4. අරුණවතී සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි, භික්‍ෂූන්ට කථාකළසේක.

3. ´ස්වාමීනි´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට උත්තර දුන්හ.

4. භාග්‍යවතුන් වහන්සේ මෙය කීය: ´´ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. අරුණවා නම් රජෙක් විය. මහණෙනි, අරුණවා රජහට අරුණවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, අරුණවතී රාජධානිය ඇසුරුකොට සිඛී නම් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුසූ සේක,

5. ´´ මහණෙනි, සිඛී නම් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේට අහිභු, සම්භව නම් අග්‍රවූ, උතුම්වූ ශ්‍රාවක දෙදෙනෙක් විය.

6. ´´ මහණෙනි, එකල්හි වනාහි සිඛී නම්වූ භාග්‍යවත්වූ අර්හත්වූ සම්මා සම්බුද්ධයන් වහන්සේ අහිභු භික්‍ෂුවට ( මෙසේ ) වදාළසේක. ´බ්‍රාහ්මණය, බත් වේලාව පැමිණෙනතුරු කිසියම් බඹලොවකට පැමිණෙමු.´

7. ´´ මහණෙනි, ´ එසේය, ස්වාමීනි ´ යි අහිභු භික්‍ෂුතෙම සිඛී භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේට උත්තර දුන්නේය.

8. ´´ මහණෙනි, ඉක්බිති ඒ සිඛී නම් භාග්‍යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේත් අහිභු භික්‍ෂුවත් ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද එසේ අරුණවතී රාජධානියෙන් අතුරුදහන්ව ඒ බඹලෙව්හි පහළවූහ.

9. ´´ මහණෙනි, ඉක්බිති අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේ අහිභු භික්‍ෂුවට ( මෙසේ ) වදාළසේක. ´ බ්‍රාහ්මණය, බ්‍රහ්මයාටද, බ්‍රහ්ම පිරිසටද, බ්‍රහ්ම අතවැසියන්ටද ( සුදුසු ) කථාවක් තට වැටහේවා, (කථාවක් කෙරේවා´´)

10. ´´ මහණෙනි, ´එසේය ස්වාමීනි´ යි අහිභු භික්‍ෂුතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට උත්තරදී බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියන්ටද, ධර්‍ම කථාවෙන් අවවාද කළේය, සමාදන් කරවීය, උත්සාහ වර්‍ධනය කරවීය, සතුටු කරවීය.

11. ´´ මහණෙනි, එකල වනාහි බ්‍රහ්මතෙමේද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියෝද, ( ඒ කථාව ) ලාමක කොට සිතත්, ගරහත්, එහි දොස් පහළ කෙරෙත්. ´බලව ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයක හැටි, ඒකාන්තයෙන් අද්භූතයක හැටි ශාස්තෲන්වහන්සේ හමුයෙහි වූකලී ශ්‍රාවකයෙක් තෙම කෙසේ නම් දහම් දෙසන්නේද?´ ( කියායි. )

12. ´´ මහණෙනි, ඉක්බිති වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේ අහිභු භික්‍ෂුවට මෙසේ වදාළසේක. ´ බ්‍රාහ්මණය, බ්‍රහ්මතෙමේද, බ්‍රහ්ම පිරිසටද, බ්‍රහ්ම අතවැසියෝද, ( තොපගේ කථාව ) ලාමක කොට සිතත්, ගරහත්, එහි දොස් පහළ කෙරෙත්. ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයක හැටි, ඒකාන්තයෙන් අද්භූතයක හැටි.´ ශාස්තෲන්වහන්සේ හමුයෙහි ශ්‍රාවකයෙක් තෙම කෙසේ නම් ධර්‍මය දේශනා කරන්නේදැ´ යි ( කියායි. එහෙයින් බ්‍රාහ්මණය, තෝ බොහෝ සෙයින් බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියන්ද සංවේග කරව´ යි ( වදාළසේක )

13. ´´ මහණෙනි, ´එසේය ස්වාමීනි´ යි අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේට අහිභු භික්‍ෂුව උත්තරදී පෙනෙනු ලබන කයින්ද ධර්‍ම දේශනා කෙළේය. පෙනෙනු ලබන යටි භාගය ඇති ශරීරයේ කොටසකින්ද, නොපෙනෙනු ලබන මතු භාගය ඇති ශරීරයේ කොටසකින්ද, ධර්‍ම දේශනා කෙළේය. පෙනෙනු ලබන මතු ශරීරයේ කොටසකින්ද, නොපෙනෙනු ලබන යට ශරීරයේ කොටසකින්ද, ධර්‍ම දේශනා කෙළේය.

