6. පමාද සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීම පිණිස චිත්තවිවේකයෙන් හුන්සේක.

3. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම උළුවහුකනු වෙත සිටියහ.

4. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසට මෙය කීය. ´ නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට කල් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ දහවල් ගතකිරීමට වැඩියෝ විවේකීවූසේක. අසුවල් බ්‍රහ්ම ලෝකය ධ්‍යාන සැපයෙන් සමෘද්ධවූයේවෙයි. අභිඥා මලින් පිපුනේවෙයි. එහි බ්‍රහ්මයෙක්ද පමාව වෙසේ. නිදුකාණනි යමු, ඒ බ්‍රහ්ම ලෝකය යම් තැනෙකද එතැනට පැමිණෙමු. පැමිණ ඒ බඹු උනන්දු ඇත්තකු කරමු.´´

5. ´´එසේය, නිදුකාණනි´´ යි ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාස ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට උත්තරදුනි.

6. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ශක්තිමත් පුරුෂයෙක් නැවුන අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද, එසේ ක්‍ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූහ.

7. ඒ බඹතෙම දුරදීම එන ඒ බඹුන් දුටුවේය. දැක ඔවුන්ට මෙසේ කීය: ´අහ´. දුක් නැත්තාහු, නුඹලා කොතැන්හි සිට එන්නහුද?´´

8. ´´නිදුකාණනි, අපි වනාහි අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් එන්නමු. නිදුකාණනි, ඒ අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස නුඹත් යන්නෙහිද?´´

9. මෙසේ කියනු ලැබූ ඒ බඹතෙම ඒ වචනය නොයිවසන්නේ තමා දහස් දෙනෙකු කොට ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මට මෙසේ කීය. ´´නිදුකාණනි, නුඹ මෙබඳු ඎද්ධි හා ආනුභා ඇති මා නොදක්නෙහිද?´´

10. ´නිදුකාණනි, මෙබඳු ඎද්ධි හා ආනුභාව ඇති නුඹ මම ඇත්තෙන්ම දකිමි.´´

11. ´නිදුකාණනි, ඒ මම වනාහි මෙසේ මහත් ඎද්ධි මහත් ආනුභාව ඇත්තෙම්, අන් කවර ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රහ්මණයෙකුගේ හෝ උපස්ථානයට යන්නෙම්ද?´´

12. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම තමා දෙදහස් දෙනෙකු කොට මවා ඒ බඹහුට මෙසේ කීය. ´´නිදුකාණනි, මාගේ මෙබඳුවූ ඎද්ධි ආනුභාව නොදක්නෙහිද?´

13. ´නිදුකාණනි, මෙබඳු ඎද්ධි ආනුභාව ඇති තොප ඇත්තෙන්ම දක්නෙමි.´´

14. ´නිදුකාණනි, තොපටත් අපටත් වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මහත් ඎද්ධි ඇත්තේද, මහත් ආනුභා ඇත්තේද වනසේක. නිදුකාණනි ඒ අර්හත්වූ සම්මාසම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස තොප යනු මැනවි.´´

15. ඉක්බිති ඒ බඹතෙම ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මහට ගාථායෙකින් ( මෙසේ ) කීය:

´´සුපර්‍ණ ( ගුරුළු ) රූප තුන්සියයක්ද, හංස රූප හාරසියයක්ද, උකුසු රූප පන්සියයක්ද, ධ්‍යානයෙහි යෙදුනු මාගේ ( විමනෙහි වෙත්. ) බ්‍රහ්මය, මේ විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළයි. එසේ ඇති මම කෙසේ නම් අනිකෙකුගේ උපස්ථානයට යන්නෙම්ද?´´

16. ´´නැවත යුෂ්මතුන්ගේ රන් විමානය උතුරුදිග්හි ආලෝක කරමින් බබළාද, රූපයෙහි ජාති, ජරා, මරණ යන දෝෂයද, හැමකල්හි ශීතාදියෙන් නිතර නම්පාවීමද දැක, එහෙයින් මනා නුවණැති තැනැත්තේ රූපයෙහි නොඇලෙයි.´´

17. ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්මද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාසද, ඒ බ්‍රහ්මයා කළකිරවා එහිම අතුරුදහන්වූහ. ඒ බ්‍රහ්මතෙමද පසු කලෙක වනාහි අර්හත්වූ සම්මාසම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථානය පිණිස ගියේය.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.