24. පාඨික සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ල රට අනුපිය නම්වූ මල්ල රජුන්ගේ නියම්ගම වැඩවාසය කළෝය. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රයද රැගෙන අනුපිය නම් නියම් ගමට පිඩු පිණිස පැමිණියෝය. අනුපිය නම් නියම් ගමට පිඩු පිණිස යාම සඳහා තව කල් වැඩි නිසා භාර්ගව ගෝත්‍ර පිරවැජියාගේ ආරාමයට පැමිණියේය.

2. එකල භාර්ගව ගෝත්‍ර පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙහි පැමිණෙත්වා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකින් මෙහි පැමිණියාහුය. මෙහි වැඩ හිඳිනු මැනවැයි´´ පිරිවැජි තෙමේ තමාගේ ආසනය පනවා දුන්නේය, භාර්ගව ගෝත්‍ර පිරවැජියාද එක්තරා මිටි ආසනයක් ගෙන එක් පැත්තක හුන්නේය.

එක පැත්තක හුන්නාවූ භාර්ගව ගෝත්‍ර පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´ස්වාමීනි, පසුගිය දවසෙක වනාහී සුනක්ඛත්ත නම් ලිච්ඡවී පුත්‍රයා පැමිණ මට මෙසේ කීයේය. ´´භාර්ගවය, මා විසින් දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවත් කරන ලද්දාහ. මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරමියි´´ කීයේය.

´´ස්වාමීන් වහන්ස, කිමෙක්ද? මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා කී සේවූවක්දැයි´´ ඇසුවේය.

´´භාර්ගවය, මේ කාරණය සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා යම්සේ කීයේද එසේ වූයේය. භාර්ගවය, පසු ගිය දවසෙක සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා පැමිණ මට වැඳ එක පැත්තක හුන්නේය. මට මෙසේ කීය.

´´ස්වාමීන් වහන්ස, දැන් මම භාග්‍යවතුන් වහන්සේ අත් හැර දමමි. ස්වාමීන් වහන්ස,මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වාසය නොකරන්නෙමියි´´ කීය.

මෙසේ කී කල්හි මමමෙසේ කීමි.

´´කිමෙක්ද, සුනක්ඛත්තය, මම තා හට මාගේ ශ්‍රාවකයෙක්ව වාසය කරවයි කීයෙම්ද?´´

´´ස්වාමීන් වහන්ස, එබඳු කීමක් නැතැයි´´ කීය.

´´තෝ වනාහි මට ´´ස්වාමීන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ව වාසය කරන්නෙමි´´යි කීයෙහිද?

´´ස්වාමීන් වහන්ස, එබන්දක් නොකීමි´´යි කිය.

´´එසේ නම් හිස් පුරුෂය, කවරෙක් කවරෙකු ඉවත් කරන්නේදැයි ඇසීමි. හිස් පුරුෂය තාගේ මේ අපරාධය කොතරම් මහත්ද කියා බලවය´´යි කීමි.

3. ඉන් පසු හෙතෙම ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් තෙමේ මා හට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම නොකරන්නේය´´යි කිය.

´´කිමෙක්ද, සුනක්ඛත්තය, මම තා හට ´´සුනක්ඛත්තය එව, තෝ මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව. මම තාහට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන්නෙමි´´යි කියෙම්ද?´´

´´ස්වාමීන් වහන්ස, එසේ නොකීවේයයි´´ කීය.

´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරන ලද්දේද ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ සසර දුක් නැසිම පිණිස පවත්නේයයි´´ කීය.

´´එසේ නම් සුනක්ඛත්තය, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීමෙන් කවර ප්‍රයෝජනයක් වන්නේද? හිස් පුරුෂය, තගේ මේ කොතරය් මහත් වරදක්දැයි බලවයයි´´ කීමි.

4. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා හට ලෝක ප්‍රඥප්තිය (ලෝකෝත්පත්ති කථාව) ප්‍රකාශ නොකළේය´´යි කීය. ´´එව, තෝ මාගේ ශ්‍රාවක භාවයට පැමිණ වාසය කරව. මම තා හට ලෝකය හටගැනිමේ කථාව ප්‍රකාශ කරන්නෙමියයි´´ කියෙම්ද?´´

´´ස්වාමීන් වහන්ස, එසේ නොකීයේයයි´´ කීය.

´´සුනක්ඛත්තය, තෝ කුමකැයි සිතන්නෙහිද? ලොව හට ගැනීමේ සීමාව (ලෝකෝත්පත්තිය) ප්‍රකාශ කළ කල්හී හෝ නොකළ කල්හී යම් දුක් නැසිමක් සඳහා මා විසින් ධර්මය ප්‍රකාශ කරන ලද්දේද, ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින්නාවූ පුද්ගලයාගේ සියලු දුක් නැතිකිරීම පිණිස පවත්නේදැයි´´ ඇසීමි.

´´ස්වාමීන් වහන්ස, දුක් නැති කිරීමක් සඳහා දහම් දෙසන්නේද ඒ ධර්මය තෙමේ ඊට අනුව පිළිපදින පුද්ගලයාගේ දුක් නැතිකිරීම පිණිස පවත්නේයයි´´කීය.

´´හිස් පුරුෂය, බලව, තා විසින් කොතරම් මහත්වූ අපරාධයක් කරන ලද්දේදැයි ඇසීමි.

5. ´´සුනක්ඛත්තය, තා විසින් වජ්ජි ග්‍රාමයෙහි (වැදෑ රජුන්ගේ ගමෙහි) නොයෙක් ආකාරයෙන් මාගේ ගුණ වර්ණනා කරන ලද්දේය.

´´සුනක්ඛත්තය, තා විසින් (එම) විශාලා මහ නුවරදි නොයෙක් ආකාරයෙන් සංයාගේ ගුණ කියන ලද්දේය.

´´සුනක්ඛත්තය, තට මෙසේ කියන්නෝ ඇති වන්නාහුය. සුනක්ඛත්ත, ලිච්ඡවී පුත්‍ර තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්යා නම්වූ ශ්‍රේෂ්ඨ හැසිරීමට අපොහොසත් වූයේ ශ්‍රමණ ධර්මයෙන් ඉවත්ව ගිහි බවටපැමිණියේයි´´ කීමි.

´´භාර්ගවය, මෙසේ මා විසින් කියනු ලැබූ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ යම්සේ අපායේ ඉපදීමට සුදුසුවූ නිරිසතෙක් චුතව එහි, යන්නේ වේද එසේම මේ ධර්ම විනය නම්වූ ශාසනයෙන් පහවූයේය.

6. ´´භාර්ගවය, මම එක් කලෙක ථුලු නම් රට උත්තරකා නම් නියමගම වාසය කලෙමි. එකල මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා පසු ශ්‍රමනයා කොටගෙන උත්තරකා නම් නියම් ගමට පිඬු පිණිස පැමිණියෙමි.ඒ කාලයෙහි වස්ත්‍ර හැඳීමක් නැති හෙයින් නිර්වස්ත්‍රවූ බලු ලිලාවෙන් යුත් කොරක්ඛත්තිය නම් නිගණ්ඨයෙක් තෙමේ දුටුවෙමි.

´´සුනක්ඛත්තය, හෙතෙම මෙයින් සත්වන දවසෙහි අලසක නම් රෝගයෙන් (ඉදිමී ගිය බඩ ඇතිව) කාලක්‍රියා කරන්නේය. එසේ කළුරිය කොට කාලකඤ්ජික නම් ඉතා හීනවූ අසුර-යෝනියෙහි උපදනේය. මැරුණාවූ ඔහු බීරණත්ථම්භක නම් සොහොනෙහි දමන්නාහුය.

´´භාර්ගවය, එකල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයා වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශය දැන්නුවේය.

´´එකල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ බීරණත්ථම්භක නම් සොහොනට පැමිණ කොරක්ඛත්තිය නම් නිගණ්ඨයාට තුන් වරක් අතින් ගැසුවේය. (අතින් ගසා) ´´ඇවැත් කොරක්ඛත්තිය තමාගේ ගතිය (තම උපන් තැන)දන්නෙහිද?´´යි ඇසී.

´´එකල කොරක්ඛත්තිය නිගණ්ඨ තෙමේ අතින් පිට පිස දමමින් නැගිට්ටේය. (එසේ නැගිට)´´ ඇවැත් සුනක්ඛත්තය, තමාගේ ගතිය දනිමි. සියල්ලෙන් පිරිහුණු කාලකඤ්ජික නම් අසුර නිකායෙක් වේද එහි මම උපන්නෙමි´´ කියා එතැන්හිම උඩුකුරුව මළකඳ වැටුණේය.

සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා මට මෙසේ කීයේය. ´´ස්වාමීන් වහන්ස, කොරක්ඛත්තිය නිගණ්ඨයා සඳහා භාග්‍යවතුන් වහන්සේයම් පරිද්දකින මට කීවේද, ඒ විපාකය එපරිද්දෙන්ම වූයේය.

´´සුනක්ඛත්තය, ඉදින් එසේ ඇති කල්හි මා විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන ලද්දේ වේද නොකරන ලද්දේ වේදැයි´´ ඇසීමි. ´´ස්වාමීන් වහන්ස, එසේ ඇති කල්හී ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන ලද්දේය.´´

7. ´´භාර්ගවය, එක්කලෙක මම විශාලා මහනුවර සමීපයේ මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කළෙමි. ඒ කාලයෙහි කොරමට්ටක නම් නිගණ්ඨයෙක් ලාභයෙන් යසසින් අගතැන් පැමිණියේ විශාලා මහනුවර වජ්ජි ග්‍රාමයෙහි වාසය කරයි. ඔහු ජීවිතාන්තය දක්වා සුරා සහ මංශයෙන්ම යැපෙයි.

´´භාර්ගවය එකල්හී සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ කොරමට්ටක නම් නිගණ්ඨ තෙමේ වෙත පැමිණ ප්‍රශ්න ඇසීය. කොරමට්ටක නිගණ්ඨයාට උත්තර දිය නොහැකි විය. උත්තර දිය නොහැකිවූ හෙතෙම කෝපයද ද්වේශයද නොසතුටු බවද ප්‍රකාශ කළේය.

´´භාර්ගවය එකල සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍රයා ඔහුගෙන් ක්‍ෂමාව ඉල්වා ගත්තේය.

´´භාර්ගවය එකල්හී සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මා වෙත පැමිණි කලඔහුට මම මේ කාරණය කියමි.

´´හිස් පුරුෂය, තෝ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙකුසේ පෙනී සිටින්නෙහිදැයි´´ ඇසීමි. ´´තෝ කොරමට්ටක නම් නිගණ්ඨයා කරා පැමිණ ප්‍රශ්ණ ඇසුවේ නොවේද?ප්‍රශ්න අසන ලද්දාවූ ඒ කොරමට්ටක නම් නිගණ්ඨ තෙමේ නොසතුටුව කෝපයද ද්වේශයද නොසතුටු බවද පහළ කළේය. එවිට ඔහු ක්‍ෂමා කරවා ගත්තේ නොවේදැයි´´ ඇසීමි. ´´එසේය ස්වාමීන් වහන්සැයි කියා, කිමෙක්ද? ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ රහත් බව මසුරුකරන්නේදැයි´´ ඇසී.

´´සුනක්ඛත්තය, ඒ කොරමට්ටක නම් නිගණ්ඨයා උහපත් රහත් ශ්‍රමණයෙකැයි සිතන්නෙහිද?ඒ නිගණ්ඨ තෙමේ නොබෝ දවසකින්ම ගිහි ඇඳුම් ඇඳ බිරිඳක් සහිතව බත් පිටි ආහාර අනුභව කරමින් විශාලා මහනුවර සියළු චෛත්‍යස්ථානයන් ඉක්මවා ගොස් යසසින් පිරිහී මැරේන්නේයයි´´ කීවෙමි.

´´භාර්ගවය, එකල්හී සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මට මෙසේ දැන්නුවේය. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කොරමට්ටක නම් නිවටා ගැන භාග්‍යවතුන් වහන්සේ යමක් ප්‍රකාශ කළේද,ඒ විපාකය එසේම වූයේයයි´´ කීය.

´´සුනක්ඛත්තය, ඉදින් එසේ ඇති කල්හි මා විසින් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීමක් කරන ලද්දේදැයි´´ ඇසීමි. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන ලද්දේය´´ කීය.

´´භාර්ගවය, මෙසේද වනාහි මා විසින් කියනු ලබන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මේ ධර්මවිනය නම්වූ ශාසනයෙන් අපායෙහි වැටෙන්නාවූ නිරි සතෙක් යම් සේද ඒසේ පහවූයේයයි කීවෙමි.

8. ´´භාර්ගවය, මම එක්කලෙක විශාලා මහනුවරෙහිම මහාවනයෙහි කූටාගාර ශාලාවෙහිම වාසය කළෙමි. ඒ කාලයෙහි පාඨික පුත්‍ර නම් නිගණ්ඨයෙක්තෙමේ විශාලා මහනුවර වජ්ජි ග්‍රාමයෙහි ලාභයෙන් යසසින් අග්‍රබවට පැමිණ වාසය කරයි. ඒ පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේද විශාලා මහනුවර පිරිස්වලමෙබඳු වචනයක් කියයි. ´´ශ්‍රමණ භවත් ගෞතම තෙමේද ඤාණවාදියෙක මමද ඤාණවාදියෙක් වෙමි. ඤාණවාදියෙක් ඤාණවාදියෙකු හා මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීමට සුදුසු වන්නේය. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ (වාදකිරීම සඳහා) අඩ යොදුනක් එන්නේ නම් මමද අඩ යොදුනක් ඉදිරියට යන්නෙමි. ඒ අපි දෙදෙනම එහි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් සෘද්ධි දැක්වීම කරන්නෙමු. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ එක් සෘධියෙකු දක්වන්නේ නම් මම සෘධි දෙකක් දක්වන්නෙමි.

´´භාර්ගවය, එකල්හී සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මා වෙත පැමිණ, මා හට ඒ කාරණය කියේය.

´´සුනක්ඛත්තය, ´´පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට මාගේ හමුවට එන්ට නුසුදුසු වන්නේයයිද ඉදින් එසේ ඒ නම් ඔහුගේ හිස සත්කඩකට පැළෙන්නේය´´යිද මාගේ සිතින් පිරිසිඳ දන්නා ලද්දේය. දේවතාවෝද මට මේ කරුණ දැන්වූහ.´´

9. ´´භාර්ගවය, එකල්හි වනාහි මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන විශාලා මහනුවරට පිඬු පිණිස පැමිණියෙමි. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී එන්නේ පාඨිකපුත්‍ර නිගණ්ඨයාගේ ආරාමයට පැමිණියෙමි.´´

´´භාර්ගවය, එකල්හි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ විශාලා මහනුවරට ගොස් ප්‍රසිද්ධවූ ලිච්ඡවීහු යම් යම් තැන්හිද ඒ ඒ තැන්වලට පැමිණ මේ පුවත් කීයේය. ´´ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍ර නිගණ්ඨයාගේ ආරාමය යම් තැනෙක්හිද දවල් කාලයෙහි වාසය පිණිස එහි පැමිණියෝය. ආයුෂ්මත්නි, නික්ම යව්, යහපත් ස්වභාව ඇති ශ්‍රමණයින්ගේ මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඎධි දැකවීමක් වන්නේයයි´´ කීය.

´´භාර්ගවය, එකල පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ බියපත් වූයේ තැතිගන්නා ලද්දේ කීන්දුක්ඛාණු පිරිවැජියාගේ ආරාමයට පැමිණියේය.´´

´´භාර්ගවය, පාඨික පුත්‍ර තෙමේ ´´ඇවැත, එන්නෙමි, ඇවත, එන්නෙමි´´යි කියමින් එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය.´´

´´භාර්ගවය, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙසේ කීවෙමි. ´´ඇවැත්නි, පාඨික පුත්‍ර නිගණ්ඨ තෙමේ ඒ වචනය පහ නොකොට ඒ සිත පහනොකොට ඒ දෘෂ්ටිය අත්නොහැර මාගේ ඉදිරියට එන්ට අසමර්ථ වන්නේය.´´

(පළමුවෙනි බණ වරයි)

10. ´´භාර්ගවය, එකල්හි වනාහි එක්තරා ලිච්ඡවී මහාමාත්‍යයෙක්ද ඊට පසු ජාලිය නම් තැනැත්තෙක්ද පාඨික පුත්‍ර නිගණ්ඨයා ගෙන එන්ට ගියේය. ඔහුටද පාඨික පුත්‍ර තෙමේ ´´ඇවැත යමි, ඇවැත යමි´´ කියා එහිම ලැගෙන්නේය. හුනස්නෙන් නැගිටින්ටද නොහැකි වන්නේය.´´

´´භාර්ගවය, එකල්හි මම ඒ පිරිස දැහැමි කථාවෙන් කරුණු දක්වා සිත් පහදවා මහත්වූ සසර කෙලෙස් බැඳුමෙන් මිදුනවුන් කොට අසූසාර දහසක් ප්‍රාණීන් මහත්වූ සංසාර දුර්ග මාර්ගයෙන් උදුරා නිවන්පුර අද්දර පිහිටුවා තේජෝ ධාතු සමාපත්තියට සමවැදී තල් ගස් හතක් පමණවූ අහසට පැන නැගී අනිකුදු තල් ගස් හතක් පමණවූ තැන ගිනිසිළු මවා දල්වා, දුම් පිටකොට, ප්‍රාතිහාර්ය දක්වා මහා වනයෙහිවූ කූටාගාර ශාලාවට පැමිණ සිටියෙමි.´´

´´භාර්ගවය, එකල්හි වනාහි සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මම වෙත පැමිණි විට ´´සුනක්ඛත්තය, මම තට පාඨික පුත්‍ර නිගණ්ඨයා ගැන යම් පරිද්දෙකින් කීයෙම්ද ඒ විපාකය එසේම වීද?´´ ඇසීමි. ´´ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍ර නිගණ්ඨයා ගැන යම් පරිද්දෙකින් ප්‍රකාශ කළේද ඒ විපාකය එසේම වූයේය.´´ ´´සුනක්ඛත්තය, තෝ කුමක් සිතන්නෙහිද? ඉදින් මෙසේ ඇති කල්හි මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඎධි දැක්වීමක් කරණ ලද්දේද?´´

´´ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඎධි දැක්වීමක් කරණ ලද්දේ වෙමි´´ කී ´´මෙසේද ඇති කල්හි තෝ මෙසේ කියන්නෙහිය. ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඎධි දැක්වීම නොකරන්නේමය´´යි කියයි. හිස් පුරුෂය, බලව, කොතරම් මහත් අපරාධයෙක් තා විසින් කරණ ලද්දේදැයි´´ කීයෙමි.´´

´´භාර්ගවය, මෙසේද මා විසින් කියනු ලබන්නාවූ සුනක්ඛත්ත ලිච්ඡවී පුත්‍ර තෙමේ මේ ධර්ම් විනය නම්වූ ශාසනයෙන් අපායෙහි ඉපදීමට සුදුසු නිරිසතෙක් එහි යන්නේ යම්සේද එසේම පහවී ගියේ යයි´´ කීවාහුය.

11. ´´භාර්ගවය, මම ලෝකෝත්පත්තිය පිළිබඳ වංශයත් දනිමි. එයින් මතු සර්වඥතාඥානය දක්වා සියල්ලත් දනිමි. එහෙත් මම මෙනම් දේ දනිමියි තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් නොගනිමි. මා විසින් තමාම තමා තුළ කෙලෙසුන්ගේ නිවීම දැනගන්නා ලද්දේය. යම් බඳු කෙලෙසුන්ගේ නිවීමක් දන්නාවූ තථාගතවූ බුදුරජ තෙමේ නිවන් නොදත් තීර්ථකයන් මෙන් විනාශයට දුකට නොපැමිනෙන්නේය.´´

´´භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ඊශ්වරයා විසින් ලොව මවන ලද්දේය, බුහ්මයා විසින් ලොව මවන ලද්දේයයි ඔවුන්ගේ ආචාර්ය පරපුරෙන් එන ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරද්ද, මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ´´ආයුෂ්මත්නි, තොපි කවරෙකු විසින් කෙසේ මවන ලද්දේද? ලෝකෝත්පත්ති වංශ කථාව ප්‍රකාශ කරන්නාහුද? මා විසින් අසන ලද්දාවූ ඔව්හු උත්තර දෙන්ට නොහැකි වෙත්. උත්තර දෙන්ට නොහැක්කාහු මාගෙන්ම අසත්.

12. ´´ඇවැත්නි මෙබඳු කාලයක් වන්නේමය. බොහෝදීර් කාලයක් ඇවෑමෙන් පසු යම් කිසි කලෙක මේ ලෝකය විනාශ වන්නේය. ලෝකය විනාශ වන කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නාහුය. ඔව්හු සිතින් උපදින්නාවූ ප්‍රීතිය අනුභව කරමින් ස්වකීය ශරීරාලෝක ඇතිව අහසෙහි හැසිරෙන්නෝව මනා කොට සිටින්නාහු ඉතා දීර් කාලයක් වාසය කරත්. දීර් කාලයක් ඇවෑමෙන් මේ ලෝකය හැදෙන්නේය, ලෝකය හැදෙන කල්හි ශුන්‍යවූ බ්‍රහ්ම විමානයක් පහළ වන්නේය. එකල වනාහි එක්තරා සත්වයෙක් ආයුෂ ක්ෂය වීමෙන් හෝ පින ක්ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බඹ විමනෙහි ඕපපාතිකව උපදින්නේය. හෙතෙම එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙමින් සුවසේ සිටින්නේ බොහෝ දිගු කලක් (එසේ) සිටින්නේය. එහි හුදකලාව බොහෝ කලක් වසන ඔහුට නොඇල්මක් තැති ගැන්මක් උපදින්නේය. ´´ඒකාන්තයෙන් තවත් සත්වයෝද මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි´´ මෙබඳු සිතක් වන්නේය. එසේ ඇති කල්හී තවත් සත්වයෝද ආයුෂ ක්‍ෂය වීමෙන් හෝ පින ක්‍ෂය වීමෙන් හෝ ආභස්සර බඹ ලොවින් චුතව ශුන්‍යවූ බ්‍රහ්ම විමානයෙහි ඒ සත්වයා හා සහභාවයට පැමිණ උපදින්නාහුය. ඔව්හුද එහි සිතින් උපන් ප්‍රීතිය අනුභව කරමින් ශරීරාලෝකයෙන් යුක්තව අහස හැසිරෙන ස්වභාව ඇතිව යහපත්සේ සිටින්නෝ බොහෝ කලක් වාසය කරත්.

13. ´´ඇවැත්නි, එහි යම් සත්වයෙක් පළමුව උපන්නේද ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩ පවත්වන්නාවූ මහාබ්‍රහ්මයා වෙමි. කිසිවෙකු විසින් නොමැඩිය හැකිවූ ඒකාන්තයෙන් තමන් වශයෙහි පවත්නාවූ ඊශ්වරවූ ලෝක කර්තෘවූ ලොව මවන්නාවූ ශ්‍රේෂ්ඨවූ සත්වයන්ගේ පියා වෙමි. මා විසින් මේ සත්වයෝ මවන ලදහ. ඊට හේතු කවරේද? මට වනාහි පෙරදවස්හි මෙබඳු සිතෙක්වී, ඒකාන්තයෙන් අනෙකුදු සත්වයෝ මෙහි එන්නාහු නම් ඉතා යෙහෙකැයි මෙසේ මාගේ සිත්වූ පරිදි මේ සත්වයෝද මේ ආත්ම භාවයට ආවාහුයයි (දෘෂ්ටියෙක්

ගන්නේය) යම් ඒ සත්වයෝ වනාහි පසුව උපන්නාහුද ඔවුන්ට මෙබඳු සිතෙක් වන්නේය. ´´මේ පින්වත් බ්‍රහ්ම තෙමේ මහා බ්‍රහ්මයා වන්නේය. සියල්ල මැඩ පවත්වන්නේය. කිසිවෙකු විසින් මැඩිය නොහැක්කේය. ඒකාන්තයෙන් තම වසඟයෙහි පවත්නාවූ ඊශ්වරයාවූ ලෝක කර්තෘ වන්නේය. නිර්මාතෘවූද ශ්‍රේෂ්ඨවූද තමන් විසින් ජයගත් වසඟකිරීමට පත්වූ සියලු සත්වයින්ගේ පියා වන්නේය. මේ පන්වත් බ්‍රහ්මයා විසින් අපි මවන ලද්දෙමු. ඊට හේතු කවරේද? මෙහි පළමුවෙන් උපන්නාවූමේ බ්‍රහ්මයා අපි දුටුවෙමු. අපි පසුව උපන්නෝ වෙමුයි කියායි´´.

14. ´´ඇවැත්නි, එහි යම් ඒ සත්වයෙක් පළමුව උපන්නේද ඒ සත්ව තෙමේ ඉතා දික් ආයුෂ ඇත්තෙක්ද වන්නේය. ඉතා වර්ණවත් වූවෙක්ද වන්නේය. ඉතා ආනුභාව ඇත්තේද වන්නේය. යම් ඒ සත්ව කෙනෙක් පසුව උපන්නාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප ආයුෂ ඇත්තෝ වන්නාහ. ඉතා දුර්වර්ණයෝද වන්නාහ. ඉතා අල්පානුභාව ඇත්තෝද වන්නාහ. ඇවැත්නි, මේ මතු කියනසේ සිදුවීමට කරුණු ඇත්තේය. කෙසේදයත්? යම් එක්තරා සත්වයෙක් ඒ ආත්ම භාවයෙන් චුතව මේ මිනිස් ලොවට එන්නේ වේද, මේ මිනිස් ලොවට පැමිණියේ ගිහිගෙයින් නික්ම පැවිදි වේද, ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ කෙළෙස් තවන වීර්යය වැඩීමෙන් මහත් වීර්යය වැඩීමෙන් භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදයෙන් යහපත් කොට මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධියක් ලැබූ කල්හි ඒ පෙර විසූ බ්‍රහ්මාත්මය සිහි කරන්නේද ඉන් මතු සිහි නොකරන්නේද එබඳු චිත්ත සමාධියක් ලබන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ´´යම් ඒ පින්වත් බ්‍රහ්මයෙක් සියල්ල මැඩ පවත්නාවූ මහා බ්‍රහ්මයෙක් වේද, සියල්ලන් විසින් නොමැඩිය හැක්කේද ඒකාන්තයෙන් සියල්ල දන්නේද ඊශ්වර වුයේ සියල්ල තම වසඟයෙහි පවත්නේද ලෝක කර්තෘවූ මැවුම්කාරයා වූයේද ශ්‍රේෂ්ඨවූ සියල්ල දිනීමෙන් වසඟකලාවූ සියලු සත්වයින්ගේ පියා වූයේද යම් පින්වත් මහා බ්‍රහ්යෙකු විසින් අප මවන ලද්දෙමුද ඒ මහා බ්‍රහ්ම තෙමේ නැති නොවන්නේය. ඒකාන්ත සදාකාලික වූවෙක් වන්නේය. නොපෙරළෙන ස්වභාව ඇත්තේ සදාකාලිකයෙක් වූයේම එපරිද්දෙන්ම සිටින්නේය. යම් ඒ අපි වනාහි ඒ පින්වත් බ්‍රහ්මයා විසින් මවන ලද්දෝ වෙමු. ඒ අපි නිත්‍ය නොවන්නෙමු. සදාකාලික නොවන්නෙමු. මද ආයු ඇත්තෝ වෙමු. චුතවන ස්වභාව ඇතිව මේ ආත්ම භාවයට ආවෝ වෙමුයයි වරදවා ගන්නාහුය. එකල්හී ඔව්හු මෙසේ කියන්නාහුය. ´´ඇවැත් ගෟතමයන් වහන්ස, යම් පරිද්දෙකින් ආයුෂ්මත් ගෟතමයන් වහන්සේ කියේද එපරිද්දෙන්ම අප විසින්ද අසන ලද්දේයයි´´ කියති.

භාර්ගවය, ඇතැම් මහණ බමුනෝ ඛිඩ්ඩාපදුසික නම් ලෝකෝත්පත්ති ආචාර්යවාදයක් පනවන්නාහුය. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි.

ආයුෂ්මත් තෙපි කෙසේ ඛිඩ්ඩාපදුසික නම් ලෝකෝත්පත්ති ආචාර්යවාද පනවන්නාහු දැයි අසයි. මා විසින් අසන ලද්දාහු ඔව්හු නොදත්, නොදනිත්. ඔව්හු මාගෙන් මෙසේ අසත්.

15. ´´ඇවැත්නි, ඛිඩ්ඩාපදුසික නම් දෙවි කොටසක් ඇත්තේය. ඔව්හු බොහෝ වේලාවක් සන්තෝෂ ජනක ක්‍රීඩාවන්හී ඇලී වාසය කරද්ද, ඔවුන්ගේ සිහි මුළාවන්නේය. ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත වන්නාහුය. ඇවැත්නි, යම් හෙයකින් එක්තරා සත්වයෙක් තෙමේ ඒ දෙව්ලොවින් චුතව මේ ආත්ම බවට එන්නේද, හෙතෙම වීර්යය වඩා විශේෂ වීර්යය වඩා භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදය වඩා යහපත් මෙනෙහිකිරීම හේතුකොටගෙන චිත්ත සමාධියක් (ධ්‍යානයක්) ලබන්නේය. ඒ සමාධි සිතින් ඒ පෙර විසූ ඛිඩ්ඩාපදුසික නම් දිව්‍ය භවය සිහි කරන්නේය. ඉන්මතු සිහි නොකරන්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ´´පින්වත්නි, යම් ඒ ඛිඩ්ඩාපදුසික දෙවි කෙනෙක් වෙද්ද වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රතී ස්වභාවයට නොපැමින වාසය කරද්ද, වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රතියෙහි නොයෙදී වාසය කරන්නාවූ ඔවුන්ගේ සිහි මුළාවීමෙක් නොවෙයි. සිහි මුළානොවීම හේතුකොට ගෙන ඒ දෙවියෝ ඒ දෙව්ලොවින් චුත නොවෙත්. නිත්‍යවූ ඒකාන්තවූ සදාකාලිකවූ නොපෙරළෙන ස්වභාව ඇත්තාවූ සදාකාලික වූවන් මෙන් එසේම සිටින්නාහුය.

16. යම්බඳුවූ අපි ඛිඩ්ඩාපදුසික වූයෙමුද ඒ අපි වැඩි වේලාවක් සතුටු ක්‍රීඩා රති ස්වභාවයෙහි ඇලී වාසය කෙළෙමුද, වැඩි කාලයක් හාස්‍ය ක්‍රීඩා රතියෙහි යෙදී වාසය කලාවූ ඒ අපගේ සිහි මුළා විය.සිහි මුළා වීම හේතුකොට මෙසේ අපි ඒ දෙව්ලොවින් චුතව අනිත්‍ය වූවාහු සදාකාලික නුවූවාහු චුතවන ස්වභාවය ඇත්තාහු මේ ආත්ම භවයට පැමිණියෙමු යයි (කියත්).

´´ඇවැත්නි, තොපි මෙසේ ඇතිකරන ලද ඛිඩ්ඩාපදුසික නම් ආවාර්ය පරම්පරාවෙන් ආ ලොකොත්පත්ති වංශකථාව පනවන්නාහුයයි කීයෙමි.

එකල ඔව්හු මෙසේ කීහ. ´´ඇවැත් ගෞතමයන් වහන්ස, යම්සේ ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළේද අප විසින්ද එසේම අසන ලද්දේය´´යි කියයි.

17. ´´ භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ මනොපදුසික නම් ලොකොත්පත්ති වංශකථාවක් පණවන්නාහුය. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ´´ඇවැත්නි, තොපි කුමක් හේතු කොටගෙන මනොපදුසික නම් ලොකොත්පත්ති වංශකථාවක් ප්‍රකාශ කරන්නාහුදැ´´යි අසමි. උත්තර දෙන්නට නොහැකිවූවාහු මාගෙන්ම අසන්නාහුය. ඔවුන්ට මෙසේ ප්‍රකාශ කරන්නෙමි.

´´ඇවැත්නි, මනොපදුසික දෙවි කෙනෙක් ඇත්තාහ. ඒ දෙවියෝ වැඩි කාලයක් ඔවුනොවුන්ගේ යස ඉසුරු දැක ඉවසිය නොහී කෝපාග්නියෙන් ඔවුනොවුන් දෙස බලා හිඳින්නාහ. ඔවුනොවුන් කෙරෙහි සිත් දූෂ්‍ය කර ගන්නාහ. දූර්වල ශරීර හා දූර්වල සිත් ඇත්තො වෙත්. ඒ හේතු කොටගෙන ඒ දෙව්යෝ ඒ ලොවින් චුත වන්නාහ. ඒ දෙවිලොවින් චුතව මේ ආත්මයට (මිනිසත් බවට) ඒද, මිනිසත් බවට ආවා වූ හෙතෙමේ වීර්‍ය වඩා ව්ශේෂ වීර්‍ය භාවනාවෙහි යෙදීමෙන් අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතු කොටගෙන චිත්ත සමාධියක් (ධ්‍යානයක්) ලබන්නේය. ඒ සමාධි සිතින් පෙර විසූ දෙවි ලොව දකින්නේය. ඉන්මතු නොදක්නේය. හෙතෙමේ මෙසේ කියන්නේය. ´´යම්බඳු ඒ මනොපදූසික දෙවිකෙනෙක් වැඩි කාලයක් ඔවූනොවූන් දෙස කෝපයෙන් නොබලන්නාහුද, ඔවූනොවූන් කෙරෙහි සිත් දූෂ්‍ය නොකරන්නාහුද, ඔවුහු දූර්වල නොවූ ශරීර හා සිත් ඇතිව ඒ දෙවිලොවින් චුත නොවන්නාහ. නිත්‍ය නොපෙරෙළෙන ස්වභාව ඇති සදාකාලීන වූවන් මෙන් එසේම සිටින්නාහ. යම්බඳුවූ අපි මනෝපදුසික වූවෙමුද, වැඩි වෙිලාවක් ඔවුනොවුන් දෙස කෝපයෙන් බැලුයෙමුද, වැඩි වෙිලාවක් ඔවුනෙවුන් දෙස කෝපයෙන් බැලීමෙන් ඔවුනොවුන් කෙරෙහි දූෂ්‍ය සිත් ඇත්තාහු දුර්වල ශරීර හා සිත් ඇත්තාවූ අපි ඒ දෙව්ලොවින් චුතවූවාහු අනිත්‍ය අස්ථිර අශාස්වත මද ආයුෂ ඇති ස්වභාව ඇත්තාහු මේ මිනිසත් බවට පැමිණියෙමු´´යි කියති. ආයුෂ්මත්නි, තොපි මෙසේ මනොපදුසික ලොක උත්පත්ති වංශකථාව පණවන්නාහුයයි කියන්නේමි. ඇවැත් ගෞතමයන් වහන්ස, ආයුෂ්මත් ගෞතමයන් වහන්සේ යම්සේ ප්‍රකාශ කළේද අප විසින් එසේම අසන ලද්දේය´´යි කියත්.

18. ´´භාර්ගවය, ඇතැම් මහණ බමුණෝ ලෝකය හේතු රහිතව ඉබේම ඇති වූයේයයි ´´අධිච්ච සමුප්පන්න´´ වාදය ස්වකීය ආචාර්ය වංශ කථාව කොට ප්‍රකාශ කරති. මම ඔවුන් කරා පැමිණ මෙසේ කියමි. ´´ඇවැත්නි, තොපි ´´අධිච්ච සමුප්පන්න´´ ලෝක උත්පත්ති වංශ කථාව කවර හේතුවකින් පණවන ලද්දාහුදැ´´යි අසමි. මා විසින් අසන ලද්දාවූ ඔවුහු උතතර දෙන්ට නොහැකි වන්නාහු මා අතින්ම අසන්නාහුය. ´´ඇවැත්නි, අසංඥ සත්ව නම් දෙවි කෙනෙක් ඇත්තාහ. සංඥාව හටගැණීමෙන් වනාහි ඒ දෙවියෝ ඒ දේව්ලොවින් චුත වන්නාහ. ඇවැත්නි, මේ මතු කියන සේ වීමට හේතු ඇත්තේය. යම් හේතුවකින් එක්තරා සත්වයෙක් ඒ දෙව් ලොවින් චුතව මේ මිනිසත් බවට එන්නේ වේද මේ මිනිසත් බවට ආවාවූ හෙතෙම ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේද ගිහි ගෙයින් නික්ම පැවිදිවූයේ කෙලෙස් තවන වීර්යය වඩා මහත් වීර්යය වඩා භාවනාවෙහි යෙදී අප්‍රමාදය වඩා යහපත් මෙනෙහි කිරීම හේතුකොට ගෙන චිත්තසමාධියක් ලබන්නේය. ඒ සමාධියෙන් ඒ සංඥාවගේ පහළවීම දක්නේය. ඉන්මතු නොදක්නේය. හෙතෙම මෙසේ කියන්නේය. ආත්මයත් ලෝකයත් හේතුප්‍රත්‍ය නැතුව ඉබේම හටගත්තේය´´යි කියායි. ඊට හේතු කවරේද? ´´මම මීට ප්‍රථම නුවූයේමය. ඒ මම පෙර නොවී මෙකල්හී සත්ව බවට පෙරලී ආයෙමි´´යි ප්‍රකාශ කරයි.

19. එවිට ඔවුහු මෙසේ කියන්නාහුය. ´´ඇවැත් ගෞතමයන් වහන්ස, ආයුෂ්මත් ගෞතමයන්වහන්සේ යම්සේ ප්‍රකාශ කළේද අප විසින්ද එසේ අසන ලද්දේය´´යි කියායි.

´´භාර්ගවය, මෙසේ කියන්නාවූ මාහට ඇතැම් මහණ බමුණෝ ශ්‍රමණ භවත් ගෞතම තෙමේද භික්‍ෂූහුද සැබෑ නොවූ හිස්වූ බොරු අභූත බස් ප්‍රකාශ කරන්නාහුයයි කියන්නාහ. විපරීත සංඥා ඇත්තෝය.ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මෙසේ කීයේය. ´´යම් කලෙක්හි ශුභ වුමොක්‍ෂයට පැමිණ වාසය කෙරේද ඒ කාලයෙහි සියල්ල අශුභ වශයෙන් දන්නේයයි කිය´´යි යනුවෙනි.

20. ´´භාර්ගවය, මම එබන්දක් නොකියමි. යම් කලෙක්හි ශුභ විමොක්‍ෂයට එනම් වර්ණ කසිණධ්‍යානයට එළඹ වාසය කෙරේද, ඒ කාලයෙහි සියලු ශුභාශුභයන් අශුභ වශයෙන්ම දන්නේයයි නොකියමි. භාර්ගවය, මම වනාහි මෙසේ කියමි. යම් කාලයෙක්හි ශුභ විමොක්‍ෂයට හෙවත් වර්ණ කසිණධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඒ කාලයෙහි ශුභාරමමණයම දන්නේයයි කියමි. යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂූන්ට විපරීත සංඥා ඇත්තෝ යයි කියත්ද, ඔව්හුම විපරීතසංඥා ඇත්තෝය. (මෙසේ කීකල භාර්ගව පිරිවැජි තෙමේ කියනුයේ) ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම්සේ මම ශුභවිමොක්‍ෂයට පැමිණ වාසය කරන්නෙම්ද එසේ දහම් දෙසන්ට සමර්ථ වූයේයයි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේට ප්‍රසන්න වූයෙමියී´´ කීවේය.

21. ´´භාර්ගවය, අන්‍ය දෘෂ්ටිකයෙක්වූද, අන් වැටහීමක් ඇත්තාවූද, අන්‍ය රුවියෙක් වූද, අන්මතයක් ඇත්තාවූද, අන් ගුරුවරුන් ඇත්තාවූද, තට ශුභ විමොක්‍ෂයට (වර්ණ කසිණධ්‍යනයට) පැමිණ වාසය කිරීමදුෂ්කර වන්නේමය. එබැවින් භාරගවය,තොපගේ මා කෙරෙහි යම් ප්‍රසාදයෙක් වේද, ඒ ප්‍රසාදයම තෝ හොඳින් රක්‍ෂාකරව´´යි කිහ.

´´ස්වාමීන් වහන්ස, ඉදින් අන්‍ය දෘෂ්ටිකවූ ඒ මා විසින් ශුභ විමොක්‍ෂයට පැමිණ වාසය කරන්ට දුෂ්කර වන්නේ නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම්බඳු මාගේ ප්‍රසාදයෙක් වේද, ඒ ප්‍රසාදයම මම හොඳින් ආරක්‍ෂා කරන්නෙමි´´යි කීය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේය. සතුටු සිත් ඇත්තාවූ භාර්ගව ගෝත්‍ර පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශෙෂයෙන් සතුටු වූයේය.

(පාඨික සූත්‍රය නිමි.)