122. මහා සුඤ්ඤත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි, කිඹුල්වත් පුරයේ නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පා සිවුරු ගෙන, කිඹුල්වත් පුරයට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත් පුරයෙහි පිඬු පිණිස හැසිර, බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකුණේ, ´´කාලඛෙමක´´ නම් ශාක්‍යයාගේ විහාරය යම් තැනකද, එහි දවල් කාලයෙහි විසීම පිණිස වැඩි සේක. ඒ කාලයෙහි ´´කාලඛේමක´´ ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් වූහ. භාග්‍යවතුන් වහන්සේ කාලඛේමක ශාක්‍යයාගේ විහාරයෙහි පනවන ලද බොහෝ අසුන් දුටහ. දැක, භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. ´´කාලඛේමක´´ ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. එහි බොහෝ භික්‍ෂූහු වාසය කෙරෙත්ය´ යි කියායි.

2. එසමයෙහි ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ´´ටා´´ නම් ශාක්‍යයාගේ විහාරයෙහි සිවුරු මැසීම කරයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගිට, ´´ටා´´ නම් ශාක්‍යයාගේ විහාරය යම් තැනකද, එහි වැඩි සේක. වැඩ, පනවන ලද ආසනයෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට කථාකළ සේක.

´´ආනන්‍දය, ´කාලඛේමක´ ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. මෙහි බොහෝ භික්‍ෂූහු වාසය කරද්දැ´´ යි ඇසූහ.

´´ස්වාමීනි, කාලඛෙමක නම් ශාක්‍යයාගේ විහාරයෙහි බොහෝ සෙනසුන් පනවන ලද්දාහුය. මෙහි බොහෝ භික්‍ෂූහු වාසය කරත්. ස්වාමීනි, අපගේ සිවුරු මසන කාලය වේය´´ යි කීය.

3. ´´ආනන්‍දය, බොහෝ දෙනා සමග එක්ව විසීමට සතුටු, එක්ව විසීමට කැමති, එක්ව විසීමෙහි යෙදුණු, නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි ඇළුණු, එක්ව විසීමට කැමති, එක්ව විසීමට සතුටු මහණතෙම නොහොබනේය. බොහෝ දෙනා සමග එක්ව විසීමට සතුටු, එක්ව විසීමෙහි ඇළුණු, එක්ව විසීමෙහි යෙදුණු, නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි ඇළුණු, එක්ව විසීමට කැමති, මහණතෙමේ, යම් ඒ කාමයෙන් නික්මීමේ සැපයක් වේද, කාමයෙන් වෙන්වීමේ සැපයක් වේද, රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නා සැපයක් වේද, මාර්‍ගාවබෝධය පිණිස පවත්නා සැපයක් වේද, ඒ සැපය කැමතිසේ ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක්, මහත්සේ ලබන්නෙක් වන්නේය. යන මෙය සිදුවීමට කරුණු නැත.

4. ´´ආනන්‍දය, යම් ඒ භික්‍ෂවක් හුදකලාවූයේ, සමූහයාගෙන් වෙන්ව වාසය කෙරේද, ඒ භික්‍ෂුව විසින් මෙය කැමතිවිය යුතුයි. එනම්, යම් ඒ කාමයෙන් නික්මීමේ සැපයක් වේද, කාමයෙන් වෙන්වීමේ සැපයක් වේද, රාගාදීන්ගේ සංසිඳීම පිණිස පවත්නා සැපයක් වේද, මාර්‍ගාවබෝධය පිණිස පවත්නා සැපයක් වේද, ඒ සැපය කැමති සේ ලබන්නෙක්, නිදුකින් ලබන්නෙක්, මහත්සේ ලබන්නෙක් වන්නේය යන මේ කරුණ සිදුවන්නේය. ආනන්‍දය, ඒ භික්‍ෂුව ඒකාන්තයෙන් බොහෝ දෙනා සමග එක්ව විසීමට කැමතිවූයේ, එක්ව විසීමෙහි ඇළුනේ, එක්ව විසීමෙහි යෙදුනේ, නොයෙක් දෙනා සමග එක්ව විසීමෙහි කැමතිවූයේ, එක්ව විසීමෙහි ඇළුනේ, එක්ව විසීමෙහි යෙදුනේ වේද, හෙතෙම මනාපවූ කලෙක කෙලෙසුන්ගෙන් මිදුනු, රූපාවචර චිත්ත සමාධියට හෝ, ක්ලේශයන්ගෙන් කුපිත කළ නොහැකි ඒකාන්තයෙන් ක්ලේශයන්ගෙන් මිදීමට හෝ, පැමිණ වාසය කරන්නේය යන මීට කරුණු නැත.

5. ´´ආනන්‍දය, යම් ඒ භික්‍ෂුවක් හුදකලාව, සමූහයාගෙන් වෙන්ව වාසය කෙරේ නම් ඔහු විසින් මෙය කැමති විය යුතුයි. එනම් මනාපවූ කලෙක කෙලෙසුන්ගෙන් මිදුනු රූපාරූපාවචර චිත්ත සමාධියට හෝ කෙලෙසුන්ගෙන් කුපිත කළ නොහැකි, ඒකාන්තයෙන් කෙලෙසුන්ගෙන් මිදීමට හෝ පැමිණ වාසය කරන්නේය යන මීට කරුණු ඇත්තේය. ආනන්‍දය, යම්කිසි රූපයක රාග වශයෙන් ඇළුනේද, යම් රූපයක වෙසෙසින් ඇළුනේද, ඒ රූපයාගේ නැතිවීමෙන්, වෙනස්වීමෙන් ශෝකය, වැළපීමය, දුක්ය, දොම්නස්ය, දැඩි ආයාසය යන මොවුහු නූපදින්නාහු නම් එබඳු එක් රූපයකුදු මම නොදක්නෙමි.

6. ´´ආනන්‍දය, රූපාදී සියලු නිමිති මෙනෙහි නොකරන්නාවූ සුඤ්ඤත ඵල සමාපත්ති (අර්‍හත් ඵල සමාපත්ති) අරමුණට පැමිණ වාසය කෙරේය යන යමක් වේ නම්, ඒ මේ විහරණය තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරණ ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේ කරා භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද, රජවරුද, රජමහඇමතිහුද, තීර්‍ථකයෝද, තීර්‍ථක ශ්‍රාවකයෝද, පැමිණෙන්නාහුය. ආනන්‍දය, තථාගතයන් වහන්සේ ඒ පිරිස මැද සිටියේ, නිර්‍වාණයට නැමුණු, නිර්‍වාණයට අවනතවූ, නිර්‍වාණයට බරවූ, ක්ලේශයන්ගෙන් වෙන්වූ, හික්මීමෙහි ඇළුනු සිතින් යුක්තව, මුළුමනින් කෙලෙසුන්ට කරුණුවූ ධර්‍මයන්ගෙන් වෙන්ව, පිරිස පිටත් කරන්නාවූ කථාවක්ම කරන්නේ වෙයි. ආනන්‍දය, එහෙයින් මෙහිදී මහණතෙමේද, සුඤ්ඤත ඵල සමාපත්ති අරමුණට පැමිණ වාසය කරන්නෙමියි කැමති වන්නේ නම්, ආනන්‍දය, ඒ භික්‍ෂුව විසින් භාවනාරම්මණයෙහිම සිත මොනවට තැබිය යුතුයි. මොනවට පිහිටුවා ගත යුතුයි. එකඟ නළ යුතුයි. එක අරමුණක පිහිටුවා ගත යුතුයි.

7. ´´ආනන්‍දය, භික්‍ෂුතෙම කෙසේ නම් සිත භාවනා අරමුණෙහිම තබාද? පිහිටුවයිද? එකඟ කරයිද? එක අරමුණක පිහිටුවයිද? ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇතිකරන්නාවූ, චිත්තයාගේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්‍ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත් ප්‍රීති සැප ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියගේද නොඇල්මෙන් උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, නුවණ ඇත්තේ, සැපයද කයින් විඳියි. ඒ යම් ධ්‍යානයක් ආය්‍ර්‍යයෝ උපෙක්‍ෂා ඇත්තේ, සිහි ඇත්තේ, සැප විහරණ ඇත්තේයයි වර්‍ණනා කරත්නම්, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැපය දුරු කිරීමෙන්ද, දුක්ඛය දුරු කිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බැව් ඇති චතුර්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයිද,

´´ආනන්‍දය, භික්‍ෂුතෙම මෙසේ භාවනාරම්මණයෙහි සිත තබයි. පිහිටුවයි. සමාධිය උපදවයි. හෙතෙම තම ස්කන්‍ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කෙරෙයි. තම ස්කන්‍ධයන්ගේ සූන්‍යතාවය මෙනෙහි කරන්නාවූ ඔහුට තමා පිළිබඳ සූන්‍යතාවයේ සිත නොබැස ගනී. නොපහදී. නොසිටී. මනාව නොපිහිටයි. ආනන්‍දය, එසේ ඇති කල්හි මහණ තෙම මෙසේ දැනගනියි. තම ස්කන්‍ධයන්ගේ සූන්‍යත්‍වය මෙනෙහි කරණ මාගේ සිත තමා පිළිබඳ සූන්‍යතාවයේ නොබැසගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටායයි දැනගනී. මෙහිදී කර්‍මස්ථානය සම්පූර්‍ණ නොවන බවද දැන ගනී. හෙතෙම අන්‍යයන්ගේ ස්කන්‍ධ පිළිබඳව සූන්‍යත්‍වය මෙනෙහි කෙරේ. හෙතෙම තමාගේද, අන්‍යයන්ගේද ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යත්‍වය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැස නොගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටයි.

8. ´´ආනන්‍දය, එසේ ඇතිකල්හි, මහණතෙම මෙසේ දැනගනී. ´අරූප සමාපත්තිය මෙනෙහි කරණ මාගේ සිත අරූප සමාපත්තියෙහි නොබැසගනී. නොපහදී. නොසිටී. ස්ථිරව නොපිහිටයි, කියායි. මෙහි කර්‍මස්ථානය සම්පූර්‍ණ නොවනබව දැනගන්නේය. ආනන්‍දය, ඒ භික්‍ෂුව විසින් ඒ පළමු සමාධි නිමිත්තෙහි තම ස්කන්‍ධයන් පිළිබඳ සිත තැබිය යුතුයි. පිහිටුවාගත යුතුයි. එකඟ කළ යුතුයි. සමාධිය ඉපදවිය යුතුයි. හෙතම තම ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යත්‍වය මෙනෙහි කෙරෙයි. තම ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යත්‍වය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත තම ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යතාවයේ බැසගනී. පහදියි. ස්ථිරව සිටියි.

´´ආනන්‍දය, එසේ ඇති කල්හි, මහණතෙම මෙසේ දැනගනී. ´තම ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යත්‍වය මෙනෙහි කරන්නාවූ මාගේ සිත තම ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යත්‍වයෙහි බැසගනී. පහදී. සිටී. ස්ථිරව පිහිටයි.´ කියායි. මෙසේ එහි කර්‍මස්ථානය සම්පූර්‍ණ නොවේයයි දැනගනී. හෙතෙම අණ්‍යයන්ගේ ස්කන්‍ධ පිළිබඳ සූන්‍යතාව මෙනෙහි කෙරෙයි. හෙතෙම තමාගේද අන්‍යයක්ගේද ස්කන්‍ධයන් පිළිබඳ සූන්‍යත්‍වය මෙනෙහි කෙරෙයි. හෙතෙම අරූප සමාපත්තිය මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්තිය මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අරූප සමාපත්තියෙහි බැස ගනී. පහදී. සිටී. ස්ථිරව පිහිටයි. ´´ආනන්‍දය, මෙසේ ඇති කල්හි මහණතෙම මෙසේ දැනගනී. ´අරූප සමාපත්තිය මෙනෙහි කරණ මාගේ සිත අරූප සමාපත්තියෙහි බැසගනියි. පහදී. සිටී. ස්ථිරව පිහිටයි.´ කියායි. මෙසේ මෙහිදී කර්‍මස්ථානය සමපූර්‍ණ නොවේයයි දැන ගනී.

