිවෙයි, එකලආකිඤ්ඤාණඤ්චායතනයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීමක් වෙයි. එකල ආකිඤ්ඤාණඤ්චායතන ධ්‍යානයෙන් යුක්තවූ නොසියුම් කොටස් පහකිරීමෙන් සියුම්වූ හැගීම් ඇත්තේම වෙයි. මෙසේද හික්මීමෙන් සමහර හැගීමක් උපදී. සමහර හැගීමක් නැති වෙයි. මීටද භාග්‍යවතුන් වහන්සේ හික්මීමයයි වදාළ සේක.

10.´´පොට්ඨපාදය, යම් හේතුවකින් මේ ශාසනයෙහි භික්‍ෂුතෙම තමන්ගේ ප්‍රථම ධ්‍යාන හැගීමෙන් හැගීම් ඇත්තේවේද, ප්‍රථම ධ්‍යානයෙන් වෙන්වූ දෙවෙනිධ්‍යානයෙහිද එයින් වෙන්වූ තුන්වෙනි ධ්‍යානයෙහිදැයි මෙසේ ඒ ඒ ධ්‍යාන හැගීමෙන් හැගීම් ඇත්තේ වීද පිළිවෙළින් හැගීම් වල මුදුනට පැමිණෙයි. හැගීම් මුදුනෙහි සිටි ඔහුට මෙබදු සිතක් ඇති වෙයි. ´´ධ්‍යානයට සමවදින්නාවූ මාගේ සමවැදීම ලාමක වෙයි. සමනොවදින්නාවූ මාගේ ඒ සමනොවැදීම  උතුම් වෙයි. මම ධ්‍යානයට සමවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති උපදවන්නේ නම් මේ හැගීම් නවතින්නාහ. (විනාශ වන්නාහ) අන්‍යවූ (ඖදාරික භවාංඟ) හැගීම් උපදින්නාහුය. මම ධ්‍යානයට සමනොවදින්නෙම් නම් මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නේ නම් යහපතැයි´´ ඔහු සමනොවදී, මතු සමවැදීම පිණිස කැමති නූපදවන්නාවූ ඔහුගේ ඒ ධ්‍යාන හැගීම්ද නවතිත්, (විනාශ වෙත්) අන්‍යවූද ඖදාරික භවාංඟ හැගීම් නූපදිත්. මෙසේ පිළිපදින්නාවූ භික්‍ෂුතෙම හැගීමෙන් දත යුතුවූ හැගීම් නිරොධය ලබයි.

´´පොට්ඨපාදය, මෙසේ නුවණ ඇති භික්‍ෂුහුගේ පිළිවෙළින් හැගීම (සිත) නිරුඞ කරන්නාවූ සමාපත්තිය වෙයි´´ වදාළ සේක.

11.´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නෙහිද? කිමෙක්ද? ඔබ විසින් මීට පෙර මෙබඳුවූ නුවණැති භික්‍ෂුහුගේ පිළිවෙළින් හැගීම් නැතිවීමෙහි සමාපත්තියක් ඇසුවේදැ´´යි විචාළ සේක. ´´ස්වාමීනි, නොඇසුවෙමි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ එකම ආකිඤ්ඤාණඤ්චායතන හැගීම් අතුරෙන් කෙළවරට ගිය හැගීමයයි යම් හැගීම් පණවන සේක්ද, නොහොත් වෙනත් සමාපත්තීන්හි බොහෝවූ මුදුන් පැමිණි හැගීම් පණවනසේක්දැ´´යි ඇසුවේය.

´´පොට්ඨපාදය, මම මුදුන් පැමිණි හැගීම් එකක්ද පණවමි බොහෝවූ මුදුන් පැමිණි හැගීම්ද පණවමියි´´ වදාළ සේක.

´´ස්වාමීනි, භාග්‍යවත් තෙමෙ කෙසේ එය පණවන සේක්දැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, පෘථිවි කසිණාදීන් අතුරෙන් යම් යම් කසිණයකින් හෝ ප්‍රථම ධ්‍යානාදීන් අතුරෙන් යම් යම් ධ්‍යානයකින් හෝ චිත්ත චෛතසිකයන්ගේ නැවතීමට පැමිණේද, ඒ ඒ කසිණයකින් හෝ ඒ ඒ ධ්‍යානයකින්මම මුදුන් පැමිණි හැගීම් පණවමි. පොට්ඨපාදය, මම එසේ එක් මුදුන්පත් හැගීමක්ද බෝහෝවූ මුදුන්පත් හැගීම්ද පණවමියි´´ වදාළ සේක.

12.´´ස්වාමීනි, චිත්ත චෛතසික නවත්වා එයින් නැගිටින භික්‍ෂුවට අරහත්ඵල සිත පළමුව උපදීද, පසුව ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීද, නොහොත් අරහත්ඵල සිත හා ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය එකවිට උපදීදැයි´´ විචාළේය.

´´පොට්ඨපාදය, අරහත්ඵල සිත පළමුව උපදියි. ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය පසුව උපදියි. අරහත්ඵල සිත ඉපදීමෙන් පසු ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීම වෙයි. අරහත්ඵල සමාධි සිත හෙතුකොට ගෙන මාගේ ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදින්නෙයයි ඒ භික්‍ෂුතෙම දනියි. අරහත්ඵල සමාධි හැගීම් ඉපදීමෙන් ප්‍රත්‍යවෙක්‍ෂා ඥානය උපදීම වෙයි. මෙසේ මෙසේ මේ ක්‍රමයෙන් මෙය දත යුතුයයි´´ වදාළ සේක.

13.´´ස්වාමීනි, හැගීම් පුරුෂයාගේ ආත්ම වේද නොහොත් හැගීම් අනිකක් වේද, ආත්මය අනිකක් වේදැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, නුඹ කුමක් නම් ආත්මයයි සළකන්නේහිදැයි?´´ ඇසුසේක.

´´ස්වාමීනි, මම මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ මේ කය ආත්මයයයි සලකමි´´යි කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කල නුඹට හැගීම අනිකක් වන්නීය. ආත්මය අනිකක් වන්නේය. ´´පොට්ඨපාදය, යම්සේ හැගීම් අනිකක් වන්නීද, ආත්මය අනිකක් වන්නේද මේ ක්‍රමයෙන් ඒ මේ කාරණය දැනගත යුතුයි. පොට්ඨපාදය, මේ මහත්වූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ ආහාර ගන්නාවූ ඒ මේ ආත්මය නවතීවා.

´´එසේ කල මේ පුරුෂයාට වෙනත් හැගීම් උපදිත්, වෙනත් හැගීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැගීම් අනිකක්ම වන්නීද, ආත්මය අනිකක්ම වන්නේද, මෙසේ මේ ක්‍රමයෙන් මේ කාරණය දත යුතුයයි´´ වදාළ සේක.

14.´´ස්වාමීනි, මම ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුන්ගෙන් නොපිරිහුනාවූ හිතෙන් හටගත් දෙයකැයි දැන ගතිමියි´´ කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කලත් ඔබට හැගීම අනිකක් වන්නීය ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැගීම් අනිකෙක්ම වන්නීද, ආත්මය අනිකෙක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැනගත යුතුය. පොට්ඨපාදය, ඒ මේ ආත්මය සියලු අංග කොටස් ඇත්තාවූ ඉඳුරන්ගෙන් නොපිරිහුනාවූ හිතින් කරන ලද්දේය යනු තිබුනාවේ. එකල මේ පුරුෂයා හට අන්‍යවූ හැගීම් උපදිත්, අන්‍යවූ හැගීම් නැතිවෙත්ය´´යි වදාළ සේක.

15.´´ස්වාමීනි, මම ආත්මය රූපයක් නැති හැගීමයයි දනිමි´´යි කීයේය.

´´පොට්ඨපාදය, එසේ ඇති කලද ඔබට හැගීම අනිකක් වන්නීය, ආත්මය අනිකක් වන්නේය. පොට්ඨපාදය, යම්සේ හැගීම අනිකක්ම වන්නීද, ආත්මය අනිකක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද, ඒ මේ කාරණය දත යුතුය. පොට්ඨපාදය, ආත්ම රූප නැති හැගීම්ය යනු තිබුනාවේ. එසේ ඇති කල මේ පුරුෂයාට අන්‍යවූ හැගීම් උපදිත්, අන්‍යවූ හැගීම් නැතිවෙත්. පොට්ඨපාදය, යම්සේ හැගීම අනිකෙක්ම වන්නීද, ආත්මය අනිකෙක්ම වන්නේද මෙසේ මේ ක්‍රමයෙන්ද ඒ මේ කාරණය දැනගත යුතුයයි´´ වදාළ සේක.

16.´´ස්වාමීනි, හැගීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැගීම අනිකක්මය, ආත්මය අනිකක්දැයි කියා හෝ මා විසින් දැනගත හැක්කේදැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, ඔබ විසින් හැගීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැගීම අනිකෙකආත්මය අනිකක්දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේ යයි´´ වදාළසේක.

17.´´ස්වාමීනි, හැගීම පුරුෂයාගේ ආත්මයදැයි කියා හෝ හැගීම අනිකෙක ආත්මය අනිකක්දැයි කියා හෝ මේ කාරණය දැනගනු නොහැක්කේ වේ නම්, කිමෙක්ද ස්වාමීනි, ලෝකය සදාකාලික යන මේ කීමම සත්‍යද සදාකාලික නොවේයයි යන අනික් කීම අසත්‍යදැ´´යි ඇසුවේය.

´´පොට්ඨපාදය, ලෝකය සදාකාලික යන මේ කීමම සත්‍යය දාකාලික නොවේයයි යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය සදාකාලික ලෝකය සදාකාලික නොවේයයි යන මේ කීමම සත්‍යය, සදාකාලිකය යන අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය කෙළවරක් ඇත්තේය. යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, ලෝකය කෙළවරක් නැත්තේය යන මේ කීම සත්‍යය, කෙළවරක් නැත්තේය යන අනික් කීම අසත්‍යයයි මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´.

´´පොට්ඨපාදය, සත්වයා මරණින් මතු උපදින්නේ නොවෙයි, නූපදින්නේ නොවෙයි යන මේ කීමම සත,්‍යය, අනික් කීම අසත්‍යය යන මේද මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´ යයි වදාළසේක.

18.´´ස්වාමීනි, කවර කාරණයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් මේකාරණය ප්‍රකාශ නොකළසේක්දැයි´´ ඇසුවේය.

´´පොට්ඨපාදය, මේ ලෝකය සදාකාලිකය යන (දැක්ම) ඇදහීම තමාට හෝ අනුන්ට යහපත් සහිත නොවෙයි. ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීමේ සුලු කොටසක්වත් නොවෙයි, සංසාරයෙහි කලකිරීම පිණිස නොවෙයි, නොඇලීම පිණිස නොවෙයි, නිදහස්වීම පිණිස නොවෙයි, සංසිදුවීම පිණිස නොවෙයි, විශේෂයෙන් දැන ගැනීම පිණිස නොවෙයි, අවබෝධය පිණිස නොවෙයි, නිවන් අත්කර ගැනීම පිණිස නොවෙයි, එබැවින් ඒ මා විසින් ප්‍රකාශ නොකරණ ලද්දේය´´යි වදාළසේක.

19.´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කූමක් ප්‍රකාශ කරණ ලද්දේදැ´´යි විචාළසේක.

´´පොට්ඨපාදය, මා විසින් දුක මේයයි දුක් ඇතිවීමට හේතු මේයයි දුක් නැතිකිරීම මේයයි දුක් නැතිකිරීමට පමුණුවන්නාවූ පිළිපැදීම (මාර්ගය) මේයයි ප්‍රකාශ කරණ ලද්දේය´´යි වදාළසේක.

20.´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුමක් නිසා ප්‍රකාශ කරණ ලද්දේදැ´´යි ඇසුවේය.

´´මෙය තමන්ට යහපත සහිත වෙයි. ලෝකයෙන් එතෙර වන ධර්ම නවය සහිත වෙයි ශාසනයේ උතුම් හැසිරීමේ (බ්‍රහ්මචර්යාවේ) උසස් සීල අනුව හැසිරීම වෙයි, සංසාරයට කලකිරීම පිණිස පවතියි, එහි නොඇලීම නිදහස්වීම, සංසිදුවීම, විශේෂයෙන් දැන ගැනීම, අවබෝධය, නිවන් අත්කර ගැනීම පිණිස පවතී එබැවින් මා විසින් මෙය ප්‍රකාශ කරණ ලද්දේය´´යි වදාළසේක.

´´භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය, සුගතයන් වහන්ස, ඒ එසේය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට කැමැත්තේ නම් දැන් ඊට කාලයයි´´ කීයේය.

එවිට භාග්‍යවතුන් වහන්සේ හුන් ආසනයෙන් නැගිට වැඩිසේක.

21.එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමවා නොබෝ කලකින් ඒ පරිබ්‍රාජකයෝ පොට්ඨපාද පරිබ්‍රාජකයාට වචන නැමැති කෙවිටිවලින් ඇන්නෝය.

පොට්ඨපාද පරිබ්‍රාජක තෙම ඒ පරිබ්‍රාජකයන්ට මේ කාරණය දැන්වීය.

´´පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ ඒකාන්තකොට දේශනා කරණ ලද්දාවූ කිසි ධර්මයක් මමද නොදනිමි, එසේ වුවත් ශ්‍රමණ ගෞතම තෙම ස්වභාවයෙන් පැහැදිලිවූද, සත්‍යවූද, ලෝකයෙන් එතෙරවන ධර්ම නවයෙහි (නව ලෝකොත්තර ධර්මයෙහි) පිහිටියාවූද ස්ථිරවූ මාර්ගයක් පණවයි. ස්වභාවයෙන් පැහැදිලිවූ සත්‍යවූ ලෝකයෙන් එතෙරවූ ධර්මහි පිහිටියාවූ ස්ථිරවූ මාර්ගයක් පණවන්නාවූ

ශ්‍රමණ ගෞතමයන් විසින් යහපත පිණිස කියනලද ධර්මය මා වැනි නුවණැත්තෙක් යහපත පිණිස කියනලදක් වශයෙන් කෙසේ නම් සතුටු නොවෙම්දැයි´´ කීයේය.

22.එවිට දෙතුන් දවසක් පසුවූ කල ඇතුන බලනනා ගේ පුත්‍රවූ චිත්‍රද පාට්ඨපාද පරිබ්‍රාජකයාද භාග්‍යවතුන් වහන්සේ වේත් පැමිණ, චිත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පැත්තකටවී උන්නේය. පාට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කතාව කොට එක පැත්තකටවී උන්නාවූ පාට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීවේය.

´´ස්වාමීනි එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් ඒ පරිබ්‍රාජකයෝ මට වචන නමැති කෙවිටි වලින් ඇන්නෝය´´.

´´පොට්ඨපාදය, මේ සියලු පරිබ්‍රාජකයෝ නුවණ ඇස් නැති අන්ඳයෝය. එහෙයින් ඇස් නැත්තෝය. ඔවුන් අතුරෙන් ඔබම (සුභාෂිතය) යහපත පිණිස කියන ලද්ද, (දුර්භාෂිතය) යහපත පිණිස නොවන කියමන දන්නාවූ එකම ඇස් ඇත්තෙහිය. පොට්ඨපාදය, මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා කරණ ලද්දාවූ පණවන ලද්දාවූ ධර්මයෝදවෙත්. මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරණ ලද්දාවූ නොපණවන ලද්දාවූ ධර්මයෝදවෙත්.

´´පොට්ඨපාදය, කවර කාරණයකින් ඒ ධර්මය මා විසින් ඒකාන්තකොට (ස්ථිරව) දේශනා නොකරණ ලද්දේද නොපණවන ලද්දේද, පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේ යහපත උදෙසා හෝ අනුන්ගේ යහපත උදෙසා යුක්ත නොවෙත්. උසස් හැසිරීමෙන් යුක්ත නොවෙත් සංසාරයට කලකිරීම, එහි නොඇල්ම, එයින් නිදහස් වීම, එය සංසිදුවීම, පැහැදිළි කරගැනීම අවබෝධ කරගැනීම පිණිස නොවෙත්. නිවන් ලැබීම පිණිස නොවෙත් එබැවින් මා විසින් ඒ ධර්ම ඒකාන්ත (ස්ථිර) කොට දේශනා නොකලාවූ නොපණවන ලද්දාහු වෙත්.

´´පොට්ඨපාදය, මා විසින් දුක මෙයයි ස්ථිර කොට ධර්මය දේශනා කරණ ලද්දේ පණවන ලද්දේ වෙයි. දුක හට ගැනීම මෙයයි, දුක නැති කිරීම මෙයයි, දුක් නැති කිරීම, දුක් නැති කිරීමේ පළිපැදීම මෙයයි ස්ථිර කොට මා විසින් ධර්මය දේශනා කරණ ලද්දේ පණවන ලද්දේ වෙයි.

´´පොට්ඨපාදය, මේ ධර්ම තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස වෙත් මේ ධර්ම උතුම් ධර්මයෙන් යුක්ත වෙත්. මේ (බ්‍රහ්මචර්යාව) යතුම හැසිරීමෙන් යුක්ත වෙත්. මේ සංසාරයෙහි කලකිරීම පිණිසද, නොඇල්ම පිණිසද, සංසිඳීම පිණිසද,විශේෂයෙන් දැනගැනීම පිණිසද,අවබෝධය පිණිසද, නිවන් ලැබීම පිණිසද, පවතිත්. පොට්ඨපාදය, එබැවින් මාවිසින් ඒ ධර්ම ස්ථිරකොට දේශනාකරණ ලද්දාහු පණවනලද්දාහු වෙත්.

23.´´පොට්ඨපාදය, ආත්මය වෙනස් නොව සදාකාලිකවූ සැප ඇති, මරණින් මතු සදාකාලිකවේය යන මත ඇති සමහර මහණ බමුණෝ වෙත්. මම ඔවුන් වෙතපැමිණ මෙසේ කියමි. ´´ආයුෂ්මතුනි, ඔබලා ඇත්තෙන්ම සැප ඇති ලෝකය නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර ආදී දිසාවන්හි හෝ වේ දැයි දන්නාහු දක්නාහු වෙසෙත් දැයි මෙසේ අසන ලද්දාහු ´´නොදක්නෙමු´´ යයි කියත් ඔවුන්ට මම මෙසේ කියමි ආයුෂ්මතුනි, එක් රැයක් මුලුල්ලේ හෝ එක් දවාලක් මුලුල්ලේ හෝ රෑ භාගයක් මුලුල්ලේ හෝ එක් දවල් භාගයක් මුලුල්ලේ හෝ ඒකාන්ත සැප ඇති ආත්මයක් ඔබලා දනිව් දැයි මෙසේ අසන ලද්දාහු ´´නොදනිමු යයි කියත්ද ඔවුන්ට මම මෙසේ කියමි ´´ආයුෂ්මතුනි, කිමෙක්ද? ඒකාන්ත සැප ඇති ලෝකය අවබෝධ කරගැනීමට මාර්ගය මේය, පැවතුම් පිළිවෙල මේයයි ඔබලා දනිත් දැයි ´´ මෙසේ අසන ලද්දෝ ´´නොදනිමුයයි´´ කියත්. ඔවුන්ට මම මෙසේ කියමි ´´ආයුෂ්මතුනි, යම් ඒ දෙවතාවෝ ඒකාන්ත සැප ඇති ලෝකයෙහි උපන්නාහු දුක් නැත්තානනි, ඒකාන්ත සැප ඇති ලෝකය අවබෝධ කරණු පිණිස පිළපදින්නාහුවව්, අවංක පිළපදින්නාහුවව්, දුක් නැත්තානනි, අපි එසේ පිළපදින්නාහු ඒකාන්ත සැප ඇති ලෝකයෙහි උපන්නෙමුයයි කියන්නාවූ ඒ දෙවතාවන්ගේ ශබ්දය අසව් දැයි´´ මෙසේ අසන ලද්දාවූ ´´ඒ ශබ්දයක් නොඇසූවෙමු´´ යයි කියත්.

24.´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේද? මෙසේ ඇති කල ඒ මහණ බමුණෝ නැතැයි කීමෙන් උත්තර නැති බවට පැමිණෙන්නෝ නොවෙත්දැයි´´ ඇසූ සේක.

´´ස්වාමීනි, එසේවූ කල ඒ බමුණන්ගේ නැතැයි කීමේන් උත්තර නැති බවට ඒකාන්තයෙන් පැමිණෙත්මය´´යි කීයේය.

´´පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් මෙසේ කියන්නෙද, මේ ජනපදයෙහි යම් ස්ත්‍රියක් ඉතා රූප ලක්‍ෂණ වේද මම ඈ ඕනෑ කරමි, කැමති වෙමි´´යි ඔහුට මෙසේ කියන්නාහුය. ´´ඔබ කියන ලද ඔතා ලක්‍ෂණ ඇති ඒ ජනපද කළ්‍යාණිය ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බමුණු කුලයෙහි හෝ වෙළඳ කුලයෙහි හෝ ක්‍ෂුද්‍ර කුලයෙහි හෝ කියා දන්නේදැයි´´ ඇසූ කල ඔහු ´´නොදනිමි´´ කියයි. ඒ මේ පුරුෂයාහට මෙසේ කියන්නාහු, ´´පුරුෂය, ඒ ජනපද කළ්‍යාණි මේ නම් ඇත්තීය, මේ ගෝත්‍ර ඇත්තීය කියා හෝ උස් හෝ මිටිය හෝ මධ්‍යමය කියා හෝ කලුය හෝ රන්වන්ය හෝ දුඹුරුවන්ය හෝ නියම් ගමෙහි හෝ නුවරෙහි හෝ කියා දනනෙහිදැ´´යි මෙසේ අසන ලද්දේ ´´නොදනිමි´´යි කියන්නේය. ඒ මේ අයට මෙසේ කියන්නාහුය. ´´පුරුෂය, ඔබ යම් ස්ත්‍රියක් නොදනනෙහිදැ´´යි මෙසේ ඇසූ කල ´´එසේය´´යි කියන්නේය.පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේද? මෙසේ ඇති කල ඒ පුරුෂයාගෙ කීම උත්තර නැති බවට පැමිණෙ නොවේදැයි´´ ඇසූ සේක.

´´ස්වාමීනි, එසේ ඇති කල ඒ පුරුෂයාගෙ කීම ඇත්තෙන්ම උත්තර නැති බවට පැමිණේමය´´යි කීයේය.

25.´´පොට්ඨපාදය, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම භාවයක් ලැබීම් තුනක්

ඤෆු ්‍ර16රැ%

වෙත්. රූප සහිතවූ සතර මහා භූතයන්ගෙන් උපන්නාවූ කන බොන ආහාර ගන්නාවූ ආත්මයක් ලැබීමත් වේද, මෙය කාම භාවයෙහි ආත්ම ලැබීම වේ. රූපීවූ සිතින් උපන්නාවූ සියලු අංග කොටස් ඇත්තාවූ යම් ආත්මයක් ලැබීමක් වේද, මෙය රූපභවයෙහි ආත්ම ලැබීම වෙයි. අරූපීවූ හැගීමෙන් උපන්නාවූ ආත්ම ලැබීමක් වේද. මෙය අරූපවූ ආත්ම ලැබීමක් වේද. මෙය අරූපවූ ඇත්ම ලැබීමවේ.

26.´´පොට්ඨපාදය, මම කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම භාවයක් ලැබීම් නැති කිරීම පිණිස ධර්ම දේශනා කරමි. යම් පිළිපැද්දාවූ තොපගේ ක්ලේශ ධර්ම පහවන්නාහුද ශමත විදර්ශනා ධ්‍යාන නම් සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන පැමිණ අවබෝධකොට වාසය කරන්නාහුයයි, පොට්ඨපාදය, ක්ලේශ සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්මයෝ වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහි තමන්ම උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරන්නේද ඔහුගේ වාසය කිරීම දුක්යයි ඔබට මෙබදු කල්පනාවක් වන්නේද, මේ කාරණය එසේ නොදත යුතුය. ක්ලේස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥාවන්ගේ වැඩීමද මහත් භාවයද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරන්නේ නම් මහත් සන්තෝසයද ප්‍රීතියද සිත හා ශරීරයේ සංසිදීමද යහපත්ව පිහිටි සිහියද සියලු වාසය කිරීම් අතුරෙන් සැපවූ වාසය කිරීමක්ද වන්නේය.

27.´´පොට්ඨපාදය, යම්සේ පිළිපදිනනාවූ ඔබගේ ක්ලේස් සහිත ධර්ම පහවන්නාහුද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥා වැඩීමද මේ ආත්මයෙහි තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරන්නේ වේද මම රූප භවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස ධර්ම දේශනා කරමි.

28.´´පොට්ඨපාදය, ´´යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූද සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගපල ප්‍රඥා පිරීමද මහත් භාවයද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්´´ යයි යම් කාම භවයෙහි ආත්ම ලැබීම පහකිරීමඔබ වහන්සේ ධර්ම දේශනා කරණ සේක්ද, ඇවැත්නි, කාම භවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම ලැබීම කවරේදැයි´´ ඉදින් අන්‍යයෝ අපගෙන් මෙසේ අසනකල එසේ අසන ලද්දාවූ අපි ´´යම්සේ පිළිපදින්නාව ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාවූ, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාවූද මාර්ගපල ප්‍රඥා පිරීමද, මහත් භාවයද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට ඊට පැමිණ වාසය කරව්යයි මෙසේ කාම භවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි ආත්ම ලැබීම පහකිරීම පිණිස අපි ධර්ම දේශනා කරමුද, ´´ඇවැත්නි, ඒ ආත්ම ලැබීම මේ හෝ වේයයි´´ ප්‍රකාශ කරන්නෙමු.

´´පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේ ඇති කල මා දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණෙන්නේ නොවේදැයි´´ කීසේක.

´´ස්වාමීනි, එසේ ඇති කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට පැමිණේමයයි කීයේය.

29.´´පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ප්‍රසාදයකට නගිනු පිණිස ඒ ප්‍රසාදය යට ඉණිමගක් කරනනේය ඒ මේ පුරුෂයාහට ´´පුරුෂය, ඔබ යම් ප්‍රසාදයකට නගිනු පිණිස ඉණිමගක කරන්නේහිද, ඒ ප්‍රසාදය උසද මිටිද මධ්‍යමද දන්නේහිදැයි´´ අසන ලද්දේ ´´දනිමි´´ කියන්නාහුද, ´´ඇවැත්නි, යම් ප්‍රසාදයකට නගිනු පිණිස ඒ ප්‍රසාදයෙහිම යට ඉණිමගක් කෙරෙම්ද ඒ මේ ප්‍රආදයයි´´ ඉඳින් ඔහු මෙසේ කියනනේද, පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ නොවේදැ´´යි ඇසුවේය.

´´ස්වාමිනී, මෙසේ ඇති කල ඒ පුරුෂයාගේ කීම උත්තර සහිත බවට පැමිණේ මයයි´´ කීයේය.

30.´´පොට්ඨපාදය, එසේම ඉඳින් අපේන් මෙසේ අසන්නාහුද, ´´ඇවැත්නි, යම්සේ පිළිපදින්නාවූ ඔබගේ සිත කිලිටු කරන්නාවූ ධර්ම පහවන්නාහුද, මාර්ගපල මාර්ගපල ප්‍රඥාවන්ගේ පිරීමද මහත් බවද, මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධකොට පැමිණ වාසය කරව්යයි ඔබවහන්සේ යම් ආත්ම ලැබීමක් පහකිරීම පිණිස ධර්ම දේශනා කරණසේක්ද, ඇවැත්නි, ඒ කාම භවයෙහි රූප භවයෙහි, අරූප භවයෙහි ආත්ම ලැබීම කවරේදැ? එසේ අසන ලද්දාවූ අපි යම්සේ පිළිපදින්නාවූ ඔබගේ කෙලෙස් සහිත ධර්ම පහවන්නාහුද, සිත පිරිසිදු කරන්නාවූ ධර්ම වැඩෙන්නාහුද මාර්ගපල ප්‍රඥා පිරීමද මහත් බවද මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කරව්යයි යම් කාමභවයෙක්හි රූපභවයෙක්හි අරූපභවයෙක්හි ආත්ම ලැබීමක් දුරුකිරීම පිණිස අපි ධර්ම දේශනා කරමුද, ඇවැත්නි, ඒ කාමභවයෙහි රූප භවහෙි අරූප භවයෙහි ආත්මලැබීම මේයයි ඔවුන්ට අපි ප්‍රකාශ කරන්නෙමු. පොට්ඨපාදය, ඒ කුමකැයි සිතන්නේහිද? එසේවූ මා දෙසූ ධර්මය උත්තර සහිත බවටපැමිණෙන්නේ නොවේදැයි´´ ඇසූ සේක.

´´ස්වාමිනී, එසේවූ කල ඔබ වහන්සේ දෙසූ ධර්මය උත්තර සහිත බවට ඒකාන්තයෙන්ම පැමිණෙන්නේයයි´´ කීයේය.

31.මෙසේ කී කල ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද එකල ඔහුට රූපභවයෙහි හෝ අරූපභවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි´´. ´´ස්වාමිනී, යම් කලක රූපභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවයෙහි හෝ අරූපවූ ආත්ම ලැබීමක් නැත්තේය. ස්වාමිනී, යම් කලක අරූපවූ ආත්ම ලැබීමක් වේද, එකල මොහුට කාමභවයෙහි හෝ රූප භවයෙහි ආත්ම ලැබීමක් නැත්තේ වෙයි.´´

32.´´චිත්‍රය, යම් කලෙක කාමභවයෙහි ආත්ම ලැබීකම් වේද, එකල රූපභවයෙහි හෝ අරූපවූ ආත්මභාව ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, යම් කලක රූප භවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි හෝ අරූප ආත්ම ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, යම් කලක අරූපවූ ආත්ම ලැබීමක් වේද, එකල කාමභවයෙහි හෝ රූපභවයෙහි ආත්මක් ලැබීම යන කොටසට නොපැමිණෙයි. චිත්‍රය, ඉදින් ඔබගෙන් මෙසේ අසන්නාහු නම් ඔබ අතීත කාලයේ වූයෙහිද නුවූයේ නොවෙහිද, ඔබ මතු කාලයෙහි නොවන්නෙහිද, ඔබ නොවෙන්නේ නොවෙන්නෙහිද, ඔබ දැන් ඇත්තෙහිද, නැත්තේ නොවෙහිදැ´´යි චිත්‍රය,මෙසේ අසන ලද්දාවූ ඔබ කුමකැයි ප්‍රකාශ කරන්නෙහිද?´´

´´ස්වාමිනී, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි. ´´මම අතීත කාලයෙහි වීමි. මම නුවූයේ නොවෙමි. මම අනාගතයෙහි වන්නෙමි. මම නොවන්නේ නොවෙමි. මම දැන් ඇත්තේ වෙමි. මම නත්තේ නොවෙමි.´´

33.´´චිත්‍රය, ඔබගෙන් මෙසේ අසන්නාහු නම්, ´´ඔබගේ යම් අතීත ආත්මයක් ලැබීමක් වූයේද එයම ඔබට ඇත්තේ නොවේද? එකල අනාගත ආත්මය නැත්තේ නොවේද, වර්තමාන (දැන්පවත්නා) ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් අනාගත ආත්මයක් වන්නේ නම්, එයම ඔබට ඇත්තේ නොවේද? අතීත ආත්මය නැත්තේ නොවේද? වර්තමාන ආත්මය නැත්තේ නොවේද? ඔබගේ යම් වර්තමාන ආත්මයක් වේද? එයම ඔබ ඇත්තේ නොවේද? අතීත ආත්මයක් නැත්තේ නොවේද? අනාගත ආත්මයක් නැත්තේ නොවෙදැ´´යි ඇසීය.

´´ස්වාමිනී, එසේ අසන ලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි, ´´මාගේමේ අතීතවූ ආත්මය ලැබීමක් වීද, මාගේ ඒ ආත්මය ලැබීම ඒ කාලයෙහි ඇත්තේම විය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීමක් නොවන්නේය. දැන් කාලය ඒ ආත්මය ලැබී නැත්තේය. මාගේ යම් අනාගතවූ ආත්ම ලැබීමක් වන්නේද, ඒ මාගේ අනාගත ආත්මය ඒ කාලයේ වන්නේය. අතීතයෙහි ඒ අනාගත ආත්ම ලැබීම නැත්තේය. දැන් කාලයෙහිද ඒ ආත්මය ලැබීම නැත්තේය. මගේ යම් දැන් මේ කාලයේ ආත්ම ලැබීමක් වේද, ඒ මාගේ ආත්ම ලැබීම දැන් මේ කාලයෙහිවේ. අතීතයෙහි ඒ ආත්ම ලැබීම නැත්තේය. අනාගතයෙහි ඒ ආත්මය ලැබීම නොවන්නේයයි,´´ ස්වාමිනී, මෙසේ අසනලද්දාවූ මම මෙසේ ප්‍රකාශ කරන්නෙමි´´යි කියේය.

34.´´චිත්‍රය, එසේම යම් කලක කාම භවයෙහි ආත්ම ලැබීමක් වේද එකල රූපයෙහි ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි, අරූපවූ ආත්ම ලැබීම නොවෙයි යන කොටසට පැමිණෙයි. එකල කාමභවයෙහි ආත්ම ලැබීම යන කොටසට පැමිණෙයි. එසේම රූප භවයෙහිද අරූපභවයෙහිද වෙයි.

35.´´චිත්‍රය, එමෙන්ම යම් කලක කාමභවයෙහි ආත්ම ලැබීමක් වේද, එකල රූපභවයෙහි ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි, අරූපවූ ආත්ම ලැබීමය යන කොටසට නොපැමිණෙයි. එකල කාම භවයෙහි ආත්ම කොටසටම පැමිණෙයි එසේම රූපභවයෙහි හෝ අරූපවූ ආත්ම ලැබීමෙහි වේ චිත්‍රය, යම් නාමයන් තථාගත තෙම ව්‍යවහාර කෙරේද, ලොභ (දෘෂ්ඨි) ඇදහීම් වශයෙන් නොගණීද, මේ ´´කාමභවයෙහි ආත්ම ලැබීම´´ යන නාම ලෝකයාගේ නාම වෙත් ලෝකයාගේ වචන වෙත්, ලෝක ව්‍යවහාරවෙත්. ලෝකයාගේ පැණවීම් වෙත්යයි´´ කීසේක. ´´චිත්‍රය, ´´රූපභවයෙහි ආත්ම ලැබීමද අරූප ආත්ම ලැබීමද එසේම වෙත්.´´

36.මෙසේ කී කල පොට්ඨපාද පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´ස්වාමිනී, ධර්මදේශනාව ඉතා යහපති, ස්වාමිනී ධර්ම දේශනාව ඉතා යහපති, ස්වාමිනී, මේ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද භික්‍ෂු සංගයාද සරණ යමි. භාග්‍යවත් තෙම මා අද පටන් පණ ඇති තෙක් සරණ ගියාවූ උපාසකයෙකැයි දරාගන්නා සේක්වා´´.

37.ඇතුන් හික්මවන්නාගේ පුත්‍රවූ චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය. ´´ස්වාමිනී, ධර්මදේශනාව ඉතා යහපති, මේ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද භික්‍ෂු සංගයාද සරණ යමි. ස්වාමිනී, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාවද ලබන්නෙමි.

38.ඔහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහණකම ලැබූයේය. උපසම්පදාවදලැබූයේය. මෑත උපසම්පදාවූ ඔහු සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීය්‍ර්‍යය ඇතුව ආත්ම ආලය දුරුකර වාසය කරමින් කුල පුත්‍රයෝ (යහපත් ගති ඇත්තෝ) යමක් සඳහා හොඳින් ගිහිගෙයින් ගොස් ශාසනයෙහි මහණ වෙත්ද, ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව අවසන් කොට ඇත්තාවූ නිවණ මේ ආත්මයෙහිම තමන් උසස් ඥානයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කළේය. උත්පත්තිය නැතිවීය, මාර්ග බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ස්කන්ධ සන්තානය පිණිස අනිකක් නැතැයි දන්නේය. ඔහු රහතුන් අතුරෙන් එක් රහත් නමක් වූයේයි.

(නමවෙනිවූ පොට්ඨපාද සූත්‍රය නිමියේය.)

8. කස්සප සීහනාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නම් නුවර සමීපයෙහිවූ කණ්ණත්ථල මිගදාය නමිවූ තැනක වාසය කළ සේක. එකල කාශ්‍යප නම්වූ නිර්වස්ත්‍ර මහණෙක් පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහිකටයුතු කථාව අවසාන කර එක පැත්තකටවී සිටියේය. නිර්වස්ත්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

2. ´´පින්වත් ගෞතමය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම් වලට ගරහයි, නර්වස්ත්‍රව හිඳීම, කෑම කා අත ලෙවකෑම ආදීවූ කටුක ජීවිත ඇති සියලු තපසුන්ට ඒකාන්තයෙන් අවමන් කරයි, චෝදනා කරයි,යන මේ කාරණය මා විසින් අසන ලදී. යම් ඒ කෙනෙක් මෙසේ කියත්ද, කිමෙක්ද ඔවුහු පින්වත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝද? නැතහොත් නැති නූපන් බොරු ගොතා කියා නින්දා වශයෙන් කියන්නෝද, පින්වත් ගෞතමයන් විසින් කියන ලද කාරණයට අනුව කරුණු කියත්ද, නැතහොත් කරුණු සහිතව කියන අන්‍යයන්ගේ කීමකින් ඔබගේ කීම, ගැරහිය යුතු කරුණකට සුලු වශයෙන්වත් නොපැමිණේද, අපි පින්වත් ගෞතමයන්ට බොරුවෙන් චෝදනා කිරීමට නොකැමැත්තෝ වෙමු.´´

3. කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම් වලට ගරහයි, කටුක ජීවිත ගත කරණ සියලු තපසුන්ට ඒකාන්තයෙන් අවමන් කෙරේයයි යම් ඒ කෙනෙක් කියත්ද, ඔවුහු මා කීවාක් කියන්නෝ නොවෙත්. ඔවුහු මට නැති නූපන් බොරුවෙන් නින්දා කොට කියන්නෝ වෙත්. කාශ්‍යපය, මම මේ ලෝකයෙහි කටුක ජීවිතයක් හෝ අඩුවූ දුක් ඇතිව ගතකරණ ඇතැම් තපසෙකු මරණින් මතු නරකයෙහි උපන්නා හෝ සැප ඇති සුගතියෙහි උපන්නා හෝ මිනිස් ඇස් ඉක්ම පවත්නාවූ පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි. කාශ්‍යපය, යම් බඳුවූ මම මෙසේ මේ තපසුන්ගේ මතු ජතියෙන් මේ ජාතියට පැමිණීමද, දැන් මෙයින් යායුතු තැනද එයින් චුත වීමද, එයින් චුත වූවන්ගේ නැවත ඉපදීමද තත්වූ පරිද්දෙන් දනිම්ද, ඒ මම කුමට තපස්කම්වලට ගරහන්නෙම්ද, කටුක ජීවිතයක් ගතකරණ සියලු තපසුන්ට ඒ කාන්තයෙන් කුමට අවමන් කරන්නෙම්ද?

4. ´´කාශ්‍යපය, පණ්ඩිතවූ, දක්‍ෂවූ, අන්‍යයන් සමග කරණලද වාද ඇත්තාවූ තියූණු නුවණ ඇත්තාවූ තමන්ගේ නුවණින් අනුන්ගේ වැරදි ඇදහීම් බිඳින්නෝයයි සිතා සිටින සමහර මහණ බමුණෝ ඇත්තාහ. සමහර කරුණු වලින් මාගේ ධර්මය ඔවුන්ගේ ධර්මයට සමවෙයි. සමහර කරුණු වලින් සම නොවෙයි.

5. ´´මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. කාශ්‍යපය, අපේ මේ කාරණයන්හි යමක් සම නොවේද, ඒ කරුණු තිබෙත්වා මේ කාරණයන්හි යමක් සමවේද, කාශ්‍යපය, මේ කාරණයන් පිළිබඳ ගුරුවරුන් හා ගුරුවරුන් ශ්‍රාවකයන් හා ශ්‍රාවකයන් යම් නුවණැති කෙනෙක් විමසන්නාහු, පරීක්‍ෂා කරන්නාහු, සසඳා බලන්නාහු. මේ පින්වතුන්ගේ යම් ධර්ම කෙනෙක් අකුසල්ද කුසල්යයි වරද සහිතද වරද සහිතයයි සේවනය නොකොටයුතුද, සේවනය නොකොටයුතුයයි නිදොස් අයට නුසුදුසුද නිදොස් අයට නුසුදුසුයයි අපිරිසිදු ධර්මයෝද අපිරිසිදු ධර්මයෝයයි වෙන්කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්මයෙන් දුරුකොට පවතීද, ශ්‍රමණ ගෞතමයෝ හෝ වෙද්ද, අන්‍යවූ පින්වත් ගුරුවරයෝ හෝ වෙත්දැයි මෙසේ නුවණැත්තෝ ගුරුන් ගුරුන් හා ශ්‍රාවකයන්ශ්‍රාවකයන් හා සමාන කර බලන්නාහු කවරෙක් මේ ධර්ම සහමුලින් දුරු කොට පවතීද, ශ්‍රමණ ගෞතම හෝ වේද අන්‍යවූ පින්වත් ගුරුවරු හෝ වෙත්දැයි මෙසේ නුවණැත්තෝ ගුරුවරුන් හා ගුරුවරුන් ශ්‍රාවකයන් හා ශ්‍රාවකයන් විමසා බලන්නහුද?

6. ´´කාශ්‍යපය, ඒ කරුණු විමසා සසඳා බලන්නාවූ නුවණ ඇත්තෝ භවතුන්ගේ මේ යම් ධර්ම අකුසල්ද අකුසල්යයි වරද සහිතයයි නිවැරදි අයට නුසුදුසුද නිවැරදි අයට නුසුදුසුයයි අපිරිසිදු ධර්මය අපිරිසිදු ධර්මයයිවෙන්කොට තබන ලද්දාහුද, ඒ ධර්ම ගෞතම ශ්‍රමණ තෙමේ දුරුකොට පවතී. පින්වත් අන්‍ය ගුරුවරයෝ ස්වල්ප වශයෙන් දුරුකොට පවතිත්යයි මෙසේ කියන්නාහුය, යන යම් කාරණයක් ඇද්ද මේ කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ කරුණු විමසන්නාවූ නුවණැත්තෝ අපටම ඒ කාරණයෙහි බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

´´මේ භවතුන්ගේ යම් ධර්ම කුසල්ද කුසල්යයි දොස් නැත්තේද දොස් නැත්තේයයි, සේවනය කටයුත්තේද සේවනය කටයුත්තේයයි නිවරද අයට සුදුසුයයි, පිරිසිදු ධර්මය පිරිසිදු ධර්මයයි වෙන්කොට තබන ලද්දාහුද?´´

7. ශ්‍රමණ ගෞතම තෙමේ මේ ධර්ම සම්පූර්ණයෙන් සමාදන්ව පවතී. පින්වත්වූ අන්‍ය ගුරුවරයෝ ස්වල්ප කොටසක් සමාදන්ව පවතීයයි මෙසේ කියන්නාහුය යන මේ කාරණයක් ඇත්ද, මේ කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

8. ´´කාශ්‍යපය, අනික් කරුණක්ද ඇත. නුවණැත්තෝ මේ භවතුන්ගේ ධර්මයක් අකුසල්ද, අකුසල්යයි සේවනය කටයුත්තේද සේවනය නොකොටයුත්තේද නිවරද අයට නුසුදුසුයයි, අපිරිසිදුය අපිරිසිදුයයි වෙන්කොට තබන ලද්දාහුද කවරෙක් මේ ධර්මයන් සම්පූර්ණයෙන් දුරුකොට පවත්නේද ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ හෝ වෙද්ද අන්‍ය ගුරුවරයන්ගේ ශ්‍රාවකයෝ හෝ වෙත්දැයි ගුරුවරුන් ගුරුවරුන් හා සමඟද ශ්‍රාවකයන් ශ්‍රාවකයන් හා සමගද සසඳා කරුණු විමසා බලත්වා.

ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ ධර්මයන් සම්පූර්ණයෙන් දුරුකොට පවතී. පින්වත් වූ අන්‍ය ගුරුවරයන්ගේ ශ්‍රාවකයෝ ස්වල්පකොටසක් දුරුකොට පවතීය යන කාරණය ඇත්තේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

9. ´´කාශ්‍යපය, අනික් කරුණක්ද ඇත. මේ භවතුන්ගේ යම් ධර්මයක් කුසල්ද කුසල්යයි දොස් නැත්තේද දොස් නැත්තේයයි සේවනය කටයුත්තේය, සේවනය කටයුත්තේයයි නිදොස් අයට සුදුසුය නිදෙස් අයට සුදුසුයයි´´ පිරිසිදු ධර්මයෝය. පිරිසිදු ධර්මයෝයයි වෙන්කොට තබන ලද්දාහුද ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ ධර්මයන් සම්පූර්ණයෙන් සමාදන්ව පවතිත්. පින්වත් වූ අන්‍ය ගුරුවරයන්ගේ ශ්‍රාවකයෝ ස්වල්පකොටසක් සමාදන්ව පවතිත්යයි මෙසේ කියන්නාහුය යන මේ කාරණයක් ඇද්ද මේ කාරණය සැබෑවේමය. කාශ්‍යපය, මෙසේ මේ කාරණයෙහි කරුණු විමසන නුවණැත්තෝ අපටම බොහෝ සේ ප්‍රශංසා කරන්නෝය.

10. ´´කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතමයෝ කියයුතු කල් සලකා කියන්නෝය, සත්‍ය කියන්නෝය, අර්ථ යුක්තව කියන්නෝය, ධර්ම යුක්තව කියන්නෝය,(විනය) යහපත් හැසිරීමක් කියන්නෝයයි යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද, එබඳු (පූර්වභාග ප්‍රතිපදාවක්) කලින් පුරුදු කළයුතු පිළිපැදීමක් ඇත්තේය.

´´කාශ්‍යපය, යම් පිළිපැදීමක් හේතුකොටගෙන ශ්‍රමණ ගෞතමයෝ කියයුතු කල් සලකා කියන්නේය, සත්‍යඅර්ථ යුක්තව ධර්ම යුක්තව කියන්නෝය,(විනය) යහපත් හැසිරීමෙන් යුක්තව කියන්නේයයි යම්සේ තමන්ම දන්නේද, තමන්ම දකින්නේද, එබඳු උතුම් මාර්ගය කවරේද එබඳු (පූර්වභාග ප්‍රතිපදාවක්) කලින් පුරුදු කළයුතු පිළිපැදීම කවරේද, මේ උතුම් කරුණු අටකින් යුත් (ආය්‍ර්‍ය අෂ්ඨාඞගික ) මාර්ගය වෙයි. ඒ කවරේද? හරි දැකීම, හරි කල්පනාව, හරි කථාව (වචනය), හරි ක්‍රියාව, හරි ජීවත්වීම, හරි උත්සාහය, හරි සිහිකිරීම, හරි (සමාධිය) හිත එකඟ කරගැනීම වේ.

´´මේ ඒ මාර්ගය වේ. මේ (පූර්වභාග ප්‍රතිපදාව) කලින් පුරුදු කළයුතු පිළිපැදීම වෙයි කී සේක. මෙසේ කී කළ අචෙල කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.

´´ආයුෂ්මත් ගෞතමය, සමහර මහණ බමුණන්ගේ මහණ ධර්ම අනුව වෙන්කරණ ලද්දාවූද, බ්‍රාහ්මණ ධර්ම අනුව වෙන් කරන ලද්දාවූද තාපස කර්මයෝ වෙත්. එනම් නිර්වස්ත්‍ර වූයේ වෙයි. පහන්කරන ලද හොඳ සිරිත්ඇත්තේ වෙයි, කෑම කා අත ලෙවින්නේ වෙයි. කෑමට කැඳවූ කල නොඑන්නේ වෙයි, සිටින්නට කී කල නොසිටින්නේ වෙයි, කාලයට පළමු ගෙණදුන් කැම නොගනී, තමන් උදෙසා සැදූ කෑම නොගනී, ආරාධනා කොට දුන් කෑම නොගනී, සැලියේ කටින් ගෙනදෙන කෑම නොපිළිගණී. කූඩයේ යටින් ගෙනදෙන කෑම නොපිළිගණී. එලිප්ත අතරෙහි සිට දෙන දේ, මෝලක් අතරෙහි සිට දෙන දේ නොගනී. කෑමකන්නාවූ දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට කෑමදෙන කල නොගණී. ගර්භනියගෙන්, කිරිපොවන්නියගෙන්, පුරුෂයෙකු ටතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගණී. සම්මාදම් කොට පිසූ කල එයන් නොගණී. බල්ලෙකුට දීමට අදහස් කළ කෑම නොගණී. මැස්සන් වසා සිටි කෑමද, මස් මාංශ මත්පැන් මත්ද්‍රව්‍ය, නොපිළිගණී. කාඩි බීම නොකෙරෙයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඞකින් හෝ ගෙවල් දෙකක හෝ පිඬු දෙකකින් හෝ ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඬුහතකින් ජීවත්වන්නේ හෝ වෙයි. පිණ්ඩපාත්‍ර බතින්ද යැපෙයි. දත්නි නම් කුඩා පිණ්ඩපාත්‍ර බතින්ද යැපෙයි. දවසක් හැර දවසක් කෑම කයි. දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දවසක් කෑම කයි. මෙබඳුවූ වාර බත් කෑමෙහි යෙදෙමින් ජීවත් වෙයි.

12. ´´මේ ක්‍රියාවෝද තාපස කර්මයෝ වෙත්. නොපිසූ පලා කන්නේ හෝ වෙයි. බඩහමු නම් තණ ධාන්‍ය කන්නේ හෝ වෙයි. ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. (සම් වැඩ කරන්නන් කපාදැමූ ) සම් කැබලි කන්නේ හෝ වෙයි. කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් කන්නේ හෝ වෙයි. (මූරුවට) පුනක්කු කන්නේ හෝ වෙයි. ගෙම කන්නේ හෝ වෙයි. කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් හෝ යැපෙයි.

13. ´´මේ ක්‍රියාවෝද තාපස කර්මයෝ වෙත්. හණ පතුරු රෙදිද, එරුතණ ආදියෙන් කළ රෙදිද බිමලු රෙදි මාලුද, (රිටිසුඹුලු) ගස් පතුරුද අඳුන් දිවිසම්ද, මැද පැලූ අඳුන් දිවිසම්ද, කුසවැහැරිද, නියඳ (හණ) වැහැරිද, ලෑලි වැහැරිද, ඉසකෙසින් කළ කම්බිලිද, අස්ලොමින් කළ කම්බිලිද, බකමූණු පිහාටුවලින් කළ ශරීරයේ යට කොටසේ ඇඳුම්ද දරයි.ඉසකෙස් රැවුල් ඉදිරීමෙහි යෙදුනේ ඉසකෙස් රැවුල් උදුරන්නේද වෙයි, ආසන ඉවත් කොට නැගිට සිටින්නේද වෙයි, උක්කුටිකව හිඳීමේ (ඇන තියාගෙන හිඳීම) වීර්‍යයෙහි යෙදුනේ වෙයි. කටු උඩ නිදාගන්නේ කටු උඩ හැසිරීම කරන්නේ වෙයි. (පෝරු) ලෑලි උඩ කුඩා තාප්පය උඩ එක පැත්තකට කැරී නිදාගන්නේද වෙයි.දූවිලි දැලි දරන්නේද වෙයි, එලියේ වසන්නේද වෙයි, පළමුව, එලූ ආකාරයටම වෙනස් නොකොට ආසනයක ඉන්නේද වෙයි, අසූචි අනුභවයෙහි යෙදුනේ අසූචි අනුභව කරන්නේද වෙයි. ඇල්වතුර නොබීමෙහි යෙදුනේ ඇල්වතුර නොබොන්නේද වෙයි.උදය දවල් සහ සවස (පාප ප්‍රවාහය) පවු පාකර හරින්නේ මැයි, දියේ ගිලී වාසය කරයි´´ කීයේය.

14. ´´කාශ්‍යපය, ඉඳින් නිර්වස්ත්‍ර වූයේ හෝ වේද, පහන්කරණ ලද හොඳ සිරිත්ඇත්තේ වේද, කෑම කා අත ලෙවින්නේ ආදී ක්‍රියා කෙරේද, ඔහු විසින් මේ ශීල සම්පත්තියද මේ සමාධි (සිතේ එකඟ කම)සම්පත්තියද,

මේ ඥාන සම්පත්තියද නොවඩන ලද්දී අවභෝද නොකරණ ලද්දී වෙයි. ඔහු විසින් මේ ශීල සම්පත්තියද, මේ චිත්ත සම්පත්තියද, මේ ප්‍රඥා සම්පත්තියද නොවඩන ලද්දී අවභෝද නොකරණ ලද්දී වෙයි. කුමක් වේද? ඔහු මහණ කටයුතු වලින් දුරු වූයේම වෙයි. බ්‍රාහ්මණ කටයුතු වලින් දුරුවූයේම වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්‍ෂු තෙම වෛර නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත් වඩාද, (ආශ්‍රව) ක්ලේෂයන් පහ කිරීමෙන් කෙලෙස් නැතිවූ අර්හත්ඵල සමාධියද, අර්හත්ඵල ප්‍රඥාවද මේ ආත්ම භාවයෙහිම තමන්ම විශේෂ ඥානයෙන් දැන අවබෝද කොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය, මේ භික්‍ෂුතෙම මේ කාරණයෙන් මහණයයිද, මේ කාරණයෙන් බ්‍රාහ්මණ යයිද කියනු ලැබේ.´´

15. මෙසේ කී කල්හි අචෙල කාශ්‍යප ´´පින්වත් ගෞතමය, මහණ පැවැත්ම අපහසු වෙයි. බ්‍රාහ්මණ පැවැත්ම දුෂ්කර වෙයි´´ මෙසේ භාග්‍යවතුන් වහන්සේට කීයේය.

´´කාශ්‍යපය, මහණ පැවැත්ම දුෂ්කරය, බ්‍රාහ්මණ පැවැත්ම දුෂ්කරය, යන මේ කථාව ලෝකයෙහි ස්වභාව වෙයි. කාශ්‍යපය ඉඳින් නිර්වස්ත්‍ර වීමද, කෑම කා අත ලොවීම ආදී ඉහත සඳහන් කළ තාපස ක්‍රියාවන්හි වාසය කෙරේද, කාශ්‍යපය, මේ අඩු පැවතුම් ක්‍රමයෙන්ද, මේ දපස් පැවතුමෙන්ද, මේ මහණ පැවතුමෙන්ද, මේ බ්‍රාහ්මණ පැවතුමෙන්ද, දුෂ්කර වූයේ, ඉතා දුෂ්කර වන්නේද එපමණකින්, මහණ පැවතුම්දුෂ්කරය, බ්‍රාහ්මණ පැවැතුම් දුෂ්කරය´ යන මේ වචන කීමට සුදුසු නොවේ.

´´ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු විසින් හෝ යටත් පිරිසෙයින් දිය අදින දාසියක් විසින් ඉහත සඳහන් මහණ පැවතුම් හෝ බ්‍රාහ්මණ පැවතුම් හෝ කරනු හැකි වන්නේය. කාශ්‍යපය, යම් හෙයකින් මේ අඩුවූ පැවතුම් ක්‍රමයෙන් තොරවම මේ තපස් පැවතුම් වලින් තොරව මහණ පැවතුම් හෝ බ්‍රාහ්මණ පැවතුම් දුෂ්කර වූයේ ඉතා දුෂ්කර වූයේ වේනම් , එහෙයින් ´මහණ පැවතුම්දුෂ්කරය, බ්‍රාහ්මණ පැවැතුම් දුෂ්කරය´යි මේ වචන කීමට සුදුසු වෙයි. කාශ්‍යපය, යම් හෙයකින් භික්‍ෂුතෙම ද්වේෂ (වෛර) නැතිවූ දොම්නස් නැතිවූ මෛත්‍රී සිත් වඩාද, කෙලෙස්පහ කිරීමෙන් කෙලෙස් නැති සමාධියද, ප්‍රඥාවද, මේ ආත්ම භාවයෙහිම ඔහු උසස් ඥානයෙන් දැන, අවබෝද කොට ඊට පැමිණ වාසය කෙරේද, කාශ්‍යපය මේ භික්‍ෂු තෙම මේ කාරණයෙන් ´´මහණ´´යයිද ´´බ්‍රාහ්මණ´´යයිද කියනු ලැබේ.´´

16. මෙසේ කී කල අචෙල කාශ්‍යප, ´´පින්වත් ගෞතමය, මහණ තෙම දුකසේ දැනගතයුතු වෙයි, බ්‍රාහ්මණතෙමදුකසේ දැනගතයුතු වේය´´යි භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීයේය.

´´කාශ්‍යපය, මහණ තෙම දුකසේ දැනගතයුතු වෙයි, බ්‍රාහ්මණතෙමදුකසේ දැනගත යුතුයයි මේ කථා ලොකයෙහි ව්‍යවහාර කථාවෙයි. ඉඳින් නිර්වස්ත්‍ර වේද අත්හරින ලද සිරිත් ඇත්තේ කෑම කා අත ලෙවින්නේද, මේ ආදී ක්‍රියාවන්හි යෙදී එපමණකින්ම මහණ තෙම දුකසේ දැනගත යුත්තේය, බ්‍රාහ්මණතෙමදුකසේ දැනගත යුත්තේයයි, යන මේ වචන කීමට සුදුසු නොවෙයි.

´´කාශ්‍යපය, යම් කරුණකින් මේ අඩු වූ පැවතුමෙන් තොරවම මේ මහණ හෝ බ්‍රාහ්මණ හෝ දුකසේ දැනගත යුත්තේද ඉතා දුකසේ දැනගත යුත්තේද වේ නම් එහෙයින් ´´මහණ තෙම දුකසේ දැනගතයුතුය, බ්‍රාහ්මණ තෙමදුකසේ දැනගත යුතු යයි´´ මේ වචන කීම සුදුසුයි.

´´කාශ්‍යපය, යම් කරුණකින්, භික්‍ෂු තෙම ද්වේෂ (වෛර) නැතුව දොම්නස් නැතිව මෛත්‍රී සිත් වඩාද, කෙලෙස්පහ කිරීමෙන් කෙලෙස් නැතිවූ සමාධියද, ප්‍රඥාවද, මේ ජීවිතයෙහිම තමන් උසස් ඟඳානයෙන් දැන, අවබෝද කොට ඊට පැම්ණ වාසය කෙරේද, කාශ්‍යපය මේ භික්‍ෂු තෙම ´´මහණ´´යයිද ´´බ්‍රාහ්මණ´´යයිද කියනු ලැබේ.´´

17. මෙසේ කී කල්හි අචෙල කාශ්‍යප, පින්වත් ගෞතමය, ඒ සීල සම්පදාව කුමක්ද?චිත්ත සම්පදාව කුමක්ද? ප්‍රඥා සම්පදාව කුමක්ද?යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. (මෙහි 42 පිටේ සාමඤ්ඤ ඵල සූත්‍රයේ 27 ඡේදයේ සිට 59 ඡේදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´කාශ්‍යපය´´ යොදන්න.)

18. ´´කාශ්‍යපය, මම එක් කාලයෙක්හි මෙහි රජගහ නුවර සමීපයෙහි වූ ගිජුකුථ පව්වේ වාසය කළෙමි. එහි නිග්‍රොධ නම්වූ තපස් බ්‍රාහ්මණ ගුරුවරයෙක් අධිජෙගුච්ඡ වීය්‍ර්‍ය පිළිබඳව මාගෙන් ප්‍රශ්න ඇසුවේය. ඔහු විසින් අධිජෙගුච්ඡ වීය්‍ර්‍යයෙහි ප්‍රශ්න අසන ලද්දාවූ මම විසඳුයෙමි. මා විසින් විසඳූ කල්හි ඉතා වැඩියක්ම සතුටු සිත් ඇත්තේ වූයේයයි කීයේය´´.

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා කවරෙක් ඉතා වැඩියක් සතුටු සිත් ඇත්තේ නොවන්නේද?ස්වාමීනි, මමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා ඉතා වැඩියක් සතුටු සිත් ඇත්තේ වීමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, භික්‍ෂුසංඝයාද සරණකොට යමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමියි´´ කියා සිටියේය.

19. ´´කාශ්‍යපය, අන්‍ය තීර්ථකවූ යමෙක් මේ ශාසනයෙහි මහණවීමට කැමතිවේද උපසම්පදාව ලැබීමට කැමතිවේද, ඔහු මාස හතරක් පුරුදුවීම (පිරිවෙස්) කෙරේ. හාර මසක් ගතවූ කල සතුටු කරණු ලැබූ භික්‍ෂුහු ඔහු මහණ කෙරෙත්, භික්‍ෂුභාවය පිණිස උපසම්පදා කෙරෙත්, එසේ නමුත් මවිසින් මෙහි පුද්ගල වෙනස දක්නා ලද්දේයයි කී සේක.

20. ´´කාශ්‍යපය, ශීලවාදීවූ සමහර මහණ බමණු කෙනෙක් වෙත්ද ඔහු නොයෙක් ආකාරයෙන් ශීලයේ ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ඉතා පිරිසිදුවූ උතුම් ශීලයක් වේද, මම ඒ ශීලයෙහි තමාගේ ශීලයෙහි තමාගේ ශීලය වැනි ශීලයකින් සම වූවෙකු නොදැක්කේමි. ඊට වැඩි කෙනෙක් කොයින්ද? එසේවූ කල යම් මේ උත්තම ශීලයෙක් වේද ඒ ශීලයෙහි මමද උදම් වෙමි. කෙලෙස් තැවීම් ගැරහීම් වාද ඇත්තාවූද ප්‍රඥාවාදීවූ ද කෙලෙසුන්ගෙන් මිදීම ගැන වාද ඇතිවූද බමුණෝ ඇත්තාහ. ඔහු ශීලවාදී වූවෙක් කියත්.

21. ´´කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. ඒ නාදය ජනයා නැති ස්ථානයක තනිව හිඳ කෙරෙයි. පිරිස් මැද නොකෙරෙයි. අන්‍ය තිර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහුය. යම් කාරණයක් ඇද්ද එසේ වූ නමුත් ඔවුහු මෙසේ කියනු හැක්කෝ නොවන්නාහුමය. ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි´´ මෙසේ කියයුතු වන්නාහුය. ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. පිරිස් මැද කෙරෙයි. එහෙත් නිර්භයව නාද නොකෙරෙයි´´ මෙසේද කියන්නාහුය.

´´ශ්‍රමණ ගෞතම තෙම සිංහ නාද කෙරෙයි. පිරිස් මැද කෙරෙයි, නිර්භයව නාද කෙරෙයි.´´

´´ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝද ප්‍රශ්න නොඅසත්, ඔවුන් විසින් ප්‍රශ්න අසන ලද්දේ නොවිසඳයි.ප්‍රශ්න විසඳීමෙන් සිත් නොගනී .ප්‍රශ්න විසඳීමෙන් සිත් නොහඟිත්! මොහුගේ වචන ඇසිය යුතුයයි හඟිත් අසා නොපහදිත්, අසා පහදිත්. පැහැදුනු ආකාරයක් නොකෙරෙත්, පැහැදුනු ආකාරයක් කෙරෙත්. දෙසූ ධර්මය අනුව නොපිළිපදිත්. දෙසූ ධර්මය අනුව පිළිපැදීමද කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් නොගනිත්´´යයි ඔවුහු මෙසේ කියයුත්තෝ නොවන්නාහුය.

´´අර්හත්වූ ශ්‍රමණ ගෞතම තෙම සිංහනාද කෙරෙයි. පිරිස් මැද නාද කෙරෙයි. විශාරදව නාද කෙරෙයි. ඒ ශ්‍රමණ ගෞතමයන් අතින් පණ්ඩිත දිව්‍ය මනුෂ්‍යයෝ ප්‍රශ්න අසත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳීම කෙරෙයි.ප්‍රශ්න විසඳීමෙන් සිත් ගැනීම කෙරෙයි .ඔහුගේ වචන ඇසිය යුතුයයි හඟිත්, අසාද පහදිත්, පැහැදුනු ආකාරයක් නොකෙරෙත්, පැහැදුනු ආකාරයක් කෙරෙත්. දෙසූ ධර්මය සේ පිළිපදිත්, දෙසූ ධර්මය සේපිළිපදින්නාහු ශ්‍රමණ ගෞතමයන්ගේ හිත් ගනිත්යයි´´ කාශ්‍යපය, මෙසේ කියයුත්තෝ වන්නාහුය. අචෙල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම ලැබුයේමය. ආයුෂ්මත් කාශ්‍යප තෙම රහතන් වහන්සේලාට ඇතුලත් කෙනෙක්ම වූයේය.

අටවෙනිවූ කස්සප සීහනාද සූත්‍රය නිමියේය.

7. ජාලිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී.එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඒ කාලයෙහිදී ´´මණ්ඩිස්ස´´ නම් පරිබ්‍රාජක තෙමේද දාරුපත්තික නම් පරිබ්‍රාජකයෙකුගේ ශිෂ්‍යයෙක්වූ ජාලිය නම් පරිබ්‍රාජක තෙමේද යන දෙදෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාකොට එක්පැත්තකට වී සිටියාහූය. ඔවුන් දෙදෙන භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය.

´´කිමෙක්ද ඇවැත්නි, ගෞතමයාණෙනි, ජීවයත් ශරීරයත් එකමද නොහොත් ජීවය අනෙකක්ද ශරීරය අනෙකක්ද?´´

´´ඇවැත්නි, එහෙනම් අසව් හොඳින් කල්පනාකරව්. කියන්නෙමි´´යි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය දේශනා කළෝය.

(මෙහි 42 පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 27 ඡේදයේ සිට 48 ඡේදය දක්වා යෙදීමේදි මහරජ වෙනූවට ඇවැත්නි යොදන්න.)

2. ´´ඇවැත්නි, භික්‍ෂුව කෙසේනම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´

3. ´´ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම, අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණි එම ධ්‍යානයෙහි වාසය කෙරේද,

4. ´´ඇවැත්නි, නැවතද භික්‍ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳව එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයිද,

5. ´´නැවතද ඇවැත්නි, ඒ භික්‍ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්‍ෂා) සැප තුක් දෙකට මැදිහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේද,

6. ´´නැවතද ඇවැත්නි, ඒ මහණතෙමේ සැප දුරු කිරීමෙන්ද, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන්, දුක්ද නොවූ සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැවු ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ ඇවැත්නි යම් භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි, ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයැයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

7. ´´ඥාන දර්ශනය පිණිස විදර්ශනා චිත්තය එළවා තබාද ඥාන දර්ශනයට සිත නමාද, ඇවැත්නි, යම් භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි, ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතු නොවේයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේවු නමුත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

8. ´´ඇවැත්නි, මෙයින් පසු කෙළෙස් නැති කිරීම සඳහා කළයුත්තක් නැතැයි දනීද, මෙසේ දකීද, එබඳුවූ විදර්ශනා ඥානයෙන් (සත්‍යය ඇතිසැටි දැකීම) දැක්කාවූ රහත් භික්‍ෂුනමට, ජීවයත් ශරීරයත් එකමය, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඒ රහත් භික්‍ෂුනමට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට නෙවටීයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළ සේක. මෙයින් සතුටු සිත් ඇත්තාවූ ඒ පැවිද්දෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තෝය.

හත්වෙනි වූ ජාලිය සූත්‍රය නිමියේය.

6. මහාලි සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අසල මහ වනයෙහි පිහිටි කූටාගාර ශාලානම් විහාරයෙහි වාසය කළ සේක. ඒ කාලයේදී කොසොල් රටවැසි බොහෝවූ බ්‍රාහ්මණයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා විශාලා මහනුවර වාසය කරති. ඒ දූතයෝ මේ කරුණු ඇසුවෝය. එනම් ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍යකුලයෙන් නික්ම මහණව විශාලාමහනුවර සමීපයේ මහවනයෙහි කූටාගාර ශාලානම් විහාරෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මෙසේ යහපත් කීර්ති ඝෝෂාවක් උසස්ව නැංගේය. ඒ කෙසේද ?

(මෙහි 34 පිටෙහි සාමඤ්ඤඵල සූත්‍රයේ 28 ජේදය ´´අරහත්වූ´´ යන වචනයේ සිට යොදන්න.)

එවිට ඒ දූතයෝ ආයුෂ්මත් නාගිත ස්ථවිරයන් වෙත පැමිණ අපි භවත් ගෞතමයන් වහන්සේ දකිනු කැමති බව දැන්නුවෝය.

´´භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවේමය. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අරමුණු ගැනීම් වලින් තුරන්ව සම්පූර්ණ විවේකයෙහි යෙදී ධ්‍යාන සැප විඳින්නෝය´´යි ඔවුන්ට කීයේය. එවිට ඔව්හු අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකලාම යන්නෙමුයි සිතා ඒ විහාරයෙහිම එක පැතිතකට වී උන්හ.

2. ඔට්ඨද්ධ (අඩ උඩු තොල් ඇත්තා ) නම් මහාලි ලිච්ඡවි උපාසක තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමඟ ඒ අදහසින්ම උන්හ.

3. එවිට නාගිත තෙරුන්ට බෑනාවූ සිංහ නම් සාමණේර තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මේ කාරණය දැන්වීය.

´´ස්වාමිනි, මේ ජන සමූහයාට භාග්‍යවතුන් වහන්සේදැකීමට ඉඩ ලබා දෙත්වා!´´

´´එහෙනම් සිංහය, ඔබම භාග්‍යවතුන් වහන්සේට මෙ බව දන්වන්න´´යයි කීයේය.

´´සිංහ සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, බොහෝවූ පිරිස් භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියාහ. මේ පිරිසට භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඉඩ දෙත්වා´´.

´´ එසේනම් සිංහයා විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පණවයි´´. කීසේක.

සිංහසාමණේර තෙමේ විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පැනවීය. එවිට භග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම සෙවනැල්ලෙහි පැණවු ආසනයෙහි වැඩහුන් සේක.

4. එවිට ඒ පිරිස්ද ඔට්ඨද්ධ නම් ලිච්ජවි මහාලිද භග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තකින්හුන්නේය. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙම් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළේය.

´´ස්වාමිනි, පසුගිය දවස්වල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මාවෙත පැමිණියේය. පැමිණමට මෙසේ කීය. ´´මහාලිය මම නම් යම් දවසක පටන් මේ තුන් අවුරුද්ද මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කොට වාසය කළෙම්ද ඒ කාලයෙහිදී, ප්‍රිය උපදවන්නාවූ කැමති වන්නාවු ඇලීම ඇතිකරන්නාවු දිව්‍ය රූපයන් පමණක් දුටුවෙමි. එසේවු නමුත් වන්නාවු දිව්‍ය ශබ්දයන් ඇසුවේ නැතැයි කීයේය´´. ස්වාමීන්වහන්ස, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇත්තාවූම දිව්‍ය ශබ්දයන් නොඇසුවේද නැතැහාත් නැත්තාවු දිව්‍ය ශබ්දයන් නොඇසුවේදැයි´´ යන මේ කාරණය විචාළේය. ´´මහාලිය සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇත්තාවුම දිව්‍ය ශබ්දයන් නොඇසුවේය.

5. ´´ස්වාමීන් වහන්ස, යම් හේතුවකින් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍ර නැත්තා වු නොව ඇත්තා වූම දිව්‍ය ශබ්දයන් නොඇසුයේ නම් ඊට හේතුව කුමක්ද ඊට හේතු මාර්ගය (ප්‍රත්‍යය) කුමක් දැයි´´ ඇසුවේය.

´´මහාලිය, මේ ශාසනයෙහි යම් භික්ෂු නමකට නැගෙනහිර නැගෙනහිර දිසාවෙහි හෝ බස්නාහිර, උතුරු උඩ යට අනුදිසාවෙහි හෝ එක කොටසක් සම්බන්ධව දිව්‍ය රූපයන් දැකීම පිණිස දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොවඩන ලද්දාවු සමාධියක් වේද ඒ භික්‍ෂුතෙමේ ඒ ඒ දිසාවෙහි දිව්‍ය ශබ්දයන් අසනු පිණිස නොව දිව්‍ය රූපයන් දැකීම පිණිස යන එක කොටසක් සම්බන්ධව වඩනාලද සමාධියෙහි ඒ දිව්‍ය රූපයන් දකී, එහෙත් දිව්‍ය ශබ්දයන් නොම අසයි. ඊට හේතුව කුමක්ද?

´´මහාලිය, ඒ භික්‍ෂුවට දිව්‍ය ශබ්දයන් අසන පිණිස නොව දිව්‍ය රූපයන් දකින පිණිසය යන එක කොටසක් සම්බන්ධව වඩනලද සමාධියෙහි මේ කාරණය මෙසේමය.

6. ´´මහාලිය, මේ ශාසනයෙහි යම් භික්‍ෂු නමකට ඒ ඒ දිසාවෙහි එක කොටසක් සම්බන්ධව වඩන ලද්දාවූ, දිව්‍යශබ්දයන් අසන පිණිස වඩන ලද්දාවූ, දිව්‍යරූපයන් දැකීම පිණිස නොවඩන ලද්දාවූ, සමාධියක් වේද, ඒ භික්‍ෂුතෙම ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව දිව්‍ය ශබ්ධයන් අසන පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩන ලද සමාධියෙහි දිව්‍ය ශබ්දයන් අසයි. එසේ නමුත් දිව්‍ය රූපයන් නොදකී. ඊට හේතුව කුමක්ද?´´

´´මහාලිය, ඒ භික්‍ෂුවට ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිස නොව දිව්‍ය ශබ්ධයන් අසනු පිණිසය යන එක කොටසක් පිළිබඳව වඩන ලද සමාධියෙහි මෙය මෙසේම වේ.

7. ´´මහාලිය, මේ ශාසනයෙහි යම් භික්‍ෂු නමකට ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිසද, දිව්‍ය ශබ්දයන් අසන පිණිසද, යන දෙකොටසම පිණිස වඩන ලද්දා වූ සමාධියක් වේද, ඒ භික්‍ෂුතෙමේ ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දකිනු පිණිසද, දිව්‍ය ශබ්දයන් අසනු පිණිසදයන දෙකොටසම පිණිස වඩන ලද්දා වූ සමාධියෙහි ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන්ද දකී. දිව්‍ය ශබ්දයන් අසයි. ඊට හේතුව කුමක්ද? මහාලියක්‍ෂ ඒ භික්‍ෂුනමට ඒ ඒ දිසාවෙහි දිව්‍ය රූපයන් දැකීම පිණිසද, දිව්‍ය ශබ්දයන් ඇසීම පිණිසද යන දෙකොටසම පිණිස වඩන ලද සමාධිය හේතු කොටගෙන මෙය මෙසේම වේ.´´

8. ´´ස්වාමීන් වහන්ස, මේ දෙකොටසම පුරුදු වු සමාධින් අවබෝධ කරගැනීම හේතුකොටගෙණම භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේ නිසා බ්‍රහ්මච්‍ර්‍යාව කෙරෙද්දැයි´´ ඇසීය.

´´මහාලිය, මේ සමාධීන් අවබෝධ කරගැනීම හේතු කොටගෙනම බ්‍රහ්මච්‍ර්‍යය නෙකෙරෙති. මහාලිය යම් ධර්මයක් අවබෝධ කර ගැනීම හේතුකොටගෙන භික්‍ෂුහු මා කෙරෙහි බ්‍රහ්මච්‍ර්‍යය කෙරෙත්ද, එසේ වු මීට වඩා ඉතා උසස් වූදඉතා මිහිරිවූද වෙනත් ධර්ම ඇත්තාහුමය´´ යි කීවාහුය.

´´ස්වාමීන් වහන්ස, මීට වඩා ඉතා උසස්වූද ඉතා මිහිරි වූද ඒ ධර්ම මොනවාදැ´´යි ඇසීය.

´´මහාලිය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙමේ (සංයෝජන) බන්ධන තුනක් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් සෝවාන් වේද , සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේද මාර්ග ධර්ම නියමයෙන් ස්තිර වූයේ වේද, රහත් වීමට නියතවූයේ වේද, භික්‍ෂු තෙමේ තුන් ආකාරබන්ධනයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් රාග, ද්වේෂ, මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වේද, එක වරක් මේ ලෝකයට පැමිණෙන ස්වභාව ඇත්තේ සසර දුක කෙළවර කෙරේද, භික්‍ෂු තෙමේ පස් ආකාර බන්ධනයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් බඹලොව උපදින ස්වභාව ඇත්තේ වේද, භික්ෂු තෙමේ ක්ලේශයන් සම්පූර්ණයෙන් නැති කිරීමෙන් ක්ලේශ බන්ධනයන්ගෙන් මිදුනාවූ අර්හත් ඵල චිත්තයද අර්හත් ඵලඥානයද මේ ආත්ම භවයෙහි තමන්ම උසස් ඥානයෙන් අවබෝධ කොට ලබාගෙන වාසය කෙරේද, මහාලිය, භික්ෂුහු මාගේ ශාසනයෙහි යම් ධර්ම සඳහා උතුම් හැසිරීමෙහි පිළිපැදීමක් කරත්ද, එසේවූ මේ ධර්ම ඒ සමාධීන්ට වඩා අතිශයින් උසස්වූද ශ්‍රේෂ්ඨවූද ධර්මයෝමය´´ යි කී සේක.

9. ´´ස්වාමීන් වහන්ස, මේ සෝවාන් ඵල ආදී ධර්මයන් අවබෝධ කරගැණීම පිණිස මාර්ගයක් ඇද්ද, පිළිපැදීමක් ඇද්ද´´යි ඇසීය. ´´මහාලිය, මේ සෝවාන් ඵල ආදී ධර්මයන් අවබෝධ කරගැණීම පිණිස මාර්ගයක් ඇත්තේමය. පිළිපැදීමක් ඇත්තේමැයි´´ කී සේක.

´´ස්වාමීන් වහන්ස, ඒ මාර්ගය කවරේද? ඒ පිළිපැදීම කවරීදැයි´´ ඇසුවේය.

´´මේ උතුම් අංග අටකින් යුත් මාර්ගය (ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි) එනම්- හරි අවබොධය, හරි කල්පනාව, හරි වචනය හෝ කථාව, හරි ක්‍රියාව, හරි ජීවත්වීම, හරි උත්සාහය, හරි සිහිකිරීම, හරි සමාධිය, මහාලිය, ඒ ධර්ම අවබොධ කිරීමට මේ මාර්ගය වේ. මෙයම පිළිපැදිම වේ.

10. ´´මහාලිය, මම එක් කලක කොසඹෑ නුවර ාේසිතාරාමයෙහි වාසය කළෙමි. එවිට මණ්ඩිස්ස නම් පරිබ්‍රාජක තෙමේද, පරිබ්‍රාජකයෙකුගේ අතවැසියෙකු වූ ජාලිය නම් පරිබ්‍රාජක තෙමේද යන මහණුන් දෙදෙන පැමිණ මා හා සමග සතුටුවූහ. සතුටුවිය යුතු කථා අවසාන කොට එක පැත්තකට වී සිටියෝය, ඒ මහණුන් දෙදෙනා මාගෙන් මෙසේ ඇසුවාහ.

´´ඇවැත් ගෞතමයාණෙනි, ජීවයත් ශරීරයත් එකද නෙහොත් ජීවය අනිකෙක්ද, ශරීරය අනිකෙක්ද?´´ ඒ පැවිද්දන්ට මම මෙසේ කීවෙමි.

11. ´´මහාලිය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් වර්ණ ධර්මයන්ගෙන් යුක්තවූ යහපත් ගති ඇත්තාවූ සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාය්‍ර්‍ය සත්‍ය) සත්‍යයවූ උතුම් ධර්ම සතර අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙව්යන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රාහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිත වූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, (දස ආකාරයෙන් ) නියම විතියට වචන ශබ්ද කරන්නාවූ ව්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ සියලු ශාසන මාර්ග බ්‍රහ්මච්‍ර්‍යය ගෙනහැර දක්වති.

(මෙහි 43 පිටෙහි සාමඤඤඵල සූත්‍රයේ 28 ඡේදයේ සිට 48 ඡේදය යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´මහාලිය´´ යොදන්න.

12. ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශයන් ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන්වුයේම අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැප කොට ඇති පළමුවෙනි ධ්‍යාන කුසල චින්තනය තමාතුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද?´´

13. ´´ඇවැත්නි, නැවතද භික්‍ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟබව ඇති සමාධියෙන් හටගත් වූ ප්‍රීතිසැපය ඇති දෙවැනි ධ්‍යානකුසල චිත්තයට පැමිණ වාසය කෙරෙයිද, ඇවැත්නි යම් ඒ හික්‍ෂු නමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණහට ජීවිතයත් ශරීරයත් එකමය හෝ ජීවය අනිකෙක, ශරීරය අනෙකකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ හික්‍ෂු නමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනිකෙක, ශරීරය අන්කෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් දෙකම එකය, හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැයි හෝ නොකියමි´´

14. ´´නැවතද ඇවැත්නි ඒ භික්‍ෂුතෙම් ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්‍ෂා) සැපදුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේයයි ආය්‍ර්‍යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේද´´

15. ´´නැවතද ඇවැත්නි, ඒ මහණතෙමේ සැප දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැවු ඇති හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේද ඇවැත්නි, යම්ඇසීමි, ඇවැත්නි යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි, ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුයැයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

16. ´´ඥාන දර්ශනය පිණිස විදර්ශනා චිත්තය එළවාතබාද ඥාන දර්ශනයට සිත නමාද, ඇවැත්නි යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීනම් මෙසේ දකීනම් ඒ මහණ හට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් ඒ භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද එවැනි ඥාන දර්ශනයක් ඇති මහණකුට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුනෙවේයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

17. ඇවැත්නි, මෙයින් පසු කෙලෙස් නැතිකිරීම සඳහා කළයුත්තක් නැතැයි දනීද, යම් භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද එබඳුවූ විදර්ශනා ඥානයෙන් (සත්‍යය ඇතිසැටි දැකීම) දැක්කාවූ රහත් භික්‍ෂු නමකට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි. ඇවැත්නි, යම් භික්‍ෂුනමක් මෙසේ දනීද මෙසේ දකීද ඒ රහත් භික්‍ෂු නමට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට නොවටීයයි කීහ. ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රධර්මය දේශනා කළසේක. මෙයින් සතුටු සිත් ඇත්තාවූ ඔට්ඨද්ධ නම් මහාලි ලිච්ඡවි රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය.

හයවෙනිවූ මහාලිය සූත්‍රය නිමියේය.

5. කූටදන්ත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සංඝයා වහන්සේ සමග මගධ දේශයෙහි හැසිරෙන කල ඛාණුමත නම් බමුණු ගමට වැඩ, එහි අම්බලට්ඨිකා නම් උයනෙහි වාසය කරති.

එකල කූටදන්ත නම් බ්‍රාහ්මණයෙක් මගධ දේශයෙහි රජවූ සෙනිය බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස දෙනලද, බොහෝසේ සම්පත්තීන් යුත් ඛාණුමත නම් බමුණු ගමෙහි ප්‍රධානියාව වාසය කරයි.

එකල කූටදන්ත බ්‍රාහ්මණයාගේ මහත් යාගයක් ළඟා විය. ගොනුන් නහඹු වස්සන් නාඹු වැස්සියන් තිරළුවන් එළුවන් සත්සියයක් බැගින් යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්.

2. එකල්හි ඛානුමත ගම් වැසි බමුණු පවුල්හි ප්‍රධානයෝ මෙපවත් ඇසූහ.´´(ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍යපුත්‍රයෙක, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූවෙක, පන්සියයක් පමණවූ මහත් භික්‍ෂුසංඝයා වහන්සේ සමග මගධරටෙහි හැසිරෙන්නේ ඛාණුමත ගමට පැමිණ එහි අම්බලට්ඨිකා උයනෙහි වාසය කරයි. ඒ (ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ හිත් ප්‍රිය කරන කීර්ති රාවයක් පැනනැංගේය.´´

´´උන්වහන්සේ සර්ව සම්පූර්ණ දහමක් දෙසති. පිරිසිඳු බ්‍රහ්මචරියාව පවසති. එබඳු රහතුන්ගේ දැකීම යහපත්ය.´´ එවිට ඒ ඛාණුමත ගම්වැසි බමුණු පවුල් ප්‍රධානයෝ එක්ව රැස්ව අම්බලට්ඨිකා උයනට පැමිණෙත්.

3. එකල්හි කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ ප්‍රාසාදයෙහි මතු,මහල් තලයෙහි දවල් හාන්සිවී විවේක ගැනීමට පැමිණියේය. ඛාණුමත ගම්වැසියන් බමුණු පවුල් ප්‍රධානීන්, අම්බලට්ඨිකා උයනට පැමිණෙන්නන් කූටදන්ත බමුණු දුටුවේය. දැක තමන්ගේ ඇමතියාට කථාකර ´ඇමතියෙනි, ඛාණුමත ගමවැසි පවුල්වල ප්‍රධානියෝ ඛාණුමත ගමින් පිටත්ව, අම්බලට්ඨිකා උයන කරා කුමක්නිසා පැමිණෙත්දැ´යි ඇසීය. ´´පින්වත,මේනම් කරුණක් ඇත්තේය.ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, මහණ ගෞතම තෙමේ පන්සියයක් පමණ මහා භික්‍ෂු සංඝයා සමග මගධ රට ගමන් කරන්නේ පිළිවෙලින් ඛාණුමතයටම වැඩ අම්බලට්ඨිකා උයනෙහි වාසය කරති. ´ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ සුගතයහ, ලෝකවිදුහ, අනුත්තරයහ, පුරිසදම්මසාරථිහ, දෙවිමිනිසුන්ගේ ගුරුවරයාහ, බුද්ධයහ, භාග්‍යවත්හ´යි ඒ භවත් ගෞතමයන් ගැන මෙබඳු යහපත් ගුණ ඝෝෂාවක් උස්ව පැනනැංගේය. ඔවුහු ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙති´´යි කීහ´´

4. එවිට කුටදන්ත බමුණාට මෙබඳු සිතෙක් විය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සම්පත්තිය දන්නේය, යන මේ කාරණය මවිසින් අසන ලද්දේමය. මම ඒ යාග සම්පත්තිය නොදනිමි. මම මහායාගයක් කරන්ටද කැමැත්තෙමි. යාග සම්පත්තිය ශ්‍රමණ ගෞතමයන්ගෙන් අසන්නෙම් නම් ඉතා යහපති.´´

එවිට එසේ සිතා, කූටදන්ත බමුණු තෙමේද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන බව දන්වා බමුණන්ට කියා යැව්වේය. ඒ බමුණෝ කූටදන්ත වෙත පැමිණියෝය. පැමිණ, ´´පින්වත් කූටදන්ත තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය යනු සත්‍යයක්දැයි´´ ඇසුවෝය.

´´පින්වත්ති, එසේ කිරීම මාගේ අදහසය, මහණ ගෞතමයන් දැකීමට මමද පැමිණෙන්නෙමි.´´

6. ´´පින්වත් කූටදන්ත තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීම පිණිස පැමිණීම නුසුදුසුය, ඉදින් පින්වත් කූටදන්ත

තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේ නම් පින්වත් කූටදන්තයන්ගේ කීර්තිය පිරිහෙන්නේය. ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය වැඩිවන්නේය. ශ්‍රමණ ගෞතම තෙමේ කූටදන්ත දැකීමට පැමිණීම සුදුසුයි.´´

´´පින්වත් කූටදන්ත තෙමේ අධිපතිය, ධනවත්ය, වේද කටපාඩමෙන් කියන්නේය, වේදමන්ත්‍ර දන්නේය, ත්‍රිවේදයෙහි අවසානයට පැමිණියේය.

´´පින්වත් කූටදන්ත තෙම සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක. යහපත් වචන ඇති තැනැත්තෙක.

´´පින්වත් කූටදන්තයෝ බොහෝ දෙනාගේ ගුරුවරයාද ගුරුවරයන්ගේ ගුරුවරයාවූහ. පින්වත් කූටදන්තයන් වෙත වේදමන්ත්‍ර ඉගෙන ගැනීමට කැමති බොහෝ තරුණයෝ නොයෙක් රටින් හා නොයෙක් ජනපදයෙන් පැමිණෙති.´´

´´පින්වත් කූටදන්ත තෙමේ පැරණි කුලයෙන් පැවතෙන, පැසුනු වයසට පැමිණියෙක´´

´´ශ්‍රමණ ගෞතම තෙමේ තරුණවූයේ, තරුණ පැවිද්දෙක්ද වේ´´

´´මෙකී කරුණු නිසාද පින්වත් කූටදන්තයෝ ශ්‍රමණ ගෞතමයන් දැකුම් පිණිස පැමිණීමට නුසුදුස්සෝය. ශ්‍රමණ ගෞතමයෝම කූටදන්තයන් දැකීමට එනු සුදුසුය.´´

7. (ඒ බමුණන්) මෙසේ කී කල, කූටදන්ත බමුණු තෙම ඔවුන්ට මෙසේ කීය. ´පින්වත්ති, යම්සේ භවත් ගෞතමයන් දකිනු පිණිස පැමිණෙන්නට අපිම සුදුස්සෝ වෙමුද ඒ පින්වත් ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැමිණෙන්ට නුසුදුසු වේද, ඒ පිළිබඳවූ මාගේ මේ කථාවද අසව්.´´

7 (සස) ´´පින්වත් ශ්‍රමණ ගෞතමතෙම මවු පාර්ශවයෙන්,පිය පාර්ශවයෙන් යන දෙපාර්ශවයෙන්ම මැනවින් උපන්නේය,´´

´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත්වූ නෑදෑ සමූහයා හැර භූමිගතවූද, බොහෝ රන්රුවන් හැර මහණ වූවෙක උන්වහන්සේ තරුණ වූයේම, හොඳ තරුණ භාවයෙන් හා පළමුවන වයසින් යුතුවූයේම,හොඳ කලු කෙස් ඇත්තේ, ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වූයේය.

´´උන්වහන්සේ පැවිදිවනු නොකැමති මවුපියන් කඳුලු පිරී මුහුණින් යුතුව හඩද්දී කෙස් දැලි රුවුල් කපා දමා, සිවුරු හැඳ ගිහියෙින් නික්ම සස්නෙහි මහණ වු කෙනෙකු දැකුමට ප්‍රිය මනා රූප ඇතිවූ, පහදවන ගතිගුණ ඇතිව යහපත් පාට සහ ශරීර ලක්‍ෂණ සහිත උසස්වු රන්වන් පාටින් හා බඹහූගේ ශරීරයෙන් යුක්තයහ, ශරීරහෙි දැකුමට සුලු වරදක්ද නැත.´´

´´ශ්‍රමණ ගෞතමයෝ උතුම් නිදොස් සිල් ඇති සම්පූර්ණ ශීලයෙන් යුතු කෙනෙක පින්වත්නී. ඔහු යහපත් වචන ඇති මිහිරි වචන ඇති යහපත් නිදොස්වූ, පැහැදිලිව අර්ථ ප්‍රකාශ කිරීමෙහි සමත් මිහිරි වචන ඇත්තෝය.´´

´´ශ්‍රමණ ගෞතමයෝ බොහෝ දෙනාගේ ගුරුවරයෙක්ද ගුරුවරයන්ගේ ගුරුවරයෙක්ද වෙති. පහකළ කාම රාග ඇත්තෝ අලංකාර කිරීම නැත්තෝද වෙති. ´කර්ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත´ යන කතා ඇත්තෙක. පව්කම් පෙරටුකොට හැසිරීම් නැත්තෙක.´´

´´පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මිශ්‍රනුවූ ක්‍ෂත්‍රිය නම් උසස් කුලයෙන් ගොස් මහණවූ කෙනෙක. ශ්‍රමණ ගෞතමයෝ මහත් ධන මහා භොග ඇති, උසස් කුලයෙන් නික්ම මහණවූ කෙනෙක.ඔහුගෙන් යම් යම් දේ අසා දැන ගන්නට අන් රටවලින්ද ජනපද වලින්ද ජනයෝ එති. බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ ගෞතමයන් ජීවිතය ඇතිතෙක් සරණකොට ගියහ.´´

7.(සසස) ´´ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත්වූ කීර්ති ශබ්දයක් විශේෂයෙන් උස්ව පැන නැංගේය, කෙබඳුද යත් – ´උන්වහන්සේ සංසාරචක්‍රයෙහි බැමි සින්දහ, අර්හත්හ, හැමලෙසින් දතයුතුදේ තමන්ම දත්හ, නුවණ අටෙන් හා සීල ධර්ම පහළොවින් යුත්හ, හරිමාර්ගයේ ගියහ, ලෝකය හොඳාකාර දත්හ, සිල් ආදී ගුණෙන් ප්‍රධානය, මිනිසුන් දමනය කිරීමෙහි සමත්හ, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්ය. සියල්ල දත්හ,කෙලෙස් නැතිකළහ´යි කියායි.

7.(සඩ) ´´ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස්මහා පුරිස් ලකුණින් යුක්තය. ශ්‍රමණ ගෞතමයෝ යම් කෙනෙක් තමන්වහන්සේගේ සමීපයට පැමිණියේ නම් ඔවුන්ට ආශීර්වාද වචන හා කණට මිහිරි මොළොක් වචන ඇත්තාහ.සතුටුවන කථා ඇත්තෙක. මුහුණ පහත් කොට ගෙන සිටින්නෙක් නොවේය. පළමුකොට කරණ කථා ඇත්තෙක. පින්වත්නි, උන්වහන්සේ (භික්‍ෂු භික්‍ෂුණි උපාසක උපාසිකා යන) සිව්පිරිස විසින් සත්කාර ගරුබුහුමන් පුදපූජා පවත්වන ලද්දෙක. උන්වහන්සේ කෙරෙහි බොහෝ දෙවි මිනිසුන් විශේෂයෙන් පැහැදුනහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ගමක හෝ නියම්ගමක වාසය කරයිද, ඒ ගමෙහි හෝ නියම්ගමෙහි අමනුෂ්‍යයෝ හිංසා පීඩා කිරීමෙන් මිනිසුන් නොවෙහෙසත්.´´

´´ශ්‍රමණ ගෞතමයන් මහත් මහණ සමූහයා ඇත්තෙක.සමූහයකට ගුරුවරවූයේ ගුරුවරයින් අතුරෙන් ඉතා උසස් යයි කියනු ලැබේ. ඇතැම් මහණ බමුණන්ගේ කීර්තිය කිසියම් සුළු කරුණකින් උසස් බවට පැමිණෙන්නේද එබඳු කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය නම් වැඩීමට නොපැමිණියේය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ කීර්තිය වැඩීමෙන් උසස් බවට පැමිණියේ ශ්‍රේෂ්ඨවූ නුවණ හා ශීල සම්පත්තිය නිසාය.´´

7.(ඩ) ´´ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බිම්බිසාර රජු විසිනුදු, කොසොල් රජු විසිනුදු, පොක්ඛරසාතී බමුණා විසිනුදු සත්කාර ගරු බුහුමන් පුද සැලකිලි දක්වන ලද්දෝය.´´

´´ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඛාණුමත ගමට පැමිණ ඛාණුමතයෙහි අම්බලට්ඨිකා උයනෙහි වාසය කරති, යම්කිසි මහණ බමුණු කෙනෙක් අපගේ ගමට එත් නම් ඔවුහු අපේ ආගන්තුකයෝ වෙති. ආගන්තුකයෝ අප විසින් සත්කාර ගරු බුහුමන් පුදසැලකිලි දැක්විය යුත්තෝ වෙත්.´´

´´මේ කරුණෙන්ද ඒ භවත් ගෞතමයන් වහන්සේ අප දැකුමට එන්නට නුසුදුස්සෝය. එසේවූ කල අපිම උන්වහන්සේ ළඟට පැමිණිය යුත්තෝ වෙමු.´´

´´ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ගුණ මෙපමණක්ම දනිමි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙපමණ ගුණ ඇත්තෙක් නොවේ,ශ්‍රමණ භවත් ගෞතමයෝ අප්‍රමාණ ගුණ ඇති කෙනෙක.´´

8. මෙසේ කී කල්හි ඒ බමුණෝ ´´පින්වත්නි, අපි සියල්ලෝම භවත් ගෞතමයන් දැකීම පිණිස පැමිණෙන්නෙමු´´යි කීවෝය.

එවිට කූටදන්ත බමුණු තෙමේ මහත්වූ බමුණු සමූහයා සමග අම්බලට්ඨිකා උයනෙහිභාග්‍යවතුන්වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා අවසන්කොට එක් පැත්තකින් හුන්නේය. ඛාණුමත බමුණු පවුල්හි ප්‍රධානියෝද භගවත්හට වැඳ එක පැත්තකටවි හුන්හ.

9. එකපැත්තකට වී හුන් කූටදන්ත බ්‍රාහ්මණය භගවත්හට මෙසේ කීවේය. ´´ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සම්පත්තිය දන්නාබව මා විසින් අසන ලදී.මම වනාහි දහසය ආකාර පිරිවර ඇති ත්‍රිවිධ යාග සමපත නොදනිමි. මමද මහායාගයක් කරනු කැමැත්තෙමි. භවත් ගෞතමයන් වහන්සේ දහසය ආකාර පිරිවර සහිත ත්‍රිවිධ යාගසම්පත්තිය කියා දෙන්නේ නම් යහපති.´´

´´එසේ නම් බ්‍රාහ්මණය, හොඳින් අසව, කල්පනා කරව, කියා දෙන්නෙමි´´

කූටදන්ත තෙමේද ´´එසේය, පින්වතුන් වහන්සැ´´යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භගවත්හු මෙසේ කීවාහ.

10. ´´බ්‍රාහ්මණය, අතීතයෙහි මහා විජිත නම්වූ රජෙක් විය. බ්‍රාහ්මණය, ඉක්බිති රහසිගතව විවේකයට පැමිණි මහාවිජිත රජහට මෙබඳු කල්පනාවක් පහළ විය. ´මා විසින් මහත්වූ වස්තු සම්පත්තීහු ලබන ලද්දාහුය, මම සියලු පොළෝ මණ්ඩලය හැම ආකාරයෙන්ම ජයගෙණ ප්‍රධානව වාසය කරමි යමක් මට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතීනම් එබඳු මහා යාගයක් කළොත් මැනවැ.(කියායි)´´

´´බ්‍රාහ්මණය, එවිට රජ මෙසේ සිතා පුරෝහිත බමුණාට කථා කොට මෙලෙසින් කීය. ´බ්‍රාහ්මණය මම මහායාගයක් කරන්නට කැමැත්තෙමි. යමක් මට බොහෝ කාලයක් හිත සැප පිණිස පවතින්නේ නම් එබඳු මහායාගයක් කිරීමට පින්වත් තෙමේ මට අවවාද කෙරේවා´

11. ´´මෙසේ කීකල්හි පුරෝහිත බමුණු තෙම මහාවිජිත රජුට මෙසේ කීයේය. ´පින්වත් රජුගේ ජනපදය සොරකම් වැනි කටු සහිතය.බොහෝ සෙයින් (වැසියාට) පීඩා සහිතය.සොර උවදුරු සම්පූර්ණයෙන් නැති කිරීමට නම් පින්වත් රජහුගේ ජනපදයෙහි යමෙක් සීසෑමෙහි හා ගවයින් රැකීමෙහි උත්සාහවත් වෙත්නම් ඔවුන්ට පින්වත් රජ තෙමේ ධාන්‍යද, බත්ද බීජආදියද දානය කෙරේවා.යමෙක් වෙළඳාම් පිණිස උත්සාහ කෙරෙත් නම් ඔවුන්ට පින්වත් රජ තෙම අඩුව ඇති මුල් බඩු දානය කෙරේවා.යම් කෙනෙක් රාජකාය්‍ර්‍යයෙහි උත්සාහ කෙරෙත්ද පින්වත් රජතෙමේ ඔවුන්ට බත්වැටුප් දානය කෙරේවා,´ ඒ මනුෂ්‍යයෝද තමතමන්ගේ කටයුතු වල යෙදුනාහු, රජහුගේ ජනපදය නොවෙහෙසන්නාහ, රජරට බොහෝ ධන ධාන්‍යද රැස් වන්නේ වේ. සොර උවදුරු නැමැතිකටු නැති, පීඩා නැති, ජනපදයෝ උවදුරු රහිතව සිටියාහු වෙති. මිනිස්සුද ඔවුනොවුන් කෙරෙහි සතුටු සිත් ඇත්තාහු, නොවසන ලද ගේදොර ඇත්තන් මෙන්, ළයෙහි දරුවන් නටවමින් වාසය කරත්.´´

12. ´´මහාවිජිත රජතෙමේ එසේ කරවීමෙන් සොර නැමැති කටුනැති, පීඩානැති ජනපදයෝ සමාදානයෙහි පිහිටියහ. මිනිස්සුද හැරදමන ලද දොරවල් ඇත්තවුන් මෙන්, සතුටු නිදහස් සිත් ඇත්තාහු, ඔවුනොවුන් කෙරෙහි සතුටු වන්නාහු, ළයෙහි දරුවන් නටවමින් වාසය කරත්.

13. ´´බ්‍රාහ්මණය, ඉක්බිති මහාවිජිත රජතෙම පුරෝහිත බමුණා කැඳවා මෙසේ කීය. ´බ්‍රාහ්මණය මම දැන් මහායාගය කරන්නට කැමති වෙමි.පින්වත් තෙමේ එසේ මට අනුශාසනා කෙරේවා.´´

´´එසේ නම් පින්වත් රජුගේ ජනපදයෙහි යටත්වූ ක්‍ෂත්‍රියෝද, ඇමතියෝද, බමුණු මහසල් කුලයෝද,පවුල් ප්‍රධානීන්ද, නියම්ගම් වැස්සෝද, දනව් වැස්සෝද, වෙත්නම් පින්වත් රජතෙමේ ඔවුන්ට මෙසේ දැනුම්දීම කෙරේවා. ´පින්වත්නි,මම මහායාගයක් කරණු කැමැත්තෙමි.යමක් මට බොහෝ කල් හිත සැප පිණිස පවතී නම් ඒ පිළිබඳව මට දැනුම්දීම කෙරෙත්වා.´

´´මහාවිජිත රජු ඔවුන්ට එසේ දැන්වීය´.´

´පින්වත් රජ තෙමේ යාග කෙරේවා. මහරජ, (මේ) යාගයට කාලයයි´ ඔවුහු දැනුම් දුන්හ.

මෙසේ මේ කැමැත්ත දැනුම්දුන් කොටස් සතර ඒ යාගයට පිරිවර චෙත්.

14. ´´මහාවිජිත රජතෙමේ කරුණු අටකින් යුක්තවේ. ඔහු මව්පිය දෙපක්‍ෂයෙන් යහපත්ව උපන්නේය සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලද්දේය. දැකීමට ප්‍රිය යහපත් රූපයක් ඇත්තේය, ඔහු මහත් ධන හා වස්තු ඇත්තේය, ඔහු බලවත් හතර ආකාර යුධ සේනාවෙන් යුක්තය, ඔහු මහණ බමුණන්ටද දුගියන්ට මගියන්ට හා යාචකයන්ටද මහත් පොකුණක් වූයේ, නොවසනලද දොර ඇත්තේ දානපතිව ශ්‍රධාවත්ව දෙන්නේ, පින්කරයි. ඔහු නොයෙක් ශ්‍රාස්ත්‍රයන් සම්බන්ධව බොහෝදේ අසා දැනගත්තෙක. ඔහු අතීත අනාගත වර්තමාන යන කාල තුනෙහි පවත්නා අර්ථයන් සිතන්ට සමත්වූ උගත් ඥානවන්ත, පණ්ඩිතයෙක, මහා විජිත රජ තෙමේ මේ කරුණු අටින් යුක්තය. මෙසේ මේ කරුණු අටද ඒ යාගයටම පිරිවර වෙත්.´´

15. ´´පිරෝහිත බමුණු තෙමේද අංග සතරකින් යුක්තවේ. ඔහු මව්පිය දෙපක්‍ෂයෙන් යහපත්ව උපන්නේ, සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලද්දේය. ඔහු වේදමන්ත්‍ර කටපාඩමේ කියන්නේය,වේදමන්ත්‍ර දරන්නේය, වචන අර්ථ ශාස්ත්‍රය කාව්‍යඅලංකාර ශාස්ත්‍රය, හා ශික්ෂා නිරුක්ති ශාස්ත්‍රය සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති තුන් වේදයෙහි පරතෙරට පැමිණියේ වේ. ඔහු සිල්වත් වූයේ වඩනලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්තවේ. ඔහු නුවණැති පණ්ඩිත වූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් වේ. පිරෝහිත බමුණු තෙමේ මේ අංග සතරෙන් යුක්තවේ. මෙසේ මේ අ*ග සතරද ඒ යාගයට සම්බන්ධවූ පිරිවර වෙත්.´´

16. ´´බ්‍රාහ්මණය, ඉක්බිති පිරෝහිත බමුණු තෙමේ මහාවිජිත රජහට යාගයට යාග විධිතුන දැක්වීය, මහායාගයක් කරනු කැමති කල, කරනකල, කළ පසු පින්වත්හට ඒකාන්තයෙන් මාගේ මහත් වස්තු රාශිය විනාශවන්නේ යයි, වේයයි වූයේයයි කිසියම් පසුතැවීමක් වන්නේද, පින්වත් රජහු විසින් ඒ පසුතැවීම නොකොට යුතුයි.´´

17. ´´බ්‍රාහ්මණය, ඉක්බිති පුරෝහිත බමුණු තෙමේ මහාවිජිත රජහුගේ යාගයට පළමුවම යාගය පිළිගන්නවුන් කෙරෙහි ඇතිවිය හැකි පසුතැවිල්ල දසආකාරයකින් දුරුකළේය. ´පින්වත්හුගේ යාගයට පැමිණෙන්නෝ යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කෝද යාගකෙරේවා. පින්වත් තෙමේ එසේම තමන්ට හිමි නැති දෙය ගන්නාහුද ඉන් සම්පූර්ණයෙන් වැළැක්කෝද කාමයෙහි වරදවා හැසිරීමෙන් ඉන් සමපූර්ණයෙන් වැළැක්කෝද බොරු කීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කෝද කේළාම් කීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කෝද රළුවචන කීමෙන් සම්පූර්ණයෙන් වළෙැක්කෝද, හිස්වචන කීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කෝද විෂම ලෝභ නැත්තෝද, ක්‍රෝධාදී වශයෙන් යහපත් ගති විනාශයට පැමිණි සිත් නැත්තෝද, හරි දැකීම් ඇත්තෝද යම් කෙනෙක් සම්‍යක් දෘෂ්ටික නම්, පවින් සම්පූර්ණයෙන් වැළැක්කෝ වෙත් නම් ඔවුන් උදෙසා පින්වත් තෙමේ යාග කෙරේවා. පින්වත් තෙමේ සිතතුළ පැහැදීමක් කෙරේවා´ කියායි. බ්‍රාහ්මණය, පුරෝහිත බමුණු තෙමේ මේ කරුණු දශයෙන් මහාවිජිත රජහුගේ යාගයට පළමුවම ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ඇතිවිය හැකි පසුතැවීම දුරුකළේය.´´

18. ´´පින්වත් රජහු විසින් යටහත් ක්‍ෂත්‍රියයෝද, ඇමතියෝද, බමුණුමහසල් කුලයෝද, වස්තු රැස්කරණ පවුල් ප්‍රධානියෝද, නියම්ගම් වැසියෝද, ජනපද වැසියෝද කැඳවන ලද්දාහුමය.´´

´´මේ කාරණය පිළිබඳවද පින්වත් රජතෙමේ මෙසේ දැනගනීවා පින්වත් රජතෙමේ යාග කෙරේවා, පින්වත් රජතෙම (යාගයෙහි) ඇලේවා, පින්වත් තෙමේ සතුටු වේවා පින්වත් රජතෙමේ සිතතුළ පැහැදීම ඇතිකෙරේවා (කියායි).´´

(ස) ´´පින්වත් රජතෙමේ මවුපිය දෙපක්‍ෂයෙන් යහපත් සේ උපන්නේය, පිරිසිදු මවුකුසින් උපන්නේය, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේය. මේ කරුණු ගැනද පින්වත් රජ මෙසේ දනීවා.´´

(සස) ´´පින්වත් රජ උත්තම රුව ඇත්තෙකි. දැකුම් කටයුත්තේය, හිත් සතුටු කරන්නෙකි, උත්තම පාටෙන් යුක්තයි, උත්තම රන්වන් පාට ඇත්තෙකි, බඹහුගේ ශරීරය මෙන් ශරීරයක් ඇත්තෙකි. ඔහුගේ ශරීරයෙහි දැකුම් කටයුතු දේ බොහෝ වේ.

(සසස) ´´පින්වත් රජ ධනයෙන් උසස් වේ, මහත් ධන ඇතතෙකි, මහත් වස්තු සම්පත් ඇත්තෙකි,බොහෝ මිල මුදල් ඇත්තෙකි, බොහෝ කෑම් බීම්වලට ගන්නා දේ සහ ඇඳ පුටු ආදී සම්පත් ඇත්තෙකි, බොහෝ ධන ධාන්‍ය ඇත්තෙකි, පිරුණු ධන නිධාන හා කොටුගුළු ඇත්තෙකි.´´

(සඩ)´´පින්වත් රජුට අවනතවු, තමන්ගේ අවවාද අනුව ක්‍රියා 8කරන්නාවු පිරිස් ඇත්තේය. කීර්තියෙන් සතු රන් මර්ධනය කරන්නවුන් වැනි වූහ, බලවත් හතර ආකාර සේනාවෙන් යුක්ත වූ රජෙක් වේ.´´

(ඩ) ´´පින්වත් රජ ශ්‍රඬාසම්පන්න නිතර දන් දෙන දානපතියෙක් වේ. මහණ, බමුණු, දුගී මගී, යාචක ආදීන්ට නොවසනකද දොර ඇතිව ඔවුන්ට මහත් පොකුණක් වැනිව පින්කෙරෙයි.´´

(ඩසස) ´´පින්වත් රජ ඒ ශාස්ත්‍රයන් පිළිබඳව, මේ වනාහි මේ දෙසූ ධර්මය සම්බන්ධ අර්ථයයි ඒ ඒ දෙසූ ධර්මයෙහි අර්ථ දන්නා බොහෝ දැනීමක් ඇත්තෙක් ද වේ.´´

(ඩසස) ´´පින්වත් රජ තෙමේ අතීතානාගත වර්තමාන යන කාල තුන පිළිබඳ අර්ථයෙන් සිතන්නට හැකිවූ, සමත් වූ ඥානවන්තයෙකි.´´

(ඩසසස) ´´පණ්ඩිතයෙකි, මේ කරුණ ගැනද පින්වත් රජ තෙමේ මෙසේ සලකාවා. පින්වත් තෙමේ යාග කෙරේවා.

පින්වත් තෙම යාගයෙහි ඇළේවා, පින්වත් තෙමේ සතුටුවේවා, පින්වත් තෙමේ සිත් තුළ පැහැදේවා. පින්වත් රජුගේ පුරෝහිත බමුණා මවුපිය දෙපක්‍ෂයෙන් යහපත්ව උපන්නෙක, පිරිසිදු මවුගැබ ඇත්තෙක සත්වන පරමපරාව දක්වා අවනම්බුවක් නොලද්දෙක. ජාතිවාදයෙන් නින්දා නොකරන ලද්දෙක. ´පින්වත් රජුගේ පුරෝහිත බමුණු වනාහි පණ්ඩිතය, සමත්වූ ඥානවන්තය, යාගහෝමාදිය කරන්නවුන්ගෙන්

පළමුවැනියෙක නොහොත් දෙවැනියෙක, මේ කරුණු ගැනද පින්වත් රජ මෙසේ සලකාවා (මෙසේ සලකා) පින්වත් තෙම යාග කෙරේවා පින්වත් තෙම යාගයෙහි යෙදේවා සතුටු වේවා, පින්වත් තෙම ඇතුළතවූ සිත පහදාවා.´´

(සං) ´´බ්‍රාහ්මණය, පුරෝහිත බමුණු තෙමේ මහායාග කරන්නා වූමහා විජිත රජුගේ සිත මේ කරුණු දහසයකින්ද උත්සාහවත් කළේය, පැහැදවිය, ප්‍රබෝද කළේය, ප්‍රීතිමත් කෙළේය.´´

(ං) ´´බ්‍රාහ්මණය, ඒ යාගයෙහි ගවයන් එළුවන් තිරලුවන්, කුකුළන්, ඌරන් නොයෙක් ආකාර පණ ඇති සතුන් මරුමුවට නොපැමිණවුහ. කණු පිණිස හෝ ගස් නොකැපූහ. කුස තණ නොකැපූහ. ඒ රජුගේ දාසයෝ හෝ වැඩකරන මෙහෙකරුවෝ හෝ කම් කරුවෝ හෝ දඬු ලන්ස ආදිය ගෙණ තර්ජනය නොකරණ ලද්දාහු භය ගන්වනු නෙලද්දාහු, කඳුළුපිරි මුහුණින් නොහඞන්නාහු, යාගයෙහි කටයුතු කළාහුය. ඔවුන් අතුරෙන් වැඩකරණු කැමැත්තෝ වැඩ කළහ. නොකරණු කැමැත්තෝ වැඩ නෙකළහ. යමක්කරණු කැමැති අය නම් ඒ කළහ, යමක් නෙකැමැති අය නම් ඒ නොකළහ. ගිතෙල්, තල තෙල්, වෙඞරු, දී, මී, පැණි යන මෙයින්ද ඒ යාගය අවසානයට පැමිණියේය.

19. ´´බ්‍රාහ්මණය, එවිට ඊට අනුව යෙදුනාවූ යටත් ක්‍ෂත්‍රියෝද, ඇමැතියෝද, අදී රටවැසියෝද බොහෝවූ ධනය රැගෙණ මහා විජිත, රජහු වෙතට පැමිණ මෙසේ කීහ.

´´දේවයන් වහන්ස, මේ(ධනය) දේවයන් වහන්සේ ඒ (ධනය) පිළිගන්නා සේක්වා´´.

´´පින්වත්නි, මට මෙයින් කම්නැත. මාැග් බොහෝවූ ධනය ධාර්මිකවූ අයබදු ගැණීමෙන් යහපත් ලෙස රැස්කරණ ලද්දේය. ඒ ධනයද තොපටම වේවා, මේ ධනයෙන්ද වැඩියක් හැරගනිව්.´´

´´රජ විසින් නොපිළිගත් ධනය ඇති ඒ ක්‍ෂත්‍රිාදීහු ඉවත්ව ගොස් එක්තැනකට රැස්ව මෙසේ අදහස් කළාහුය,´මහාවිජිත රජ තෙමේ මහායාගයක් කෙරේ. අපිදු ඒ රජුට අනුව යාග කරමු´ (යි කියායි)´´.

20. ඒ යාගයන්හිද පණ ඇති සතුන් විනාශයට නොපමණවූහ. යාග කණු පිණිස ගස් නොකපන ලදහ.

´´බ්‍රාහ්මණය, මෙසේ අංග සතරකින් යුත් සහභාගීවූ පිරිසද අංග අටකින් යුත් සතර පිරිවර හා තුන් තැනකින් යුත් පුරෝහිත බමුණු තෙමේද යන දහසය වර්ගයේ සිත පැහැදවිම නම් වු යාග

21. මෙසේ කී කල්හි ඒ බමුණෝ ´යාගයෙහි යහපති, යාග සම්පත්තිය යහපතැයි මහත් ශබ්ද පැවැත්වූහ, කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ නිශ්ශබ්දවම හුන්නේ වේ. එවිට ඒ බ්‍රාහ්මණයෝ ´´කිම පින්වත කූටදන්ත තෙමේ ශ්‍රමණ හෙවත් ගෞතමයන්ගේ යහපත් කථාවක් සේ පිළිගෙන වැඩියක් සතුටු නොවේදැ´´යි කූටදන්තගෙන් ඇසූහ.

´´පින්වත්නි, මම ශ්‍රමණ ගෞතමයන්ගේ සුභාෂිතයසුභාෂිතයක් සේ පිළිගෙණ වැඩියක් සතුටු වෙමි. යලි මට මෙබඳු අදහසක් වේ, ශ්‍රමණ ගෞතමතෙමේ මා විසින් මෙසේ අසන ලදැයිකියා හෝ මෙසේ වන්නට සුදුසුය´යි කියා හෝ කිසිත් නොකියයි, එහෙත් උන්වහන්සේ ´එකල්හි මෙසේ විය, මෙබඳු ලෙසින් වීය´ යි´ දක්වන සේක. ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමතෙම එකල යාග ස්වාමීවූ මහා විජිත රජ හෝ යාග කරවන්නාවූ පුරෝහිත බමුණා හෝ වූයේය, යනු මාගේ අදහසයි. කිම, භවත් ගෞතමයන් වහන්සේ මෙබඳු යාගයක් කොට හෝ යාගයක් කරවා මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නේයයි පිළිගන්නාසේක්ද?´´

´´එසේය. බ්‍රාහ්මණය, මම මෙබඳු යාගයක් කොටද කරවාද මරණින් මතු ස්වර්ගයෙහි උපන්නෙමියි පිළිගනිමි. මම ඒ කාලයෙහි ඒ යාගය කරවූ පුරෝහිත බමුණු වූයෙමි.´´

22. ´´භවත් ගෞතමයන් වහන්ස, මේ දහසය පිරිවර හා තුන් ආකාර යාග සම්පත්තියට වඩා ස්වල්ප කටයුතු ඇති ස්වල්ප පීඩා ඇති එහෙත් එයට වඩා අතිශයින් මහත්ඵල ඇති, මහත් අනුහස් ඇති, අනික් යාගයක් ඇද්ද?´´

´´බමුණ ඊට වඩා මහත් ඵල ඇති, මහත් අනුහස් ඇති, අනික් යාගයක් ඇත්තේය´´

´´භවත් ගෞතමයන් වහන්ස, ඒ යාගය කුමක්ද?´´

´´බ්‍රාහ්මණය, යාගවූ නිරන්තරයෙන් දියයුතු ඒ දානය සිල්වත් පැවිද්දන් උදෙසාදෙත් නම්, බ්‍රාහ්මණය එය මේ සොළොස් පිරිවර හා තිවිධ යාග සම්පත් දානයට වඩා ස්වල්ප කටයුතු ඇත්තේ, ස්වල්ප පීඩා ඇත්තේ, මහත්ඵලදායී මහත් අනුහස් ඇත්තේද වේ.´´

23. ´´භවත් ගෞතමයන් වහන්ස, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?´´

´´බ්‍රාහ්මණය, මෙබඳු යාගයකට රහතුන්වහන්සේලා හෝ රහත් මගට පැමිණි ඇත්තෝ නොපැමිණෙත්. ඊට හේතු කවරේද, යත් :මෙහි දඬු පහර දීම්ද, බෙල්ලෙන් අල්ලා සෙලවීම්ද දක්නට ලැබෙත්. එබැවින් මෙබඳු යාගයකට රහතුන්ද රහත් මගට පැමිණි ඇත්තෝ නොපැමිණෙත්. ඊට කරුණු කියත්ම, බමුණ, එහි දණ්ඩෙන් පහරදීම්ද, බෙල්ලෙන් අල්ලාගැනීම්ද නැත, මේ දහසය පිරිවර සහිත තුන් ආකාර යාග සම්පත්තියට වඩා අනුකූල, යාගයවූ නොකඩවා දෙන දානය ස්වල්ප හිරිහැර ඇත්තේ, එහෙත් අතිශයින් ආනිසංස ඇත්තේද වේ. බමුණ රහතුන්ගේ එහි පැමිණීම ඊට හේතුවයි, ඊට ප්‍රත්‍යයයි.´´

24.´´භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් මහත් ඵලදායී අතිශයින් ආනිසංස ඇති අන්‍ය යාගයක් ඇත්තේද?´´

´´බ්‍රාහ්මණය, ඉතා මහත් අනුසස් ඇති අනික් යාගයක් ඇත්තේය.´´

´´භවත් ගෞතමයන් වහන්ස, ඒ යාගය කවරේද?´´

´´බ්‍රාහ්මණය, යමෙක් සිවුදිගින් පැමිණෙන සංඝයා උදෙසා විහාරයක් කෙරේද, ඒ මහත් තෑග්ග මහත් ඵලදායක මහා ආනිසංස ඇති යාගයක් වේ.´´

25.´´භවත් ගෞතමයන් වහන්ස, මහත්ඵල මහා ආනිසංස ඇති අනික් දානයක් ඇද්ද?´´

´´මහත් ඵලදායී මහා ආනිසංස ඇති අනික් යාගයක් ඇත්තේය.´´

´´භවත් ගෞතමයන් වහන්ස, ඒ කිනම් යාගයක්ද?´´

26.´´බ්‍රාහ්මණය, යමෙක් තෙම පැහැදුනු සිත් ඇත්තේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ ගියේ වේද, බමුණ මේ යාගය ඉතා මහත්ඵල ඇත්තේ මහා ආනිසංස ඇත්තේද වේ.´´

´´භවත් ගෞතමයන් වහන්ස, ඒ සරණාගමණයටද වඩා ස්වල්ප කටයුතු ඇති ස්වල්ප හිරිහැර ඇති, මහත් ඵලදායී මහත් ආනිසංස ඇති අනික් යාගයක් ඇද්ද?´´

´´බමුණ, මහත් ඵලදායී, මහා ආනිසංස ඇති අනික් යාගයක් ඇත්තේය.´´

´´පින්වත් ගෞතමයන් වහන්ස, ඒ යාගය කවරේද?´´

´´බ්‍රාහ්මණය, යමෙක් පැහැදුන සිත් ඇතිව ශික්‍ෂාපදයන් සමාදන් වේද, එනම් ප්‍රාණඝාතයෙන් වැළකීම,

අනුන්ට අයිති දෙයක් වැරදිලෙස ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මද ප්‍රමාද දෙකට කරුණු වූ මත්පැන් පානයෙන් වැළකීම වේ, එය මහත් ඵලදායිද වේ.´´

27.´´භවත් ගෞතමයන් වහන්ස, මේ කී තුන් ආකාර යාග සම්පත්තියට අනුකූල යාගයවූ වඩා මඳවූ කටයුතු ඇති, මඳ පීඩා ඇති, එහෙත් මහත් ඵලදායි මහා ආනිසංස ඇති අනික් යාගයක් ඇත්තේද?´´

´´බ්‍රාහ්මණය, දානයටද, මහත් ඵලදායි මහා ආනිසංස ඇති අනික් යාගයක් ඇත්තේය.´´

´´පින්වත් ගෞතමයන් වහන්ස, ඒ මහා ආනිසංස ඇති යාගය කවරේද?´´

භාග්‍යවතුන් වහන්සේ මෙහි සාමඤ්ඤ ඵල සූත්‍රයේ මෙන් දේශනා කළේය.

(42 පිටෙහි 28 චේදය දක්වා මහරජ වෙනුවට බ්‍රාහ්මණය යොදන්න.)

(ෂ). ´´මහරජ මෙයද මේ ආත්මයෙහිවූ ඵලයන්ට වඩා උතුම්වූද බොහෝසේ මිහිරි වූද භික්ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි´´ වෙනුවට ´´බ්‍රාහ්මණය මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා මඳ කටයුතු ඇත්තේ, ස්වල්ප වූ පීඩා ඇත්තේ අතිශයින් මහත් ඵලදායිද මහානිසංස ඇත්තේද වේ´´ යොදන්න.

´´බ්‍රාහ්මණය, මේ යාගය වූකලී පළමු කී යාගයන්ට වඩා මඳ කටයුතු ඇත්තේ, මඳ හිරිහැර ඇත්තේ, අතිශයින් මහත් ඵලදායීද මහානිසංස ඇත්තේද වේ. බ්‍රාහ්මණය, මේ යාග සම්පත්තියට වඩා අතිශයින් උසස්වූ හෝ අතිශයින් ශෙු්ෂ්ඨ වූ හෝ අන්‍යවූ යාග සම්පත්තියක් නැත්තේය.´´

මෙසේ දේශනා කළ කල කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. ´´භවත් ගෞතමයන් වහන්ස, දේශනාව ඉතා යහපත්ය, පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කොට තබන්නේ හෝ යම්සේද, වසන ලද්දක් විවෘත කොට දක්වන්නේ හෝ යම්සේද, මංමුලා වූවකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෙකුට රූපයන් දැකීම පිණිස අන්ධකාරයෙහි පහනක් දල්වන්නේ හෝ යම් සේද ´´ භා්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් එසේම නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරණ ලදී.

(ෂෂ) ´´මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, මහාසංඝයාද සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේද මා අද පටන් ජීවත්ව සිටින තෙක් සරණගිය උපාසකයෙකැයි භාරගන්නා සේක්වා.´

(ෂෂෂ) භවත් ගෞතමයන් වහන්ස, මම ගවයන් සත් සියයද, නාඹුවස්සන් සත්සියයද, තිරෙළුවන් සත්සියයද මුදවමි. ඔවුන්ට ජීවිත දානය කරමි. ඔවුන් නිල් තණද, කෑම කෙරෙත්වා, සිසිල් වතුරද බීම කෙරෙත්වා. ඔවුන්ට සිසිල් සුළඟද හමාවා.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කූටදන්ත බ්‍රාහ්මණයාහට අනුපිළිවෙළ කථාව වදාළසේක. ඒ කෙසේද යත්ෂ දාන කථාය, ශීල කථාය ස්වර්ග කථාය. කාමයන්ගේ ආදීනවය, ලාමක බවය, කෙලෙසෙන බවය, මහණකමේ අනුසස්ය යන මේයි කූටදන්ත බ්‍රාහ්මණයාගේ සිත යහපත්ය, මෘදුය, ක්ලේශයන්ගෙන් පහව සිටියේය, ප්‍රීතිය වැඩීගියේය. පැහැදුනේයැයි දැනගත් විගස භාග්‍යවතුන් වහන්සේ බුදුවරයන්ගේම ඥානයෙන් අවබෝධ කළ ධර්මයවූ දුකය, සමුදය, නිරොධය, මාර්ගය යන චතුසසත්‍යය දේශනා කළසේක.

බ්‍රාහ්මණයාට එම මොහොතේදීම පහවූ කාම ආශා ඇති, පහවූ (රාගාදී) මල ඇති ධර්මචක්‍ෂුස (හෙවත් ශෝතාපත්ති මාර්ග ඥානය) පහළ වූයේය. යමක් ඉපදීම් ස්වභාවය ඇත්තේද ඒ සියල්ල වැනසීම් ස්වභාව ඇත්තේ යයි ඔහුට අවබෝධ විය.

28. එවිට අන්‍ය ගුරුවරයෙකු කෙරෙහි ඇදහීමක් නැති කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ ´´භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා සහිතව සෙට දවසට මාගේ දානය පිළිගත මැනවැ´´යි ආරාධනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් එය පිළිගත් සේක.

29. එවිට භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දත් කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ පැදකුණුකොට ගියේය.එවිට කූටදන්ත බ්‍රාහ්මණ තෙමේ එම රෑ පසුවීමෙන් පසුදින ස්වකීය යාගාවාටයෙහි මිහිරි කෑම බීම හොඳාකාර පිළියෙළ කරවා ´´භාග්‍යවතුන් වහන්ස, දානය පිළියෙළ කරණලදී. දැන් වැඩීමට කාලය´´යි කාලය දැන්වීය.

30.භාග්‍යවතුන් වහන්සේද හික්‍ෂු සංඝයා වහන්සේ සහිතව හොඳීන් හැඳ පොරව පාසිවුරු ගෙන පෙරවරුයෙහි කූටදන්ත බමුණගේ දානශාලාව කරා වැඩ පණ වන ලද අස්නෙහි වැඩහුන් සේක. කූටදන්තබ්‍රහ්මනණයා බුදුහාමුදුරුවන් ප්‍රධාන කොට ඇති භික්‍ෂු සංඝයා මිහිරි කෑම බීම ආදියෙන් වැළඳවීය. තමන්ගේ අතින්ම තමන්ගේ පිළිගැනවීම කෙළේය. මනාකොට පැවරීය. එවිට කුටදන්ත බමුණු භග්‍යවතුන් වහන්සේ වළඳා අවසානයෙහි පාත්‍රයෙන් අත ඉවත්කළ බව දැන පහත් ආසනයක් ගෙණ එකපැත්තකටවී හුන්නේය. භාග්‍යවතුන් වහන්සේද ධර්මකථාවෙන් එසේහුන් කූටදන්ත බමුණාහට යහපත්ලෙස කරුණු දක්වා කුශල දර්ම කීරීමෙහි උත්සාහවත් කරවා, පුබුදු කරවා, වැඩියක් සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩිසේක.

පස් වැනිවු කූටදන්ත සුත්‍රය නිම්යේය.