14. ´´ මහණෙනි, එවිට වනාහි, බ්‍රහ්මතෙමේද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියෝද, ආශ්චය්‍ර්‍ය අද්භූත සිතැත්තාහු ´පින්වත, ඒකාන්තයෙන් ආශ්චය්‍ර්‍යයි, පින්වත, ඒකාන්තයෙන් අද්භූතයි, ශ්‍රමණයාගේ මහ ඎද්ධිභාවය හා මහානුභාවය´ යි ( සිතූහ. )

15. ´´ මහණෙනි, ඉක්බිති අහිභු භික්‍ෂුව අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ´ස්වාමීනි, භික්‍ෂු සංඝයා මැද ( මවිසින් ) මෙබඳු වචනයක් කියනලද බව ප්‍රකාශකරමි. ( කෙබඳුද යත් ) ´ ඇවැත්නි, මම බඹ ලොව සිටියෙමි. සහශ්‍රී ලෝක ධාතුව වචනයෙන් හඟවන්නට හැක්කේ වෙමි´ යි කියායි.

16. ´´ ´ බ්‍රාහ්මණය, බඹලොව සිටියෙක් යම් සහශ්‍රී ලෝක ධාතුවක් වචනයෙන් හඟවන්නෙහි නම් බ්‍රාහ්මණය, මේ එයට සුදුසු කාලයයි.´

17. ´´ මහණෙනි, ´එසේය ස්වාමීනි´ යි අහිභු භික්‍ෂුතෙම අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේට උත්තර දී බඹලොව සිටියේ මේ ගාථාවන් කීය:

´´බුදු සසුනෙහි ආරම්භ වීය්‍ර්‍ය කරව්, නිෂ්ක්‍රමණ වීය්‍ර්‍ය කරව්, පරාක්‍රම වීය්‍ර්‍ය කරව්, ඇතෙක් බටයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මර සෙනග ( ක්ලේශ සේනාව ) නසව්.

´´යමෙක් මේ ධර්‍ම විනයෙහි අප්‍රමත්තව ( පමා නොව ) වාසය කරන්නේද, ඔහු ඉපදීමද, සංසාරයද හැර, සියලු දුක් කෙලවර කරන්නේය.´´

18. ´´ මහණෙනි, ඉක්බිති අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේද අහිභු භික්‍ෂුතෙමද වනාහි බ්‍රහ්මයාද, බ්‍රහ්ම පිරිසද, බ්‍රහ්ම අතවැසියන්ද, සංවේගකොට ශක්තිමත් පුරුෂයකු නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද එසේ ඒ බඹලෙව්හි අතුරුදහන්වූ සේක් අරුණවතී රාජධානියෙහි පහළවූසේක.

19. ´´ මහණෙනි, ඉක්බිතිව අර්හත් සම්‍යක් සම්බුද්ධ සිඛී භාග්‍යවතුන් වහන්සේ ( මෙසේ ) භික්‍ෂූන්ට වදාළසේක. ´මහණෙනි, බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් තෙපි ඇසූහුද?´´

´´ ස්වාමීනි, අපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් ඇසුවෙමු.

´´ මහණෙනි, තෙපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් කෙබඳු ලෙසින් ඇසූහුද?´´

´´ ´ස්වාමීනි, අපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් මෙසේ ඇසුවෙමු.

´බුදු සසුනෙහි ආරම්භ වීය්‍ර්‍ය කරව්, නිෂ්ක්‍රමණ වීය්‍ර්‍ය කරව්, පරාක්‍රම වීය්‍ර්‍ය කරව්, ඇතෙක් බටයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මර සෙනග ( ක්ලේශ සේනාව ) නසව්.

´යමෙක් මේ ධර්‍ම විනයෙහි අප්‍රමත්තව ( පමා නොව ) වාසය කරන්නේද, ඔහු ඉපදීමද, සංසාරයද හැර, සියලු දුක් කෙලවර කරන්නේය ( කියායි )´

20. ´´ ´ ස්වාමීනි, බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් අපි මෙසේ ඇසූම්හ.´

´´ මහණෙනි, මැනවි, මැනවි, මහණෙනි, තෙපි බඹලොව සිට කියනු ලබන අහිභු භික්‍ෂුවගේ ගාථාවන් මනාකොට ඇසුවාහුය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: