109. මහා පුණ්ණමා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ මිගාරමාතා ප්‍රාසාද නම්වූ පූර්‍වාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ එදවස්හිවූ පොහොය ඇති පසළොස්වක්හි පූර්‍ණ චන්‍ද්‍රයාගෙන් යුක්තවූ රාත්‍රියෙහි භික්‍ෂු සංයා විසින් පිරිවරණ ලද්දේ අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ උන්නේ වෙයි. එකල්හි වනාහි එක්තරා භික්‍ෂුනමක් හුනස්නෙන් නැගිට සිව්ර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට ඇඳිළි බැඳගෙන භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේය. ´´ස්වාමීනි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීමට අවකාශ කෙරේ නම් මම කිසියම් කාරණයක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසන්නෙමි´´ යනුයි.

´´එසේවී නම් මහණ, යමක් කැමැත්තෙහිද, එය ස්වකීය ආසනයෙහිම හිඳ අසව´´ යි වදාළසේක. එකල්හි වනාහි ඒ භික්‍ෂු තෙම ස්වකීය ආසනයෙහි හිඳගෙණ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

2. ´´ස්වාමීනි, මොහු වනාහි පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ වෙත්ද? එනම්: රූප උපාදාන ස්කන්‍ධය, වේදනා උපාදාන ස්කන්‍ධය, සංඥා උපාදාන ස්කන්‍ධය, සංස්කාර උපාදාන ස්කන්‍ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්‍ධය යන මොහුයි.

´´මහණ, රූප උපාදාන ස්කන්‍ධය, වේදනා උපාදාන ස්කන්‍ධය, සංඥා උපාදාන ස්කන්‍ධය, සංස්කාර උපාදාන ස්කන්‍ධය, විඥාන උපාදාන ස්කන්‍ධය යන මොහු පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ වෙත්.´´

3. ´´ස්වාමීනි, යහපතැ´´ යි කියා ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙණ අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්ණයක් ඇසීය. ´´ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?´´ ´´මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.´´ ´´ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්‍ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔවුහුම පඤ්ච උපාදාන ස්කන්‍ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්‍ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?´´ ´´මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්‍ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන ස්කන්‍ධයන් හැර අනිකක් උපාදානද නොවෙයි.´´ ´´මහණ, පඤ්ච උපාදාන ස්කන්‍ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක් වේද, එය එහි උපාදානයයි. (දැඩිකොට අල්වා ගැනීමයි.)´´

4. ´´ස්වාමීනි, පඤ්ච උපාදාන ස්කන්‍ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බවක් වන්නේද?´´

´´මහණ, වන්නේය´´ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ´´මහණ, මේ ලෝකයෙහි ඇතමෙකුහට මෙබඳු සිතක් වෙයි. ´මතු කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වෙදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි. මහණ මෙසේ වනාහි පඤ්ච උපාදාන ස්කන්‍ධයන් කෙරෙහි තෘෂණාවගේ වෙනස් බව වන්නේය´´ යි වදාළ සේක.

5. ´´ස්වාමීනි, කොපමණකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධ යන නම වන්නේදැ´´ යි ඇසීය. ´´මහණ, අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද, තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මෙය රූපස්කන්‍ධය නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මෙය වේදනා ස්කන්‍ධ නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවෝ වෙත්ද, මේ සංඥාස්කන්‍ධය නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාරකෙණෙක් වෙත්ද, මේ සංස්කාර ස්කන්‍ධය නම් වේ. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ තමා කෙරෙහිවූ හෝ පිටත්හිවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ විඥාන ස්කන්‍ධය වේ. මහණ, මෙතෙකින් වනාහි ස්කන්ධයන්ට ස්කන්ධය යන නම වේය´´ යි වදාළ සේක.

6. ´´ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? වේදනා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංඥා ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? සංස්කාර ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? විඥාන ස්කන්ධයාගේ පැනවීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේදැ´´ යි (ඇසූයේය.)

´´මහණ, සතර මහා භූතයෝ වනාහි රූප ස්කන්ධයාගේ පැනවීමට හේතුවේ. ප්‍රත්‍යය වේ. වේදනා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්‍ශය හේතුවේ. ස්පර්‍ශය ප්‍රත්‍යය වේ. සංඥා ස්කන්ධයාගේ පැනවීමට ස්පර්‍ශය හේතුවේ. ස්පර්‍ශය ප්‍රත්‍යය වේ. මහණ, විඥාන ස්කන්ධයාගේ පැනවීමට නාමරූපය වනාහි හේතුවේ. නාම රූපය ප්‍රත්‍යය වේය´´ යි (වදාළ සේක.)

7. ´´ස්වාමීනි, කෙසේ නම් සත්කාය දෘෂ්ටිය වේදැ´´ යි ඇසීය.

´´මහණ, මේ ලෝකයෙහි ඇසූ පිරූ තැන් නැති, ආය්‍ර්‍යයන් නොදක්නාවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි අදක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි නොහික්මුනාවූ, සත්පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂවූ, සත්පුරුෂ ධර්‍මයෙහි නොහික්මුනාවූ, පෘතග්ජනතෙම රූපය තමායයි කියා හෝ දකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි කියා හෝ දකියි. රූපයෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව තමායයි කියා හෝ දකියි. තමා වේදනාව ඇත්තෙකැයි කියා හෝ දකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි කියා හෝ දකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි කියා හෝ දකියි. සංඥාව තමායයි කියා හෝ තමා සංඥාව ඇත්තෙක කියා හෝ තමා කෙරෙහි සංඥාව ඇත්තේය කියා හෝ සංඥාව කෙරෙහි තමා ඇත්තේය කියා හෝ දකියි. සංස්කාරය තමායයි කියා හෝ දකියි. තමා සංස්කාර ඇත්තෙක කියා හෝ සංස්කාර කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි සංස්කාර ඇත්තේය කියා හෝ දකියි. විඤ්ඤාණය තමා කියා හෝ දකියි. තමා විඥාණය ඇත්තෙක කියා හෝ විඤ්ඤාණය කෙරෙහි තමා ඇත්තේය කියා හෝ තමා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේය කියා හෝ දකියි. මහණ, මෙසේ වනාහි සත්කාය දෘෂ්ටිය වේය´´ යි වදාළ සේක.

8. ´´ස්වාමීනි, කෙසේ නම් සත්කාය දෘෂ්ටිය නොවේද?´´

´´මහණ, මේ ශාසනයෙහි ආය්‍ර්‍යයන් දක්නාවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි දක්‍ෂවූ, ආය්‍ර්‍ය ධර්‍මයෙහි මනාව හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ, සත්පුරුෂ ධර්‍මයෙහි මනාව හික්මුනාවූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම රූපය තමායයි නොදකියි. තමා රූපය ඇත්තෙකැයි කියා හෝ නොදකියි. තමා කෙරෙහි රූපය ඇත්තේයයි හෝ නොදකියි. රූපය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව තමායයි නොදකියි. තමා වේදනාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි වේදනාව ඇත්තේයයි හෝ නොදකියි. වේදනාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව තමායයි නොදකියි. තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංඥාව ඇත්තේයයි හෝ නොදකියි. සංඥාව කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් තමායයි නොදකියි. තමා සංස්කාරයන් ඇත්තෙකැයි හෝ නොදකියි. තමා කෙරෙහි සංස්කාරයන් ඇත්තේයයි හෝ නොදකියි. සංස්කාරයන් කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. විඥාණය තමායයි නොදකියි. තමා විඤ්ඤාණය ඇත්තෙකැයි හෝ නොදකියි. .මා කෙරෙහි විඤ්ඤාණය ඇත්තේයයි හෝ නොදකියි. විඥානය කෙරෙහි තමා ඇත්තේයයි හෝ නොදකියි. මහණ, මෙසේ වනාහි සත්කාය දෘෂ්ටිය නොවේය´´ යි වදාළ සේක.