10. ´´ආනන්‍දය, මේ සමථ විදර්‍ශනා විහරණයෙන් වාසය කරණ ඒ භික්‍ෂුවගේ සිත ඉදින් සක්මනට නැමෙයි නම් හෙතෙම සක්මන් කරයි. මෙසේ සක්මන් කරන ඔහුට අභිද්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්‍ම පහළ නොවන්නාහුය. එහිදී මෙසේ ඒ කර්‍මස්ථානය සම්පූර්‍ණයයි දැනගනියි. ආනන්‍දය, මේ සමථ විදර්‍ශනා විහරණයෙන් යුක්තව වාසය කරණ භික්‍ෂු වගේ සිත ඉදින් සිටීමට නැමෙයි නම් හෙතෙම සිටී. මෙසේ සිටින ඔහුට අභිද්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්‍ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්‍මස්ථානය සම්පූර්‍ණයයි දැනගනියි. ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරණ භික්‍ෂුවගේ සිත ඉදින් හිඳීම පිණිස නැමෙයි නම් හෙතෙම හිඳියි. මෙසේ හිඳින ඔහුට අභිද්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්‍මයෝ පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්‍මස්ථානය සම්පූර්‍ණයයි දැනගනී. ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරණ භික්‍ෂුවගේ සිත ඉදින් නිදීමට නැමෙයි නම් හෙතෙම නිදයි. මෙසේ සයනය කරන ඔහුට අභිද්‍යා දොම්නස් යන ලාමක අකුශල ධර්‍ම පහළ නොවන්නාහුය. මෙසේ එහිදී කර්‍මස්ථානය සම්පූර්‍ණයයි දැනගනී.

11. ´´ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන ඒ භික්‍ෂුවගේ සිත ඉදින් කථාවට නැමෙයි නම්, හෙතෙමේ යම් කථාවක් ලාමකද, ග්‍රාම්‍යද, පෘතග්ජනයන්ට අයත්ද, අනාය්‍ර්‍යද, අනර්‍ථයෙන් යුක්තද, කලකිරීම පිණිස නොපවතීද, නොඇල්ම පිණිස පවතීද, නිරෝධය පිණිස නොපවතීද, කෙලෙස් සංසිඳීම පිණිස නොපවතීද, විශෙෂ දැනීම පිණිස නොපවතීද, සම්‍යක් අවබෝධය පිණිස නොපවතීද, නිර්‍වාණය පිණිස නොපවතීද, එනම්, රජූන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහ ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද්Ȁdධ පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්‍ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය. සයන පිළිබඳ කථාය, මල්මාලා පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, යාන පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම් ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, ජනපද පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය. පුරුෂයන් පිළිබඳ කථාය, සුරා පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, තොටුපලවල් පිළිබඳ කථාය, පෙර මළගියවුන් පිළිබඳ කථාය, නානත්‍වය පිළිබඳ කථාය, ලෝකය පිළිබඳ කථාය, (ලෝකය මැවීම) මුහුද පිළිබඳ කථාය, ශාස්වත උච්ඡේද පිළිබඳ කථාය, මෙබඳු කථා නොකරන්නෙමියි පිළිපදියි. මෙසේ එහි කර්‍මස්ථානය සම්පූර්ණ වීයයි දැනගනී.

12. ´´ආනන්‍දය, යම් ඒ කථාවක් කෙලෙස් කපා හරින්නීද, සිත විනිශ්චය කිරීමට සුදුසුද, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් සංසිඳවීම පිණිස, විශෙෂ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතීද, එනම්:- මඳ දෙයින් සතුටුවීම පිළිබඳ කථාය, ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය, විවේකය පිළිබඳ කථාය, බොහෝදෙනා එකතු නොවීම පිළිබඳ කථාය, පටන්ගන්නා ලද වීය්‍ර්‍යය පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සමාධිය පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, විමුක්තිය පිළිබඳ කථාය, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාය, යන මොහුය. මෙසේ මෙබඳුවූ කථා කරන්නෙමියි සිත නැමෙයි. මෙසේ එහි කර්‍මස්ථානය සම්පූර්‍ණයයි දැනගනී.

13. ´´ආනන්‍දය, මේ විහරණයෙන් යුක්තව වාසය කරන ඒ භික්‍ෂුවගේ සිත ඉදින් විතර්‍කයට නැමෙයි නම් හෙතෙම ලාමකවූ පෘතග්ජනයන්ට අයත්වූ පිළිබඳවූ ආය්‍ර්‍යන්ට අයත් නොවූ, අනත්‍ර්‍ථ සහිතවූ යම් මේ විතර්‍කයෝ වෙත් නම්, (ඔවුහු) කලකිරීම පිණිස නොපවතිත්ද, නොඇල්ම පිණිස නොපවතිත්ද, නිරෝධය පිණිස නොපවතිත්ද, සංසිඳීම පිණිස නොපවතිත්ද, විශෙෂ දැනීම පිණිස නොපවතිත්ද, අවබෝධය පිණිස නොපවතිත්ද, නිර්‍වාණය පිණිස නොපවතිත්ද, ඒ නම් කාම විතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කයයි යන මොහුයි. මෙසේ මෙබඳු විතර්‍කයන් කල්පනා නොකරන්නෙමියි පිළිපදියි. මෙසේ එහිදී කර්‍මස්ථානය සම්පූර්‍ණයයි, දැනගනී. ´´ආනන්‍දය, යම් මේ විතර්‍කයෝ පිරිසිදු වූවාහුද, නෛය්‍ර්‍යානික වූවාහුද, ඒ කරන්නහු මොනවට දුක් ක්‍ෂයකිරීම පිණිස පමුණුවන්නාහුද, එනම් :- නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය, අව්‍යාපාද විතර්‍කය, අවිහිංසා විතර්‍කය, යන මොහුයි. මෙසේ මෙබඳු විතර්‍කයන් කල්පනා කරන්නෙමියි සිත නැමෙයි. මෙසේ ඒ කර්‍මස්ථානය සම්පූර්‍ණයයි දැනගනී.

14. ´´ආනන්‍දය, මේ කාම ගුණ පසකි. ඒ පස කවරහුද? චක්‍ෂුර් විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කැමතිවන්නාවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇති කරන්නාවූ, රූපයෙන්ද, ශ්‍රෝත විඥාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇති කරන්නාවූ ශබ්දයෙන්ද, ්‍රාණ විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇති කරන්නාවූ න්‍ධයෝද, ජිව්හා විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කමනීයවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇති කරන්නාවූ රසයෝද, කාය විඥානයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්ත ඇල්ම ඇති කරන්නාවූ ස්පර්‍ශයෝද, යන මොහු, ආනන්‍දය, මේ පඤ්චකාම ගුණයෝ වෙති.

15. ´´භික්‍ෂුව විසින් යම් අරමුණක උපදින්නාවූ ස්වකීය චිත්තය නිතර ප්‍රත්‍යවෙක්‍ෂා කටයුතුයි. කෙසේද? මේ පඤ්ච කාම ගුණ අතුරෙන්, එක්තරා, එක්තරා, අරමුණක සිත හැසිරීමක් ඇතිවේද, එබන්දක් මට ඇත්තේද කියායි. ආනන්‍දය, ඉදින් භික්‍ෂුතෙම ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ මේ පඤ්චකාම ගුණයන් අතුරෙන් එක්තරා, එක්තරා, අරමුණක සිත හැසිරීමක් ඇතිවේද, එබන්දක් මට ඇත්තේයයි දැනගනීද, ආනන්‍දය, එසේ ඇති කල්හි මහණ තෙම මෙසේ දැන ගනී. මේ පඤ්ච කාම ගුණයන්හි යම් කිසි ඡන්‍දරාගයක් වේද, ඒ ඡන්‍දරාගය මා විසින් පහ නොකරන ලද්දේය කියායි. මෙසේ එහි කර්‍මස්ථානය සම්පූර්ණ නැතැයි දැනගනී. ආනන්‍දය, ඉදින් වනාහි මහණතෙම ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නේ මේ පඤ්චකාම ගුණයන් අතුරෙන් එක්තරා, එක්තරා, අරමුණක චිත්තය හැසිරීමක් නොවේයයි දැනගනීද, ආනන්‍දය, මෙසේ ඇති කල්හි මහණතෙම මෙසේ දැනගනී. මේ පඤ්චකාම ගුණයන්හි යම් ඡන්‍දරාගයක් වේ නම් මා විසින් එය පහකරනලදී කියායි. එහි කර්‍මස්ථානය සම්පූර්ණයයි දැනගනී.

16. ´´ආනන්‍දය, භික්‍ෂුව විසින් යම් තැනක ඇතිවීම නැතිවීම නැවත නැවත දකිමින් වාසය කටයුතුද, එබඳු මේ උපාදානස්කන්‍ධ පසකි. රූපය මෙසේය, රූපයාගේ පහළවීම මෙසේය, රූපයාගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවගේ හටගැන්ම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවගේ හටගැන්ම මෙසේය, සංඥාවේ විනාශය මෙසේය, සංස්කාර මෙසේය, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය, විඥානය මෙසේය, විඥානයාගේ හටගැන්ම මෙසේය, විඥානයාගේ විනාශය මෙසේයයි මේ උපාදාන ස්කන්‍ධ පසේ ඇතිවීම සහ නැතිවීම නැවත නැවත දකිමින් වාසය කරන ඔහුට උපාදාන ස්කන්‍ධ පසෙහි මම වෙමි යන යම් හැඟීමක් වේද, එය ප්‍රහීණ වෙයි. ආනන්‍දය, මෙසේ ඇති කල්හි භික්‍ෂුතෙම මෙසේ දැන ගනී, මේ උපාදානස්කන්‍ධ පසේ යම් මමය යන හැඟීමක් වේ නම් එය මට ප්‍රහීනයයි යනුවෙනි. මෙසේ එහි කර්‍මස්ථානය සම්පූර්ණයයි දැනගනී. ආනන්‍දය, නුඹට ඒ මේ ධර්‍මයෝ ඒකාන්තයෙන් කුශල් වශයෙන් පැමිණියාහ, කෙලෙස් රහිතයහ, ලෝකොත්තරයහ, මාරයා විසින් නොබැසගන්නා ලදහ.

17. ´´ආනන්‍දය, ඒ කුමකැයි හඟින්නෙහිද, කවර අර්‍ථයක් දක්නා ශ්‍රාවකතෙම වළකනලද නමුත් ශාස්තෘන් වහන්සේ අනුව යන්නට සුදුසු වේද?´´

´´ස්වාමීනි, ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැමිණීම ඇත්තෝ නොවෙත්ද, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝ නොවෙත්ද, මේ වචනයේ අත්‍ර්‍ථය භාග්‍යවතුන් වහන්සේම ප්‍රකාශ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරාගන්නාහුය.´´

18. ´´ආනන්‍දය, යම් මේ සූත්‍ර ධර්‍මයක් වේද, ගාථා ධර්‍මයක් වේද, විස්තර ධර්‍මයක් වේද, ඒ සඳහා ශ්‍රාවක තෙමේ ශාස්තෘන් වහන්සේ අනුව යන්නට නුසුදුසුය. ඊට හේතු කවරේද? ආනන්‍දය, තොප විසින් බොහෝ කාලයක් මුලුල්ලෙහි ධර්‍මය අසන ලද්දාහුද, දරණ ලද්දාහුද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහුද, සිතින් සලකා බලන ලද්දාහුද, නුවණැසින් අවබෝධ කරණ ලද්දාහුද, එහෙත් ආනන්‍දය, යම් මේ කථාවක් කෙළෙසුන් කපාහරින්නීද, සිත විනිශ්චය කිරීමට සුදුසුද, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශෙෂ දැනීම පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතීද, එනම් :- මඳ දෙයින් සතුටුවීම පිළිබඳ කථාය, ලද පමණින් සතුටුවීම පිළිබඳ කථාය, විවේකය පිළිබඳ කථාය, බොහෝ දෙනා එකතුවීම පිළිබඳ කථාය, විරියාරම්භය පිළිබඳ කථාය, සීලය පිළිබඳ කථාය, සමාධිය පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, විමුක්තිය පිබඳ කථාය, විමුක්ති ඥාන දර්‍ශනය පිළිබඳ කථාය යන මොවුහුයි. ආනන්‍දය, මෙබඳු කථා හේතුකොටගෙණ ශ්‍රාවක තෙම වළක්වන ලද නමුත් ශාස්තෘන් වහන්සේ අනුව යන්නට සුදුසුය.

19. ´´ආනන්‍දය, එසේ ඇතිකල්හි ආචාය්‍ර්‍යයා පිළිබඳ උපද්‍රව ඇතිවෙයි. එසේ ඇතිකල්හි අතවැසියා පිළිබඳ උපද්‍රව ඇතිවෙයි. එසේ ඇතිකල්හි බ්‍රහ්මචය්‍ර්‍යාව පිළිබඳ උපද්‍රව ඇතිවෙයි.

´´අනන්‍දය, ආචාය්‍ර්‍යයා පිළිබඳ උපද්‍රවය කෙසේ වේද? ආනන්‍දය, මේ ලෝකයෙහි බාහිර ශාස්තෘවරයෙක් ජනගහණ නොවූ අරණ්‍ය සෙනාසනයක්, රුක් මුලක්, පර්‍වතයක්, කඳුරැලියක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් සේවනය කරන්නේද, එසේ වෙන්ව වාසය කරණ ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, ජනපද වාසීහුද පැමිණෙත්. පැමුණුනාවූ බ්‍රාහ්මණ ගෘහපතියන් කෙරෙහිද, නියම්ගම් වැසියන් කෙරෙහිද, දනව් වැස්සන් කෙරෙහිද, හෙතෙම මුළාවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි. මේ තෙමේ අනතුරට පත් ආචාය්‍ර්‍ය තෙමේ යයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ඇති, මත්තෙහි ජරා මරණ ඇතිවන, ලාමක අකුශල ධර්‍මයෝ ආචාය්‍ර්‍ය උපද්‍රවයෙන් යුත් ඔහු මැරූහ. ආනන්‍දය, මෙසේ ආචාය්‍ර්‍ය උපද්‍රවය වෙයි.

20. ´´ආනන්‍දය, අතවැසි උපද්‍රවය කෙසේ වේද? ආනන්‍දය, ඒ ශාස්තෘවරයාගේ ශ්‍රාවකතෙම ඒ ශ්‍රාස්තෘවරයාට අනුව විවේකය වඩන්නේ, ජනගහණ නොවූ අරණ්‍ය සෙනාසනයක්, රුක් මුලක්, පර්‍වතයක්, කඳුරැලියක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් සෙවුනේද, එසේ විවේකව වාසය කරණ ඔහු කරා බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, ජනපද වාසීහුද පැමිණෙත්. හෙතෙම බ්‍රාහ්මණ ගෘහපතියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද, පැමිණි කල්හි මුළාවෙයි. ආශාවෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි. ආනන්‍දය, මෙතෙම උවදුරට පැමිණි අතවැසියායයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත ඉපදීම ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති, ජරා, මරණ ඇතිවන, ලාමක අකුශල ධර්‍මයෝ අතවැසි උවදුරෙන් යුත් ඔහු මැරූහ. ආනන්‍දය, මෙසේ අතවැසි උපද්‍රවය වෙයි.

21. ´´ආනන්‍දය, බ්‍රහ්මචාරී උපද්‍රවය කෙසේ වේද? ආනන්‍දය, මේ ලෝකයෙහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ, අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්‍මයන්ගෙන් යුත්, මනා ගති ඇති, තුන්ලොව දත්, නිරුත්තර, දමනය කළයුතු පුරුෂයන් දමනය කරන්නාවූ, දෙවි මිනිසුන්ට අනුශාසකවූ, චතුරාය්‍ර්‍ය සත්‍යය අවබෝධ කළ, භාග්‍යවත් තථාගත තෙමේ, පහළ වෙයි. ඒ තථාගත තෙමේ ජනගහණය නැති සෙනසුණක්, අරණ්‍යයක්, ගස් මුලක්, පර්‍වතයක්, කඳුරැලියක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් සේවනය කරයි. එසේ විවේකව වාසය කරණ තථාගතයන් වෙත බමුණු ගැහැවියෝද, නියම්ගම් වැසියෝද, දනව් වැස්සෝද පැමිණෙත්. තථාගත තෙමේ බමුණු ගැහැවියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද පැමිණි කල්හි මුළා නොවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති නොවෙයි. දැඩි ඇල්මට නොපැමිණෙත්. ප්‍රත්‍ය බහුලත්‍වයට නොපෙරළෙයි.

´´ආනන්‍දය, ශාස්තෘන් වහන්සේ ගේ ශ්‍රාවකතෙම ඒ ශාස්තෘන් වහන්සේට අනුව විවේකය වඩන්නේ, ජනගහණය නැති සෙනසුනක්, අරණ්‍යයක්, ගස් මුලක්, පර්‍වතයක්, කඳුරැලියක්, පර්‍වත ගුහාවක්, සොහොනක්, දුර වන සෙනසුනක්, එලිමහන් තැනක්, පිදුරු බිස්සක් සේවනය කරයි, එසේ විවේකව වාසය කරණ ඔහු වෙතට බ්‍රාහ්මණ ගෘහපතියෝද, නියම්ගම් වැසියෝද, දනව් වැස්සෝද පැමිණෙත්. හෙතෙම බ්‍රාහ්මණ ගෘහපතියන්ද, නියම්ගම් වැසියන්ද, දනව් වැසියන්ද, පැමිණි කල්හි මුළාවෙයි. තෘෂ්ණා වශයෙන් කැමති වෙයි. දැඩි ඇල්මට පැමිණෙයි. ප්‍රත්‍ය බහුල බවට පෙරළෙයි.

´´ආනන්‍දය, මෙතෙමේ උවදුරට පත් බ්‍රහ්මචය්‍ර්‍යාව ඇත්තේයයි කියනු ලැබේ. කෙලෙසීම ඇතිකරණ, නැවත, නැවත, ඉපදීම ඇතිකරණ, විඩා ඇතිකරණ, දුක් විපාක ඇති, මතු ජාති, ජරා, මරණ ඇතිවන, ලාමක අකුශල ධර්‍මයෝ බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් යුත් ඔහු මැරූහ. ආනන්‍දය, බ්‍රහ්මචාරී උපද්‍රවය මෙසේ වෙයි.

22. ´´ආනන්‍දය, එහි යම් මේ ආචාය්‍ර්‍ය උපද්‍රවයක් වේද, යම් අන්තේවාසික උපද්‍රවයක් වේද, මේ බ්‍රහ්මචාරී උපද්‍රවය ඔවුනට වඩා අතිශයින් දුක් විපාක ඇත්තේද, අතිශයින් විපාක ඇත්තේද වෙයි. තවද, නිරයෙහි ඉපදීම පිණිස පවතී. ආනන්‍දය, එහෙයින් මා මිත්‍ර භාවයෙන් ආශ්‍රය කරව්. සතුරුකමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේය.

23. ´´ආනන්‍දය, කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ සතුරුකමින් ඇසුරු කෙරෙත්ද? මිත්‍රභාවයෙන් ඇසුරු නොකෙරෙත්ද? ආනන්‍දය, මේ ශාසනයෙහි ශාස්තෘන්වහන්සේ අනුකම්පා ඇතුව, හිතවත්ව, මෙය තොපට හිත පිණිසය, මෙය තොපට සැප පිණිසයයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්ට දහම් දෙසයි. උන්වහන්සෙගේ කීම ශ්‍රාවකයෝ ඇසීමට කැමති නොවෙත්. කන් යොමු නොකෙරෙත්. දැනීම පිණිස සිත නොපිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් බැහැරව පවතිත්. ආනන්‍දය, මෙසේ වනාහි ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේට සතුරුව හැසිරෙත්. මිත්‍රත්‍වයෙන් ඇසුරු නොකරත්.

24. ´´ආනන්‍දය, කෙසේ නම් ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ මිත්‍රත්‍වයෙන් ඇසුරු කරත්ද? සතුරුකමින් ඇසුරු නොකෙරෙත්ද? ආනන්‍දය, මේ ශාසනයෙහි ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇතියේ හිතවත්ව මේ තොපට හිත පිණිස, සැප පිණිසයයි අනුකම්පාවෙන් ශ්‍රාවකයන්හට දහම් දෙසයි. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එය අසනු කැමති වෙති. කන් යොමත්. දැනීම සඳහා සිත පිහිටුවත්. ශාස්තෘ ශාසනයෙන් ඉවත් නොව පවතිත්. ආනන්‍දය, මෙසේ වනාහි ශ්‍රාවකයෝ ශාස්තෘන් වහන්සේ මිත්‍රත්‍වයෙන් ඇසුරු කෙරෙත්. සතුරුනමින් ඇසුරු නොකරත්. ඒ නිසා මිත්‍රත්‍වයෙන් මා ආශ්‍රය කරව්. සතුරු කමින් ආශ්‍රය නොකරව්. එය තොපට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස, පවත්නේය. ආනන්‍දය, කුඹල්කරු තෙම බිඳේය යන භයින් මනාව නොපිළිස්සුණු භාජන වහ වහා ඉවතට ගන්නාක් මෙන් මම ක්‍රියා නොකරන්නෙමි. ආනන්‍දය, මම නිග්‍රහ කොට කොට, දෝෂයන් හැර හැර, නැවත නැවත අවවාද කරන්නෙමි. එකල තොපට යමක් හරය නම් එය පිහිටන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටුවූ සිතැති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේතේ දේශනාව සතුටින් පිළිගත්තේය.

දෙවෙනි මහා සුඤ්ඤත සූත්‍රය නිමි. (3 – 2)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: