131. භද්දෙකරත්ත සූත්‍රය.

1. මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි, ජේතවන නම්වූ අනේපිඩුමහ සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනි,´ කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළසේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

2. ´´මහණෙනි, තොපට විදර්‍ශනා භාවනාවෙහි යෙදී වාසය කරණ බැවින් යහපත්වූ එක් රැයක් පිළිබඳවූ උදෙසීමයයි කියනලද මාතෘකාවද විස්තර වශයෙන් බෙදීමද, දේශනා කරන්නෙමි. එය අසව්, මොනවට මෙනෙහි කරව්, කියන්නෙමියි´´ වදාළසේක. එසේය ස්වාමීන් වහන්සැයි´´ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ හට වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

(1) ´´ඉකුත්වූ පඤ්චස්කන්‍ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොයන්නේය. අනාගත (නූපන්) පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාත්‍ර්‍ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද එය ප්‍රහීණ වූයේ (නැතිවූයේවේ.) අනාගත පඤ්චස්කන්‍ධය නොපැමිණියේ (නූපන්නේ) වෙයි.

(2) ´´වර්‍තමානවූ (ඉපිද පවත්නාවූ) යම් පඤ්චස්කන්‍ධයක් වේද, ඒ පඤ්චස්කන්‍ධය ඒ ඒ උපන් තන්හිම අනිත්‍යාදී වශයෙන් බලන්නේය. ඒ විදර්‍ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පණ්ඩිත භික්‍ෂූතෙමේ වඩන්නේය.

(3) ´´අදම කෙලෙස් තවන වීය්‍ර්‍යය කළ යුත්තේය. හෙට මරණය සිදුවන්නේදැයි කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම්කොට නැවතීමක් නොවන්නේමය.

(4) ´´මෙසේ වාසය කරන්නාවූ කෙළෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූ රෑ දාවල් දෙකෙහි අනලස්වූ මෙසේ පිළිපන් පුද්ගලයා ඒකාන්තයෙන් යහපත්වූ එක් රැයක් ඇති ත භික්‍ෂුව යයි ශාන්තවූ බුඬ මුනිතෙමේ වදාළේය.

3. ´´ මහණෙනි, කෙසේ වනාහි ඉකුත්ව ගිය ස්කන්‍ධයන් අනුව යන්නේද? අතීත කාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වූයෙමි යයි එහි තෘෂ්ණාව අනුව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි, අතීත ස්කන්‍ධයන් අනුව යන්නේය.

4 ´´ මහණෙනි, කෙසේ නම් ඉකුත්වූ ස්කන්‍ධයන් අනුව නොයන්නේද? අතීත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වූයෙමි යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වූයෙම්යයි, එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වූයෙම්යයි. එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අතීත කාලයෙහි මෙබඳු විඥාණ ඇත්තෙක් වූයෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. මහණෙනි, මෙසේ වනාහි අතීත ස්කන්‍ධයන් අනුව නොයන්නේය.

5. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්‍ධයන් ප්‍රාර්‍ථනා කෙරේද? අනාගත කාලයෙහිදී මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව පවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි, අනාගත ස්කන්‍ධයන් ප්‍රාර්‍ථනා කරන්නේය. මහණෙනි, කෙසේ වනාහි අනාගත ස්කන්‍ධයන් ප්‍රාර්‍ථනා නොකෙරේද, අනාගත කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්නේය. අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. අනාගත කාලයෙහි මෙබඳු විඤ්ඤාන ඇත්තෙක් වන්නෙම්යයි එහි තෘෂ්ණාව නොපවත්වන්නේය. මහණෙනි, මෙසේ වනාහි, අනාගත ස්කන්‍ධයන්හි ප්‍රාර්‍ථනා නොකරන්නේය.

6. ´´මහණෙනි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි විදර්‍ශනාවගේ අභාවයෙන් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේද? මහණෙනි, මේ ලෝකයෙහි ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂ නොවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි නොහික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂ නොවූ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ, ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන තෙමේ රූප ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමන් රූප ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. රූප ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකින්නේය. රූප ස්කන්‍ධයෙහි තමා ඇත්තේ යයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්‍ධය තමා යයි දකින්නේය. තමා වේදනා ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේ යයි කියා හෝ දකින්නේය. වේදනා ස්කන්‍ධයෙහි තමා ඇත්තේ යයි කියා හෝ දකින්නේය. සංඥා ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමා සංඥා ස්කන්‍ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. සංඥා ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංඥා ස්කන්‍ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමා සංස්කාර ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. සංස්කාර ස්කන්‍ධයෙහි තමා ඇත්තේය කියා හෝ දකින්නේය. විඥාන ස්කන්‍ධය තමා වශයෙන් දකින්නේය. තමා විඥාන ස්කන්‍ධය ඇත්තෙක කියා හෝ දකින්නේය. විඥාන ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. තමා විඥාන ස්කන්‍ධය කෙරෙහි ඇත්තේය කියා හෝ දකින්නේය. මහණෙනි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි විදර්‍ශනා භාවනා නැති හෙයින් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් අදිනු ලැබේ.

7. ,මහණෙනි, කෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේද, මහණෙනි, මේ සස්නෙහි ආය්‍ර්‍යයන් දක්නා ස්වභාව ඇත්තාවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්මයෙහි හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් දක්නා ස්වභාව ඇත්තාවූ, එම සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂවූ, ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍යශ්‍රාවක තෙමේ රූපය තමා යයි නොදක්නේය. තමා රූප ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. රූප ස්කන්‍ධය තමා කෙරෙහි ඇත්තේය කියා හෝ නොදක්නේය. රූප ස්කන්‍ධය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ නොදක්නේය. වේදනා ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදක්නේය. වේදනාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා වේදනාව කෙරෙහි ඇත්තේ යයි කියා නොදක්නේය. සංඥා ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංඥාව ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංඥාව තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංඥාව කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදක්නේය. සංස්කාර ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා සංස්කාර ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. සංස්කාර තමා කෙරෙහි ඇත්තේයයි කියා හෝ නොදක්නේය. තමා සංස්කාර කෙරෙහි ඇත්තේ යයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්‍ධය තමා වශයෙන් නොදක්නේය. තමා විඥාන ස්කන්‍ධය ඇත්තෙකැයි කියා හෝ නොදක්නේය. විඥාන ස්කන්‍ධය තමා කෙරෙහි හෝ නොදක්නේද, තමා විඥාන ස්කන්‍ධය කෙරෙහි හෝ නොදක්නේද, ,මහණෙනි, මෙසේ වනාහි වර්‍තමාන ස්කන්‍ධයන්හි තෘෂ්ණා දෘෂ්ටීන් විසින් නොඅදිනු ලැබේ.

8. ,අතීත පඤ්ච ස්කන්‍ධයන් අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් නොයන්නේය. අනාගත පඤ්ච ස්කන්‍ධයන් තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාත්‍ර්‍ථනා නොකරන්නේය. ඒකාන්තයෙන් එබඳු පුද්ගලයා යහපත් එක් රැයක් ඇති තැන්ත්තේයයි ශාන්තවූ බුඬ මුනි තෙමේ වදාරන්නේයි.

,මහණෙනි, තොපට යහපත් එක් රාත්‍රියක් ඇති තැනැත්තාගේ උද්දෙස සංඛ්‍යාත මාතෘකාවක් වීභඬ්ගයයි කියනලද විස්තර දේශනාවක් දේශනා කරන්නෙමි යන යම් වචනයක් කියන කරන ලද්දේද, එය මේ සඳහා කියන ලද්දේ වෙයි´´.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළේය. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

පළමුවැනිවූ භද්දෙකරත්ත සූත්‍රය නිමි. (4-1)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.