9. ´´ස්වාමීනි, රූපයෙහි ආශ්වාදය (රසවිඳීම) කවරේද? ආදීනවය (දොෂය) කවරේද? නිස්සරණය (නික්මීම) කවරේද? වේදනාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංඥාවෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? සංස්කාරයන්හි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? විඥානයෙහි ආශ්වාදය කවරේද? ආදීනවය කවරේද? නිස්සරණය කවරේද? ´´මහණ, රූපය නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ රූපයෙහි ආශ්වාදය වේ. (රසවිඳීම වේ.) යම් රූපයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ රූපයෙහි ආදීනවය වේ. රූපයෙහි යම් ඇලීම නැති කිරීමෙක්, ඇලීම දුරු කිරීමෙක් වේද, මේ රූපයෙහි නිස්සරණය වේ. මහණ, වේදනාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආස්වාදය වේ. (රස විඳ ගැන්ම වේ.) යම් වේදනාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ වේදනාවෙහි ආදීනවය වේ. වේදනාවෙහි යම් ඡන්‍දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක්, ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේද, මේ වේදනාවෙහි නිස්සරණය වේ. සංඥාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංඥාවෙහි ආශ්වාදය වේ. යම් සංඥාවක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංඥාවෙහි ආදීනවය වේ. සංඥාවෙහි යම් ඡන්‍දරාගයෙන් ඇලීම නැති කිරීමෙක්, ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේද, මේ සංඥාවෙහි නිස්සරණය වේ. සංස්කාරයන් නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ සංස්කාරයෙහි ආශ්වාදය වේ. යම් සංස්කාරයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සංස්කාරයෙහි ආදීනවය වේ. සංස්කාරයෙහි යම් ඡන්‍දරාගයෙන් ඇලීම නැතිකිරීමෙක්, ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේද, මේ සංස්කාරයෙහි නිස්සරණය වේ. විඥානය නිසා යම් සැපයක්, සොම්නසක් උපදීද, මේ විඥානයෙහි ආශ්වාදය වේ. යම් විඥානයක් අනිත්‍යද, දුක් ඇත්තේද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ විඥානයෙහි ආදීනවයයි. විඥානයෙහි යම් ඇලීමක් නැති කිරීමක්, ඇලීම දුරු කිරීමක් වේද, මේ විඥානයෙහි නිස්සරණය වේය´´ යි (වදාළ සේක.)

10. ´´ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ, පුද්ගලයාහට මේ විඥානය සහිත කයෙහි (ශරීරයෙහි) ද පිටත්හි සියලු අරමුණුවලද මමය, මාගේයයි ගන්නා මානානුසයෝ නොවෙත්ද?´´

´´මහණ, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි. මේ රූපය තෙම මම නොවෙමි. මේ රූපය මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි. මේ වේදනාව තෙම මම නොවෙමියි. මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවෙයි. මේ සංඥාව තෙම මම නොවෙමියි. මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි මෙසේ තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙත්ද, මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි. මේ සංස්කාරය තෙම මම නොවෙමියි. මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද, අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ ආධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ ප්‍රණීතවූ හෝ යම් දුරවූ හෝ ලඟවූ හෝ යම්කිසි විඥානයක් වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි. මේ විඥානය තෙම මම නොවෙමි. මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකියිද, මහණ, මෙසේ වනාහි මෙසේ දක්නහුගේ මේ විඥානය සහිතවූ ශරීරයෙහිද, පිටත්හිවූ සියලු නිමිතිවලද, (අහඞ්කාර මමඞ්කාරයයි කියනලද) මමය මාගේයයි ගන්නාලද මානානුසයෝ නොවෙත්ය´´ යි වදාළ සේක.

11. ඉක්බිති එක්තරා භික්‍ෂුවක්හට මෙබඳු සිත පිළිබඳ පරිවිතර්කයක්, (කල්පනාවක්) පහළවිය. ´පින්වත, මෙසේ වනාහි රූපය අනාත්මයයි (තමා නොවෙයි), වේදනාවෝ අනාත්මයයි (තමා නොවෙත්), සංඥාවෝ අනාත්මයයි (තමා නොවෙත්), සංස්කාරයෝ අනාත්මයි, විඥානය අනාත්මයි, අනාත්මයෙහි සිට කරන ලද කර්‍මයෝ කවර ආත්මයෙහි සිට විපාක දෙත්ද´ කියායි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේගේ සිත්හි උපන් අදහස සිතින් දැන භික්‍ෂූන්ට කථාකළ සේක. ´´මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෙක් නොදන්නේ, අවිද්‍යාවෙන් යුක්තවූයේ, තෘෂ්ණාව අධිපතිකොට ඇත්තාවූ සිතින් ශාස්තෘ ශාසනය ඉක්මවා යා යුතුයයි හඟින්නේය, යන යමක් වේද, මේ කාරණය විද්‍යාමාන වේමය. ´පින්වත, මෙසේ වනාහි රූපය අනාත්මය, වේදනාවෝ අනාත්මය, සංඥාවෝ අනාත්මය, සංස්කාරයෝ අනාත්මය, විඥානය අනාත්මය, අනාත්මයෙහි සිට කරණ ලද කර්‍මයෝ කවර ආත්මයක්හි සිට විපාක දෙන්නාහුද´ කියායි. මහණෙනි, තෙපි මාගේ ධර්‍මය නිසා ඒ ඒ තන්හි ඒ ඒ ධර්‍මයන්හි හික්මුණාහුය. මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය හෝ වේද, අනිත්‍යය හෝ වේද?´´ ´´ස්වාමීනි, අනිත්‍යය.´´ ´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද, සැප හෝ වේදැ´´ යි. ´´සවාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරලෙන ස්වභාව ඇත්තේද, ´ඒ මගේය මෙතෙම මම වෙමියි: මෙතෙම මාගේ ආත්මයයි´ දැකීමට සුදුසුද?´´ ´´ස්වාමීනි, එය නුසුදුසුමැයි.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? වේදනාවෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, එය කල්පනා කරන්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමය.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? සංඥාවෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, එය කල්පනා කරන්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමය.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? සංස්කාරයෝ නිත්‍ය හෝ වෙත්ද? අනිත්‍ය හෝ වෙත්ද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ වේද? සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද,

