29. පාසාදික සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි දුනු ශිල්ප උගත් විදීම් ශාස්ත්‍රය දත් ශාක්‍යයින්ගේ අඹ උයන තුධවූ ප්‍රාසාදයෙහි වැඩ වාසය කරති. එකල නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවා නම් නුවරෙහිදී නොබෝ දිනකට පෙර මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.

2. එකල්හි චුන්ද ස්ථවිර තෙමේ පාවානුවර වස්වසා නිමවන ලද වස් ඇත්තේ සාම නම් ගම යම් තැනෙක්හිද ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ වෙත පැමිණ, වැඳ එක පැත්තක හුන්නේය. චුන්ද ස්ථවිර තෙමේ මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවානුවරදී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.´´

3. මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ මෙය කීයේය. ´´ඇවැත් චුන්දය, යමු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණෙන්නෙමු. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු දන්වන්නෙමුය´´යි කීහ.

එකල ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේද, චුන්ද ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. ´´ස්වාමීන් වහන්ස, මේ චුන්ද ස්ථවිර තෙමේ මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, නොබෝදා නිගණ්ඨනාත පුත්‍ර තෙමේ පාවානුවරදී මැරුණේය. ඔහුගේ මරණයෙන් පසු බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විරුද්ධ වාදයට පැමිණියාහු ඔවුනොවුන් අතර මුඛ නැමැති ආයුධයන්ගෙන් විදිමින් වාසය කරන්නාහුය.´´

එවිට භාග්‍යවතුන් වහන්සේ, ´´චුන්දය, මේ කාරණය මෙසේම වන්නේය. අයහපත්ව ප්‍රකාශ කළාවූ අයහපත් දැනුම් ඇත්තාවූ නිවනට නොපමුණුවන්නාවූ කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුදුරජුන් විසින් ප්‍රකාශ නොකළාවූ ධර්ම විනයෙහි මෙසේ වන්නේයයි´´ වදාළේය.

4. ´´චුන්දය, මේ ලෝකයෙහි ශාස්තෘ තෙමේ සම්‍යක් සම්බුද්ධ නොවූයේ වේද, ධර්මය අයහපත් කොට ප්‍රකාශ කරන ලද්දේ වේද, අයහපත් කොට දක්නා ලද්දේ වේද, නිවනට නොපමුණුවයිද, කෙලෙස් සංසිඳවීම පිණිස නොපවත්නේද, සම්‍යක් සම්බුදුරජ විසින් දේශනා නොකරණ ලද්දේ වේද, ශ්‍රාවක තෙමේද ඒ ධර්මයෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොපිළිපදින්නේද සාමීචි ප්‍රතිපත්තියෙහි (සුදුසු පිළිවෙතෙහි) ධර්මයෙන් ඉවත්ව පවතීද මෙසේ එහි ශාස්තෘ තෙමේත් නින්දා කටයුත්තෙක් වන්නේය.´´

5. ´´චුන්දය, මේ කාලයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ශාස්තෲන් වහන්සේත් ලෝකයෙහි පහළවූයේ වේද, හොඳින් දේශනා කළාවූ හොඳින් දන්නා ලද්දාවූ නිවණට පමුණුවන්නාවූ කෙළෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදු රජුන් විසින් දේශනා කළාවූ ධර්මය පහළවූයේ වේද, උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් ධර්මයෙහි අර්ථය අවබෝධ කරන ලද්දෝ වෙත්ද, ඒකාන්තයෙන් ඒ ශ්‍රාවකයින්ට සම්පූර්ණ වශයෙන් බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන ලද්දේ වේද, ප්‍රකට කරන ලද්දේ වේද, සියල්ල සංග්‍රහ කරන ලද්දේ වේද, දෙව් මිනිසුන්ගේ පටන් නිවන් පැමිණවීම වශයෙන් හොඳින් ප්‍රකාශ කොට වදාරණ ලද්දේ වේද, එසේ ඇති කල්හි ශාස්තෲවරයාගේ නැතිවීයාම වේද? චුන්දය, මෙබඳුවූ ශාස්තෲතෙමේ මැරෙන ලද්දේ ශ්‍රාවකයින්ට තැවීම නොකරන්නේ වේ.´´

6. ´´චුන්දය, යම් හේතුවකින් මේ අංග දෙකකින් යුක්තවූ බ්‍රහ්මචර්යාවක් (උතුම් හැසිරීමක්) වේද, ශාස්තෲ තෙමේත් රාත්‍රඥවූයේ (බොහෝ කල් දන්නේ) පැවිද්දෙන් කල් ගතවූයේ බොහෝකල් ඉක්මගියේ අන්තිම වයසට පැමිණියේ වේද, ඔහුගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහුද සමර්ථයෝ වෙත්ද, හික්මුණාහූ වෙත්ද, විශාරදයෝ (බොහෝ දත් අය) වෙත්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත්ද, සද්ධර්මය ප්‍රකාශ කිරීමට සුදුසු වෙත්ද, උපන් පරවාද හේතු සහිත කරුණු දැක්වීමෙන් ඉවත්කොට නිවන් පැමිණවීම් සහිත ධර්මය දේශනා කරන්ට සමර්ථ වෙත්ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව මේ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´

´´චුන්දය, මේ අංග දෙකකින් සම්පූර්ණ වූයේ වෙයි. ශාස්තෲ තෙමේත් ස්ථවිර වූයේ රාත්‍රඥවූයේ (බොහෝ කල් දන්නේ) පැවිද්දෙන් කල් ගතවූයේ බොහෝකල් ඉක්මගියේ අන්තිම වයසට පැමිණියේ වේද, ඔහුගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහුද සමර්ථයෝ වෙත්ද, හික්මුණාහූ වෙත්ද, විශාරදයෝ (බොහෝ දත් අය) වෙත්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත්ද, සද්ධර්මය ප්‍රකාශ කිරීමට සුදුසු වෙත්ද, උපන් පරවාද හේතු සහිත කරුණු දැක්වීමෙන් ඉවත්කොට නිවන් පැමිණවීම් සහිත ධර්මය දේශනා කරන්ට සමර්ථ වෙත්ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව මේ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´

´´ඒ ශාස්තෲවරයාගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහූ, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූ, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකාවූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු සමත්තු නොවෙත්ද, හික්මුණාහු නොවෙත්ද, බොහෝ දේ දත් අය නොවෙත්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ නොවෙත්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට අසමර්ථ වෙත්ද, මෙසේ ඒ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.´´

´´ඒ ශාස්තෲවරයාගේ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූහූ, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූ, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකාවූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු සමත්තු වෙත්ද, හික්මුණාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වෙත්ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´

´´උන් වහන්සේගේ ශ්‍රාවකවූ සුදු ඇඳුම් හඳින ලද බ්‍රහ්මචාරීවූ ගෘහස්ථ උපාසකයෝද, ශ්‍රාවිකාවූ ගෘහස්ථ බ්‍රහ්මචාරී උපාසිකාවෝද, කාමභෝගීවූ උපාසකයෝද උපාසිකාවෝද, සමතුන් වෙත්ද, හික්මුණාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි මාර්ග ඵල ඇත්තෝ වෙත්ද, උපන් අන්‍ය මතයන් ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වෙත්ද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´

´´එයින්ද, උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාව සමෘධවූයේත් මහත් වූයේත්, පැතුරුනේත්, බොහෝදෙනා විසින් දන්නා ලද්දේද පැතිරීමක්ද නොවන්නේය. යම්තාක් දෙව් මිනිසුන් විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දක්ද නොවන්නේය.´´

´´ලාභයෙන් හා යසසින් අග පැමිණියක් නොවන්නේද, මෙසේ මේ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ නොවේ.´´

7. ´´චුන්දය, මේ අංග දෙකෙන් යුක්තවූම යම් බ්‍රහ්මචර්යාවක් වේද ශාස්තෘ තෙමේද ස්ථිරවූ ගුණ ඇත්තේද බොහෝ දේ දැන පුරුද්ද ඇත්තේ වේද, පැවිදිවී කලක් ගතවූයේ වේද, ජීවිතයෙහි අන්තිම වයසට පැමිණියේ වේද උන්වහන්සේගේ ශ්‍රාවකවූ ස්ථවිර භික්‍ෂූහූද, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූද, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකාවූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු ශ්‍රාවකවූ බ්‍රහ්මචාරීවූ උපාසකයෝද, ශ්‍රාවිකාවූ බ්‍රහ්මචාරී උපාසිකාවෝද, කාමභෝගීවූ උපාසකයෝද උපාසිකාවෝද, සමත්තු වෙත්ද, හික්මුණාහු වෙත්ද, බොහෝ දේ දත් අය වෙත්ද, පැමිණි රහත් ඵල ඇත්තෝ වෙත්ද, උපන් පරවාද ධර්මයට අනුව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වෙත්ද, උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාව සමෘධවූවක්ද මහත්වූවක්ද, පැතිරීමක්ද, බොහෝදෙනා විසින් දන්නා ලද මහත්වූවක්ද, යම්තාක් දෙව් මිනිසුන් හා හොඳින් ප්‍රකාශ කරන ලද්දක්ද වන්නේය. ලාභයෙන් හා යසසින් අගතැන් පැමිණියේ මෙසේ ඒ බ්‍රහ්මචර්යාව ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.´´

8. ´´චුන්දය, මේ කාලයෙහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ශාස්තෘවූ මම ලෝකයෙහි උපන්නෙමි. මනාකොට අවබෝධ කරන ලද්දාවූ නිවනට පමුණූවන්නාවූ, කෙලෙස් සංසිඳවීම පිණිස පවත්නාවූ සම්‍යක් සම්බුදු රදුන් විසින් දැනගන්නා ලද්දාවූ ධර්මය යහපත් කොට ප්‍රකාශ කරන ලද්දේය. ධරමයෙහි අර්ථය අවබෝධ කරන ලද මාගේ ශ්‍රාවකයෝ වෙත්ද, ඒකාන්තයෙන් ඔවුන්ට බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ සර්වසංග්‍රහ පද වශයෙන් කරන ලද්දේ වේද, දෙව් ලොවිනද මිනිස් ලොව දක්වා නිවනට පැමිණවීම වශයෙන් හොඳින් ප්‍රකාශ කරන ලද්දේය.´´

´´චුන්දය, මම දැන් ශාස්තෘ වුයේ ස්ථිර ගුණයෙන් යුක්තවූයේ බොහෝ කල් දන්නේ, පැවිදිවී බොහෝ කල් ගතවූයේ අන්තිම වයසට පැමිණියේ වෙමි. චුන්දය, මාගේ වනාහි දැන් ශ්‍රාවකවූ ස්ථවිර භික්‍ෂූහූද, මධ්‍යම ශ්‍රාවක භික්‍ෂූහූද, අලුත් ශ්‍රාවක භික්‍ෂූහූ, ශ්‍රාවිකාවූ ස්ථවිර භික්‍ෂුණීහු, මධ්‍යම භික්‍ෂුණීහු, අලුත් භික්‍ෂුණීහු ශ්‍රාවකවූ බ්‍රහ්මචාරීවූ උපාසකයෝද, ශ්‍රාවිකාවූ බ්‍රහ්මචාරී උපාසිකාවෝද, කාමභෝගීවූ උපාසකයෝද උපාසිකාවෝද, සමත්වූවාහු, හික්මුණාවූ පණ්ඩිතවූවාහු, පැමිණි රහත් ඵල ඇත්තාහු, උපන් පරවාද ධර්මයට අනුව කරුණු සහිතව ඉවත් කොට නිවන් දැක්වීම් සහිත ධර්මය දේශනා කිරීමට සමර්ථ වූවාහුය.´´

´´චුන්දය, දැන් මාගේ බ්‍රහ්මචර්යාව සමෘධවූයේද සම්පූර්ණවූයේද, පැතිරුනේද, බොහෝදෙනා විසින් දන්නා ලද්දේද, බොහෝ දෙනා විසින් දක්නා ලද්දේද, යම්තාක් දෙව් මිනිසුන් දක්වා හොඳින් ප්‍රකාශ කරන ලද්දේවේ.´´

9. ´´චුන්දය, මෙකල යම් පමණ ශාස්තෘහු ලෝකයෙහි උපන්නාහුද? චුන්දය, මම යම්සේද එසේ ලාභයෙන් හා යසසින් අග පැමිණි අන් එකම ශාස්තෘවරයෙකු මම නොදක්නෙමි.´´

´´චුන්දය, මේ භික්‍ෂු සං තෙමේ යම්සේද එසේ ලාභයෙන් හා යසසින් අග පැමිණි අන් එකම ශාස්තෘවරයෙකු මම නොදක්නෙමි.´´

