5. මානත්‍ථද්ධ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි මානත්‍ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙම මව් නොවඳී. පියා නොවඳී. ආචාරීන් නොවඳී. වැඩිමහල් සහෝදරයා නොවඳී.

3. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණාට මෙබඳු සිතෙක් විය: ´´ මේ ශ්‍රමණ ගෞතම තෙම මහ පිරිසක් පිරිවරන ලදුව ධර්‍මදේශනා කරනසේක. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිනෙම්නම් ඒ යෙහෙක. ඉදින් මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කථා කළසේක් නම් මමත් උන්වහන්සේට කථාකරමි. ඉදින් කථා නොකළසේක් නම් මමත් කථා නොකරමි´´ කියායි.

4. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට කිසිත් නොවදාළසේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම ´මේ ශ්‍රමණ ගෞතමයා කිසිවක් නොදන්නේය´ යි එතැනින්ම නැවත පෙරළා එනු කැමැත්තේ විය.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාගේ සිත තම සිතින් පිරිසිඳ දැන මානත්‍ථද්ධ බමුණාහට ගාථාවක් වදාළසේක:

´´බමුණ, මෙලොව වැඩ කැමති ජනයාට මානය නොමැනවි. යම් අර්‍ථයක් කරණකොට ආයෙහිනම් එයම ප්‍රකාශ කරන්න.´´

6. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම ´මාගේ සිත ශ්‍රමණ ගෞතම තෙම දනී´ යි එතැන්හිම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මුවින් සිඹී, අතින් පිරිමදී, තමාගේ නමද ප්‍රකාශ කරයි. ´´ භවත් ගෞතමයන් වහන්ස, මම මානත්‍ථද්ධ නමි, පින්වත් ගෞතමයන් වහන්ස, මම මානත්‍ථද්ධ නමි,´´ යි කියායි.

7. ඉක්බිති ඒ පිරිස අද්භූත සිත් ඇතිව ´´පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයෙකි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා පුදුමයෙකි. මේ මානත්‍ථද්ධ බමුණුතෙම මව් නොවඳී. පියාත් නොවඳී. ආචාය්‍ර්‍යයන්ද නොවඳී. වැඩිමහල් සොහොයුරා නොවඳී. එසේද වුව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳුවූ මහත්ම ගෞරවයක් කරයි´´ (කියායි. )

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාහට මෙය වදාළසේක: බමුණ, ( දැන් ) ඇත. නැගිටිනු. ස්වකීය ආසනයෙහි හිඳිනු. යම් හේතුවකින් මා කෙරෙහි තාගේ සිත පැහැදුනේද එහෙයිනි.´´

9. ඉක්බිති මානත්‍ථද්ධ බමුණුතෙම සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:

´´කවුරුන් කෙරෙහි මානය නොකරන්නේද? කවුරුන් කෙරෙහි ගෞරව සහිතයෙක් වන්නේද? කවරෙක් ( මා ) විසින් පිදිය යුත්තාහුද? කවරෙක් මනාකොට පිදිය යුත්තෝ වෙත්ද?´´

10. ( එවිට භාග්‍යවතුන් වහන්සේ ) ´´මවු කෙරෙහිද, පියා කෙරෙහිද, තවද වැඩිමහල් සහෝදරයා කෙරෙහිද, සිව්වැනිව ගුරුවරයා කෙරෙහිදැයි යන මොවුන් කෙරෙහි මානය නොකරන්නේය. ඔවුන් කෙරෙහි ගෞරව සහිතයෙක් වන්නේය. ඔහු මේ පුද්ගලයාගේ ගෞරවයට සුදුසු වන්නෝය. ඔහු යහපත්කොට පිදියයුත්තෝ වෙති.

´´සිහිල්වූ, කළාවූ කටයුතු ඇති, ( කාමාදී ) ආශ්‍රව කෙලෙස් නැති, අනුත්තරවූ ඒ රහතුන් (මානයෙන්) තද නොවී මානය සම්පූර්‍ණයෙන් නසා, නමදුව´´ (යි වදාළසේක. )

11. මෙසේ වදාළ සඳ මානත්‍ථද්ධ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: ´´භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනවි. යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ´ඇස් ඇත්තෝ රූප දකිත්වා´ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.´´

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: