3. අක්කමනීය වර්‍ගය.

1. අක්කමනීය සූත්‍රය.

´´මහණෙනි, යම්සේ නොවඩන ලද සිත කර්‍මයට යෝග්‍ය නොවේද, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ කර්‍මයට යෝග්‍ය නොවේ.´´

2. කම්මනීය සූත්‍රය

.´´මහණෙනි, යම්සේ වඩන ලද සිත කර්‍මයට යෝග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ කටයුත්තට යෝග්‍යවේ.´´

3. මහානත්‍ථ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ නොවඩන ලද සිත මහත්වූ අනර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්‍ථය පිණිස පවතී.´´

4. මහත්‍ථ සූත්‍රය.

.´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ මහත්වූ අර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ මහත්වූ අර්‍ථය පිණිස පවතී.´´

5. අපාතුභූත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ. සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ, මහත්වූ අනර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයතුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්‍ථය පිණිස පවතී.´´

6. පාතුභූත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ. සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ, මහත්වූ අර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයතුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ, මහත්වූ අර්‍ථය පිණිස පවතී.´´

7. අබහුලීකත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ, මහත්වූ අනර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ, නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ, මහත් අනර්‍ථය පිණිස පවතී.´´

8. බහුලීකත සූත්‍රය.

8. ´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, මහත්වූ අර්‍ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, මහත් අර්‍ථය පිණිස පවතී.´´

9. දුක්ඛාවහචිත්ත සූත්‍රය.

9. ´´මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ, මහත්වූ දුක් ( පමුණුවන්නේ ) වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ, පුරුදු නොකරණ ලද්දේ, දුක් පමුණුවන්නේ වේ.´´

10. පිඛාවහචිත්ත සූත්‍රය.

10. ´´මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, සැප පමුණුවන්නේ වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ, පුරුදු කරණ ලද්දේ, සැප පමුණුවන්නේ වේ.´´

(තුන්වන වර්‍ගය නිමි.)

30. ලක්ඛණ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙවුරම් වෙහෙර වාසය කරන්නාහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනියි´´ භික්‍ෂූන්ට කථා කළාහුය. ´´පින්වතුන් වහන්සැයි´´ ඒ භික්‍ෂූහූ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීවාහුය.

2. ´´මහණෙනි, මේ ලක්‍ෂණ දෙතිස මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්‍ෂණයෝය. මේ ලක්‍ෂණ වලින් යුක්ත වූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. (ඔහු) ගිහිගෙය වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ ධර්ම රාජයන්වූ සක්විති රජෙක් වෙයි. මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණවේද, කෙලෙස් නැමැති වැස්ම සිඳින ලද අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි. මහණෙනි, මහාපුරුෂයාගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෝ කවරහුද?´´

3. ´´මහණෙනි, මෙහි මහාපුරුෂ තෙමේ මනාකොට පිහිටි පාද ඇත්තේ වෙයි. මහාපුරුෂයාගේ යටිපතුල් වල දහසක් අර ඇති, නිම්වලලු සහිතවූ, නැබ සහිතවූ, චක්‍රයෝ පහළ වෙයි. මහා පුරුෂ තෙමේ දික් විළුම් ඇත්තේ වෙයි, දිග ඇඟිලි ඇත්තේ වෙයි, මෘදුවූ තරුණවූ අතුල්පතුල් ඇත්තේ වෙයි, දැල්කවුලුවක බඳු සමවූ ඇඟලි ඇති අත් පා ඇත්තේ වෙයි, පිරුණු ගොප්මස ඇති පා ඇත්තේ වෙයි, ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි, සිටගෙනම නොනැමී දෙඅත්ලවලින් දනහිස් අතගායි, පිරිමදී. කෝෂය තුළ සැඟවුනු පුරුෂ ලක්‍ෂණ ඇත්තේ වෙයි, සියුම් හම ඇත්තේ වෙයි, එක එක ලොම් ඇත්තේ වෙයි, රෝමකූපයන්හි එක් එක් රෝම හටගත්තාහුය, උඩුකුරු අක් ඇති රෝම ඇත්තේ වෙයි. උඩුකුරුවූ ලොම් නිල්වන්ය., අඳුන්වන්ය.´´

´´කෙලින් පිහිටි ශරීරය ඇත්තේ වෙයි, (දෙපිට පතුල් දෙඋරහිස්, කර යන) සත් තැන උස් වූයේ වෙයි. සිංහයෙකුගේ ශරීරය ඉදිරිපස මෙන් සම්පූර්ණ ශරීරයක් ඇත්තේ වෙයි. පිට දෙපැත්ත මැද පිරුණේ වෙයි. නුග රුකක්සේ වටවූ බව ඇත්තේ වෙයි. උන්වහන්සේගේ ශරීරය යම් පමණ වේද බඹයත් එපමණය. බඹය යම් පමණද ශරීරයත් එපමණය. සම වට බෙල්ල ඇත්තේ වෙයි. සත්සියයක් රස නහර ඇත්තේ වෙයි. සිංහයෙකුගේ යට හක්ක මෙන් සම්පූර්ණවූ උඩු යටි හකු දෙක ඇත්තේ වෙයි. සමසතලිස් දත් ඇත්තේ වෙයි. සම දත් සිදුරු නැතිවූ දත් දිලිසෙන ඉතා සුදු දත් ඇත්තේ වෙයි. මෘදු දික් පළල් දිව ඇත්තේ වෙයි. බ්‍රහ්මයාගේ මෙන් කටහඞ ඇත්තේ වෙයි. කුරවීක හඞ බඳු කටහඞ ඇත්තේ වෙයි. පිරිසිදු නිල්වන් පාට ඇස් ඇත්තේ වෙයි. උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු පැහැදුනු ඇස් ගුලි ඇත්තේ වෙයි. දෙබැම අතර සුදුවූ මෘදුවූ පුලුන් පෙඳක් වැනි දකුණට කරකැවී නළල මැද පිහිටි රෝමයක් වූයේ වෙයි.

4. ´´මහණෙනි, යම් හේතුවකින් මහා පුරුෂයාගේ දෙබැම අතර සුදුවූ මෘදුවූ පුළුන් පෙඳක් වැනි ඌර්ණ රෝමයක් වූයේද මෙයද, මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්‍ෂණයක් වෙයි. මහණෙනි, නැවතද මහාපුරුෂ තෙමේ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇත්තේ වෙයි.

´´මහණෙනි, මහපුරිස් තෙමේ යම් බඳුවූ සම්පූර්ණ හිස ඇත්තේ වේද, මෙයද මහණෙනි, මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්‍ෂණයක් වෙයි.

5. ´´මහණෙනි, යම් හේතුවකින් තථාගතයන් වහන්සේ පෙර ජාතියෙහි මනුෂ්‍යයෙක් වූයේ දශ කුශල ධර්මයන්හී දැඩිව සමාදන් වූයේ නිශ්චලවූ සමාදානය ඇත්තේ විය. කයින් වචනයෙන් සිතින් කරන සුචරිතයෙහිද, දන් බෙදා හදා දීමෙහිද, ශීලසමාදානයෙහිද, පෙහෙවස් විසීමෙහිද, මවට උපස්ථාන කිරීමෙහිද, පියාට උපස්ථාන කිරීමෙහිද, මහණුන්ට සත්කාර කිරීමෙහිද, පව් දුරුකළ බමුණන්ට සත්කාර කිරීමෙහිද, වැඩිහිටියන් පිදීමෙහිද එක් එක් උසස් කුශල ධර්මයන්හී දැඩි සමාදාන ඇත්තේ නිශ්චල සමාදාන ඇත්තේ වීය. හෙතෙම මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියී. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, පාටෙන්ද, සැපයෙන්ද, පිරිවරින්ද, අධිපති බවෙන්ද, රූපයෙන්ද, ශබ්දයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, ස්පර්ෂයෙන්ද යන කරුණු දහයෙන් වැඩිවෙයි.

6. ´´හෙතෙම ඒ දෙව් ලොවින් චුතව මිනිසත් බවට පැමිණියේ මේ මහාපුරිස් ලකුණු ලබයි.

7. මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි පෙර භවයෙහි පෙර වාසයෙහි පෙර මනුෂ්‍යයෙක් වූයේ සම්ඵප්‍රලාප(හිස් වචන) දුරුකොට සම්ඵප්‍රලාප කීමෙන් දුරුවූයේ විය. සුදුසුකල් දැන කියන්නෙක්, ඇතිදෙයක් කියන්නෙක්, ප්‍රයෝජනවූවක් කියන්නෙක් , ධාර්මික දෙයක් කියන්නෙක්, හික්මවිය යුතු වචන කියන්නෙක් සිත තබාගත යුතුවූද කරුණු සහිතවූද උපදෙස් සහිතවූද අර්ථ සහිතවූද වචන සුදුසු කාලයෙහි කියන්නෙක් වූයේය. හෙතෙම ඒ කර්මය කල බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ෂයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස් බවට පැමිණියේ මේ මහා පුරුෂ ලක්‍ෂණය ලබයි.

මෙහි භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ලැබීමට හේතුවූ පෙර කළ පුන්‍ය කර්ම විස්තර කළහ.

( තිස් වැනිවූ ලක්ඛණ සූත්‍රය නිමියේය )