´´සෑම ලෙසින් සම්පූර්ණ හැම ආකාරයෙන් පිරුණාවූ අඩු නුවූද වැඩි නුවූද හොඳින් දේශනා කරන ලද්දාවූද හාත්පස සම්පූර්ණ ශ්‍රේෂ්ඨ චර්යා නම්වූ බ්‍රහ්මචර්යාවයයි මීටම කියයුත්තේය.´´

10. ´´චුන්දය, උද්දකරාමපුත්‍ර තෙමේද, ´´කිසිවක් දක්නේ නොදක්නේය´´ යන මෙබඳු වචනයක් කීවේය. කුමක් දක්නේද කුමක් නොදක්නේ දැයි ඇසූකලමනාව මුවහත් තබන ලද ආයුධයේ තලය දක්නේය. (මුවහත්) ධාරාව නොපෙණේයයි (කීය). මෙය හීනවූ ග්‍රාම්‍යවූ පෘථග්ජනිකවූ උතුම් නුවූ අනර්ථ සහිත වූවක් වන්නේය.´´

´´චුන්දය, මා තොපට යම් ධර්ම කොටසක් ඉතා උසස් ප්‍රඥාවෙන් දැන දේශනා කරන ලද්දේද ඒ ධර්මයෙහි සියල්ලන් විසින්ම එක්රැස්ව අර්ථයෙන් අර්ථය වචනයෙන් වචනය හොඳින් කිය යුත්තේය. විවාද නොකළ යුත්තේය. යම් සේ මේ බ්‍රහ්මචර්යාව නම් ශාසනය බොහෝ කල් පවත්නේ වේද, එසේ සජ්ඣායනා කලයුතු යුත්තේය. එය බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද

ලොවට අනුකම්පා පිණිසද දෙව් මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද වන්නේය. හේ කවරේද? සතර සතිපට්ඨානයෝය (සිහිය වැඩිය යුතු භාවනා සතර) සතර සම්‍යක් ප්‍රධානයෝය (මහා වීර්ය සතර) සතර ඎධිපාදයෝය (සත්‍ය අවබෝධය පිණිස පවත්නා හේතු සතර) පඤ්චේන්ද්‍රියෝය (ඉන්ද්‍රිය ධර්ම පස) සප්ත බොඤ්ඤංගයෝය (සත්‍ය අවබෝධ කිරීමේ අංග සත) ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මොහුය.´´

´´චුන්දය, මම මෙලොව පිළිබඳ ක්ලේශයන්ගේ වැළැක්ම පිණිසද ධර්මය දේශනා කරමි. පරලොව පිළිබඳ ක්ලේශයන්ගේ නැසීම පිණිසද ධර්මය දේශනා කරමි.´´

11. ´´චුන්දය, එහෙයින් මා විසින් තොපට යම් සිවුරක් නියම කරන ලද්දේද එය යම්තාක් තොපගේ ශීතල නැසීම පිණිසද උණුසුම නැසීම පිණිසද මැසි, මදුරු, අවු, සුළං, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන උවදුරු නැසීම පිණිසද ලජ්ජා උපදන තැන් වැසීම පිණිසද ප්‍රමාණ වන්නේය. මා විසින් තොපට යම් පිණ්ඩපාතයක් නියම කරන ලද්දේද ඒ පිණ්ඩපාතය යම්තාක් මේ ශරීරය පැවැත්ම පිණිසද යැපීම පිණිසද සාදුක් පීඩා වැළැක්වීම පිණිසද බ්‍රහ්මචරියාවට උපකාර පිණිසද ප්‍රමාණ වන්නේය. පිණ්ඩපාත භෝජනය වැළඳීමෙන් පුරාණ වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මාගේ ජීවිතයේ පැවැත්මද වන්නේය නිවරද බවද පහසුවෙන් විසීමද වන්නේ යයි පරිභෝග කරන්නේය. මා විසින් තොපට යම් සේනාසනයක් නියම කරන ලද්දේද එය තොපට යම්තාක් ශීතල නැසීම පිණිසද උණුසුම නැසීම පිණිසද මැසි, මදුරු, අවු, සුළං, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන උවදුරු නැසීම පිණිසද සුදුසු වන්නේය. යම්තාක් ඎතු උවදුරු නැති කිරීමද තනිව ඉඳීමෙහි ඇලීම පිණිසද සුදුසු වන්නේය. මා විසින් තොපට යම් බෙහෙත් පිරිකරක් නියම කරන ලද්දේද එය තොපගේ යම්තාක් උපන් රෝග වේදනාවන්ගේ නැසීම පිණිසද නිවන් දුක් කෙළවර කොට ඇති බව පිණිසද සුදුසු වන්නේය.´´

12. ´´චුන්දය, යම් හේතුවකින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝසැපයෙහි ඇලීමෙන් යුක්තව වාසය කරන්නාහුයයි කියන්නාහුද එසේ කීමට හේතු ඇත්තේය.´´

´´චුන්දය, මේ සැපැයෙහි ඇලී වාසය කිරීම් සතර හීන වූවාහුය. කවර නම් සතරෙක්ද? චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් අඥානයෙක් තෙමේ ප්‍රාණීන් මරමරා ඇතැම් කෙනෙක් හොරකම් කරකර බොරු කිය කියා සැපයට පමුණු වන්නේය, පිණවන්නේය. නැවතද චුන්දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් පස්වැදෑරුම් කාම ගුණයෙන් පැවරීම වූයේ යුක්තවූයේ සේවනය කෙරේද, චුන්දය, මේ සුඛල්ලිකානුයෝගයෝ සතර උතුම් නුවූවාහූ අනර්ථය පිණිස පවත්නාහුය.´´

13. ´´චුනදය, මේ සුඛල්ලිකානුයෝගයෝ සතරක් ඒකන්ත අවබෝධය පිණිසද රාගය නැතිකිරීම පිණිසද කෙලෙස් නැතිකිරීම පිණිසද කෙලෙස් සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද සම්බෝධිය පිණිසද නිර්වාණය පිණිසද පවත්නාහුය. කිනම් සතරෙක්ද? චුන්දය, මේ ශාසනයෙහි මහණතෙම විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද ප්‍රීතියාගේ නැති කිරීමෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, සැපයද නැති කිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මේ සුඛල්ලිකානුයෝග වෙත්.´´

´´මේ සතර සුඛල්ලිකානුයෝගයෙහි යෙදී වාසය කරන්නවුන් විසින් ඵල ආනිශංස සතරක් කැමති විය යුත්තාහ. කවර නම් සතරක්ද? මේ ශාසනයෙහි මහණතෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් අපායෙහි නොවැටෙන්නාවූ සම්බෝධිය නියත කොට ඇත්තාවූ සෝවන් පුද්ගලයෙක් වන්නේය.´´

´´මහණ තෙමේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ නැති කිරීමෙන් රාග, ද්වේශ, මෝහයන්ගේ තුනී කිරීමෙන් සකෘදාගාමියෙක් වේද, එක්වරක්ම මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නෙක් වන්නේය.´´

14. ´´මහණතෙමේ පස් වැදෑරුම් ඕරම්භාගිය (සක්කායදෘෂ්ඨි, විචිකිච්චා, ශීලව්‍රත, පරාමාශ, කාමරාග, ව්‍යාපාද යන රැහැන් පස) සංයෝජනයන්ගේ නැති කිරීමෙන් ඕපපාතිකයෙක් වන්නේය. ඒ බඹලොවින් මෙලොවට නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන්පාන ස්වභාව ඇත්තෙක් වන්නේය.´´

´´මහණ තෙමේ කාමාදී කෙලෙස් නැති කිරීමෙන් අර්හත් ඵලයට පැමිණ මේ ආත්මයෙහිම තමාම උසස් ඥානයෙන් දැන අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේය.´´

´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ස්ථිර ස්වභාවයක් නැතිව වාසය කරන්නාහුයයි කියයි.´´

´´සර්වඥතාඥානයෙන් සියල්ල දන්නා සියල්ල දක්නාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශාවකයින්ට දිවි කෙළවර දක්වා නොයික්මවිය යුතු ධර්මයක් දේශනා කරන ලදි. පණවන ලදි.´´

15. ´´ඇවැත්නි, යම් ඒ භික්‍ෂුවක් තෙමේ නැති කරන ලද කෙලෙස් ඇත්තේ රහත් වූයේ වේද, වැස නිමවන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ කරන ලද කටයුතු ඇත්තේ ඉවත් කරන ලද කෙලෙස් බර ඇත්තේ පැමිණෙන ලද තමාගේ යහපත්වූ රහත් ඵල ඇත්තේ වේද, ක්‍ෂය කරන ලද සසර රඳවන රැහැන් ඇත්තේ හොඳාකාර දැන අර්හත් ඵල නිදහසින් මිදුනේරැහැන්වේද, ඒ රහත් තෙමේ කරුණු නවයක හැසිරීමට නුසුදුස්සෙක් වන්නේය. රහත්වූ භික්‍ෂු තෙමේද දැන දැන ප්‍රාණයක් නැති කිරීමට සුදුසු නොවන්නේය. සොර සිතින් අන්සතු දෙයක් ගැනීමට සුදුසු නොවන්නේය. මෙවුන්දම් සේවනය කිරීමට සුදුසු නොවන්නේය. දැන දැන බොරු කීමට සුදුසු නොවන්නේය. වස්තු කාමයෙන්ද ක්ලේෂ කාමයෙන්ද තැන්පත් කොටගෙන යමක් පාවිච්චි කිරීමට සුදුසු නොවන්නේය. ආශාව නිසා අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. ද්වේශයෙන් (ක්‍රෝධයෙන්) අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. මෝහයෙන් (මෝඩකමින්) අගතියට යාමට නුසුදුස්සෙක් වන්නේය. බියෙන් අගතියට යාමට සුදුසු නොවන්නේය. යම් ඒ භික්‍ෂුවක් තෙමේ මේ කරුණු නවයෙහි හැසිරීමට සුදුසු නොවන්නේය.´´

´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, ´´ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අතීත කාලය ගැන වැඩි වශයෙන් ඥාන දර්ශනය පණවන්නේය, ප්‍රකාශ කරන්නේය. අනාගත කාලය ගැන ඒ මේ කරුණු කෙසේ වන්නාහුදැයි වැඩි වශයෙන් ඥාන දර්ශනය නොපණවන්නේය, ප්‍රකාශ නොකරන්නේය´´යි (කියත්).

16. ´´චුන්දය, අතීත කාලය ගැන තථාගතයන් වහන්සේගේ පෙර විසූ ජීවිත සිහිකිරීමේ ඥානය ඇත්තේය. අනාගත කාලය ගැනද තථාගතයන් වහන්සේගේ බෝගස මුලදී හටගත් සතර මාර්ග ඥාන උපදනේය. මේ අන්තිම ජාතිය වන්නේය., නැවත උප්පත්තියක් නැත්තේයයි දැන ගන්නේය.´´

´´චුන්දය, අතීතවූ නමුත් යමක් අසත්‍ය නම් අතීතවූ නමුත් යමක් සත්‍ය වුවද ඇත්ත වුවද අනර්ථය පිණිස පවත්නේ නම් එය තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය.´´

´´චුන්දය, වර්තමාන කාලය පිළිබඳ නැත්තාවූ සත්‍යනුවූ අනර්ථයෙන් යුක්තවූවක් වේද, එය තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තාවූ සත්‍යවූ අනර්ථයෙන් යුක්තවූවක් වේද, එයද තථාගතයන් වහන්සේ ප්‍රකාශ නොකරන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තාවූද සත්‍යවූද අර්ථයෙන් යුක්තවූවක් වේද, එහිද ඒ ප්‍රශ්නය විසඳීමට තථාගතයන් වහන්සේ කාලය දන්නේය. චුන්දය, වර්තමාන කාලය පිළිබඳ ඇත්තාවූද සත්‍යවූද අර්ථයෙන් යුක්තවූවක් වේද, එහි ඒ ප්‍රශ්නය සුදුසු කාලයෙහි ප්‍රකාශ කිරීමට තථාගතයන් වහන්සේ දන්නේ වේ. මෙසේ චුන්දය, තථාගතයන් වහන්සේ අතීඑ අනාගත වර්තමාන කාලයන් සම්බන්ධ ධර්මයන්හි සුදුසුකල් බලා ප්‍රකාශ කරන්නෙක් වේද සත්‍යක්ම ප්‍රකාශ කරන්නෙක් වේද අර්ථය ප්‍රකාශ කරන්නෙක් වේද ධර්මය ප්‍රකාශ කරන්නෙක් වේද විනය ප්‍රකාශ කරන්නෙක් වේද එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. ලෝකයා විසින් දැන ගන්නා ලද්දාවූ යමක් වේද ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. චුන්දය, තථාගත තෙම යම් ඒ ධර්මයක් කියන්නේද, ප්‍රකාශ කරන්නේද, දක්වන්නේද ඒ සියල්ල එපරිද්දෙන්ම වන්නේය. අන් පරිද්දෙකින් නොවන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. චුන්දය, තථාගත තෙම් යම්සේ කියන්නේද, එසේ කරන්නේය. යම්සේ කරන්නේද, එසේ කියන්නේය. මෙසේ කියන සේ කරන්නේද කරන සේ කියන්නේද වෙයි. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.´´

17. ´´චුන්දය, ලෝකයෙහි තථාගත තෙමේ සියල්ල මැඩපවත්වන්නේය. කිසිවෙකු විසින් නොමැඩිය හැකි වන්නේය. ඒකාන්තයෙන් සියල්ල දක්නේය. සියල්ල තමා වසයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.´´

´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කියන්නාහු වෙත්ද, ඇවැත්නි, කිමෙක්ද, සත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් වේද, නොවන්නේත් වේද? ඔවුනට මෙසේ කිවයුතු වන්නාහුය. ´´ඇවැත්නි, මෙය අර්ථයෙන් යුත්ත වූවක් නොවන්නේය. නිර්වාණය පිණිසද නොපවත්නේය. එහෙයින් එය භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේය´´යි (කියයුතුය)´´.

´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් කුමක් ප්‍රකාශ කරන ලද්දේද?, ඔවුනට මෙසේ කියයුතුය. ´´ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය ප්‍රකාශ කරන ලද්දේය´´යි (කියයුතුය)´´.

´´චුන්දය, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ, ඇවැත්නි, කුමක් හෙයින් මෙය ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් ප්‍රකාශ කරන ලද්දේද?යි අසන කල මෙසේ කියයුතුය.

´´ඇවැත්නි, මෙය අර්ථයෙන් යුක්ත වූයේය. මෙය ධර්මයෙන් යුක්ත වූයේය. මෙය බ්‍රහ්මචර්යාවට මුල් වන්නේය. ඒකාන්ත අවබෝධය පිණිසද, නොඇලීම පිණිසද, කෙලෙස් නැති කිරීම පිණිසද, කෙලෙස් සංසිඳවීම පිණිසද, විශේෂ ඥානය පිණිසද, යහපත් අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද පවත්නේය´´.

(මෙහි බ්‍රහ්මජාල සූත්‍රයේ 32 පිටේ 62 ඡේදය සහ 33 පිටේ පළමුවන පේළි හය යොදන්න)

´´මෙබඳු දෘෂ්ඨි ඇත්තාහු වෙත්, ´´ආත්මයද ලෝකයද සදාකාලික වන්නේය.´´

18. ´´චුන්දය, මේ පූර්ව කෙළවර ඇසුරු කළාවූද දෘෂ්ඨීන්ගේ නැසීම පිණිස, ඉක්මවීම පිණිස, මා විසින් මෙසේ මේ සතර සතිපට්ඨානයෝ දේශනා කරන ලද්දාහු, පණවන ලද්දාහුය. මත ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, වේදනාවන්හිද චිත්තයෙහිද ධර්මයන්හි ධර්මයන් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, චුන්දය, මේ පූර්ව කෙළවර ඇසුරු කළාවූ දෘෂ්ඨීන්ගේද නැසීම පිණිස ඉක්මවීම පිණිස මෙසේ මා විසින් මේ සතර සතිපට්ඨනයෝ දේශනා කරන ලද්දාහුය, පණවන ලද්දාහුය.´´

19. ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් උපවාණ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිටිපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිට මෙය සැළ කෙළේය. ´´ස්වාමීන් වහන්ස, මේ ධර්ම දේශනා ක්‍රමය ආශ්චර්ය වන්නේය. මේ ධර්ම කොට්ඨාශය පැහැදීම ඇති කරන්නේය. ස්වාමීන් වහන්ස, මේ ධර්ම කොට්ඨාශය කවර නමක් ඇත්තේදැයි´´ ඇසුවේය. ´´උපවාණ, එසේ නම් මේ ධර්ම කොට්ඨාශය ´´පාසාදික´´ යි කියාම දරාගනුව´´යි වදාළේය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළාහුය. සතුටු සිත් ඇත්තාවූ ආයුෂ්මත් උපවණ ස්ථවිර තෙමේද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූයේය.

(විසි නව වැනිවූ පාසාදිකා සූත්‍රය නිමි.)