මෙය මගේය, මෙතෙම මම වෙමි. මෙතෙම මාගේ ආත්මයයි, එය කල්පනා කරන්ට සුදුසුද?´´

´´ස්වාමීනි, මෙය නුසුදුසුමය.´´

´´මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?´´

´´ස්වාමීනි, අනිත්‍යය.´´

´´යමක් වනාහි අනිත්‍යද, ඒ දුක් හෝ සැප හෝ වේද?´´

´´ස්වාමීනි, දුක්ය.´´

´´යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, ඒ මාගේය, මෙතෙම මම වෙමි. මෙය මාගේ ආත්මයයි, දැකීමට සුදුසුද?´´ ´´ස්වාමීනි, සුදුසු නොවේමැයි.´´

12. ´´මහණෙනි. එහෙයින් මේ ලෝකයෙහි අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ (තමා කෙරෙහි වූ හෝ), පිටත්හි වූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, හීනවූ හෝ, ප්‍රණීතවූ හෝ, දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි රූපයක් වේද, මේ සියලු රූපය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමි, මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දැක්ක යුතුයි. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, යම් දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි වේදනාවක් වේද, මේ සියලු වේදනාව මාගේ නොවෙයි, මේ වේදනාව තෙම මම නොවෙමියි, මේ වේදනාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, යම් දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි සංඥාවක් වේද, මේ සියලු සංඥාව මාගේ නොවෙයි, මේ සංඥාව තෙම මම නොවෙමියි, මේ සංඥාව මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද. අතීත, අනාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, අධ්‍යාත්මයෙහිවූ හෝ බාහිරවූ හෝ, මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, යම් දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි සංස්කාර කෙනෙක් වෙත්ද, මේ සියලු සංස්කාරය මාගේ නොවෙයි, මේ සංස්කාරය තෙම මම නොවෙමියි, මේ සංස්කාරය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දකීද. අතීතානාගත, වර්‍තමාන යන කාලත්‍රයෙහිවූ, තමා කෙරෙහි වූ හෝ පිටත්හි වූ හෝ මහත්වූ හෝ, සියුම් වූ හෝ, ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, දුරවූ හෝ, ළඟවූ හෝ, යම්කිසි විඥානයක් වේද, මේ සියලු විඥානය මාගේ නොවෙයි, මෙතෙම මම නොවෙමියි, මෙතෙම මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දැක්ක යුතුයි.

13. ´´මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම රූපයෙහි කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. සංඥාවෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. කලකිරෙමින් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි දැනීම වේ. ජාතිය ක්‍ෂය කරණ ලද්දීය. බ්‍රහ්මචය්‍ර්‍යාව වැස නිමවන ලද්දේය. සතර මගින් කටයුතු දෙය කරණ ලද්දේය. මේ ආත්ම භාවය පිණිස අනිකක් නැතැයි දැන ගනීය´´ යි වදාළ සේක.

14. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය සතුටින් පිළිගත්තාහුය. මේ දේශනාව දේශනා කරණ කල්හි සැටක් පමණවූ භික්‍ෂූන්ගේ චිත්තයෝ උපාදාන රහිතවූ ආශ්‍රවයන්ගෙන් මිදුනාහුයි.

නව වැනිවූ මහා පුණ්ණමා සූත්‍රය නිමි. (1 – 9 )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: